ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කුරුළු ගෙදර

කුරුළු ගෙදර

මාවැලි කුමාරී කුලතුංග - මහනුවර
2022-May

කුරුළු ජෝඩුවක් ඇවිදින් අපෙ ගේ ඇතුලට
ඉඩක් හොයනවා වාගෙයි කූඩු හදන්නට
දවසපුරා වහින නිසා නොතෙමී ඉන්නට
සැලසුම් කරනවා වගෙයි හවුලේ ඉන්නට

අතුරු අන්තරා කිසිවක් ගේ ඇතුලේ නැත
විදුලි එළිය සමග වතුර ඇවැසිතරම් ඇත
රූපවාහිනීය ද තව සංගීතෙත් වෙත
මුත්තාපල් කිව්වත් යළි නොයන්නමයි හිත

මැද සාලේ විදූලි ලාම්පුව ඇතුලෙයි තැන
අහන්නැතුව බඩුත් ගෙනත් වැඩේ පටන්ගෙන
උඳුවප් මස සීත නැතිව ගත උණුසුම් වන
කැදැල්ලකට මීටවඩා තැනක් නැතිලු වෙන

චූටි හොටෙන් කෝටුකෑලි අරගෙන එනවා
ඒවායින් වැඩිහරියක් බිමටවැටෙනවා
කිරිල්ලියත් හැකි පමණින් රුකුලක් දෙනවා
බලාඉඳිමි , මගෙ හිතටත් සතුට දැනෙනවා

දවස පුරා මිහිරි කුරුළු නඳ ඇසියැකි දැන්
තටු සලමින් එහා මෙහා අගේට පියඹන්
චූටි පැටව් හදාගන්න ඉක්මන් කරපන්
කුරුළු පවුලෙ හැඩ බල බල සිටියැකි මට දැන්

එළියෙ තියෙන රොඩු ඇතුලට අරගෙන එනවා
සද්දෙ හොඳ වුනත් ගේ තුල ජරා කරනවා
ඕවට ඉඩදීල පස්සෙ කරදර වෙනවා
කුරුළු ජෝඩුවට එරෙහිව හඬක් නැගෙනවා

කූඩුවෙලා උන් ඉමිහිරි ගීත ගයාවී
අපේ නිවස ඇතුලෙත් ඒ සතුට පිරේවී
පැටව් හදා ලොකුවූ පසු ඉගිලී යාවී
එතෙක් ඔහොම ඉන්නටදෙමු පින්සිදුවේවි

ඉහල තැනින් අණ ලැබුනා ඉඩ නොමදෙන්නට
පැලපදියම් වෙන්නට පෙර ඉන් වලකන්නට
මොනව කරන්නද නොදනී හිතට දුකයි මට
අනේ ඉතින් මම ඉන්නෙත් ඒ අණසක යට