ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම
2025 මාර්තු කලාපය
සතර අසූ විය පත් මහ සමිඳාන
සෝම ගුණ දහම් සපිරුණු කිවිඳාන
හෙළ සාහිත ලොවේ දිදුළන රජිඳාන
සියක් වසක් සැරදේ ! ගුරු දෙවිඳාන
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
පටුන
සිංහල කවියේ මෙන්ම සාහිත්‍ය කරණයේ පෙරළිකාර යුගයක් අප වෙත පිදූ කෝන්ගස්දෙණියේ ආනන්ද නා හිමි , දසක පහකට ආසන්නව ප්‍රංශයේ පැරිස් නුවර වැඩ වසන්නෝය. ධම්ම චක්ක බෞද්ධ විහාරස්ථානය උන්වහන්සේ ගේ දහම් සේවාවේ අග්‍ර ඵලය යි. පසුගිය මස 22 දා මෙත් පෙරටුව, අසූ හතරවැනි උපන්දිනය සිහිපත් කෙරුණ උන්වහන්සේට දීර්ඝායු වේවා!
දේවී සුනෙත්‍රා පිරිවෙන් ඇසුර ලැබ
ගුරුකුලයකට ගුරුවූ ගරු සමිඳ ඔබ
ම හට ද පෙවු හෙයින් හෙළ බස නැතිව ලොබ
පුදනෙමි සසරෙ නවතින ඔබ දෙපා සිඹ
'වීතරාගි ' ඇය ගැන කරුණුත් සෙව්ව
සරාගී කවිත් ඉඳහිටල ම ලිව්ව
'යතා තතු දත් දනට හඬගාමින් කිව්ව'
ප්‍රේමය සුන්දරයි හිමියනි ඔබ මැව්ව
සුන්දර පැරීසියෙ කලබල නගරෙ මැද
නොතකා හිමය පැතිරූ බුදු දහම් කඳ
දහසක් ළමා සහ වැඩිහිටියනට සොඳ
එළියක් වුණිය තබනට දහමට ම බැඳ
සතර අසූ විය පත් මහ සමිඳාන
සෝම ගුණ දහම් සපිරුණු කිවිඳාන
හෙළ සාහිත ලොවේ දිදුළන රජිඳාන
සියක් වසක් සැරදේ ! ගුරු දෙවිඳාන
කවිය බලන්න
අමිතා දිවි ගමන නිම කළාය
රන් දොරෙන් පියමැන ඇවිත්
පින් බිමෙහිගී.හඬ මැවු
තවත් එක් කෝකිලාවියක
ගී අඹර වියැකුණාය
දශක අටකට ලඝු වුණත් මඟ
කලක සිට ස්වර අතර රජවී
විලක සියපත් මලක් වන් ඈ
එවිල හැර නඳුනුයනේ පිපුණී
අමර සර හා පැමිණි මාවත
සුසර හඬ නැගු බොහෝ අය හා
අවර බැසගිය නමුදු සැම හැර
කවර දාකද මතක නොමියයි
මනෝ ලෝකයේ සදා සැගවුණ
අනෝ තත් විල හංස රාණිය
සහස් වර සත් සවන් සැනසූ
ප්‍රාණයයි හඬ සත්සරේ
හිඩැස පුරවන්නට ඔබේ
තවත් නම් දිගු කල් යතේ
එතෙක් ලැබ සුලු අස්වැසිල්ලක්
යළිත් මෙහෙටම එනු මැනේ
=========================
කලාභූෂන කිවිපති
=======================
20/2/2025
කවිය බලන්න
බැහැ යළි පෙම්වතෙකු වන්න
සුසානයක මල් පිපුණට
බැහැ මල් උයනක් කියන්න
පෙති ගිලිහුණු මල් නටුවක
නැහැ මල් සුවඳක් විඳින්න
ඇය ගෙන ගිය මගෙ හදවත
බැහැ මට ආපසු ගෙනෙන්න
මං තනිකඩ වී උන්නට
බැහැ යළි පෙම්වතෙකු වන්න
ඇගෙ පිය සටහන් පමණකි
මගෙ සිත් අසපුව පිරෙන්න
ඒ සටහන් බැහැ කිසිදා
නුඹේ ඔය කඳුළින් මකන්න
තනිමංසල තනිවුණු මට
නැහැ තව වැඩි දුරක් යන්න
ඒ මහමග නුඹ තනිකර
බැහැ දවසක වෙන්ව යන්න
කැමතියි මම හැමදාමත්
නුඹේ ඇදුරිඳු වී හිඳින්න
එනමුදු ඔය කඳුළු ගඟට
ඉඩදෙනු බැහැ තව ගලන්න
අප හමුවුණු සරසවි බිම
බැරිමුත් අමතක කරන්න
නුඹ හමුවන සරසවියට
බැහැ මට හෙට පිය නගන්න
කවිය බලන්න
විමලරත්න කුමාරගම - නොපළ කවි
කුමාරගමයන් විසින් රචිත පහත සඳහන් පැදි පෙළ අප පියාණන්ගේ (උරුගමුවේ සුගුණපාල සමරසේකර) විවාහ මංගල්‍යය ආරංචි වී 1943 වසරේ දිනක ඔහු වෙත එවා ඇති ලිපියකින් උපුටාගෙන මෙසේ පල කරන්නේ කුමාරගමයන්ගේ කවියට ලැදි සහෘදයන්ගේ වින්දනය සඳහාය. (මෙහි ඇතැම් වචන මවිසින් නිවැරදිව දක්වා ඇතිදැයි සැක සහිතය.) - ඉදිරිපත් කිරීම සරත් සමරසේකර විසිනි.
නුවන් කවුළුයෙන් ලෙන්ගෙට පැන ගත්ත
රුවින් වැසී වැනසුණි ''ලොව අන් හැත්ත''
නොදැන් වුවද ඇසුවෙමි ඒ ගැන ඇත්ත
වසන්තයේ සිදුවෙනවද කට යුත්ත?
ගිම් කල නමැති තෙත නැති රකුසෙකුගෙ කටේ
හසුවී නිවන් වී තුබු තුරු හතර වටේ
ලස්සන දියුණු කර මේ දුර බැහැර රටේ
දලු දම දමා පිබිදීමෙන් එළිය වැටේ
පෙම් ලොව අබිසේක ලත් රස දත් දෙනම
වඩිතැයි කොවුල් මුළු දෙත සුරසික බණම
මේ දුර බැහැර මා පසුවෙන - හිටි වනම
අඹ මල් පිපේ ගස්වල අතු හැම තැනම
අවුරුදු දවස්වල ඇතිවෙන මහ වැස්සේ
නැකැතක් දුටුයෙ ගොස් මොන බණ පොත ඔස්සේ
බක් මාසයේ විසි එක්වෙනිදට පස්සේ
ලස්සන කොහොම ඇතිවෙද ඔබගේ හොස්සේ
අඳිනට කිසිත් නැති වුව මිසක කඩමලූ
බුදිනට පිඟානක් පමණැ'තිද කඩතොලූ
යම්යම් විටදි වූවත් දුකින දොඩමලූ
හිත ඇති අයට පෙම් ලොව හොඳම ඉඩමලූ
රුවල් නොමැති මුත් ඔරුවට තරඟ දිගේ
හබල් ගාන අත් හොඳ නම් කිමද හිඟේ
කමල් කැකුල පාවුණ ඔබෙ සෙනෙහෙ ගඟේ
සුපුල් ලිතව වගුරාවා සුවඳ ඇගේ
කවිය බලන්න
දියණියෙනි
වියැටක් වී නම්
එක්පෙති දෙපෙති ව වැවෙන්නට
වැලඳ හිඳ පොහොනි කල
කළල් තල විනිවිදිය යුතු මැයි.
එ ද
මුල් පසුර සවි තිබිය යුතු මැයි.
කැකුළක් වී නම්
පෙති දිගැ' ර යස රුවට පිපෙන්නට
වෙලී හිඳ රැකවරණ දුන්
මනිපත්‍ර ඈත් කල යුතු මැයි.
එ ද
මල් නටුව සිඳ නො ගත යුතු මැයි.
විහඟක් වී නම්
නබෝ ගැබ වපසරිය මනින්නට
කැදැල්ලෙහි උණුසුමින්
එපිට මං පෙත් සෙවිය යුතු මැයි.
එ ද
ආ හසර සිහි තිබිය යුතු මැයි.
Photo Credit; Edward Howell
කවිය බලන්න
ලන්ඩන් පොලිස් සෙබලා - 1963
ලන්ඩනයේ දී - 1963
නිල් පෑ යුතු වූ නිල ඇඳුමින් සිරුර වැසේ
මුදුනින් උළැති පියකරු තොප්පියකි හිසේ
ඇඟපත උසින් අඩි හයකට වැඩිය දිසේ
ලන්ඩන් පොලිස් සෙබලෙකු මට පෙනුනි මෙසේ
සේවය කරයි මහ ජනයා සමග ගැටී
මුහුණේ පෙනුම පිළිමයකට සමය මැටි
තද වෙයි කබා උඩුකය සම්පටිය වැටී
ඇස් දෙක උකුසු ඇස් මෙන් හැම තැනම සිටී
දක්වන බැවින් හැම දෙයටම සැලකිල්ල
නෑයෙක් වගේ සලකති මග යන ගොල්ල
මුවඟෙහි තබා සරසනු මිස හසරැල්ල
ඉන බැඳ නොමැත ගරුතර කළුවර පොල්ල
ඔබ වැන්නෙකුට මග වැරදුන විටදි ඉබේ
සේවය කුළුණු බසකින් අඩු නැතිව ලැබේ
යා යුතු නියම තැන දක්වනු පිණිස ඔබේ
ලන්ඩන් නුවර සිතියම ඔහු අතෙහි තිබේ
"මේ මඟ දිගේ ගොස් එතැනින් වමට හැරී
ඔබ යන විටදි මං කඩකින් සෙනඟ පිරී
දකුණින් පෙනෙයි යා යුතු තැන පැහැති ඉරී"
ඔහු මග ලකුණු කී හැටි හරියටම හරී
ජර මැහැලියක මාවත ළඟ සිටිනු දැක
ඔහු විත් අතට ගෙන මලු අඩු වැඩිය ටික
අල්වා ඇගේ අත වාහන දෙපස රැක
පාරෙන් එහා යනු නිතරම දැකිය හැක
මාවත පනින්නට පැටවුන් සමග සිට
තාරාවියක් කලබලයෙන් පැමිණි විට
ඔහු මග දෙපස ආ රියවැල නතර කොට
ඉඩ දුන්නේය මවටද ඒ දරුවනට
අවහිර වෙලාවල ජනයා රැඳුන නිති
හැමතැන උමං දුම්රියපොළ හෙතෙම ඇති
නැගුවොත් නලාවෙහි හඬ සේවයට ගැති
සගයෝ අවට මොහොතින් ඔහු ළඟට එතී
ලන්ඩන් පොලිස් සෙබලා මහ ජනයාගේ
මිතුරෙකු වැන්න දක්වන පිය සහයෝගේ
අස්කුරයෙන් බිඳෙන කැස්වටු බිජුවාගේ
මැරවර බලය ඔහුගේ දෙපයට පෑගේ
අපගේ බැටන් පොලු ඉහළින් වැනෙන තැන
ඔහුගේ කුළුණු ගුණ එයි ඉදිරියට පැන
එක සේවයෙහි දෙතැනක ඇති වෙනස ගැන
මට පුදුමයෙකි කවුරුද හරි කියනු මැන
කවිය බලන්න
ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි
බුදුබණ අසමින් සිත සත පායේ
කුරුපණ කම් ඇරපිය ඒ පායේ
පරපණ නැසුවොත් කවර උපායේ
අපමණ දුක් දෙයි සතර අපායේ
කවිය බලන්න
දෙමෝදරත් දැන් උමතු වෙලා
සේල පටක් සේ රූ මවලා
දුන්හිඳ හිත ළග නතර වුනා
නමුණුකුලය නව වරක් පුදා
සීතල සුළගක් සිසිල ගෙනා
ඔඩිසියේ, කැලිප්සෝ මැදිරි පුරා
පිරිස් ගලනවා හිත් උතුරා
පාලම යට පොරකන අය අතරේ
දෙමෝදරත් දැන් උමතු වෙලා
රාවණ ඇල්ලට පෙම් බැඳලා
සීතා කෝවිලේ පොල් ගහලා
ග්‍රෙගරි වැවට අද හඳ පායනවලු
මුහුණු පොතේ රූසර මවලා
කවිය බලන්න
වයස විස්සයි 20/20
මොණරියන් ගිරවියන් සැරිසරයි ඔත්තේ
සිංහයන් කුළු හරක් දුවයි උන් මත්තේ
නගිගනවා දෙපැත්තම මුරුංගා අත්තේ
ගිරවියන් මොණරියන් වහනවා ඉත්තේ
මල් පොකුරු සෙත් කවිද ගායනා මැද්දේ
දුල් නෙතට ආදරෙන් ඉඟිමරන් පැද්දේ
හිස් දිවිය වට කලොත් රත්තරන් මුද්දේ
ගිවිස ගත් ලියවිල්ල මගක් වෙයි යුද්දේ
දෙපස ආලයක් ඇති කාලයක් තිස්සේ
මැකි මැකී යන එකයි කඳුලකින් පිස්සේ
මොන මොනව පැටලුනත් ආදරේ අස්සේ
ආලෙ කල යුත්තෙ වයසින් සිතින් විස්සේ
Photo Credit ; worldtravelblogger
AnA 2025
කවිය බලන්න
මහබඹු මැවු ගැහැනිය
මවා මහබඹු ගැහැනියක්
තබා දැකුමට දෙයතක්
සැඟෙව්වා තවත් දහසක්
ඉතින් නොනැවතී ඇය
කරයි වැඩ ගොන්නක්
වැඩට යයි ගෙදර එයි
යළිත් වැඩ අරඹයි
අතිකාල දීමනා
අසනීප නිවාඩුවක්
කාන්තා දිනකවත්
ඉසිඹුවක් නොමැතිව
කරන ගරු සේවයක්
කවිය බලන්න
ප්‍රේමයේ මතකය
කිසිවක් නොකියාම
හැමදෙයම කියනා
මදෙසවත් නොබලාම
හිත තුලට එබෙනා
රස හැඟුම් මවනා
මනසින්ම දකිනා
සුන්දරම සිහිනයද
නින්දේම ගෙවෙනා
සුවඳ මල් සොයනා
බිඟු රෑන් ලෙසිනා
මනසින්ම සොයනා
නුවන් යුග වැසෙනා
ඉවෙන් මෙන් දැනෙනා
රස රහස් කියනා
ගිමන් හල ඔබ වේ
දුරින් මට පෙනෙනා
කවිය බලන්න
අක්කණ්ඩි
වලගොඩැලි නැති මඟක රතු පලස එලලා
රන්කමින් ලියකමින් තුරඟ රිය සදලා
සුදු තුරඟ අරා එන කුමරෙකුම පතලා
අක්කණ්ඩි නුඹෙ කෙසුත් ගෙදරටම පැහිලා
කටු කොහොල් පිරි මඟේ මිරිඟු දිය සොයලා
පයින් ගාටද්දි අප දෙපා කටු ඇණිලා
ගම් පියස නොපෙනෙන්න කවුළුපත් වසලා
නුඹ පැතුවෙ කුමරෙකුයි තුරඟ රිය යනෙනා
මල්සරත් මල් දුන්නෙ මල් හීය නොයොදා
මොණරකොල ගොන්නක්ම හීය තුඩ තැබුවා
හදවතද සිදුරුකර සිකිපිල්ම සොයනා
මෙවන් ලොව බිඟු වෙතිද මලට පෙම් බඳිනා
කවිය බලන්න
කොන්දොස්තරගෙ මතක
සීටීබී තනි කාලේ තාත්තගේ අතේ එල්ලී සුදු කොට ගවුමක් ඇඳලා
පාසල් ගිය කෙල්ල
කරදඬු උස් වී එද්දී තාත්තාට අත වනලා තනියම මහ පාර පැනං බසයට නැඟි කෙල්ල
කැම්පස් ගිය කාලෙ පුරා සුදු උස කොල්ලෙක් එක්කල ඒසී බසයේ කෙළවර මුකුළු කරපු කෙල්ල
එක දරුවෙක් කුසේ දරන්
තව දරුවෙක් ඇකේ රුවන්
කළු මිටි මහතෙක් එක්කලා
ගමනක් ගිය කෙල්ල
කාර් එකක් ගත්ත කාලෙ
අපෙ බස් එක ඕවටේක් කරගෙන ඉදිරියටම ගිය ලොකු නෝනෙකි කෙල්ල
දවසක් දා අතරමඟදි
මූණෙ රැලි දෙකක් දැක්කා කණ්ණාඩියෙ පරණද මගෙ මං දන්නෑ කෙල්ල
මමත් බේත් ගන්න යද්දි
ඇයත් රෝහලේ හිටියා
හැරමිටියට වාරුවෙලා
පුදුමයි මට කෙල්ල
දවස දවස දැනී නොදැනි
කාලෙ කොහොම වෙනස් වුණත්
හිනාව නම් වෙනසක් නෑ
මට හිතෙන්නේ කෙල්ල
රෝද පුටුවෙ ඇවිද්දද්දි
කණුවක රුව ඇහැ ගැටුණා
සබ්බ පාහියන් කියලා
ඔබමද ඒ කෙල්ල
2025-02-01
Photo Credit; awazo.com
කවිය බලන්න
සයුරු ඉමේ සිරිලක පෙරදිග අරිසිමලේ
සයුරු ඉමේ සිරිලක පෙරදිග අරිසිමලේ
මැදින් පෝයදා බොදු අසිරිදිලේ .......
වෙළඳ දෙබෑයන් තපස්සුභල්ලුක බුදුන් දවසේ එදා
කේශධාතු තැන්පත්කර සැදූ හරිගඩු සෑ රදුන් මෙදා
හැඩවැඩකර සුවඳ දිදී කුසුම් පහන්වැටි පුදා
අරිසිමලේ සෑය දිලේ සඳකිරණින් මැදින් පෝයදා
ගනඳුර මකා පෙරදිග කොන සාගර වෙරළේ
සඳරැස් බෙදන සඳ නිසායම සිව්දෙස වැල්ලේ
මැදින් පෝයදා අඹරට සඳ නැගෙනා වේලේ
වෙහෙර දිලේවි නැහැවී සඳ දියෙන් අරිසිමලේ
සමිඳුන් අපේ ගඟසිරිපුර හිමි ධම්මාලෝක
පෙරමුණ ගෙන වැඩ කරන්න රටවට නේක
මග ගෙවා ගිහින් දුර සැතපුම් සිය ගානක
අරිසිමලේ හැඩකෙරුවා තව සුභ මොහොතක
ලබාගෙන සහය රටවැසි ලෝවැසි මිනිසුන්ගේ
ගෙන්වාගෙන අවැසි දෑ ඈතින් දුරු මගදිගේ
කරවා වෙහෙර මළුවද නෙක අඩුපාඩු අගේ
පිදුවේ බොදු දනන්වෙත වැඳ යන්නට බුදුමගේ
හාමුදුරුවෝ වඩිනාවිට සයුරු ඉමදිගේ අරිසිමලේ
අහඹු ලෙසින් නෙත ගැටිලා වෙහෙර අරිසිමලේ
සිතට නැගී සිතුවිල්ලෙන් දෙන්නට යලි ජීවබලේ
නිමකර අඩුපාඩු දැයට පිදුවා සෑ මලුව අරිසිමලේ
සෙල්මුවා පිළිමෙ අඟල් හැටක් උසට නිමවෙලා
මුරගල් යුගලය පිවිසුමේ දෙ නවතලා
සඳකඩපහනින් හැඩ මළුවට තවත් වැඩිකලා
සැදුවේ සැලසුම් සැකසුම් සඳගිරිය බලාලා
ගිණියම් හිරු රැසින් නැහැවී වගුරා දහඩිය මුගුරු
සෑමළුවට ඇතුරුවේ මහ කඵගල් පතුරු විසිතුරු
සැමදෙන එකතුව මනුදන වීලා මිතුරු
අරිසිමලේ හැඩකල පින් මතු වේවි ඉතුරු
කවිය බලන්න
අනවරත මායාව
ඈත සිට සඳ එළිය මැලවුණු
කළු වළාවක පැටලි පැටලී
දඟකාර ලෙස උසට විහිදුණු
රුක් මුදුන් හරහා පෙරීවිත්
වැටෙන පණ ගිය කිරණ පිහිටෙන්
නුඹේ මුව පැහැදිලිව නොපෙනේ
සදා මා හද පිරී ඇවිලෙන
රශ්මි දහරා එළිය විහිදා
නුඹේ මුව මා දෙනෙත් දුටුවේ
නුඹට හොර රහසෙනුයි සොඳුරේ
නුඹට මා නොපෙනේය අඳුරේ
මාද නුඹ නොදකීය අඳුරේ
ඈත මිලිනව දිලෙන සඳ රැස්
විලස දිලිසේ මහද අරණේ
හීන් අඳුරින් මලොව වැසිලා
නුඹට මා නොපෙනෙන්න සළසා
මසිත් ගොළුකොට වියළි කරවා
සිහින් මදනළ හමා යනවා
ගස් කොළන් වැල් එකට එතෙමින්
මල් පලින් බර වෙලා හිනැහී
මදෙස බලමින් ඉඟිපාන සේ
සෙනෙහසක් හද තුළ නැඟෙන්නේ
නභෝමණඩල මිනිස් සිත තුළ
පුරා පැතිරුණ හිස් අහස වන්
සිතේ මායා ලෝකයක් වේ
නුඹද නොදකී මා ද නොදකී
කවිය බලන්න
මැදින් පොහොය
පසක් කොට ගත් සසර ගමනක
මගක් දුටු හිමි දෙසුව දහමක
යමක් සොයමින් යනෙන ගමනක
ලොවක් සනසන මිහිරි දවසක
සැරියුත් මුගලං රහතුන් පොරණේ
අගසවු අසුනක පිදුමෙන් රැඳුණේ
දෑ සව් පිහිටෙන් සඟ රුව රැකුණේ
අරහත් ධජයට පෙරමඟ සැදුණේ
කළ ආරධනය තම පුරයම දිළෙන්න
කාළු දායි සිටු ඇමතිම කරන්න
පිළිගෙන කපිල පුරවරයට වඩින්න
එහිමි පටන් ගත් බව ඇත කියන්න
මැදින් පොහොය දින වැදගත් නිසාවෙන්
දන්සැල් පුදන්නට දරුවන් ක්‍රියාවෙන්
අදිටන් කරන් පසළොස්වක නිසාවෙන්
තෝරා ගතිමි යහපත් චේතනාවෙන්
Photo credit; wilsan u
කවිය බලන්න
කැදැල්ලකින් නැගෙන සුසුම්,
කොහෙන් ආවදෝ මන්දා ගේ කුරුල්ලො ජෝඩුව
මහන්සියෙන් හදාගත්තෙ මේ සුන්දර කූඩුව
කලක් යද්දි වෙනස් වෙලා මොකක්ද අඩු පාඩුව
දිනක් දැක්කෙ නෑ දෙන්නා රණ්ඬු නොවී නෑඬුව,
බැඳි සෙනෙහස පැන ගිය වග දැන ගත්තම පෑල දොරෙන්
පසු විපරම් කර බැලුවා රැඳි රැඳි තැන උන්ට හොරෙන්
යළිත් දිනක හිරු එන විට පුරුදු පරිදි උදා ගිරෙන්
ආදරයේ චිචි බිචි නද පතුරාවිද මිහිරි සරෙන්,
ගඟක් උනත් නිසල බිමේ සසල නොවී යාද
නැවුම් බවක් දැනෙන් නැතුව අලස ගතිය වේද
රළ මවනා කඳු පලලම් අතර වාද බෙිද
තුරල් වෙලා යළිත් සුපෙම් වසන්තයක් ඒද,
කවිය බලන්න
ගැහැණු
ඉවසපං උඹ ගෑනියෙක් කිවට
කවුරුත් හිතුවෙනෑ
උඹ මනුස්සයෙක් මොහොතකට
ඉපදෙද්දි ඔක්කොම උන් ඇඬුවට
ගෑනියෙක් ඇඬුව හැමදාම
උඹල නොදැක්කට
අවුරුද්ද දෙක වෙද්දි කන් විද්දට
මාසෙ ගානෙත් උන් ඇඩුව
ගැනියෙක් උන හින්දම
ඊටත් පස්සෙ උං බැන්දම
දහමාසයක් අඬනව
දරාගෙන උඹේ පොඩ්ඩව
පොඩි එකා ලෝකෙට ආවම
ඒකටත් අඬනව
සතුට වැඩි හන්දම
පොඩි එකා ලොකු කරන්නට දත කද්දිම
එක එක ඒවට අඬනව
මවු සෙනෙහස හන්දම
දස වේදනා එක්ක බැරි වෙද්දිම
හිතෙන් අඬනව
අවසඟ අත පය තව තව
අනේ ඉතින් පණ යද්දිම
ඒත් අඬනව
මං නැතුව පුලුවන් වෙයිද හිත හිත.
කවිය බලන්න
සිහිනෙකි මටත් අඩ නින්දෙන් ඇහැරිච්ච
හිරිකඩ වැදී ගත දුහුලින් නැහැවිච්ච
කෙහෙරැළි දිලෙයි එහෙ මෙහෙ අත විහිදිච්ච
සල් මල් සැලෙයි සියොළඟ පත් ගැලවිච්ච
කට්රොල් තුනුව්ලේ හොඳ හැටි පීදිච්ච !
නෙත් ගැටි විගස ඇස් ගිනිදැල් දැල්වෙච්ච
පන්දම දැවෙයි ඒ ගින්නට අහුවෙච්ච
ගොලු වූ හදකි හුස්මත් මගෙ හිරවෙච්ච
සිහිනෙකි මටත් අඩ නින්දෙන් ඇහැරිච්ච !!
Photo credit; ~ Илья Мельниченко
කවිය බලන්න
දෙපස බලමි
හැරී ඇත ඉර අවරට
රාත්‍රිය පේන මානේ
සෞම්‍ය සඳකිරණ නැහැවෙන
රාත්‍රිය වේ ද මනරම්
ගලා රන් කෙඳි රිකිලි පීරා
කැකුළු අග පිනි කඳුුළු පිස දා
උදාවුණ හිරු දැන් වියරුයි
මේ වෙහෙස කෙලෙස ඉවසම්
අනන්තය ලඟ අඹර
පාට සළු ඇඳ හැඩ වී
වනන්නේ අත කාට ද
නිශා කුමරිගෙ යහනට
හිඳින්නීී ඇය නිදිි වරා
වැළඳ ගන්න ද
ආඳරෙන් හිස අත ගා
30-11-23
Photo Credit; Ryan Hoffman
කවිය බලන්න
මතක බණවර අහවරයි
මතක බණවර අහවරයි
මතකයම තවමත් නුඹ ළගයි
මේ භවය දැන් බෝ දුක්බරයි
යළි හමුවෙතැයි හදවත කියයි
හමුවුණොත් අපි හැදින ගන්නට
හැකිද අම්මේ මට සිතෙයි
කටුක දිවි මග සුමට කෙරුමට
නුඹ හෙළු දහඩිය පොදී
මතින් පිබිදෙන විටදි පොඩි ගස්
නොදැක ඒ හැඩ නුඹ නිදී
ගංගොඩේ දුව පැනපු මතකය
එල්ලිලා නුඹෙ ඇඟිල්ලේ
මිහිඳුමක් සේ ගලාවිත්
බණ අහද්දිත් හිත ඉගිල්ලේ
නිවන බෝ දුර නොවේවායයි
අවසනේ පැතුවත් හදින්
ගමන තුල යළි හමුනොවේයැයි
නොසිතමී අප කිසි ලෙසින්
යළිත් දවසක හමුව පෙර සේ
සසර මග මව් පුතු පෙමින්
අම්මෙ කිය කිය ඇවිද එන්නම්
සිඹිනවද මගෙ හිස සෙමින්
කවිය බලන්න
(උන්) හට සැප සිරි සෙත සදනා
ඔබවේ අප විද්‍යා
මරනවා මැරෙනවා
මරවනවා
ඔබමය අප සත්‍යා
වලලනවා වැලලෙනවා
වැලලිලාමයනවා
ඔබ අප ජීවනවේ
හංගනවා හැංගෙනවා
හැංගිලාමයනවා
අප මුක්තිය ඔබවේ
ගලවනවා ගැලවෙනවා
ගැලවිලාමයනවා
නමෝ නමෝ .....
කවිය බලන්න
නුබ කවුද …
නොකියවු කතන්දර සිත් රූ සිතුවම්ද
නොපෙනෙන මාන දුර පෙන්වන චායාද
ඉන්ද්‍ර චාප වෙස් පූදින සේයාද
හැංගි හොරා සිත කලබන නුබ කවුද
එන හැම සුලන් රැල්ලට විසි වී දුවන
තව මොහොතකින් අමුතුම මුහුණක් සදන
සායම් පෙට්ටියේ හැම පාටම උලන
සුමිතුර නුබ කවුද සකුනට පෙම් බදින
ලෝදිය පලිගු වැනි හිරුගේ රැස් දහර
සිසිලස් ගගේ ඔබ්බන සොමි සද පහර
එකිනෙක පොර බදින පොපියන තරු පොකුර
යහන් තනන්නේ නුබ කුමටද සොදුර
Photo Credit; Szabo Viktor
කවිය බලන්න
බුදු වීම
අහස හඬන කඳුළු ද එක්කොට සඟවා
නිසලව හිඳී අටලෝ දම් ගුණ හඳුනා
කරුණා ගුණය නිම් තෙර පරදා දුවනා
නුඹේ රුව දැකීමේන් කාගෙත් සිත නිවුණා
මහ දිය ගැබේ හොවමින් මහ බර ඉසිලූ
රොන්මඩ දරාගෙන නිසලව දුක සැතපූ
එක් කුණු පිඬක් වත් නොගැටී පත් වදපු
හිමි විය යුතුයි "පුදසුන" ලඟ බුදු සමිඳු
බර වුණ අතු වලින් මල් රොන් කඩාගෙන
නෙක නෙක සුවඳ තෝරාගෙන දොවාගෙන
ඉපදෙන කැකුළු හිස මත ඉස වඩාගෙන
ලොවටම සුවඳ බෙදුවා පින් ලබාගෙන
තොටියනි නුඹට ගෙන යන්නට ඕලු නෙළුම්
තැන තැන ඉපිද හිනහී බෙදනවා කැළුම්
කුමටද තවත් බලමින් පස් මහා බැලුම්
"අරගෙන යන්න" මුමුණයි ඇය නොදී බැනුම්
රූපත් සුවඳ මල් ඉහළම තැන හිඳුවා
සතුටින් නිවෙනවා, එය දැක ඇය හැඬුවා
ඈතින් ඉඳන් සැමදාකම සෙත් පැතුවා
දරුවන් උපන් දා ඇය බුදු බව ලැබුවා
කවිය බලන්න
හුලං වලට ගෙවන ගණං ...!
කව්ද හිතුවෙ "හුලං" වලට
ගෙවන්නටත් වෙයි කියලා...
මව්ද පල්ල මේ කියන්නෙ
බිය සැක පැත්තක තියලා...
පව්ද නැද්ද කරන අයට?
කියන්න, ගොතලා වියලා...
බව්ද , ඤාව්වොද පලිනෑ,
එම නම් මගහැර ලියලා...
කලක පටන් ටියුබ් වලින්
අප ගන්නා ක්‍රීම් එහෙම...
මලක වගේ පෙනුමෙන් යුතු
වුවත් ඇතුල හිස්නෙ බොහොම...
වලක පිරුන හුලං වගේ,
මිරිකුවාම සද්දෙ ගැහුම...
මෙ ලක අයගෙ වැඩ නෙවදෝ,
තකනවාද ඇහෙන දහම...
දත් බෙහෙත්ද, මූණෙ ගාන
ආලේපන නොයෙක් ජාති...
කිත් පැසසුම් සහිත නාම
වලින් පුරාජේරු පාති...
පත් වන්නේ දුකට අහෝ,
පාරිබෝගිකයො අඬාති...
සත්තකින්ම හූරාකන වැඩේ
කැතයි, පව් ගෙවාති...
මිල අධිකයි සෑම දේම,
අමාරුවෙන් හොයන සල්ලි...
ඇල දොලකට දැම්ම වගෙයි,
ගසා කනව යවා පිල්ලි...
සැලකිය යුතු කරුණු මේව ,
ඇල්ලිය යුතු නේද ජල්ලි...
කළ කම් හොඳ නරක ලෙසින්
එයි පසුපස නංගි, මල්ලි...
කවිය බලන්න
ඩෙංගු මදුරුවෙක් කතා කරයි
බීල අප හට පුරුද්දක් නැහැ කිසිම දවසක මල් පැණී
ආස ලේ බිඳු වලට පමණයි ඊට උපතින් පත් වුණී
බෝම කල් තව ඉඳිමි අවටින් කොතෙක් ආවත් දුක් ගිනී
ජාතියට අපෙ වාසනාවන් පිනට මෙන් වැහි වැස්සුණී
ලොවම හෙල්ලූ ත්‍රස්ත බල මුළු මුලින් සිඳ බිඳ දැමු හැටී
කියනු ඇසුණා හොඳින් රස කර කමක් නෑ එය හරි වටී
ඒව බෑ මේ අපිත් සමඟින් බලමුදෝ උරෙ'නුර ගැටී
කන්න වෙන්නේ පොළොවෙ පස්මයි සතර ගාතෙන් ඇද වැටී
දඟර හදලා ගසාලා දුම් අපව වට්ටන්නට සැදූ
අයුරු සිහි වෙයි පලක් වූවද කාසි මල්ලට ඔබ පිදූ
වටේ දැල් ඇද නිදන්නට විය එයින් ලැබු සැනසුම හුදූ
තාවකාලික එකක් වූ බව නොදැනුණිද සිහිනයෙනුදූ
රූප පෙට්ටිය ගුවන් විදුලිය වෙතට යොමු කළ විට සිත
වාසනාවන් අපේ ගැනමයි ඇසෙන්නේ ඉන් සැක නැත
බෝම පුංචියි නමුත් ඉහළයි වැඩ අතින් සහ වත ගොත
මේ කපේ පවතින තුරාවට රැහේ නම පවතිනු ඇත
මහා සාගර වගේ ජල කඳ ඇවැසි නැහැ අපෙ දිවියට
කුඩා කොළයක වතුර බිඳුවත් ගෙනෙයි සැනසුම පදමට
නිවාසය වෙත එළිය ගෙනෙනා මල් බඳුන් තුළ කදිමට
අපේ පරපුර තනා ගත හැකි පුදමි තුති දෙන සහයට
කෑම මේසයෙ කකුල් සතරට යටින් තැබු, ලෙස උඩුකුරූ
කූඹි උගුලක රැඳෙන දිය පොද සොයා එන්නෙමි නිරතුරූ
මේ වෙලාවේ යමක් කියනෙමි ඔබේ ගති ගුණ ගැන ගරූ
ඒව අප හට ලබා දෙන්නේ නොවිමසාමයි සුමිතුරූ
කෑව කෑවා කියා දෙස් දෙයි ඔඩොක්කුවෙ නයි දා ගෙන
කාගෙ වරදද සොයා බැලුවොත් කඳුළු බිඳු එයි දෑසින
දෑත වැනුවොත් තවත් අප හට තෑගි ලෙස ඩෙංගූ උණ
බෝම සතුටින් අරන් එන්නම් රසය හා ගුණ වෑහෙන
කවිය බලන්න
"ඉතිරි යාතිකා"
FEMININE
############
මෙහෙණියකගේ සිත තුළ..
කහ පැහැයෙ පින.
මැරුණියකගේ හදවතෙ ..
සුදු පැහැයෙ පණ
ගැබිනියකගේ කුස හොත්..
කිරි සුවඳ ගැන.
කිවිඳියකගේ පන්හිඳකට
කවනු මැන.
************************************
බිලිඳියකගේ මොලකැටියෙහි...
සිනිඳු පෙණ.
දුවනියකගේ සුරතලයට..
පෙරළමින.
යුවතියකගේ මංගල ..
පෝරුවට ගෙන.
පතිනියකගේ කුලගෙය තුළ..
තබනු මැන.
*******-******************************
සොබනියකගේ සියුමැලි ..
කැටයමක කැන
ලලනියකගේ සිනහව තුළ ..
ඔකඳ වෙන.
බොළඳියකගේ මල් මල්..
හීනයක තැන .
දියණියකගේ ලෝකය තුළ..
ඉසිනු මැන
*************************************
බගිනියකගේ සෙනෙහින්..
ලොව හැඳින දැන.
මෑණියකගේ ආදරයෙන් ..
පොරවගෙන.
මිතනියකගේ දැනමිතිකම්...
පිරුනු මන.
ගැහැනියකගේ ජීවිතයේ..
රැඳෙනු මැන.
**********************************
රැජිනියකගේ තෙදවත් බව..
බෙදන අණ.
යකිනියකගේ රුදු යක්..
වෙස් කරන විණ.
මරණිය තිගේ බිහිසුනු ..
බව සමග හෙණ.
තරුණියකගේ රැකුමට..
මෙහි එවනු මැන.
*-**-**-****************************
උවැසියකගේ පින්වත් ..
හදවතින් දෙන.
දෙව්ලියකගේ දිවසුරු ..
සම්පතින් ගැණ.
තෙරණිය කගේ විදසුන්..
බල වැඩුම් ගෙන.
යදිනියකගේ කුස ගින්දර ..
නිවනු මැන.
********-**********-*****************
වෛද්‍ය නිලදාරි .
බන්ධනාගාර වෛද්‍ය ඒකකය
බදුල්ල
2025.02.23.
Photo Credit;Sithuvili Vimana
කවිය බලන්න
කෝ ආනන්ද නාහිමි ට උපන්දින ආසිරි...
දේවී සුනෙත්‍රා පිරිවෙන් ඇසුර ලැබ
ගුරුකුලයකට ගුරුවූ ගරු සමිඳ ඔබ
ම හට ද පෙවු හෙයින් හෙළ බස නැතිව ලොබ
පුදනෙමි සසරෙ නවතින ඔබ දෙපා සිඹ
'වීතරාගි ' ඇය ගැන කරුණුත් සෙව්ව
සරාගී කවිත් ඉඳහිටල ම ලිව්ව
'යතා තතු දත් දනට හඬගාමින් කිව්ව'
ප්‍රේමය සුන්දරයි හිමියනි ඔබ මැව්ව
සුන්දර පැරීසියෙ කලබල නගරෙ මැද
නොතකා හිමය පැතිරූ බුදු දහම් කඳ
දහසක් ළමා සහ වැඩිහිටියනට සොඳ
එළියක් වුණිය තබනට දහමට ම බැඳ
සතර අසූ විය පත් මහ සමිඳාන
සෝම ගුණ දහම් සපිරුණු කිවිඳාන
හෙළ සාහිත ලොවේ දිදුළන රජිඳාන
සියක් වසක් සැරදේ ! ගුරු දෙවිඳාන
කවිය බලන්න
අගක් මුල නෑ මෙරක් උසටම,,,
හුඟක් හඬ මැද රළක්
නැඟුනෙම
බිඳක් හෝ
ආදරේ අරගෙන,,,
මඳක් දුරකින් ඇවිත්
හෙමිහිට
හාදු දුන්නා
දැනෙණ තරමට,,,
මෙදත් තෙරපී සිඳුණු
පපුතුර
දොවා ගත්තා
පෑව සෙනෙහස,,,
වඳන් අතරෙම සිම්ඹ
ළය මත
අදත් පිපුණා
පින්න හොදටම,,,
රුවක් නොදුටුව වින්ද
සෙනෙහස
අගක් මුල නෑ
මෙරක් උසටම,,,
කවිය බලන්න
මගේ පුතුට....
දුර බව දැන ගෙන ගඟන මුදුනත
හිනැහෙන්න නුඹ දන්නවා...
රිදෙන බව දැනගෙන බොරළු මත
ඇවිදින්න නුඹ දන්නවා....
ඔය සියුමැලි සිත රිදෙනවා...
ඇත්තමයි මම දන්නවා....
සමනල කඳු මුදුන මත
සමනලුන් විඩා නිවනවා....
මගේ පුතේ නුඹ එයත් දන්නවා...
උකුල මත යහන ඉඩ මදී
පුතු ලොකු වෙලා දැනෙනවා....
වියළි දෙතන රැලි වැටී
ස්නේහය ඉතිරි වෙලා...ඒත් රිදෙනවා...
මගේ පුතේ නුඹ ලොකු වෙලා දැනෙනවා....
හෙවනැල්ල උනත් විටකදි
අප හැර දමා යනවා....
අඳුරු උනත් වලා මැදකදී
එළියක් රැදෙනවා....
මගේ පුතේ තනියට මං ඉන්නවා.......
කවිය බලන්න
Musical chairs
Men and women
Young and old
Dancing around chairs
to catch one
No body minds the steps
No body minds the rhythm
Just keeping an eye
on a chair
Music stops for a second
Those who are quick
And alert
Get one
Music begins
Every one dances around
Until the next break
(Vicious cycle) continues,
Those who are too eager
Miss the chair sometimes
Aren't we all
Mere dancers?
Dancing around a chair
Just waiting for the
break
Can we do it
to the eternity?
Don't we lose
The joy of dancing
And the rhythm
because of our
focusing on the chair
Enjoy the dance
Enjoy the rhythm
Listen,see,feel and Dance
Before the music is over
My dear
Photo Credit; Marisa Howenstine
කවිය බලන්න
ඩොපැමින්
පුංචි කලු පාට අකුරු වැලක
සැඟව සපැමිණි
මන්දස්මිතියකි
ඩොපැමින්
කහ ගැහුණ පත්තිරුවක
කතාවක සැඟවී රහසේ
මදහසක් නැන්වූ
ඩොපැමින්
මිහිරිතම කවි පෙළක
සුමියුරුම තනුවක්ව
මිණි කිකිණි සුරල් නැන්වූ
ඩොපැමින්
අකුරක කතාවක කවි පෙළක
මට නොපෙනී කෙලෙස සැඟවුණිද?
මගෙ සතුටු හෝමෝනය
ඩොපැමින්
08/02/25
කවිය බලන්න
මං ආසයි පියාඹන්න.!
මං ආසයි පියාඹන්න.!
...........................
මාව හොඳින් බලා ගත්තු
අම්ම වගේ ලඟින් හිටපු
චූටි අක්කි මෙහෙ නෑ දැන්
එයා ගිහින් ඉගිල්ලිලා.
උදේ හවා සෙල්ලම් බත්
උය උය මට කවාපු හැටි
"කන්න ඕනි තව චුට්ටක්"
සැර කර කර කර කවාපු හැටි
දවසට තුන් හතර විඩක්
බීම ජාති පොවාපු හැටි !
සිහිවෙන කොට හරිම දුකයි
ඉවසන්නම බෑ මට නම් !
අඬන්නෙපා හොඳ බබානෙ!
මට හරියට වැඩ තියෙනව
දොයියන්නකො දැන් චුට්ටක්
නැලවිලි ගීයක් කිය කිය
නැලෙව්ව හැටි මට මතකයි !
අනික් පුංචි යාළුවො මැද
අක්කි ගෙ උකුලට පැනලා
රැජිනක් වගෙ මං හිටි හැටි
හීනෙන් පේනවා තාමත් !
"අක්කිල එනකල් ආපහු
දෝණියෙ! යං අපේ ගෙදර"
එයා මාව එක්ක ආව!
අක්කට ඒ කාලෙ කියපු
කතා එයා කියල දෙනව
නැළවිලි ගීයක් කියලා
එයා ලඟම නිදි කරනව
ඒ වුනාට අනේ !අක්කි
මට පාළුයි ඔයා නැතිව
අත්තම්මට කියල මාව
ඔයා ලඟට ගෙන්න ගන්න!
මං ආසයි !ඔයා වගේ
නිල් අහසේ පියාඹන්න.!
කවිය බලන්න
සමනල සඳෙස -22
දත යුතු කරුණු ගොමුව - 20
ඇත් රජ - සද්ධන්ත
400. හිත්-පිත් නැති මත් ධනය-බලයගෙන
කරන නොහොඹිනාකම් රොද්දේ
නෙත් රවටන්නට “නොහොඹි අසූචිය”
ගෑවුණු ගත් වැසු සුදු රෙද්දේ
සත් ගුණවත්කම ඉහට උඩින්ගෙන
උඩඟුකමින් ගැමි දන මැද්දේ
වත් පෙන්වන්නට සුදු හුණු ගාගෙන
සිටියත් ගඳ මැකුණෙ ද සුද්දේ
401. තවත් කතාවක් මතක ද නුඹටත්
සද්ධන්තයෙකුගෙ නමට අගින්
මුලක් - අගක් නැති කතාවකට උහු
හැදින්නුවේ නම් කිහිපයකින්
තරුණ කාලෙ උගෙ මතක් වෙන්න ඇති
ඌව බලපු අලිරාළට දොන්
නූඹට අමතක ද කීව කතා දන
මග-තොට යනකොට දැක සමයන්
402. ඒ සද්ධන්තය මග ඇවිදිනකොට
කළුගල් පර්වතයක් වාගෙයි
හැරුණත් - බැලුවත් ප්‍රාණ බයට දන
දුවයි හැරුණු අත දෙපා ණයයි
මේ අලියත් නොමනා රතිකම් ඇති
වල් අලියකු සේ සිටිය බවයි
උත්තම විලසින් පාරෙ ගියත් උහු
මිනිසුන් පිළිකෙව් කළ ගානයි
403. වයස පෙණුන මුත් තවමත් තරුණයි
සිතා හිටියෙ දෝ උහු එහෙමයි
එ වන් පිරිස් අප අතරෙත් ඇති නොවැ
උහු ගැන විතරක් නුඹට කිමැයි
කියන්න දන්නෑ උගේ “ගෙම්බර” දැක
අපෙවුන් උහුගෙන් උගෙන ඇතැයි
සිතෙනව එහෙමත් මගේ සිතට
සමනල පවසන් ඒ එසේ වි දැයි
404. අසව් - අසව් නුඹ මේ පර්වතයගෙ
විස්තර හැකි නම් මතක තියා
කරව්- කරව් ඒ ලෙසට ම එනමුදු
කියන විලස රග දැක්මෙ කියා
බලව් - බලව් තව කිසිවකු කිසිවිට
වෙනසක් ඇති ලෙස කිරිය සොයා
නගව් - නගව් පැන නුඹෙ සිතටත් එන
සවිස්තරය කවි කරන නියා
405. අලි කතාවකට හින්ද ම මුල අලි
අලි ඇතුනුත් ගැන කියැවෙනවා
අලි කොටුකර කළ වෙළදාමක් අලි
අලි කළබලයට මුල දෙනවා
අලි ගැන හිත පිරි දුකට උපන් අලි
අලියන් රට විකුණා කනවා
අලියකු හින්ද ම කතාවකුත් අලි
අලි සමනල රස කර දෙනවා
සමනලයා දුටු ගම්මනයා
ගම්මනයා - බෙලිගම්මනයා 26
406. “එනෝ - එනෝ...ඔය ඔන්න එනෝ
බෙලිගම්මනයා...එනෝ... එනෝ
බෙලිගම්මනයා...- බෙලිගම්මනයා
බෙලිගම්මනයා...- ඔන්න එනෝ...
407. උහු නම්බුවකට ගනු බැහැ නැන්දේ
අයියෝ කොයි වේලෙ ද වින කටින්නෙ
දන්නේ නෑ... - දන්නෑ මගෙ දෙයියෝ
දැන් කවුරුත් අයිනකට වෙයල්ලා
බුදු අම්මේ ඔය කෙල්ල ගනිල්ලා
නැතිනම් ඒකිත් පාරෙ ගොහිං විගැහිං
හරි විලම්බීතයක් සිදුවෙයි නුඹ දැනගං
408. දන්නැති ව ද බෙලිගම්මනයගෙ හැටි
තරමෙ විස්තරේ - හරඹ කරන හැටි
පේනවනේ-පේනවනේ දාංගලේ හැටි
ඔන්න බලාපං ඒ කරුමෙත් හැටි
409. මේන් බලාපන් පිප්පිල එන හැටි
මගෙත් මයිල ගස් කෙළින් වෙලා
හිනහත් යනවා මේ වෙන විගඩම
බලා ඉදල මට එපා වෙලා
හිනා වෙලා මගෙ පණත් ගියා බොල
රට දෙවනත් කළ අලිකද දැක්කම
පොඩිවුන්හට දෙයියන්නෙ ම පිහිටයි
කියල හිතෙනවා මටත් බොලං දැං
පපුව පිළිස්සෙනවා වගේ
සද්ධන්ත එකා දැකලා අගේ
410. වහුං වෙයල්ලා කොළයට - පැලයට
කෙළින් බලන්නට බැරිවුන් ඇත්නම්
අම්මප නැන්දේ බලපං අලියගෙ
අලි ඇග විතරක් උසට - උසේ යන
කළුගල් පර්වතයක් යන ගානයි...”
411. මේ අලියා නම් ලකට ම කව්තුක
වස්තුවකුත් වෙනවා එය සත්තය
හරි ගෞරවයක් උහුටත් ඇත්තේ
අනේ අම්මපා... - දෙයියම්පා පල්
දළය වුණා නම් කොහිදැයි ඉන්නේ
412. උගුරත් පාදා - වටපිට බලලා
අබිලිස් ආතා - අලියා දැකලා
පබිලිස් අයියට - මෙහෙම කියාපී...
“කණයා පණ්ඩිතයා වූ සේ මා
කණයා පණ්ඩිතයා වූ සේ මා...
413. මේ අලියත් හරි මහලුයි නොවැ දැන්
හොද ගණනට වයසත් ඇති නොවැ බං
බලන්ට තිබුණේ මුගෙ වැඩ ඉස්සර
හරි නරුමය මගෙ කරුමෙට මූ නම්...
414. බෙලිගම්මනයා නම ගිය අලියා
එතරම් උස - මහතින් ඇග බලයා
වලව්වක ලු සිටියේ සුරතලයා
උගෙ ගෙම්බර සුපතල විය ලකෙයා
415. අයිතිකාරයත් ඒ වගේ ම බල
අලි සුරතල් කර රටවල මිල කළ
අලි කතාවකට ඇති කළ කළබල
“දියව් මටත් විට!” කී ඔහු සුලමුල
(මතු සම්බන්ධයි)
2025.03.01
කවිය බලන්න
සෙල් කවි
කුරවීක හෑල්ල
හිම පියසක වැසි වැටෙනා ළයෙහී
වන මැද නිරකුරුව ම වෙසෙමී
තිම පිනි එළලා මිහි පස පෙඟිලා
තුරු වැල් පීදුණු වන සරමී
විම - නෙක සිරියයි හිමවත සෑදෙන
මෙ ළයේ නිදහස නිති විඳිමී
නිම නොවනා රස පලවැල බුදිමින්
හ`ඩ ගා සතුට ද සැමට දෙමී
අඹතුරු අතරින්-පතර ඉදී ඇති
අඹ මී අහරක් ලෙස ගනිමී
අඹතලයේ හිරු දෙනෙත් අරින විට
මම ද තටු ගසා අවදි වෙමී
රඹ කැණ් ලෙස දිදුලන මී පිරි අඹ
පලවල නෙක රස මම සොයමී
බඹ-මහ මැව්වාදැයි මම නොදනිමි
රස පිරි මී අඹ බැව් දනිමී
කුස පිරි සතුටින නාද කරමි මම
තැන-තැන වන සතුනට ගයමී
ඇස-මුව-දෙසවන් අයා අසති
සියොතුන්-මුව-ගව-සූකර-නරි-මී
රැස උන්මත්තක වූවන් සේ මගෙ
මිහිරි නදට වෙසෙසින් මත් වී
වෙස රජයයි නිසසල ව සිටිනවුන්
අසන විට දි හද තැන්පත් වී
ඉමිහිරි නද මිස කෙඳිරිලි හ`ඩ නැති
පැහැදිලි නාද රටා ගත්තේ
සුමිහිරි නද පිරිසුදු ව ම දෙසවන්
වෙතට හඹාවිත් මන ගත්තේ
වෙණ සරි තත් බිඳ සරෙන්-සරට වන්
ගී සිරියෙන් උන් හද ගත්තේ
සුසර-විසිර නොවි අවිසරි ගුණයෙන්
නිනද ව ගම්බිර බව ගත්තේ
මගෙ නද පිළිබඳ ඇසුවෝ පෙර කල
සිටියෝ දම් සෝ රජු සෙවනේ
“වගෙ කවුරුන් හෝ ඇති ද ස්වාමිනි”
ඇසුවේ රජුගෙන්, දේවිය නේ
ඇගෙ පැනයට පිළිතුර ලෙස කිව්වේ
“භගවත් සම්බුදුගේ” නම නේ
“අගෙකොට මගෙ හඬ දෙවැනි ම වන්නේ
බුදුන්ගෙ හඬට ම විතරයි නේ”
අම මී රසින් තෙපුලා මත් කළ දෙසවන්
ඉම ගායනා අසනට දිව ආ ගෝනුන්
රම මද කිකිණි නොසලා ඇසුවයි සියොතුන්
කිම රළ මීන නොපිහිනා සිටියේ සතුටින්
පැනැ-පැනැ අතුපතර මුමුණන මහද රටා
සැනැහෙනැ සඳ තුරුවැල් සෙලවෙමින් නටා
තැනැ-තැනැ ගුමු නදින් මුමුණා ගොමුව වටා
දැනැ-දැනැ සොයයි කියමින් මල් ළ`දුන් මටා
වනයක සිරිය සරසන්නේ වට
වනපති ඈ වන සතුන් පමණි ද
නෙක-නෙක නාද අතර ඇසෙන
දියවැල්-ඇළි බැඳි දිවි පමණි ද
මගෙ හෑල්ල රජයන මුත් වන
සියොත් කැළ කැරුම් පමණි ද
මේ හැමගෙ ම ඝෝරනාඩු දැක
මිහිළිය සැනැසෙන්නෙ ද
ගැයුමට මිහිරි පද අමුණා රස කරමී
මිහිරට රස උපද්දා නිරතුරු ගයමී
කා හට ගති වෙමි ද උස් තැන මම හි`දිමී
නුහුරට වඩා උරුමෙට මම ගරු කරමී!
***
කවිය බලන්න
නොලියු කවිය
කලකින් නොලීමි කවියක්
ලිවිය යුතුය අද කවියක්
හිඳගනිමි මේසය අස
සුදුම සුදු කඩදාසියකි එහි
කවුළුවෙන් පිටත දිසෙන
හරිත වනපෙත මැදින්
නැඟෙන සුදු දුමාරයකි
සෙමින් සුළඟේ පාවී
ගුවන වෙත නැඟෙන
කුඩා කඳු ගැටයක මුදුනේ
දාගැබකි, අතු පතර අතරේ
සේපාලිකා මල් සුවඳක්
දුරක සිට මතකයට පිවිසේ
බාල කල දිය කෙළිය ගං හෝ
තවම ඇති වන පෙතෙහි සැංගි
ඒ දඬු පාලමෙන් එතෙරට
යා යුතුය, අද පාලම, එදවස
කවුරුන්දෝ පැමිණි බව අඟවමින්
දොර දෙසින් නැගෙයි කිසි හඬක්
අනාරාධිතවම පැමිණි කෙනෙකි ඒ
කවිය තව දවසකට කල් තැබේ..
2025.02.11
Photo Credit : jvangysel | Flickr
කවිය බලන්න
සතු නොවන සොබාවය
පාලනය කළ හැකි
වසඟයේ තබා ගත හැකි
තමන් සතු කළ හැකි
ඇතිද යම් කිසිවක්
නැත නැත නැත නැත
එයයි අරුත සොබා දහමේ
නිරන්තර වෙනස්වන
ක්‍රියාවලියක් තුළ
නොහැක දැකිය හැක ස්ථිර දෙයක්
නොහැක දැකිය හැක සතු වු දෙයක්
එයයි අරුත සොබා දහමේ
මුලාවට පත් වූ
සිත් තුළ මෝඩ සහගත
අනුවණ රජකරයි
අධිපති කම් කරයි
වැරදි සහගත
නියත බව අදහන
මෝඩ සිතුවිළි තුළ
සිත වැරදි සංඥා
උපදවයි නිරන්තර
මතුකරන් සිහි නුවණ
යථාවත් සොබාවය
අත් දකින්නට අත් විදින්නට
වැඩිය යුතු නිරන්තර
දෙය තමයි වීර්යය
වින්ඩ්සර්, කැනඩාව
කවිය බලන්න
ආදරය***
මවගෙ මතක තුල හිදිමී
අතැර ගියත් හිත රඳමී
ඇයගෙ නමට කවි ගොතමී
ආදරෙ බව මම දනිමී
සොයුරු සොයුරි හා බැදෙමී
සුහඳත්වය පල කරමී
ලංව පවුළ හා හිඳිමී
ආදරෙ බිජු එහි සදමී
ගහේ වැලේ සුව විඳිමී
ඇලේ දොලේ මම ගිළෙමී
මලේ සුවඳ ගෙන සිඹිමී
සොබා දමට පෙම් කරමී
සතුන් සමඟ ගත කරමී
සුරතල් කර තුට ගනිමී
දයා ගුණෙන් මම බැදෙමී
උන්ට සෙනේ දම පුදමී
මිතුරු කමට ගරු කරමී
නොමනා අය අත් හරිමී
පනිහිඳ මා අත රඳමී
කවිය සමඟ පෙම් බඳිමී
කවිය බලන්න
අග්නි
____
කදුරු ගෙඩියක් වැටී වතුරෙ පාවුණු හැටී
ගහත් නෑ දියත් නෑ පොළොව රත් පැහැය වී
පඳුරු ගස් පිරුණු කඳු ගිනි තියා අඳුරු වී
ගස් කඳන් මොරටුවට යන්න ලොරිවල නගී
වැහි ගේන වළාකුළු ඇබිත්තක් කෝ? අනේ
බඩ පොත්ත හැකිලිලා මිරිඟුවට කටු ඇහේ
වෙන ද ඇති හාදකම් මග හැරී සතුරු වේ
ආයෙ තව ගින්නකට පරිසරය දරුණු වේ
තියුණු ආයුධ වගේ කැපෙන සිතිවිලි නැගේ
පිපුණු කුසුමක අගේ සොයනු බැරි වී තියේ
බැඳුණු ආදර හුයේ ලිහෙන පැත්තට හැරේ
ඔලුව රත් කරන ගිනි ගෙදර මැද සාලයේ
කවිය බලන්න
මුදු බඳ
මුදු මදනල සිප එන සුදු මුදු කිතිය
හද විල මත කලතයි මන දොළ රිසින
සුදු මුදු අතක රැඳි දැඩි බව විදින
සුර අඟනක් සුව විඳි ආදර පවස
විඳ සැනසුණු පපුවක පිරි රුදු බවින
කොඳ මල් කිනිති පිබිදිණි අවාරෙක
ලද මුදු උණුහුමක විඳි පවසක සිහිල
විඳි පසු කුමට තුත්තිරි ගෑවුණු වටොර
ගිනි ගත් විටක ඉඟ සුඟ ගත හැකි මිටින
රලු අතැඟිලි ඇත සුර ලොව මවන
ඉඩ ලද විටෙක විඳි සුව ගැන වස් දොඩන
මුව රද කමල පිපි හසඟන සුර ලොවක
කවිය බලන්න
කුරුල්ලනේ………
කිචි බිචි කුරුළු කූජන ඇති වැට මානේ
සතුටින් පිරුන පැන යන කුරුලන් රෑනේ
හඬ මා අවදි කරවයි සිටි නිදි යහනේ
සුන්දර දසුනක්ය සැමදා නෙත ගැටුනේ
අහුලන් කන කෑම අපේ තණකොළ බිස්සේ
උදයේ අටට වැටෙනවා වැට කොන අස්සේ
වට පිට බලබලා ඉගිලී බිම බැස්සේ
මට කියනවද ඇයි මා දුටුවම ගැස්සේ
නවසීලන්තය
26 පෙබරවාරි 2025
කවිය බලන්න
Celebrating Women’s Day
By Lumbini Vithana - London
With strength and grace, they rise each year,
Breaking barriers, conquering fear.
Bold and brilliant, fierce and free,
Shaping the world, rewriting history.
Their voices echo, strong and bright,
Dreaming, daring, reaching new heights.
With every step, with every fight,
They turn the dark into the light.
Proud we stand, our hearts embrace,
The power, the wisdom, the endless grace.
Year by year, they soar and shine—
Women of the world, your time is divine!
2025
කවිය බලන්න
පැරදුම.
රිදෙන හදවත පිරිමදින්නට, සොයා හද ගැඹුරේ දුරින්...!
පිපෙන මල් පරවෙලා වැටුනට, නටුව ගස හැර නොම ගොසින්..!
සිතෙන සිතුවිලි කවි කලත් මදි, "අත්හැරීමයි " හදවතින්..!
වැටෙන විට සිත, නැගිට ඉන්නට සවිය දිය යුතුවේ නිතින්..!
ලොවක් සොඳුරුම රැයක් දල්වන ,
රුවන් එළි දැල්වෙන පැයේ...!
දිනක් දිනකර සොරාගත්තද ,
පසු දිනට සඟවා දියේ..!
දුකක් හදතුල රිදුම් පිටකර ,
සුසුම් හිර කරනා ලයේ..!
ලොවක් ඒ බව නොදන්නාමුත්,
"පහන් කණු යට එළි තියේ...".!
ගතේ දැවටෙන සීත පිණිබිඳු ,විඳිණු රිසියෙන් ඉගිලිලා...!
හිතේ හයියට නිලඹරේ තතු ,නොදැන අත්තටු රිදවලා.. !
සෙතේ කිමදැයි "කැට කිරිල්ලිය ,"පස් පිඩැල්ලක සැඟවිලා...!
වෙතේ ගිජු ලිහිණින්ට පැරදුම ,තනිව හොට බිම පැටලිලා..!
කවිය බලන්න
දැනෙන පැවතුම
පුටුව හිස් බව පෙනෙනු දෑසට
එහෙත් ඉඳගෙනෙ ඉන්නෙ සැපයට
අහර පිසිනේ අනේ කාටද
බඳුන, පිසනය, පෙනේ සැමවිට,
හනික යන්නේ ඇයිද කඩයට?
බෙහෙත් තුන්ඩුව රවයි මාදෙස,
ඉදුනු පලතුරු බෙරිවි ඇත අද
මිරික දෙන්නේ ඉවත යන්නද?
අලුත් වසරට හැඩට ඉන්නට මිලදි ගත් කමිසයත් ඇඳ උඩ,
රථය ඇවිදින් පහළ මහලේ බලා ඉන්නව ගෙනියන්ට ඔබ,
රෝද පුටුවත් දොර ලඟම බල බලා ඉන්නව උසුල ගන්නට,
හීනෙන්ද මට පෙනෙන සිනහව
දෑස මා වෙත හැරී බලමින.
රටින් ගෙනනා රස කැවිලි ඔබෙ තොලේ රඳනට මුවට මගෙ අත.
එහෙත් නැහැ එය මිරික ගන්නේ පෙරදි මෙන් මගෙ ඇඟිලි පොඩිකර,
එදා එය මට රිදුනමුත් අද ආසනේ මට එය විඳින්නට,
ඔබේ ගත වත විහිදවන ඒ සුවඳ එයි සුලඟින්ම මා වෙත
සිරුර ගෙනගිය නමුත් ඉවතට
ඉතිරිව් ඇත ඔබේ පැවතුම,
නිහඬ හිටියත් දෙවසරක් තුල
ගැබුරු හඬ මගෙ සවණෙ නිතරම,
චිත්‍රයක් නිම කල විගස අනෙ
ගෙනෙයි ඔබෙ නෙත මානයට මම,
දනිමි ඔබ මගෙ කලා වැඩ දැක රහස් සතුටක් විඳිනු නිහඩව
කයක් රහිතව ඔබේ පැවතුම
ගෙනේ දිරියක් දිවි ගෙවන්නට,
එහෙත් හිමියනි එගැන නොසිතා යන්න ගමනේ ඉදිරියට ඔබ,
මමත් ලඟදිම ගමන යන්නට ඉන්න වග අනෙ කියනු කුමටද?
එවිට ඔබ පිටුපසව සිටගෙන රකින්නම් කම්කටොලු මගහැර.
කවිය බලන්න
මොණරකොල
රන් කහවනු වලට ළැදිව
උනා දමා පත්තිනි සළු
අම්බපාලි වීදියෙ යන
රෑ කුමාරියේ,
ලුංගියෙ ඇති වර්ණ රටා
විදුලි පහන් යට මතුකොට
නිසා යමේ දෙනෙත් වසා
ඇදෙන සාවියේ,
කුංකුම චන්දන සුවඳට
සළෙළු ඇවිත් රොනට රෑට
කාසි දෙද්දි ඇස් ඇරපන්
රෑ මනාළියේ,
බිළිඳු සිහින ගඟේ ගිහින්
ඊට උඩින් නොක්කු යාවි
නිසල නිම්නයෙන් එහාට
බොර දිය වතුරේ,
කවිය බලන්න
මිහිරිම වදන.....
රැයේ හීන මිණි මුතු පොට අම්මාය
උදේ එරන් හිරු එළියත් අම්මාය
වැලේ පිච්ච මල් පොකුරත් අම්මාය
ළිපේ ඉදෙන බත සුවඳින් අම්මාය
මලේ පෙති තෙමුව පිනි පොද අම්මාය
දිවා ගිනියමට මහ වැසි අම්මාය
ගලා හැලෙන නිල් දියවර අම්මාය
කෙතේ සැලෙන රන් ගොයමත් අම්මාය
දුකට සැපට එක සේ ළඟ රැඳුණාය
පිනට බණට දහමට සිත පිදුණාය
සතර බ්‍රහ්ම විහරණයෙන් සැදුණාය
ගෙදර බුදුන් ලෙස පිළිරූ ඇඳුණාය
තවරා තොල'ග හසරැල් සෝ දුක් නැසුව
ඇගෙ පිය තෙපුල ඔසුවකි ළතැවුල් පිසුව
පෙව් කිරි සුවඳ ඇත මගෙ රුහිරය මුසුව
මිහිරිම වදන 'අම්මා' මෙතෙකට ඇසුව
කවිය බලන්න
කසාදය තීන්දුයි....
පොඩි සන්දියේ සෙල්ලම් බත් උයපු වැලී
දෑතට ඉරටු ගෙන ඇන්දනෙ කුරුටු බලී
දැවටී නිතර කියමින් මට සමන්මලී
පහකිය වසර අපි හිටියේ පෙමින් වෙලී
පෑවට විරෝධය මව්පියො තරහ වෙලා
රහසේ ඇවිත් ඉඳිකඩ ළඟ මුකුළු කලා
පස්සෙන් ඇවිත් අම්මා මෙය සිටියෙ බලා
දිව්වා ඔබත් බිය වී පසුපස නොබලා
ගහලම පහර දෙක තුනකුත් හදිස්සියේ
ඕව උඹට ගැලපෙනවද ගැටිස්සියේ
දින ගණනක්ම දැමුවා ගෙයි අඩස්සියේ
කඳුළු සලා විය දෙනුවන් තඩිස්සියේ
දුන්නට කෑම නැත කෑවේ පෙනෙන්නට
ගින්දර සුදහ බෑ ඉවසා සිටින්නට
රෑ මැදියමේ මුළුතැන් ගෙට පනින්නට
හිතුනත් බැරිය කාමරේ දොර අරින්නට
තව දුර බැරිය ඉවසා ඉන්නට මෙව්වා
ගෙදර හිටිය මගෙ පොඩි මල්ලියා ලව්වා
තරිදුට එන්න කියමින් පණිවුඩ යැව්වා
මව්පියො සමග ඇවිදින් යන්නට කිව්වා
අපෙ මව්පියන් එක තැනකට එකතු වෙලා
මහ මඟ එපා හමුවෙනු අවවාද කලා
සිටියදි දෙදෙන ලැජ්ජාවට ඉවත බලා
කසාදයට සුබදිනයක් නියම කලා
කවිය බලන්න
මෙතෙක් නොකී කතාවක්
තුංග සමනල සිරස පාමුල සීත ගඟුලක් ගලනවා
කන්ද අතහැර සිසිල බෙද බෙද හිමින් පහළට බහිනවා
බැන්ද මුදු පෙම ඉතින් අවසන් කනට රහසින් කියනවා
හැන්දැ වෙනකොට කන්ද මුදුනෙන් හීන් ඉකියක් ඇහෙනවා
තාරුකා එළි හිමින් ඇස් ඇර හොරෙන් වාගේ බලනවා
පායනා සඳ ළඟම තිබුනට තනිකමක් හිත පෙළනවා
ගායනා ගැලු ජල තරඟ නැගි හදවතට ගිනි පිඹිනවා
පාවෙනා මුදු මිහිදු සළුවක් වෙළි වෙළී දුක අහනවා
කාට කාටත් හිමි අහිමි බව උරුමයක් වී තියෙනවා
සාදු ස්වරයෙන් සුළඟෙ මුසුවුණ බුදු බණක හඬ ඇහෙනවා
ආයිමත් හිත හදාගත්තම කන්ද දොරගුළු අරිනවා
පාට පාටින් අලුත් දවසක් අහස් ගඟ මත ගෙතෙනවා
Photo Credit: Chamika Jayasri
කවිය බලන්න
වෙන්වීම
මලක් වගෙ මගෙ දෙමාපියො මා
හැදු වැඩූවේ සෙනෙහසින්
අකුරු කරලා ජය ලැබූවා අභියෝග
කිරි කජු ලෙසින්
ඉහේ මල් පිපුනාම සතුටුයි
දෙමපියන්ගේ හදවතින්
දරු පැටවුගේ ගුරුතුමියක වී
අද සිටිමි මං සැනසෙමින්...🥰
කැමැත්තට මවුපියන්ගේ මං
දුන්නෙ බහ කුලගෙට යමින්
එකින් එක දින ගෙවී යද්දී
කුස මෝරනව දරුවෙක් ඇවිත්
ඔහුත් සතුටින් සිටියෙ කාලය
ගෙවී යන්නේ ඉක්මනින්
දිනෙක මල්පෙති වැනිම සුන්දර
දුවෙක් ලැබුනා සතුට අරන්...🥰
ටිකෙන් ටික කාලය ගෙවෙද්දී
ඔහුගෙ වෙනසක් දුටුවෙ මා
ඇසූවිට කිමෙදැයි කියා ඔහු
පහරදුන්නේ වත පුරා
කුමක් කරනට සිතන්නට බෑ
කදුලු බිදු දෙකොපුල් පුරා....
අපායකි මේ ගෙවන දිවිමග
මටත් දැං එය ඇතිවෙලා....🥺
දිනෙක මහ ගොම්මනේ ඇවිදින්
අමුතු පැනයක් යොමු කලේ
දික්කසාදය ඕනි මට දැන්
ඉක්මනින් එය දෙනු කියා..
නොදරුවා ගැනවත් හිතන්නට
ඇයි නුඹට නොහැකිව ගියේ...
කිමෙද ස්වාමිනි මේ කියන්නේ
වරද කිම මවෙතින් වුනේ....🥺
දූ පැටිය සමගින් මෙමා අද
තනිව ඉන්නේ නුඹ නිසා
කිසි දිනෙක ඇගෙ නෙත ගැටෙන්නට
ඇගෙ ඉදිරියටනම් එනු එපා
යහමගයි මා ඇය යවන්නේ
නිතර ගුණදම් පවසලා
නුඹ වගේ පියතුමෙක්නම්
කිසි දරුවෙකුට හමුවනු එපා....🙏
දික්කසාදය නමින් කරුමය
පලදුන්නෙ මට ඉහපුරා
නොවේවා කිසිවෙකුට මේ වන්
දුකක් සසර වසනා තුරා
අභියෝග එයි සමාජෙන් මට
නමුත් නොසැලෙමි දිවිතුරා
ශක්තිමත් මව ලෙසින් ඉන්නෙමි
දෝනිගේ ළග මියෙනා තුරා...🌸
කවිය බලන්න
නුඹ ගිය පසු....
ඉඳහිටක යනෙන අතරතුර මගක නවතිමි
නුඹේ හැඩහුරුකම් අහඹු මුහුණක දකිමි
අමාවක අහසකි දැන් අපේ නිවහන දුක දරමි
ජීවිතේ හරි මහන්සියි නමුත් අත්නොහරිමි..
අවාරෙක ලැබුණු බඹර පහසක සමවැද
දමාගිය මුත් හදිසියේ සුළඟක් විලස අප අතහැර
ලය පලා පෙන්විය හැකියි නිම්නැති ආදරේ උතුරන
කඳුළක් නොලැබ ජීවිතේ ඉතින් සතුටින් ගෙවෙනවද
ඉසිඹුවක් ලද නිමේශයක තනිවෙන්න
මා නැතත් පුංචි පුතු මතකයට එනවද
ගේ පුරා බෝල ඇස් කරකවා නුඹ හොයන
බැරිම තැන අඬ අඬා මොන මොනවදෝ කියන
හීනෙන් නුඹව දැක දෙතොල් අතරින් මුදු කිරිසිනා පාන
එපා නොවෙනා එකම සෙල්ලම දැන් ඔහුගේ දන්නවද
ප්ලිමත්,එංගලන්තය
කවිය බලන්න
අහඹුවක් වී......
අහඹුවක් වී
තුන්මංසලක එදා
හමුවෙලා තිබුණා..
නුඹත් නොමැතිව
ආපසු හැරී යන්නට
වෙලා තිබුණා
මතක ගුලිකර
පපුවේ හිරකර
නුඹෙන් වෙන්වී
ඈත ඇදුනා
මුකුත් නොදැනම
එදා ඔබ මා
අත හැරලා තිබුනා
කවිය බලන්න
"ලොව හැම දෙයම වයධම්මා සංඛාරා...
මිලිනව යාවි පිපි මානෙල් අරවින්ද
සක්වල පවා අලුවී යයි ක්ෂයෙන්ද
සදහට තිබෙන දෑ කියනට පුලුවන්ද
අනියත දහම වටහාගනු බැරි මන්ද.
රකිනට දෙයක් වෙද පවතින ලෙස සාරා
ඉන්නට හැකි වේද මරුගෙන් පණ බේරා
ආලෙන් රකිනු කිම සැප දෙන දෙය තෝරා.
"ලොව හැම දෙයම වයධම්මා සංඛාරා...
අඳ කැස්බෑ තොමෝ විය ගහ සිදුරු උන
තැනකින් අහස දකිනට යලි ඒද පින
මතු යන තැනට වැඩ කර පෙර යන්න පණ
දහමින් ඉගෙන ගමු හැම දෙය වඩා ගෙන
නැති වෙන සුලු ලොවක ඉපදී සිටින කල..
නොමැරෙන විලස දිවි ගෙව්මෙන් කිමද පල
නොකපා තමා හට තම දෑතින්ම වල
තරණය කල යුතුයි මනුලොව නැමැති විල
අනියත දහම පිලිගන්නට හිත හොරය
මනුසත අකුසලය ඒ තරමට තිරය
බගවත් තෙමේ වදහල දහමෙහි හරය
නුවනක් නැති අයට පින්වතුනේ බරය...
Photo credit; Jamie Street
කවිය බලන්න
හීනෙන් අවදි වෙන්නට
පාවෙන සුළං රැළි පසුකර යන බැවිනී
ජීවන ගමන් වෙහෙසයි දැන් හිතවතුනී
යායක පුරන් අස්වද්දන්නට තිබුණී
වෑකඩ ගිමන් හරිනට නුඹමිණ හැරුණී
කෙකටිය කරටි හිස වනමින් මග බලන
වැව් දිය රැළිති අත ගනිමින් දඟ කරන
පහුගිය මතක වැව් ඉවුරත මත ලියන
පිහිනිය යුතුම දියකින් ගොඩ එමි සැණින
සේරුන් කොකුන් කිරලුන් වැව් පිටි පීරා
ප්‍රේමෙන් සරන පියවර හෙමිහිට තෝරා
මීරෙන් පිරෙන හදවත ගැඹුරට හාරා
හීනෙන් අවදි වෙන්නට එනවද තාරා
Photo Credit; Prahlad Inala
කවිය බලන්න
(අ)මතක බණ
හත් දවස සපිරෙයි
කිවු මතක බණ නිමවෙයි
පින්වතුන මඟ එයි
සීනි මුල මුල ගෙට එකතුවෙයි
සුජීවත් කාලේ
මළ සේ පාළු වේලේ
නොදී පෑ ලීලේ
දෝර ගැලුවා මෙදා ආලේ
දොඩමින් ම රහසින
කසු කුසු ය ඉද තැන තැන
කී වන්සේ නුගුණ
තළු මරවමින් ම බත් වෑංජන
සුරා රස පදමේ
අඳුරු රිය තුළ බැඳුමේ
මිතුරු හමුවක රැකුමේ
පිණක් කර ගත්තාද සෝමේ
නියත නම් මරණය
කිම තැවෙනුය කාරණය
විද මෙබඳු දවසය
දනන් සේ විසී කේතුමතිය
කවිය බලන්න
නෙළුම් පත රහත් වෙලා
මඩ ගොඩෙහි, මඩ ගඳෙහි
ගොබය සරු ජල මතෙහි
ඔබා ගෙන නිසසලව
දිරි දරයි පූදින්න
සැඟව සිට තුඹසකින් ඇදෙනා
සර්පයෙකු සේ ගුලි වෙමිනා
සුළං රැල්ලෙහි පැටලෙමිනා
හිරු වඩිනා දිශා සොයනා
කලබල නැත කිසිත්
උනුන් පරයා දුවන
උඩු ගං බලා වඩිනා
නෙළුම් පත දිග හැරුනා
අපිරිසිදු ජලයේ ඉපදුනද
කිසිදු ජල බිදක් නොරදන
නොම ඇලෙන - නොම ගැටෙන
ප්‍රභාශ්වර සිතැති සේ
නෙළුම් පත වී රහත්
Photo Credit; Nong
කවිය බලන්න
පුළුන් කොට්ටය
කාර්තුවකට ඉහත දවසක,
මසා නිමකල
ඉහ තියන
පුළුන් කොට්ටය..
බොහෝ දවසට
රෑ දෙගොඩ වන විට
බරින් වැඩිවී
තිබෙන අන්දම...
(ප.ලි :- ඝණීභවනය වුනු සමහර හැඟීම්
ඇතැම් වේදනාකාරී රාත්‍රීන් වල
ද්‍රවීකරණයට භාජනයවිය හැක)🙂
කවිය බලන්න
ගින්දර
කඵ දුම අරන් එහෙ මෙහෙ චාමර සලන
දලු කොළ දරණ බෝධිය සියවස් පරණ
පාමුල ඔබා වැලිවල රටකජු බදින
වාමන රූප බඩ ගෙඩි වෙති තළු මරණ
වැඩියෙන් සල්ලි අරගෙන ඉතුරුද නොදෙන
අඩියෙන් අඩිය නාලාගිරි හඬ පිඹින
පඩියෙන් බැස ඇවිත් පඩුරක් විසිකරන
කඩියන් උන්ය පැති කණ්ණාඩිය බලන
කට ඇර ,පනින තුරු තප්පර පැය ගණින
ඇට පෑදෙනා අය වෙති දම්සොඬ හොයන
මට කුණ්ඩලී වුව ඇහැරී පණ ගැහෙන
රට පැණි දොඩම් කඳු වෙති සිල්ලර උනන
හිටගෙන අසූමහ සව්වන් නිදි මරණ
රජ මහ ඇමතියොද වේ පිං පෙත් පුරන
කට උඩ නැගී ඉස්පීකර මත හිඳින
වැට රන්, කපුටුවොය පහළට කැත කරන
අහගෙන කඩින් කඩ පිරිතක හඬ පරම
වහගෙන ඉඳි මකරද නැහුපුඩු තවම
කැහැ කැහැ වුණත් සලකා අව්වක තරම
අරගෙන යන්න ලයිටර්, සීයයි තුනම
Photo Credit ; Mason Hassoun
කවිය බලන්න
සඳ බිඹුව ඔබමයි සඳේ
තැනක නිසලව දසුන් මවනා නොයෙක සෙවනැලි ඈ වටා
වනක ගොමුවක හිදැස් අතරින් රස්මි බෙදනා රූ රටා
පලස මත උඳුපියලි විහිදුන නටති හාවුන් පැන නටා
උඹට මෙතරම් උමතු කළහැකි බවක් නොදනිමි ඇත්තටා
නෙතග බැල්මට ලොබ බඳින තොල් රතු වයින් රස කැඳවනා
ඉරත් මුහුදට පෑල දොරෙනුත් රහස් මුමුනා බැසයනා
දෙඅත් අල්ලා ළඟට ගන්නට පෙරුම් පුරමින් සිටියෙනා
කරත් උපමා දෙව් ලියක් යැයි දෙනෙත් ඇසිපිය හෙලමිනා
නුවන් කැල්මට වශී වෙනවා බළල් දෙනකගෙ ඇස් වගේ
වෙවී තාවර වටා කැරකෙයි තුරුල් වෙන්නට රුචි ඇඟේ
වරල් විහිදා ජලේ පීනන කිඳුරු රාජිනියක් වගේ
සුරල් වයමින් කැන්ද ගන්නේ කවදදෝ නිවසට මගේ.
විඳ ගනිමි සිහිලැල් පවන් රැල ගතෙහි සියුමැල්ලට වැදේ
නුඹේ රැස නිල් අහස්ගැබයෙන් පොළෝ මතු මත්තට වැදේ
වට කරන් තරු කුමරියන් කැළ බලන්නට ආසයි නදේ
සිත පිනා යන සඳ බිඹුව නුඹ කුමට උපමා පුන්සඳේ
කවිය බලන්න
මව් සෙනේ අරුම
අද කෙලෙසකද ගෙවනුයෙ දිවි සතුට මැද
මැදහත් සිතින් විමසනු සිහි ඇතිව ඉඳ
ඉඳහිට නොවේ සැමදා මෙත් ඇතිව හද
හද හද අහර දී රැකි මව් නිසයි හොඳ
මව තුළ තිබෙන සෙනෙහස ඇට නහර බිඳ
බිඳ බිඳ නොවේ ඇට මිඳුළුද තුළට වැද
වැදගත් බවක් දී සැමදා සිටින සඳ
සඳ මෙන් සොමි ගුණය පතුරයි සිසිල මැද
යම් කිසි දිනෙක මව් පදවිය ලැබුණු ලඳ
ලද බොලඳියක ලෙස පෙර සිටි නමුත් අද
අදහස් එකතු කර වැඩිහිටි ගුරුන් මැද
මැදසිත් ඇතිව දරු සුරකී දුකද විඳ
රස ගුණ තිබෙන සුප් සහ බත් සමඟ කැඳ
කැඳවා දරුවො එක තැනකට සෙනෙහෙ මැද
මැදහත් සිතින් බෙද දී කුස පිරුණු සඳ
සඳ මෙන් දිලෙයි සිත පොපියන සතුට විඳ
සුමිහිරි කෑමකිය මී මැස්සන්ගෙ වද
වද දෙන ලෙඩට බෙහෙතක් ගත් වැනිය විද
විදහා සෙනේ මව කුළුණින් පුදන ලද
ලදරුව දනී කිරි කඳුලෙහි රසය සොඳ
2025 / 02 /15
කවිය බලන්න
X ලක්ෂයේදී හමු වු සරල රේඛා දෙකක්
"... හැල හැප්පීම් නොගැලපීම් මත
දිගු කාලීන පාසැල් ඇසුර නවතා දැමුවෙමු
සරසවි සිසු ප්‍රශ්න අරගල කරට ගෙන
වත්මන දිවිය සංකීර්ණ බවට පත්ව ඇත"
නිකමට මෙන් හිස් සයිබර් අවකාශය තුල
ඔබ මොබ සැරිසරන පාළු සැඳෑ යමක
කාලයකට පසු හුරු පුරුදු කටහඬක් ඇසී
මතක පිටු එක දෙක විවර වන මොහොතේ ...
"දර්ශන පති පර්යේෂණ වල නියැලෙන
සහාය කථිකාචාර්ය වරියකි ඇය අද
අහම්බෙන් හෝ මෙම පිළිසඳර දුටුවොත්
අනිවාර්යයෙන් එක දිගටම නරඹනු ඇති"
... තව ටිකක් ඇදී ගිය කතිකාව අවසන
කෙස් රොදක් දඩබ්බර මුහුන මත වැටේ ...
නුහුරු වරදකාරී හැඟුම් මසිත ජනිත වේ
ඇමතුමක් ගම්ද නොගම්දැයි නොවැටහේ
15.02.2025
කවිය බලන්න
නින්ද නේනා රැයක
නින්ද දුර දිගු රැයක
සිසිරයේ පත් හැලුණු
තුරක් ගැන
කවක් ලියනු වස්
සිත වෙහෙස කරවමි.
උගුරට හොරා බෙහෙත් කමි.....
විරාජිනියගේ
සඳ රාජිනි අසමි.
දෙකන් පිටුපසින් එබෙන
නර කෙසක් දෙකක්
කැඩපතින් දකිමි.
හොරාගේ අම්මාගෙන් පේන අසමි...
ගොළු හදවත
ආයෙ ආයේ කියවමි
සුගත් සීතල මිනිහෙකැ'යි
දම්මි වැරදි නැතැයි තෙපලමි.
පනින රිලවුන්ට ඉණිමං තබමි....
පතුලටම කැණ
හදවතේ
ඔබ ගැන මතක
නිදන් කරමි.
ආයේ දිනක
නින්ද නේනා රැයක
ඒ මතක සිහිපත් කරමින්
මම මාව ම පාරා ගනිමි.
අශ්වයා ගිය පසු ඉස්තාලය වසමි....
කවිය බලන්න
වැලන්ටයින්
හාදු මලු ලිහ ලිහ
කොපුල්මත තැවරුව
කියඹු වැල පිරිමැද
කුමට මේ හැටි හිරිහැර
තාල ස්වර පැටලුන
මහා ගොරහැඩි හඬමය
සුමුදු මල්පෙති නටු බිඳ
තුරු මුලට අතහැරියෙ රුදුරුව
වලාකුලු බැඳ කැටිකොට
නැංගුරම්දා ඇස මත
මෙතෙක් තනි රැකි තරුකැට
වසා ගත් හැටි දුක මට
හීන හීනම නිදිරැයෙ
හොවා එක දෙක මතකෙට
කඩා වැටෙනා තරුවක
ලංසු තිය තිය ඇමිනුව
නුඹ අහිමි දා සිට
වටින සන්තක නොමැති හිස් හිත
අරමුනෙන් පැන විසිරුන
ජීවිතේ,,,,කැලඹි සිතුවිලි සොවමය
පුරා මී විත අත රඳ
විරාමය ජයපැන් පොද
නාව කාරිය නොහිතම
ඉන්න, වෙරගමි කඳුලු ඉහමින
කියාදුන් මුදු ප්‍රේමය
පද අමුන අරුතම කව
මුමුනමි,,මුදා සිව් රියන් බද විද
අහනවද, මේ කව
කවිය බලන්න
ජීවන අහස.............
අරුණෝදයෙ රැස් සමඟ නැඟී
ආලෝකය දී මිහිර සැදී
අනෙක වළා වන් සමඟ බැඳී
ජීවිතයම නිල් අහස වැනී.
දෙරණින් මතුවුනු තුරු ලිය සොඳුරු
හිස් නිල් අහසට එසවෙන අයුරු
දැක සිත නැළවෙයි කවියකි මියුරු
ජීවිතයක මුල ඇරඹෙයි එයුරු.
නුඹ ගැබ සරසා වළා රැඟුවත්
විටකදි බියකරු අකුණු මැවුවත්
මිහිකත සනසා කඳුළු හෙලුවත්
සෙනෙහස නිම නැත දුකට හැඬුවත්.
පායා සඳ හිනැහෙයි රෑ අහසේ
කතා කරන තරු දිදුලයි රහසේ
සිනා නැඟූවත් ලොවටම රහසේ
අහසයි සැනසුම තනිවුනු දවසේ.
නිල් වන් අහසම වියපත් වීලා
රන් වන් පාටට හැර වුනු ලීලා
බලා සුසුම් ලමි දැක මේ මේලා
ජීවිතයම අපෙ අහසක් වීලා.
කවිය බලන්න
ආදරය එහෙමමයි රන් වගෙයි පෙරාපූ...
පොළොවකින් පැන නැගුණු
ගසක් වැනි ජීවිතය
බිඳී විසිරෙනු නිසැක
හැමූ විට මාරුතය
තුටින් ඇල්මෙන් ජීවයක්
පුරන මීවිතය
අන් යමක් ඇති ද තව
හැරෙන්නට ආදරය...
වේලි බැඳි හැකි නමුත්
යන මගක් කර හරස්
ගඟක් ගලනවා මයි
සිඳු කරා ඇති දුරස්
කවුරු කීවත් කොහොම
සෙනෙහසක් ගැන පරස්
උතුරු පැත්තට හැරී
කොම්පාසු වෙයි සිරස්...
ආ නමුත් බොහෝ දුර
එකම මග හිතුමතේ
යා යුතුය තව දුරක්
සෙනේ දරමින් හිතේ
කිව්වාට ඉරණමක්
ලියවිලා ඇති අතේ
පෙමට වෙන් වූ ඉඩක්
දැනුත් ඇත හදවතේ...
පලා පෙති රටා වැනි
ගල් කුලක නෙලාපූ
මැකී නැත අගේ ඇති
බිතු, සෙනේ උරාපූ
අපි අපේ නොවුනාට
අපි අපෙයි කියාපූ
ආදරය එහෙමමයි
රන් වගෙයි පෙරාපූ...
ලිහිණි වැලපුමක දුක
ගලද්දී දුර ඈත
උණුසුම් ම වදන්
පලවා හරිනු ඇත සීත
හොවා උරයේ මුහුණ
දෙනෙත් වී සමපාත
මතු මතුත් මේ ලෙසම
ගනිමි ඔබගේ දෑත!!
Phot Credit; Priscilla Du Preez
කවිය බලන්න
කුවන්ණා
සසර සැඩ සිදු පිට නැගුණු ඔබ
රුවල් බිඳුනු නෞකාවකි..
පහන් ටැඹ වී දැල් උනත් මා
ඔබට තොටුපලක් පමනකි..
සමුදුර රළ පෙළ රාව නගන්නේ
පතිති යකිණගෙ විලාසයයි..
බව සයුරේ යන්නට අඳුරේ..
මා පැරදවූ නිරිඳු මරසෙන්..
කපු කටින යන්තරයේ
කැරකැවෙන සකය සේ..
පෙනේ මට භව චක්කරේ..
වරිගයත් දරුවනුත් අහිමිව
හැඬූ ඔබ ගේ ප්‍රේමිය ඉතින්..
රැඡිණියයි තාමත් කුවන්ණා
නොහඬමි නැවතත් ප්‍රේමේ නමින්..
නැවත ඉපදෙමි වරිගය නමින්..
කවිය බලන්න
රෝහලේ ඇඳ අද්දර
රෝහලේ ඇඳ අද්දර
පණනල රකින ඔක්සිජන්
උනුන් පරයා
උඩු යට යන පෙන
බුබුලු පෙල
රකින්නට හුස්ම පොද
දරයි අපමණ වෙහෙසක්
ජීවිතය ගැන සිතන්නට
මේ හොදම වෙලාවයි
එයත් මල් අසුනකි
නෙක වර්ණ නෙක සුවඳ
ලොකු කුඩා විවිධ නම්
පසුදින උදයේම
පරව යති පෙති හැලී
පැන් පොදක් ඉසිවත්
යලි පණක් නොලබාම
ජීවිතයද එයමයි
මල් අසුනක මල් මෙනි
රයින් ෆෙල්ඩන් මහාරෝහල
ස්විට්සර්ලන්තයෙ සිට.
Pgoto Credit : Stock Photos,
කවිය බලන්න
සඳ රැය
මනහාර රැයේ සඳ පීදෙනා
දනවනා සුව බෑ වචනෙන් කියා
මන ලෝල හැඟුම් හද නංවමින්
රැලි නගයි සඳ සේළය විල්දියේ
දෙසවන් පිනවයි බිඟු වෘන්දනා
පබසරා ළඟ නෑසෙණ ගායනා
කඩුපුල් සැරසී සුදු සේළයෙන්
වනඟනන් වරළේ හැඩ ගැන්වෙණා
මිහිලොල් විල අද්දර රංගනේ
මනමතින් සැනසෙන්නෙම මී උරා
කුමුදුත් කොඳ රන් රසු දැල් සළා
සඳ දියේ පිහිනා රසවත් වුණා
මඳහාස දිදී මුතු වස්සනා
කුමුදුනී සඳ රෑටම ලස්සනයි
මුදු රේණු නටා කියනා රහස්
සුර ළඳුන් ඇසුවත් වැටහෙන්නෙ නෑ....
කවිය බලන්න
අනියත
පිපී ගනඳුරෙහි
සුවඳවත් කල රාත්‍රිය
කඩුපුල් මලේ
ඔබෙ රුව සඳ එලිය මැද
දුටිමි පෙරදා
හිරු මෝදුවන්නට පෙර
අලුයම් අහස පිට
ඔබ මුකුලිතව ගියේ
ලොවේ සනාතන අරුමය
කියා පෑමටද මට
කවිය බලන්න
සිංහ කොඩියෙන් බහින්නද
සිංහ කොඩියෙන්
බහින්නද
වංග නුවරට
දුවන්නද
නිදහසක්
ගැන හිතන්නද
කාට මේ දුක
කියන්නද
කුස නිවන්නට
කැද වතුර නැති
නවම් මාසෙට
අභිමනක් වෙති
ආසියාවේ වැරහැල්ල ඇති
සිතියමේ සායමත්
බොද වෙති
උතුරු දකුණෙන්
බෙදී සතුරු
ගලා ගිය වග
දුටිමු රුහිරු
මිතුරු දාමෙට
ගෙනා මුගුරු
අදත් මායිම්
තැනූ පවුරු
කැලෑ ගති ගුණ
මඟ හැරී නැත
පෙරලමින් හුරු
පැරණි පෙල පොත
සඟව ගෙන එයි
අදත් විෂ දත
පමා ගමනකි
නව ලොවක් වෙත
නැවුම් පාරක
දකියි සරතැස
අලුත් වෙනු දැක
නඟයි උදහස
මඩිය තරවූ කළට
මඳහස
කොහිද කිව මැන
රටට නිදහස
කවිය බලන්න
මොහොතක් නවතින්න
යන්නට හිතයි
මට
ඉගිලිලා ඈතකට
තනි වන්නට
මොහොතක්
නිදහසේ ඉන්නට ....
කොහොම
යන්නද මම
බාදාගත් ආදරය
තනිකර
ගියොත් ඇය
මැරේවි
පපු කඳ පැලිලාම ....
කියන්න මට
කොඳුරා
රහසින් මගෙ
දෙසවනට
හැකිද ඉන්නට
මොහොතක්
මම නැතුව ....
දෙදෙනා බැදුනේ
ඇයි මෙලෙස
නොහැකිව වෙන්වන්නට
කියන්න මට
දැන් ඉතින්
මොනවා කරන්නද ....
දෙනවාද අවසර
මට යන්නට.....
මොහොතක්
අපේ ලොව ගැන
සිතන්නට .....
කවිය බලන්න
රැකා, කරකවයි වාහල්කඩ යතුර
විපරන් කරන්නට හොර රහසේ ලොවට
සමිඳුන් වැඩි සේක ඉල්ලන් කන රටට
ලයිසන් චන්ඩි ඉණ ඉහ අතගා පෙලට
සම්තින් නැද්ද ඇසුවා ලන්වී කණට
ගයා තෙරේ මර සේනාවෝ පැරදු
ගියා සමිඳු දක්නට මහ බෝ සමිඳු
පියා දෑස් රන් තලියේ බත් වැලදු
කියා වහසි බස් තෙර, වැලි මළු ඇමදු
සූත්තර නොදත් සමිඳුගෙ දෙසවනට
පාන්දර ඇසේ හේවිසි එක දිගට
කේන්දර අපල දුරලා දෙන ලෙසට
කෝන්තර සිතින් බැට දෙයි ගෙරි හමට
ගාත්තර පිපී, මිරිවැඩි නෑ පයට
පාත්තර ගෙඩිය හුරු නෑ වගෙ රටට
යාන්තර වගේ සුදු ඇදගත් රැහැට
සාත්තර කරුවෝ ඉපිදි පෙර පිනට
මනි අක්කිතට එදවස බණ දම් දෙසුව
පැණි වගෙ කණට නාගයෝ රැස්වූ මළුව
මනි ලොන්ඩරි හිටානගේ ගිරයට හසුව
පිනි පොද සමිඳු උණු කඳුලැල් හා මුසුව
කන්ද උඩට වැඩියේ ලන්වී රැයට
මන්ද අලි ඇතුන් යදමින් බැද පෙලට
කොන්ද කුදු ගැසී රන්සිවියේ බරට
වින්ද දුක් කියයි නාලාගිරි නිවට
පෙලින් පෙලට අසුරා පෙජරෝ යාය
තුටින් බසිති තර තෙර සිකුරටි ගාය
සෙමින් ලන්ව "රෑ අවසර" ඉල්ලීය
රොසින් තර තෙරෝ මෙලෙසින් ගෙරවීය
නිකා හදුන ගනු බෑ පඬු ගිය සිවුර
දැකා පුරුදු නෑ ආගිය නැති නිතර
මොකා දැයි නොදැන අවසර බෑ නතර
රැකා කරකවයි වාහල්කඩ යතුර
කුස තණ පලස, මත රෑ සැතපී පුරුදු
හිස අත තබා සැතපේ මහ රෑ සමිඳු
යස යහනක් ය මිහිකත තැන තැන පලුදු
බැස ගිය හිරු කලින් විත් සිරි පා නැමදු
ගලවා එකින් එක පුස්කොළ බණ පතුරු
දුටුවා වෙළදාම " මේ සමිඳුගෙ අකුරු "
සිතුවා කොසොල් සිහිනද තවතව අතුරු
දුටුවා තලගොවින් වෙස් ගෙන ආ කබරු
අමුතු බණ දෙසන බිස්නස් කහ රෑණ
කැවුතු උණු කරයි කඩුපත් ගල ගාන
ගෙවතු වල් වැදී රිලවුන් දොස් අහන
කනතු, පාරිලෙයි වෙඩි පූජා පිදෙන
මඟින් මගට චුන්දගෙ මස් කඩ පේලී
අනින් රජ ගෙදර මත් පැන් කඩ ලෑලී
දුකින් පිරි මවුන් ස්පා නෙක සෝලී
කටින් කට දොඩන්නෝ කල් ගිය හෑලී
සමිඳුන් වැඩි බවට ආරංචිය ලැබුන
වෙළෙදුන් චැනල් රුපියල් සත මත නැහෙන
සැලසුන් කලෝ "සඳහම් ෂෝ" පෙල නමින
දිවැසින් දකී උන් මහ පිටි වට කරණ
යමා පෙලහරයි මේ ඉරිදා අටට
නිමා නොව, රුවන් සක්මන එක දිගට
පමා කිම, ටිකට් අලෙවිය මහ ජයට
"අමා ෂෝ" පෝස්ටර කනුවල පෙලට
සගුන් තොග පිටින් විකුනාගෙන කෑව
දහන් ගැට මුසා රට පටවා හෑව
ඉතින් තව කුමට මෙහි ඉර හඳ කෑව
සඳුන් රුව එතර වැඩියා හද දෑව
කවිය බලන්න
සිතා බලා යන්න නදී මඟ අඳුරින් රුකෙන්න ......
අපමණ ගිරි හෙල් දියකර නිසොල්මනේ ගලන්න
ගඟකට හැකි නම් ම'සබඳ ඔබට නොහැක රුඳෙන්න
අතු ඉති මත සෙමෙන් දෙපා තබා ඉහල ඇදෙන්න
සවිය පිරුණු මිහිරි කවක් එයි මඟ තනි රකින්න
අහසේ එක රන් තරුවක් වාගේ දිදුලවන්න
සාරේ පිරි සිතින් නිතර පාරේ දිග බලන්න
නෑරේ ගති කෝපේ හැර වීරේ වඩමවන්න
දාහේ ගුණ මතක තබා සීතේ ගති බෙදන්න
මතකයෙ උණු කඳුළු බිංදු ලේන්සුවෙන් තෙමන්න
සිව්පදයක පහස අතර ඒ බිඳු අතුරවන්න
ඇදී ඇදී ප්‍රභාතයේ රිදී ඉරක් නැගෙන්න
නිසරු ගිරක් පාමුල ඔබ එපා ගිමන්හරින්න
කඳු ගංගා අත වනාවි තවත් කතා කියන්න
ආදර බර මුදු වදනින් යහනේ සතපවන්න
පෙරමුණ දැක ලොවේ අඳුරු පටල දෙසට ඇදෙන්න
ගලා ගලා යන්න නදී කණාටු වී නොයන්න
කුණාටු පාලම ළඟ සිට විලාප දී කියන්න
කතාවකුත් ඇති දවසක පාලම යට තබන්න
සිතා සිතා ලතවෙනකොට කතා නොකර හිඳින්න
සවිය පිරුණු මිහිරි කවක් එයි මඟ තනි රකින්න
Photo Credit: NASA
කවිය බලන්න
පලමු රැය
එකම පොරවනය යට
ගිනි ගනී
හදවත් දෙතැනක
සීතලම ගිනි කන්දක්ව
ඇවිලේය
අප දෙදෙන අතර මැද
නින්දත් නොනින්දත් අතර
සිතිවිලි ඉගිල ඈතක
අප අපට උරුම නැති තැන්වල
සරනු ඇත අතිනත බැඳ
සිත්තම් වන විට
දම් පාටින් අහස
පිපිද පිළිගතයුතුය හෙට
රැයෙහි උරුමය අපට වුව
අප උරුම හෙට දිනයට
ඉතින් හිමි සඳ
සිනහවක් මුව මත අලවගෙන
අතින් අත පටලගෙන
යායුතුමය......
අපට හිමි ජීවන ගමන
Photo Credit : Womanizer Toys
කවිය බලන්න
සමුගත් ගබ්බෙල පියදාස
පත්තර පුරා නිරතුරු සිටියෙන් වාස
සිත්තර කළේ කවියෙනි යුගයක් දේශ
අත්කර දුන් රසය කවියට හැර දෝෂ
අත් හැර ගොස් දිවිය ගබ්බෙල පියදාස
----
නිමකර දිවි මගෙහි සැම ජය කණුවක්ම
හිමිකර කවියටම දී නව දැක්මක්ම
බිදහැර යදම්හල හැම කවි කුලයක්ම
තිරසර කවියෙකියැ ඔබැ සිටි සැමකල්ම
----
දෙතොළඟ රැදුණු අම මීබිදු කවි ගගුල
දුර ළඟ කොතැන මුත් ගැලුවේ දී සිසිල
අගහිග කම් වෙතත් දිවියෙහි බැසැ පතුල
ඔබළඟ මිනිස් කම් අඩු නැත තිබු අමිල
---
කවි පොත් කිහිපයක් ඇති මුත් ඔහු ලීව
අවියත් වියත් අය ළග ඇත සුරැකීව
සවි යටමුදල් නොලදත් ඉන් සරුසාර
සුවිසල් මැදුරු නැති කවියෙකි ඔහු
සූර
---
රස කලතමින් කවියෙහි අම මිහිර මවා
සුනිමල කව් කිවූ සැනෙකින් උදයෙ හවා
කවි පෙළහරෙහි ගිය පෙර මඟ දැඩිව ගෙවා
ගබ්බෙල පහන්සිළ දැමුවේ කවුද නිවා
---
හිරුටත් හොරෙන් හිරු මඩලෙන් ගියේදෝ
සදුටත් හොරෙන් සඳ මඩලෙන් ගියේදෝ
අපටත් හොරෙන් අප අත් හැර ගියේදෝ
පින්වත් කිවිද ගබ්බෙල දෙවු ලොවේදෝ
=====================
කලාභූෂන කිවිපති
ඩබ්ලිව් කේ සරත් ව්මලසිරි
(අතකස මාධ්‍ය ලේකම්)
කවිය බලන්න
මගේ සඳ
දකිමි විය සිදුරෙන් අහස
කුඩාවට රවුම් වී හිදී එහි
මහ දනක් දී
අනුමෝදනාවටත් පෙර
නොසිදෙන කදූළක් ඇස තබා
වළා ගැබ් සැගව ගිය
අලාමක මගේ සඳ
සිතේ ගුලිවූ කවිය මගහැර
වෙනත් කවි ලියූ සෙල්ලක්කාරී
නුදුන් දඩුවම දෙමි නූඹට
හදවතම හදවතට මුමුනන හඩ
බෝගහ නුගේගොඩ
මගුල් කපුකම් කළ එදා
දුරු කතර ගෙවා. යමි
නැ කිසිත් වෙනසක්
එදා දුන් සිලිසිලිය එහෙමමයි
රෑ දොළොස් පැය පුරා
අහස දෙස බලා ඉම්
වියසිදුර වැසේ හෙමිහිට
ඉතින් දැක්මක් කොහිද
කණ කසුබු ළදකි මා
කොයි අතද මගේ සඳ
මුළු හදින් මා දැරූ සඳ
Photo Credit : Hrithik Bachchas
කවිය බලන්න
රාමසාන් උත්සවේ
හෙට නිවාඩු හෙට නිවාඩු රාමසාන් උත්සවේ
රට ඉඳි මුද්දරස්පලන් වලින් කෑම හැදෙන්නේ
අම්මයි නැන්දයි අක්කයි ගේ දොර අස් කරන්නේ
කොළ සැරසිලි මල් සැරසිලි තරු සැරසිලි දැමෙන්නේ
ගිය සුමානෙ අම්ම ගිහින් ලස්සන රෙදි ගෙනාවා
එහා ගෙදර ලලිතක්කා රැලි ගවුමක් මැහැව්වා
වේල් පොටක් හැඩ වැඩ කර මගෙ ඔලුවේ රැදෙව්වා
උස සපත්තු ටොක් ටොක් ගා බිම පොලවේ හැඬෙව්වා
පල්ලි ගොසින් ගෙදර පැමිණි අයිය, සීය, වාප්පා
තොප්පි දමා සුදු ඇඳගෙන කෝරානය අතැත්තා
පුංචි අපිව වටකරගෙන පුංචි දෙසුම් දෙසත්තා
ලොකු පිඟාන වටේ ඉඳන් කෑම කමුද අසත්තා
සුවඳ ගෙනා බුරියානිය බත් වලිනුයි හදන්නේ
කුකුල් මසුයි සම්බෝලයි රස කර කර කමින්නේ
ඊට පස්සෙ කෙසෙල් දමා වටලප්පම් ගෙනෙන්නේ
බඩ පුරවන් පුංචි ළමයි සෙල්ලමටයි දුවන්නේ
-පුංචි අපට කවි සිංදු
කවිය බලන්න
වැලන්ටයින්
සප්‍රයිස් මල් පොකුරක් ඈ අත
රස විඳියි කැඩ්බරියක් ටික ටික
තම සුරතලියගේ හිස සිඹ ඒ පෙම්වත,
"හැපි වැලන්ටයින් මැණික"
කියනවා ඇසුණා හෙමිහිට.....
උදේ ම කෝච්චියක් යනවාලු නුවරට
පෙම්වතුන්ට විතරමලු අවසර
වැඩ බිමේ බිල්ඩිමේ කොනක
තබ ඇති පරණ රේඩියෝවෙන්
හුරතල් හඬකින්....
දැන්වීමක් ඇහුණා එහෙම
අම්මපා.... මටත් හිටියා නම්
හැඩකාර කෙල්ලෙක්.....
හවසට බීලා, ඉවරකරන සල්ලි
ඉතුරු කරන්න තිබුණා, තෑග්ගක් ගන්න...
අත් උදව් දෙන, කම්කරු කොලුවා,
මිමිණුවා තනියම.......
කවිය බලන්න
ඉකිබිදින නවම් මහ තනිකම
දවා අලු කළ පසුව
පෙරදිනක මැදියම
පණ ගැහුණු මයේ
හදවත රතු...
සොයා කුමටද තවත්
මඟහැරුණු පසු හිස්
හැගුමකින් ඇහිදින්න
ප්‍රේමයේ තතු...
හෙනගෙඩි තියා පපුවට
විවරණ කළුවරින් ලැබ
දිලෙනකොට සඳක් වී
උඹ අහසක අන්සතු...
ඉකි බිදිනවා නවම් මහ
තනිකම නිහඩව මළ ගමට
තත් වයා ගිලිහෙද්දි
මෙරුවෙකුට උගේ අත්තටු...
✍️ සි TH THA RI❤️
කවිය බලන්න
හීන
කසාදයවත් අතේ නැතුවයි
ගසාගෙන මෙන් ගියේ තුරුලත
එ සා ගැළපුණ හිතක් ගැස්සී
පසාරුව ඇති ලෙසකි හදවත
කුඩුම්බිය රැකගන්න හිතකින්
හැඬුම් සිරකර දැවෙන සිතිවිලි
නිකම් ඉන්නට නොදී පැසවා
ඇතැම් දින රඟ දෙවයි ගිනිකෙළි
දතිස මැද ඇති දිවක විලසින්
තැළෙමි හැම තත්පරය ඇතුළත්
නිවස මෙහෙකරුවන්ට ඇති තැන්
මෙහෙස හට නැත යන්තමින් වත්
ඈත තම නෑයින් බලන්නට
දාසයන්ටත් තියෙයි නිදහස
කාට මම් පවසම් ද අවනඩු
ඈත දිළිසෙන තරුවකට මිස
ලෝකයට පරකාසෙ වූව ද
ගේ තුළට මරගාතයකි වස
හීන බිඳගත් දූවරුන් තව
වේ ද තැවෙනා තවත් මේ ලෙස
කවිය බලන්න
කැලෑව අගයමි
නිවාඩුවක නගරයෙ ඉන්නවට වඩා
කැලේ හොඳයි මට සිත ගත නිවන විඩා
කවුරුත් නැතිවිටදි ඉන්නට දොඩා හඬා
සතුන් සමග මම කුලුපග වෙමි නො දොඩා
මුවන් රංචු එළිමහනේ රඟන විට
අලින් සිටිනු දකිනෙමි බැසගෙන දියට
හෙමින් ගොදුරු සොයනා දිවියන් අවට
බලන් හිඳිමි එනතුරු ගල් තලාවට
පියවි දසුන් නරඹමි මම එක ඇසක
සටහන් වේවි අනිත් ඇසින් කාචයක
වනයේ අසිරි විඳිනා කල දුටු මතක
දැන් ඇත සිහිවටන පිනවන්නට සිතක
තුරුවැල් සැලෙන්නේ තාලයකට සෙයකී
හමන නිහඬ මදනල ගතටත් සැපකී
ගී නාදය විහඟුන්ගේ සවන් වැකී
වචන නැතිව ගැයෙනා සන්ධව නියකී
විඳුමට සිරිය කැලයට එන කලට රතේ
හැඟුමක් මතුව එයි කීමට බියක් නැතේ
තිරිසන් සතුන් රකිනා පිළිවෙත්ද ඇතේ මිනිසුන් සමග සිටියා දැන් ඇතැයි සිතේ
කවිය බලන්න
කුසුම් සුවඳ
මතකය ඉරි තැලෙනා ඉඩෝරේ
සිහිනේ පල නො දරන අවාරේ
තුරු හිස රොන් මී බිඳු නොබේරේ.
එහෙයින් කුසුම් සුවඳ කොහෙන් ඒ ද නොතේරේ.
හදවත දිවයයි, කඳු පාරේ.
වට-පිට, යට හැම අත පීරේ.
විස කටු අකුලට ගත හීරේ.
කැකුළක් හෝ නොදුටිමි මම මහ වන තීරේ.
පුසුඹ ගලාගෙන යයි, දෝරේ.
ළයට ඇනී ගැඹුරට හෑරේ.
සොයමි,නොදුටුවෙන් සිත පෑරේ.
දනිමි, දනිමි අවසන් වූ බව මල් වාරේ.
Photo Credit; Sergey Shmidt
කවිය බලන්න
අපෙ අම්මා
නීලව්නා වගෙම
අපෙ අම්මත් වීරවරියක්
අනෝරා කම්කටොලු
වට කරන් බැට කාපු
දරු දුකම හිස තියන්
හැම තැනම සැරිසරපු
බඩ වියත රැක දෙන්න
මහා විප්ලව කරපු
අපෙ අම්මත් වීරවරියක්
ගොවි පොළක වැඩ කරපු.
රහසින්වත් පව් නොකළ
දම්පාට කම්මුලේ
ඇඟිලි මල් මල් පිපුණ
රෑ පුරා පන් පැදුර
කඳුළු වතුරෙන් තෙමපු
උදෑසන ළදරු හිරු වඩාගෙන
ගෙන් ගියපු
කළු සළුව පොරවගෙන
යළිත් ගෙපැලට ආපු
අපෙ අම්මත් වීරවරියක්
නීලව්නාට නොදෙවනි වු.
දෙපා කර ගැට මලින්
පිපී ගෙවීලා ගියපු
දෙවොල් වල හිස තියා
පුතුගෙ පණනල යැදපු
සුන් හිසින් ලැබුණු පුතු
උකුළ මත නිදි කරපු
කිරි වලට රුහිරු ගෙන
ගනුදෙනුව නිම කරපු
අපෙ අම්මත් වීරවරියක්
නීලව්නාව පරදවපු
2025.01.16
කවිය බලන්න
ගල්කිස්ස වෙරළ මතක පොත
කැසරෝල් අවන්හල කවුළු දොර මැවෙනවා
උඩ මහලේ ඉඳන් මට හාද්දක් එවනවා
ඔබ ආසා චිකන් ග්‍රිල් මතකයට වඩිනවා
නතර වූ දෑස් මං හෙමින් ඇද ගන්නවා
මා එක්ක ගතු කියා දබර වූ දවසක
ඔබේ ඇස් නැලවුණා ලයන්පබ් එක කොනක
මධු විතක පොඟවාලු රස වදන් ඇමතුමක
ඇහෙනවා හඬ තවම කැලිප්සො රිද්මයක
ගල් පරෙක නැවතිලා නැව් ගැනපු ඉසව්වක
වළලු හිනැහෙන අතක මුදු සුවය විඳිනවාද
ලැවීනියා හෝටලයේ පෙම් පිරූ කොනක හිද
මංගල පැකේජයක තොරතුරු අහනවද
මුහුදු නළ අසාත්මිකව මා ගත පෙළූවත්
සිප්පි කටු සොවිත් මා පය ඉරෑවත්
වෙරල ඉම මතක පොත ගිනිලා වැසූවත්
පොකුරු මල් පලස්මත මවනු තව පෙම් පුවත්
ෂිආන්
චීනය
කවිය බලන්න
බොඳවූ සිහින
සිහින ගොන්නක් පොදි බඳින්නැ ති
දිනෙන් දින සැ බෑ කෙරුමට
නමුදු....
රෝහලේ ඇඳ මත හූල්ලන්නැ ති
දිනෙන් දින එකිනෙක ඉගිලෙන
සිහින දැ ක දැ ක...
දින සති හෝරා ගෙවන්නැ ති
සැ ර පෙති, කටු ඇඟ සිදුරු කරමින්
දිනක් හෝ දිවි ගෙවන්නට....
ලකට වැ වුනු කෙහෙරැලි
බුරුතු යන්නැ ති
කඳුලු නෙත තෙත් කරමින්....
රෝ ස මල අද සුවසේ නිදන්නැ ති
ගෙවූ වෙහෙසකර දිවි නිමා කරමින්...
පතමි ලඟා කෙරුමට පැතූ පැ තුමන්
නොවී මෙවන් නික්මයාමක්
නැවත උපදින භවේ....
Photo Credit; National Cancer Institute
කවිය බලන්න
-දෙබස -
මහා වනස්පතිය ,
කොහිද ඔබේ තෙද ?,
අතැර ගොස් නොවේද
සියලු පත් ,
ඇසී ඉපල් තුරකින්
සඳ එළිය ,
ඔලොක්කුවට මෙන් .
තව නොබෝ කලකින්
වසත් කල
සරසනු ඇත මා
මලින් ඵලින් .
අදටත් බොහෝ දුබලය නුඹ ,
මගේ අතු පතර ලැග
කටමැත දොඩනු මිස ,
මා විනිවිද යා හැකිද
ඔබට .
ප.ලි - සඳ මුවා වනු දුටිමි ලඟ ඇති කන්දකට
Photo Credit: sangam sharma
කවිය බලන්න
ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි
පරසතු මලින් පුද
ලද මුනි සඳුට දියනද
වන පස මලින් පුද
කළැයි පවසනු කවර වරදද
කවිය බලන්න
🗙

















































































