ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සිහගිරි අප්සරා පැවසූ සොඳුරු කව

සිහගිරි අප්සරා පැවසූ සොඳුරු කව

තීෂ්‍යා දුල්මිණි - හෝමාගම
2022-March

සිටියත් කසුප් නිරිඳුගෙ මන නද        බැඳලා
නැත නිදහසක් දැනුනේ රජ සැප       විඳලා
නිලඹර උසට වූ ඒ පවුරට              නැගලා
නිදහස් සිටින විට බිතුසිතුවමක්        වෙලා

නිල්වන් කෙස්වැටිය පීදුනු මල්        ගවසා
පිරි පුන් කලස් ලෙස වූ තිසරුන්  මෙලෙසා
දුටු විට මගේ රුව සුර අඟනක         විලසා
නිරිඳුන් පවා හද පිදුවා මා              උදෙසා

සියවස් ගණන් තනි වූවත් මා        මෙතැන
දුටුවෙමි පවුරෙ කැටපත් මා ගැන     සිතන
මිනිසුන් කොතෙක් වී දැයි මගෙ හද පතන
සිත ඇති තැනක් වේ නම් මැදුරකි   එතැන

සිතුවම – කිවිදිය විසින්.