
ගඟ ඉලන්දාරි වනු පිණිස
ගඟ ගලා යයි සිඳු වෙත
සියල් ගංගාධාර සිඹ සිඹ
ගංතෙර උණ පඳුර දලුලයි
ගංදිය සැලෙන රුව දැක
මව් දිය ඌල කඳු හිස
සුබ පතයි ගමනට සිප හිස
නතර විණි නම් එ’අස දරු ගඟ
ගඟ ඉලන්දාරි වනු කෙලෙස ද
අල්ලා ගනු පිණිස මුතු මිණි
අත්හළ යුතු ය දෑතෙහි බැමි
දුරුකර යුතු පාරු මුනි හිමි
එතෙර වූ පසු නැත දුක් නිමි
කෙත් වතු කුඩා ගං අතු සිඹ
ගඟ ගලා ආපසු සිඳු වෙත
ගඟ ද නැති සිඳු ද නම හිතවත
නමක් නැති එක කොතෙක් මිහිරි ද
‘සහස් කඳු තරණ මංපෙත්’ (2022) කාව්‍ය සංග්‍රහයෙන්