නෙරුදා නොලියූ කවිය

අශෝක හඳගම
අශෝක හඳගම
2021-September

ලොව සුපතල චිලියානු කවියා, පැබ්ලෝ නෙරුඩා, ලංකාවේ චිලියානු තානාපති ලෙස වසර දෙකක් (1929-31) මෙහි ජීවත් වුනා. ඔහු පසු කලෙක ලියූ මතක සටහන් ( Memoirs ) පොතේ දිදුලන හුදකලාව ( Luminous Solitude ) නම් පරිච්චේදයේ මෙහි මතකයන් ගැන විස්තර කෙරෙනවා. එහි සඳහන් කෙරෙන පරිදි, වැල්ලවත්ත ප්‍රදේශයේ ඔහු පදිංචිව සිටි වෙරළබඩ නිවසේ වැසිකිළිය ශුද්ධ පවිත්‍ර කල එවක සක්කිලි යන අපහාසාත්මක නමින් හැඳින්වූ කසල ශෝධක වෘත්තික ප්‍රජාවකට අයත් යුවතියක් සමඟ වරක් ලිංගික ව එක ව තිබෙනවා. ඔහු එහි සඳහන් කරන්නේ, ඇගේ ”අකමැත්තක් නොමැතිව” එය සිදුවූ බවයි. එහෙත් පසු කලෙක මෙම සිදුවීම විශ්ලේෂණය කරන සමාජ ක්‍රියාකාරීන් සහ විචාරකයින් තර්ක කරන්නේ එය පැහැදිලිවම ස්ත්‍රී දූෂණයක් බවයි.
නෙරුදා ඔහුගේ ආදරවන්තියන් ගැන බොහෝ කවි ලියා ඇතත් මේ ගැන කවියක් ලියා නැහැ.
මේ නෙරුදා නොලියූ කවියයි.

ලවන මුසුව හමන සුළඟ
සමඟ රඟන තෝඩු යුගල
නඟන කිකිණි සවන පිනන
බමන හිසට ගෙනෙන මිහිර.

වෙරළ සිඹින වියරු රළට
තෙමුණු සළඹ ලෙහුණු පයට
බැඳුනු නෙතට පෙනුනෙ නැතිද
බිඳුණු සිතක් මදට කිපුණ.

ගිගිරි සලන වළලු බිඳින
රැගත් විගස සුරත මිටින
බිමට වැටුණි එඅත රැඳුන
ඉරටු මිටිය බිම අමදින

තුටින් රැගෙන බඳ තුරුලට
ඔසවා ගමි දිව්‍ය අඟන
මුවින් නොබැණ සිටිමුත් ඇය
දුටිමි පිරුණු කඳුළැල් නෙත.

ලෙහුණි බඳට ඇලුණු සළුව
දපන විටදි මතට සයන
වසර දහස් කල් ඉපැරණි
රුවකි එ’රුව තඹින් නෙළුව

සියක් කතුන් හා නිදිවැද
ඇතත් එතෙක් මෙතෙක් නොමැත
සිතත් ගතත් තෙතක් නොමැති
කතක් සමඟ රති සුව විඳ

ගලක් සදිසි කයක් සමඟ
සසඟ දුකකි සැපක් කොහිද
අපුල බැවින් දෝ මා ගත
ඉවත බලා සිටියේ ඇය

කරපු පවක තරම දැනෙන
විටත් ගොසිනි ඇය ඉවතට
කිළිටි විනිද ඇගෙ සියොළඟ
කසල අදින උදය හවස.

මකනු නොහැක සිදුවූ වරද
විඳව විඳව හිඳිනු මිසක
වෙරළෙ හැපී හැපී කියයි
පරක් තෙරක් නොමැති සයුර