
බෝසත් ගොවියා අපාගත වීම
කුරුළු පාළුවක් නැති වෙලේ
වී කරල ඔසවන් පියාඹන
බෝසත් ගිරා පෝතකයා ට
කැටපොලෙන් විදිමි –
කන්ඩවත් මදිකොට
බාග මලු අස්සැන්න…
අකුරට යවනු වස්
බඩගින්නේ හරි දරු පැට්ටු..
එන මං මිස යන මං නැත
බෝසත් වඳුර – නලපාන කළ…
ගල්කටස්සෙන් වෙඩි තබමි
පානාතිපාතය මුසාකර
දරු දුක බඩ දුකේ හිරවෙච්ච
දේවදත්ත මම…
කීඩෑ දළඹු තෙල් නොගැහුවෙමි
සිල්වත්කමට නොව හිඟකමට…
ආශ්චර්යයක් නම් නොදිටීමි –
ගොයං කොළේ මිටි වුවා මිස
වැටත් නියරත් ගොයං කා ඇත…
කහට විතරක් බොන කුණුකයට
වකුගඩු අමාරුව කොහොමත් එකය
ඒ වගේද කුසගින්න දරුගින්න…
වී මල්ලකින් හැක් ද
දුවට ජංගි තුනක් ගන්ඩ…
අවේලාවට වැස්ස –
කරල් බොල්වෙන රට බීජ-
තිස්තුන්කෝටියක් දෙයියෝ
අබිං කාලද…
පාඩමක් උගන්නන්ඩ උංට
සලාක දානේ දෙන්නෑ පන්සලට මම…
මළදා අපාගත වෙමි යම ව
කළ පවු බලවත් ව රටට බත් දුන්…
මන්ත්රී ගේ බඩ පලමි.
නිලදාරීන් උල තබමි.
උංට කඩේ ගිය සාධු ලා –
කටු ඉඹුලේ චීවරෙන් එල්ලා
ලෝ දිය වක්කරමි.
සාදු කියපල්ලා මගේ පොඩි රොත්ත…