ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අප්පච්චීට පැනවූ සංචරන සීමා

අප්පච්චීට පැනවූ සංචරන සීමා

තුසිතා සුරේකා - මීගමුව
2021-August

පොඩි එවුන් හාමතේ උන්නු තැන තැන නිදී
දෙන්නවත් කැඳ පොදක් හාල් ඇටයක් නැතී
උන්ගෙ කුස පිට අතර පරතරය හරි පොඩී
අනේ කොටුවට යන්න හැකි උනොත් මට ඇතී

පොඩි එකා වේලිච්ච තන පුඩුව අදිනකොට
මහ එකී අඩනවා කිරි එරෙන්නැති දුකට
කොහෙ එරෙන්නද කිරක් හිස් බඩෙන් තන් වලට
මගෙ නහර ඉරාගෙන දුවනවා උන්ගෙ දුක.

අහු මුල්ලෙ තිබුණු දේ දුන්න උන්ටම කන්න
වේල් ගණනාවක්ම බිවුවෙ වතුරයි කහට
බැරි උනත් පාගන්න ගොඩක් දුර පාපැදිය
ඉවසන්න බැහැ උන්ගෙ මූණු ටික දැක්කහම.

අනේ බුදු රාළහමි හිතක් පපුවක් නැද්ද
මගේ දුක දැනෙන්නට නුඹට දරුවෙක් නැද්ද
ඔය තරම් එහේ මෙහෙ දුවන වාහන අතර
මටත් කොටුවට යන්න සමා අවසර නැද්ද .