ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මල්_කඩුපුල්

මල්_කඩුපුල්

ජීවන් දේශප්‍රිය
2022-October

දිනිසුරුගෙ කැලුම් විඳ, නිසයුරුව දකින තුරු, නිරන්තර සුවඳ දී, නටු මතින් සුපිපෙද්දි
තනි නොවී පිරිස් මැද, මල් පොකුරු පුරාවට, හිනැහෙමින් රිසි ලෙසින්, වර්ණ වල මුහුවෙද්දි
පිනි පහසෙ නැහැවෙමින්, සිහිලසක වෙලි වෙලී, මිහිමඬල සිප අරන්, රටාවන් අතුරද්දි
මිණි කිරුළු අහිමි ඇයි, අනේ මේ “කඩුපුල”ට, මැදියමක ඇහැරිලා, මොහොතකින් මියැදෙද්දි…

නෙත් පැහැර මන බඳින, ශ්වේත පෙති මත මුසුව, සුළං සර විතරමයි, බොහෝ විට දඟවුණේ
මත් බිඟුන් වත් නොමැත, ගිණි ලමැද නිවන්නට, සෙව් සුවය අරන් තුඩ, කෙලෙසවත් ළංවුණේ
රත් අනඟ දුනු හීය, බැරිවෙලා මිස කිමද, ප්‍රේමයක් මුසුවෙලා, පපුවකට නොවැදුණේ
සිත් රිදුම් පමණමයි, තුරු හිසත් දොස් නගයි, රැකවරණ නුදුන්නත්, තරහනම් නෑ වුණේ…

තරු දිලෙන හීන සැම, දැන දැනම මිලින බව, මියෙන්නෙමි හෙමි හෙමින්, වියාගෙන කාන්තී
හුරු ගැහැණු හැඟුම් මුත්, සිරුරකට සමවෙන්න, සැත් තුඩින් සැරසුනෙමි, නමුදු නැත යාන්ත්‍රී
පිරු පැතුම් අභියසක, දිනූවත් රුව වරුණ, ඔසු මතම ගෙවන්නෙමි, සොය සොයා ශාන්තී
දුරු කරන් අපුල රළු, ගුණයෙන්ම බලනු මැන, ළඳකි මා පෙර පිරිමි, වුණා සංක්‍රාන්තී…

25/08/2022