ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නමසිය හතලිස් අටේ

නමසිය හතලිස් අටේ

ලූෂන් බුලත්සිංහල
2022-February

නමසිය හතලිස් අටේ
ඉංග්‍රීසි නෑයෝ ගමරට බලා ගියෝ
පොදි බැඳගෙන දුප්පතුන් සන්තක වූ
ජීවත්වීමේ නිදහස හිමි සියලූ.
එහෙම ගිහින් ටික දවසයි – එක පිට එක වින්නැහි
අසරණ කාටත් ගමේ සිදාදියේ
නොමිලේ බෙහෙත් දුන් ඩිස්පැන්සරි රට වටේ
හා හූ නැතුවම වැසී ගියා රහසේ.
පාසල් යන දුප්පත් දරු දුක දැන
නොමිලේ කිරි වීදුරුවක් සපයන
ආණ්ඩුවේ කිරිහල්වල කිරි හිඳුනා – කිරිහල් වැහුණා.
ගෙදර වැරදුනත් පාසලේ නොවරදින
දිවා වේල දුප්පත් දරුවන්ගේ
කාක්කො අරගෙන ගියා වගේ ලක්දීපේ.
නිදහස් සෞඛ්‍යය – නිදහස් අධ්‍යාපනේ
වචනය විතරයි ඉතුරු වුණේ
ඔක්කොම සේවා පොදි බැඳගෙන – ගියා වගෙයි ඉංග්‍රීසින්.
ඒ විතරද බුදු අම්මෝ
කූපන් පොතකට සමූපකාරෙන්
නොමිලේ වගේ දුන් හාල් ඇටේටත් ලකේ
ගුල්ලො විද්දේ – ගියාට පස්සෙයි ඉංග්‍රීසින්.
රජවරු වගෙ හිටි ඉස්සර නිලමෙල ගම්පතිලා
අස්ස කරත්තෙන් තිරික්කලෙන් එද්දී
අසරණ මිනිහා කාණුවටයි බැස්සේ
ඉඩකඩ නැති පාරේ.
ඒ හිංසාවෙන් මුදන ලෙසින් අසරණයා
පාර දෙපැත්තේ උසට උසේ
පදික වේදිකා හැදුවේ ඉංග්‍රීසින්.
දුන්දේ අරගෙන ගියාද මන්දා ඉංග්‍රීසින්
වැටෙන්න පේමන්ට් එකවත් දැන් නෑ
දුප්පතාට මහ පාරේ.
පරම්පරාවේ කව්රුන් හෝ වේවා
පොලිස් පොතක ලියැවුණා නම්
හිරේ විලංගුවේ වැටුණා නම්
ඔෆිස් පියන් තනතුරකට හෝ රජයේ
පත්වී යෑම බොරුයි – ඒ ඉංග්‍රීසි කාලේ
පොදි බැඳගෙන ගිය හින්දා ඉංග්‍රීසින්
ශීලාචාර රාජ්‍ය සේවේ
අද පොලිසියේ පටන් රාජ සබේ දක්වා
තේරී පත්වී එනවා – හොරුන් මිනී මරුවන්
සංඝ පිරිත් නූලේ බලයෙන්
වැජඹෙනවා ඒ රාජ බලේ යහතින්.
වගතුග නොදැනයි ලෝකෙ හිනාවෙන්නේ
පොදි බැඳගෙන ගිය විත්තිය ලක්ජන සතු හැමදේ
ගමරට යද්දී ඉංග්‍රීසින් – නමසිය හතලිස් අටේ.

27.01.2022