ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සොබාදහමක් විඳිනු කෙලෙසද රට අපායට ගිහිල්ලා…

සොබාදහමක් විඳිනු කෙලෙසද රට අපායට ගිහිල්ලා…

චන්දන ගුණසේකර - ලන්ඩනය (ලේඛක, පරිවර්තක)
2022-July

මලින් අතු ඉති බරවෙලා අද වසන්තය ඇත ඇවිල්ලා
සුවඳ විහිදෙයි සතර අතෙහිම
අනඟි රැඟුමන් අවුල්ලා
බඹර ඉඟි බිඟි කුරුළු කූජන
සවන් යුග යයි අතුල්ලා
එහෙත් මිනිසුන් දුකිනි තැන තැන
සතුට කොහෙදෝ ගිහිල්ලා

රටේ හැමතැන පෝළිම්ය අද මුහුණු වෙහෙසට මැළවිලා
බෙහෙත් නොමැතිව ලෙඩුන් මිය යති තුන්බියම ඇත පැතිරිලා
තරුණ පරපුර මහමඟෙහි වැද ක්‍රමයෙ වෙනසට සැරසිලා
එහෙත් බොහො අය දිය කෙළිති තව හැළියෙ දිය දැන් උණුවෙලා

හොරුන් මැරයන් යෙහෙන් වැජඹෙති නීතියක් නැත ඔවුන්ට
ඔවුන් පසුපස කඩේ යන අය වෙරදරති උන් රකින්ට
රටක් වෙනුවෙන් හඬ නැඟු පිරිසකට දඟගෙයි ලඟින්ට
සිදුවෙලා ඇත ලක් මවුනි අද තව කඳුළු නැත හැලෙන්ට

මෙතෙක් කාලෙට රට කෙරූ අය සුරපුරය වනසා දමා
උන්ගෙ බඩකට වඩා ගත්තේ ලක්මවුන් විපතට යොමා
රටේ ජන කැළ එකතු නොවුනොත් තව තවත්‍ නොම වී පමා
අපට වසනට රටක් නැතිවෙයි සිතට ගතයුතු වෙයි සැමා