ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අනූ හතර වියට පා තැබූ ගුණදාස අමරසේකර ශුරින්ට

අනූ හතර වියට පා තැබූ ගුණදාස අමරසේකර ශුරින්ට

ආචාර්ය පාලිත ගනේවත්ත - ඔස්ට්‍රේලියාව
2023-December

රතු රෝස මලක් ලෙස පිපී සාහිත උයන
අතු විහිදී රුකකි අද ලක්බිමට දෙන සෙවන
මතු දවස දරු කැලට පෙඳහි රස හව් පොවන
මහා ගත්කරු ඔබය දිගාසිරි සුව ලබන

එක්ටැමෙන් බිමට බැස හැඳිනගෙන බොල් පිළිම
ගණඳුරේ අතරමග අරුනලුව දුටු අරුම
මැද පන්තියේ පුවත කතා ලෙස පෙළ ගැසුම
ආවර්ජනා විලස පෙන්වු හද බස දැනුම

මගේ පොත් එළිදකින තුන් වතාවම පැමිණ
කියූ හරබර වදන් තවම දෙසවන රැඳෙන
රුසියානු සාහිතය අතැඹුලක් සේ හැඳින
පෙර පිනකි ඔබේ සාහිත ඇසුර මට ලැබුන

කවන්ධය වැනි දැයට හිසක් පළඳවන්නට
විල් තෙරෙහි වන මරණ වළක්වා දමන්නට
අන්ධවූ අලියාට ඇසක් යළි දෙවන්නට
ජය සතුට දීඝායුෂ පතමි කිවිඳුනි ඔබට

ආචාර්ය පාලිත ගනේවත්ත
සිඩ්නි, ඕස්ට්‍රේලියාව