ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තොටුපොළ යි ආදරයයි

තොටුපොළ යි ආදරයයි

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි
2021-June

ගඟ දිය ගලයි සුපුරුදු ලෙස දෙගොඩ තලා
හුඟ කාලෙකට පසු ඔරු බඳ තුළට වෙලා
ළඟ ඉන්දවා ගෙන එනතුරු අඳුර ගලා
මඟ බල බලා ලතවෙමි ඔබ එතැයි බලා

කෙහෙ රැළි අකීකරු විලසින් සැලෙන විට
එහෙ මෙහෙ වෙවී හබලට බර දැනෙන කොට
ඇහෙ මායිමට ලංවී උණුසුමට වට
ගහෙ සෙවනමයි කුඹුකේ හිමිවුනේ මට

දයි වය පරිදි එක් වෙන්නට බැරුව පෙමින්
ඇයි සුරලියේ දෙගුරුන් බස අනුව යමින්
කයි මං දොරකඩින් ඈතට දෙපිය ලමින්
දෙයි යන්දරට දීගෙක ගිය බැහැර ගමින්

හබලට බර දිදී ඔරු කඳ දියත් නොවූ
කලකට පසුව අද අවුදින් රැයක් ගෙවූ
ඉවුරට වෙලා බලමින් සඳ වතින් මැවූ
මුහුණට හාදු දෙමි තොල් පෙති දියෙන් දෙවූ

පැල් කොටයකට වී නොවුණත් මැදුරක්
කල් පිත ලොවක ගත කරනා යුග දිවියක්
නිල් ලට දිලෙන කුඹුරෙන් ලද කල එළියක්
සිල් ගත් ළඳක සිරි යහනට මුතු පලසක්

නඳ දෙයි තොටුපොළට වැහි බීරුම හින්දා
වැද හෙයි කදුළු යන එන වුන්නැති හන්දා
කෑ මොර දී මොටද කරුමය ඇත කැන්දා
නෑ සියො පවා අද මට දේ නව නින්දා

නොරැඳෙයි එකම දිය පොද එක තැනෙක ගඟේ
නොඇසෙයි එකම හඩ දෙවරක් එකම මඟේ
නොදැනෙයි හදවතට සිසිලක් පවන දිගේ
නොලැබෙයි ඔබෙන් සතුටක් හෙම පෙරදි වගේ

තව තව බලා හිඳ කුමටද ඉවුරු තෙරේ
නව සඳ නැඟේ බස්නාහිර අහස් කරේ
අව දිව කිසි කෙනෙක් නැති සඳ ගෙදර දොරේ
නැව තත් නොඑනු වස් යන්නෙමි හෙමින් සැරේ