2024 අගෝස්තු කලාපය
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම

2024 අගෝස්තු කලාපය

දළ ඇත්තු, නොවු පුත්තු - තනි අතින් රැක ගත්තු බලවත්තු, ඉඳ ගත්තු - මහ පුටු ද දැන ගත්තු මනුසත්තු, හද පත්තු - සැණකෙලිය සිරි ගත්තු බල ඇත්තු, දණ ගැස්සු - තනි කෙනෙර අතපත්තු

පද පෙළ- බියංකා කුමාරසිරී

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

පටුන

සැප්තැම්බර් කලාපය සඳහා ජනාධිපතිවරණය/අපේක්ෂකයින් පිලිබඳව කවියක් ලියා එවන්න.
ඔබේ නිර්මාණ [email protected] වෙත යොමු කරන්න

යළිදු ලංව ඔබ ළඟ හැංගෙන්න හිතෙනවා

යළිදු ලංව ඔබ ළඟ හැංගෙන්න හිතෙනවා

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

කතා නොකර හිටි දවසට මුහුණ හංග ගත් හවසට ඔබ මා ළඟ ඇති දුර කල්ප කාලයක් සේ සිතට දැනෙනවා සත්තයි හිතට හැගෙනවා ගව් සියක් ගෙවා අවසන ගෙපැල අද්දරම ඇතිවිට යොදුනක දුර මහ දුරකැයි සිතට දැනෙනවා ගව් ගණනක දුරක් ලෙසින් හිතට දැනෙනවා එලිය පිරුණු පසළොස්වක සඳ තරු පිරි රෑ යාමෙක නැති මිහිරක් අඩ සඳ තනි තරුව මවනවා යළිදු ලංව ඔබ ළඟ හැංගෙන්න හිතෙනවා
කවිය බලන්න
කියපං මචං?

කියපං මචං?

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

මිතුරා 01 පල්ලිය ලඟ ගුරු ගෙදරට යන පාර වනමල් පිපී ඇත දෙපසම සරු සාර මිතුරෙකු වෙසෙයි එහි තනියම විරූ සූර කවියෙන් පුදමි ඔබ හට මම උපහාර විරහව පිරුණු උවනට කැදවමින් සිනා කවුදෝ ඇවිත් හොරහින් හදවතම දිනා සතුටින් සිටින මිතුරා දැක ගියෙමි පිනා කියපං මචං කවුරුද? ඒ මිහිරි කෙනා මිතුරා 02 අන්තර් ජාලයේ ටික්ටොක් ගිය දිනයක් දුටුවෙමි ලියක් එහි ඇත අමුතුම පිරියක් ඇය මගෙ වෙන්න සිතමින් පෙම් සිතුවිල්ලක් මිතුරෙකු ලෙසින් තැබුවෙමි මම පණිවිඩයක් මිතුරා 01 සංචාර සංසාරයේ හමුවුණු පෙම් යුවළක් දින දින ගෙවිලා ලංවී ඇත හදට හදක් ජිවිත වලට එක්වීලා නොතිබි හැඩක් සුන්දර පෙමට නොවදීවා ඇසක වහක්
කවිය බලන්න
මම දිසාපාමොක් මනමේ කතාවේ

මම දිසාපාමොක් මනමේ කතාවේ

ආරියරත්න ජයසිංහ මහරගම

වස වැරැද්දයි මගෙන් වූයේ කාටවත් නොකියමි දොසක් මමත් හිතුවේ රජෙකු හින්දා කාල ඇඳලා සැපෙන් හිටියැකි මනමේව බැන්දාම ඇය හට කියාදෙන්නට බැරිවුනා මට හැට හතර මායම්ම ඇය හට කරකාර බන්දන්ට පෙරාතුව මටත් තිබුනේ මනමෙ කුමරුට උගන්නන්නට හැමට පළමුව ආදරේ කරන හැටි ළඳකට අවි ශිල්ප දුනු ශිල්ප තරමට යනවිට වන අරණ මැද බිහිසුනු ගව් ගණන් දුරු මඟ ගෙවා ගෙන යොවුනෙකු සමගින් නාඳුනන නව යොවුන් තරුණියක තනි මඟ ඇයගෙත් දෑස් යන්නැති ඉබේටම තුරු බඳ වැළැඳි ලියවැල් වෙත වැදි රජුත් දෑසින් කියන දේ ගැන ඒත් මනමෙගෙ හිතේ තිබුනේ රජ කිරුළ ගැනමයි අනාගත වැද්දටත් බෑ දොසක් කීමට ඔහු දනී මනමේ නොදත් දේ දිවි පරදුකොට සටන් වැදුනේ දත් නිසයි ගැහැනියක හිත ගැන කාටවත් නොකියමි දොසක්.
කවිය බලන්න

"ඉතුරු කවි ඔබේ ,මේ කවිය මගේ "

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

අකුරු ගැලපුම් වලට කියනවලු කවිය අතුරු ආබාද නැති ආත්මික ඔසුය සිදුරු හදවත් වලට හීපහර වැඩිය පතුරු තියමින් බඳින පත්තුවක් වැනිය මිතුරු බැඳුමක් අතර ඉතුරු ඉතුරු කවියක් ගෙනෙන ඉසුරු ඉසුරු හදවත් තුළම පැතිරු පැතිරු දහමක් බැඳුණු මිතුරු AnA 2024
කවිය බලන්න
පිංවතියේ පිං දෙනකොට මටත් ටිකක් දෙන්න

පිංවතියේ පිං දෙනකොට මටත් ටිකක් දෙන්න

අනුර හෑගොඩ

බෝ මළුවේ සඳ එළියේ සමාධියෙන් ඉන්න නෙතේ වරුණ දිදුලන්නට පහන් වැටට දුන්න ගිය අත්බවේ පින් මදිවුණි ඔබේ සුරත ගන්න පිංවතියේ පිං දෙනකොට මටත් ටිකක් දෙන්න නිවුණු හඬින් පන්සිල් පද බුදුගෙය තුල පිරිලා දෙනෙතේ මිණි කාන්තියෙන් බිතු සිතුවම් ඔපලා දැවුණු සඳුන් තෙල් සුවඳට ඔබේ සුවඳ එතිලා පුද දෙනකොට මල් තියන්න මගේ ගැනත් හිතලා
කවිය බලන්න
සඳේ කිරණ හඳ නැන්දා හඳ මාමා ළඟට ගිහින්

සඳේ කිරණ හඳ නැන්දා හඳ මාමා ළඟට ගිහින්

කෝ ආනන්ද පැරීසිය

හුළු එළියෙන් කුම්පිලාපුවෙ එළියෙන් පැට්‍රොමැක්ස් එකේ දිස්නෙන් පුන්පෝදා සඳකිරණින් ගමේ එළිය දුටු සඳ දරුවන් හඳ නැන්දගෙ මියුරු හඬින් ගුවන් විදුලියෙන් පණ ලද්දෝ ගායනයෙන් වින්දනයෙන් ලොව ජයගෙන ඇත්තෝ ගුණ නුවණින් මග පාදා දී ගනඳුර දුරලා ළමා ලොව දිනා සදානුස්මරණීය නම රන්දා හඳ නැන්දා හඳ මාමා ළඟට ගිහින් ආලෝකය සොයමින්
කවිය බලන්න
ස‍ඳ කුමරිය එදවස නිකිණි.............

ස‍ඳ කුමරිය එදවස නිකිණි.............

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

සඳ කුමරිය එදවස පොහොදා නිකිණි දුටුඅසිරී මැවුණා කවි සිතට මෙසේ............ සමයක් නිසා වැසි වැඩි මතු තුන්මාසේ රුක්මුල් අසල ඇතිවන සීතල දැඩිසේ අපහසු නිසා කරනට බණදම් රිසිසේ එකතැන විසීමට දුන්නා බුදු උපදේසේ පෙරවස් වසන්නට තිබුණත් පෝයට ඇසළ මගහැරුනොතින් සඟුන්හට ලැබුමට සීල පසුවස් වසන්නට පොහොදින විසුල නිකිණි පෝයදා සිදුවෙයි විලසින් පතළ ලලාට ධාතුව අපේ ගෞතම බුදුහිමිගේ තැන්පත් කරවන්න මත්තෙහි ලක්මවගේ ඉදිකරවන්න සේරුවාවිල වෙහෙර අගේ වැඩ ඇරඹුනේ නිකිණි පොහොදා ඈත යුගේ දෙසුදම් සයුර අපෙ සම්මා සම්බුදු හිමි මතකයෙ තබාගත් මැනවින් නැතුව නිමි ලැබුවේ රහත්භාවය බිඳ සසර බැමි නිකිණි පෝයදා මහ ආනන්ද හිමි ගෞතම බුදුන්ගේ මහ පරිනිර්වාණෙන් තෙමසක් ගෙවුණුදා මහ කසුප් තෙරුන් මුල්තැන අරන් අජාසත් රජු අනුබලෙන් නිකිණි පෝයදා කළේ සංඝායනේ මුලින් සම්බුදු සමිඳු වැඩ සිටියදි දෙව්රම් වෙහෙර එළඹුණු වස් සමයෙ එකුන් පසලොස් වසර අසා බුදුන්ගෙන් රාහුල හිමි රාහුල සුතුර ලැබුවේ රහත්භාවය පොහොදා නිකිණි පුර
කවිය බලන්න
පින්සරු ඇත්තන්ගේ ගීතය

පින්සරු ඇත්තන්ගේ ගීතය

බන්දුල කුරුවිටආරච්චි

සාර සදිසි වූ කෝල තෙපුලින් සෙනෙහසට සිත සිර කරන් සුවහසක් මද මාන සඟවා රැගුම් තුරුලට මා අරන් ආදරය යන අකුරු අතරේ ජීවිතය වත්තන් කරන් පාරමී දම් පුරන්නට දුන් කදුළු මහවැලි ගඟ තරන් පැතුම් ඉවකල වරම් අතරට රැවුම් ගෙරවුම් සෙනෙහසින් ඉකි බිඳින්නට කදුළු දී ජීවිතය බොඳ කල සන්තොසින් ඉවසුමේ පෙරුමන් පුරන්නට සවිය දුන් ඉරණම විසින් ලැබේවා ! ජය සතුට පිරි සොඳුරියක් යලි ඒ අනුහසින් වදන්නට ඉඩ හසර අහුරා උරුම සුන්කල දරු ගැබේ නොවටිනා පිය පදවියක් දැක රහස් සඟවමි හද ගැබේ ලදුන් , බිළිදුන් ගැන කථා ඇති උවම් සරුවට මට තිබේ පිංකමක කොත පලන්දනවද උපාසක සඳ මැති සබේ
කවිය බලන්න
Made in heaven

Made in heaven

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

Made in England Germany France or Italy had high reputation yes they were really good high quality and long lasting too then came made in Japan started beating everyone by quality and gimmick the others started following However the oldest is made in heaven made in England Germany and Japan had a few problems only dependable Need occasional servicing when they grow old and became outdated are either thrown away or scrapped. made in heaven Is a big problem it has many issues everyday but you have to keep it going It breaks your back hurts your soul on occasional fine days runs beautifully and the very next moment it gives immense trouble and pain but you have no option cannot throw away cannot scrap cannot replace you try anything you become an outcast a kind of pariah everyone starts pointing fingers calling names No escape This Way or that way without loads of trouble. if you buy a good auto English German or Japanese you can replace parts Tyres batteries filters and belts can make them new you are ok and fine Made in heaven Runs with the original parts forever however faulty they are. The Haven has forgotten to make replacement parts makes only complete products but replacement is not allowed users when fed up become smart find ways to enjoy complete products weather the heaven likes it or not Isn't this trouble for everybody Why the hell that heaven started making things without allowing the competent people to do it themselves 04-02-2022
කවිය බලන්න
සිහින ලොවින්

සිහින ලොවින්

චන්ද්‍රා සේනාධීර නවසිලන්තය

හිමිදිරියේ ඈතින් ඇසෙන බට නලා හඬ..... රහසක් කියයි මගෙ කණට කොඳුරලා,.... පොත් ටික ලමැදට තද කරන් මල්ලීත් පෙරටු කරන් ගමේලමුන්ගෙ පාසල් යන පෙරහැරට කලබලයෙන් ......ඉදි කඩුල්ල පැන එක් වුණේ අලුත් දවසක් බලාපොරොත්තුවෙන් ඒත්.....පෙර දින හද කිති කවමින් හැම පොත් පිටුවකම .. .. සුදු ඕලු මල් මිටිය සුනිමල් අයියා කඩා දුන් ගමේ පන්සලේ පුජාසනය මත දෝතින් පුදලා,...... එතෙර ගමනට සුභ පැතුම් පතද්දි..... බට නලා හඬ ..... නැවත කවදා ඇසේවිදෝ,..... සසරෙ මා අතරමංවිදෝ,..... දෝලනය වෙමින් හදේ දොංකාර දෙද්දි දැසින් ගලා හැලෙන කදුළු බිඳු,....... දෙකොපුල් දිගේ ගලා විත්... කනට කියන රහස්.... කාට කියන්නද,......? නිදි යහනෙ නිදි වරත්දි... ඇසෙන දුර කථන හඬ,... ආදරණීයයි ....තාමත්. .. නංගි මම හෙට එනවා,..... මොනවා...? ඕලු මල් මිට... මනාලියගේ හැඩ ගත් මගෙ දැතෙ,.... දැස් හැර,..... ඔහු දැස් බැලීමි මඟුල් බෙර හඬ,..... බට නලා හඬ. ... දෝංකාර දෙද්දී,... රනින් කළ මුදුව,... මගෙ සුලැඟිල්ලේ පැලඳිය,.....
කවිය බලන්න
මනමේ හමුවක  පවසන වගනම්,,,

මනමේ හමුවක පවසන වගනම්,,,

චමින්ද ලියනගේ බලංගොඩ

මනමේ සොයමින් වන පෙත සරණා මග තොට මුව මුව සරදම් අසුණා ගිනි ගත් මා සිත ඇති තතු නොදැනා තෙපලන දොස් ගැන නැත සිත උරණා, අකුරෙහි රැඳුනත් එක ගුරු ගෙයි හිඳ අබියස හමුවක බිණු බස් කොහි වෙද සරණෙක බැඳුනත් පිය රද කී ලෙද තනිවම හමු උනෙඔහු මට වන මැද, එලමින් තිබුණත් ගහ වැල සැරසිළි මතු උනෙ වන මැද බියකරු සිතුවිලි මනමේ කුමරුන් පිදුවත් හසරැළි ඇසු ඇසු දේටත් නැගුවෙම මැසිවිළි, හැඩි දැඩි වැදි රජ නපුරුව දුටු සඳ අසිපත ගිලිහුණි සිහිසුන් වර යැද තනිවම යමි මම මේ රැදු වන මැද මනමේ හමුවක පවසමි නිවරද,
කවිය බලන්න
මළ පෙරහැරක කසුකුසු

මළ පෙරහැරක කසුකුසු

වෛද්‍ය චතුර එම්. විමලරත්න වැල්ලවාය

පෙට්ටිය ගෙට නොගිය උපාසක ආත ගෙ බොඩිය උවහරණ කළ ලොකුහිමි ය දෙසූ බණනම් සුපිරි ය යන්තම් එකම පුටුවට එලා උත්තර සළු පට වාඩි වූ ටකරම යට කවුද දැන් එනතා ගෙ පිහිටට හූල්ලන හිතවත්තු වටේ ගේවල බවලත්තු මැදින් ගොස් ඉඳගත්තු සීදේවි හොර බලවත්තු දිවිපුරා කඹුරා ඇති මිනිය කර ඉහලින් යති ලොකු සාදු සහ හොරමැති "වී එයිට් " එරිදියෙන් ඉගිලෙති බණ කොතෙක් ඇත්තද කුමක් කරනුද අපේ කරුමෙට සීදේවි මැති සඳ "ලබන පාරත් යවමු රජ ගෙට"
කවිය බලන්න
ඉතිහාසය සැගවූ කාවන්තිස්ස …

ඉතිහාසය සැගවූ කාවන්තිස්ස …

දීපා ද සිල්වා ලන්ඩනය

මහාවංස කතුවරයා කාවන්තිස්ස රජු නිවට බියගුළු පාලකයෙක් ලෙස දක්වා තිබුනද, දුටු ගැමුණු රජුට රට එක්සේසත් කිරීම සදහා අවශ්‍යය ආර්ථික ශක්තිය ,හමුදා ශක්තිය මෙන්ම මහා සංග රත්නයේ බලපෑම ද ලබා දීමට මූලික වී කටයුතු කරන ලද්දේ කාවන්තිස්ස රජු බව මෑතදී මවිසින් කියවන ලද පොතකින් දැන ගන්නට ලැබී ,කුඩා කල සිටම දුටුගැමුණු රජුට යුද වැදීමට අකුල් හෙලූ පාලකයෙක් ලෙස සිතා සිටීම පිලිබදව ඇති වූ කණගාටුව නිසා මෙම කවි පන්තිය ලියවිණි. ඉතිහාස කතාවේ වීරයා කරවන්න සිත් සතන් පතුලේම නම රනින් ලියවන්න අමතකව නොයන මතකයක නිති රදවන්න පිටුපසින් සිටියෙ නුබෙ ජය කනුව රැක දෙන්න “බියගුලුයි” ලෝකයා නගන නෙක අපවාද ඉවසන්න දිරි තිබුනෙ නුබේ ජය ටැබ ගාව කාන්තා සළුපිලිත් ලැබුනාට නෙක පාට රිදුනෙ නැහැ බින්දුවක් සිත මගේ කිසි දාක රන් කරල් අටු වලින් පාන හසරැල් අතර සමගියේ යදම් වැල් එළි කළා වැලි කතර සග මුවින් තෙපෙලෙනා මහා සම්බුදු සුතුර ලක් මවට වත් කළා සාමයේ අම වතුර
කවිය බලන්න
කුවන්ණා මම...

කුවන්ණා මම...

දිනුෂි සෞම්‍යා සිල්වා

නුඹේ රජ රන් ඔටුනු සිහිනෙන් දුටිමි මං එක දවසක්.. යක්ක රුහිරෙන් සිඳුණු නෑ ලේ මොරගසාවී හීනෙත්.. ශාපලත් කන්‍යාව කී මුත්.. නුඹේ පතිනී වී මං අපේ රැහැ තෙත් කළා කඩුවෙන් නුඹට ආලේ ලෝබෙන්.. කුමරුනී නුඹ තබා සිහසුන රැජිණ වන්නට හිතුවත් මදුරා පුරයෙන් ගෙනාවා නුඹ අග මෙහෙසි නුඹ හට දැන් ලාටරට තොටුපළින් ආ හෙණ තුරුළු කරගත් මෝහෙන් නුඹේ ලෙයටම වැදූ දරුදැන් ඉකිපොවාවී සෝකෙන් කුවන්ණාවෝ අදත් ඉපදෙත්.. මිනී මස් නම් නොම කත්.. නිරිඳු ප්‍රේමෙට හති වැටිත් දැන් මංමුළා වී පරවන් පෙවූ ධාරක ස්නේහෙ ගින්නෙන් කදුළු මහ වැහි උහුලන් ඔහෙ ඔහේ හිස් හැරුණු මං ළඟ පතා සිටිතියි සිඟමන් විජයලා සිටි ඉන්න මේ ලොව නඩුව අහපන් දෙවිඳුන් වීදි සරනා කුවණ්නාවෝ ඇතේ තව කොත ඉමකුත් පිරිමි පපුවට කෝළ පදයට වහවැටෙන නුඹ වෙනුවෙන් මොර ගසා මේ කතා පවසමි නැගිට නිදනා සොහොනෙන් Painting credit; Asanka Anujeewa -
කවිය බලන්න
නදී ඕ තොම, නිසල

නදී ඕ තොම, නිසල

ධම්මික ජයවර්ධන

ගැල් පෙළ බඹර කැල බොදුර ගොස් වෙහෙස පැමිණ ඇත ගිමන් හල සැඳා අඳුරැති නදී තෙර වැල් කැඩී ඇති යහනෙක සැතපෙයි සැඳා අදුර මවමින් නොරිලතා රුව යටලීයක් නැති පියසක කෙඳුරුම් හඬකි, සක්වාලිහිණි නදී තෙර තුරු හිස පවක්කර නොමැතිද ඇදී යයි පෙන ගොබ අහිමි සසර බසක් නොම දන්නා ආගිය තතුද නොදන්නා මගියෙකි වෙහෙසුණු සිරුරක්තුල සොයයි උණුහුම, නොම සිසිලස නදී ඕතොම, නිසල ගලා යයි නොසොයා සයුර නමුදු සොයමින් ඇරඹුම සිසිලැති ගිරි අරණ ජුලි 01, 2024.
කවිය බලන්න
මුදල් වලට තියෙනා 'නම්'...!

මුදල් වලට තියෙනා 'නම්'...!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

රටින් රටට වෙනස් වර්ග වලින් මුදල් හඳුන්වනව... මිටින් එ හල විහඟු වගෙයි රඳන්නෙ නෑ ඉගිල්ලෙනව... වටින් පිටින් හොයල බැලුව කලදි නම්ද වෙනස්වෙනව... තුටින් මෙහිදි සඳහන් කර ඔන්න මමත් උගන්වනව... පුද බිමකදි පින්කැටයට දාන කලදි 'පඬුරු' කියා... සැදහැතියෝ සාධුකාර දෙයි දෑතද නලලෙ තියා... හදකට තව හදක් බැඳෙන මගුලෙදි 'දෑවැද්ද' සොයා... වද දෙන අය තවම ඇතේ ඇසෙනව, දුක නැද්ද මෙයා... මගුල හබක් වී කසාදෙ-දික් වුන කල ගෙවනවාලු... උගුලක් කියමින් 'නඩත්තු' පව් කියලත් සිතෙනවාලු... අගුලක රඟ පදින කලට දැනේ කියා කියනවාලු... නගුල නැතිව සී සෑමට හැකිද යමෙක් අසනවාලු... දිවි ගෙවන්න මදිවුන කල මුදල් ඉල්ල ගන්නවෙනව... සවියක් ලෙස ලැබුනත් එය 'ණයක්' කියා හැඳින්වෙනව... අවියක් ඇනගත්ත වගෙයි, පොළියත් තව එකතුවෙනව... කවියට නැගුවත් මෙලෙසින් අන්තිමෙ බංකොලොත්වෙනව... උපයන විට අප මුදලක්, රජය විසින් කපාගනී... අපලෙ කියා බැණ බැණ ඒ 'බදු' ගෙවන්නෙ දුකින් මෙනී... අප වරදක් කළොත් එහෙම 'දඩය' ලෙසින් ලබාගනී... නොපතන් මේ වගෙ කරදර, හඬයි දනෝ දුකම දැනී... වැඩ කරලා උපයන්නේ සොච්චම් 'වේතන' යි දනෝ... කඩයට ගියවිට දියවෙයි මාසෙ 'පඩිය' දුකක් එනෝ... ඉඩ දී වයසට යාමට 'විශ්‍රාමික වැටුප' දෙනෝ... බඩ දනවලු ඇහෙනා විට කන්ට නැතිව මැරිල යනෝ... 'පොකට් මනී' අප ලැබුවේ කුඩා කලදි හරි සතුටින්... ටිකට් අරං බයස්කෝප් බැලුවාලුනෙ ලොකු කපටින්... පිකට් කරත් එපා කියා , බල කර දෙනවලු අර 'ටින්'... රොකට් එකක් අරං යමුද හඳට, මිදෙන්නට ගැහැටින්...
කවිය බලන්න
පෝෂණ වගුව

පෝෂණ වගුව

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

එලවලු මාළු මස් බිත්තර කපා පින්තුර සොයා පත්තර කොහොම අලවා ලියමි උත්තර රසක් ගුණයක් නොදැන විස්තර අම්මට ලැබෙන සොච්චම් පඩියට ලිප් ගලුත් රත්වෙයි ඉඳහිට මඤ්ඤොක්කා බත් හෝ පාන් පිෂ්ඨයට ලුණු ළූනු පොල්සම්බෝලෙ ප්‍රෝටීන හා මේදයට ටීචර් ඇත්තම ඇත්ත ඕකයි බඩගින්න කුරිරුයි වේදනාකාරියි ඊයෙත් එකම වේලයි බිංදුවයි ටොක්කයි දෙකම මාරයි
කවිය බලන්න
සබඳකම

සබඳකම

හෙල්මලී ගුණතිලක ඔස්ට්‍රේලියාව

පුරුද්දක් තිබුණා ඔහුට ආ විගස, ඇඳුම් උනමින් ඔරලෝසුව බලන්නට ඔරලෝසුව නොබලාම ඈ දැන සිටියා ඔහු පැයකින් දෙකකින් යන බවත් ඔහුගේ ඒ පුරුද්ද සුපුරුදු ලෙස ඔහු කෑමට ගෙදර යන බව ඇයට දැන්වීමට බවත් සුරක්ෂිත ව මෙසේ ඔවුන්ට වසර ගණනාවක් ගෙවිය හැකිව තිබිණි බලා සිටීම, දුරකථන ඇමතුම, පැමිණීම නොසෑහෙන නමුත් එහි යමක් විය ඒ නොසෑහීමේ තරම වැටහුණා ඇයට ඇගේ උපන්දිනය සිහිවී ඔහු මල් කළඹක් එවූ දා ඈට හැඬුම් ආ විට පරිවර්තනය - හෙල්මලී ගුණතිලක Translation of the poem ‘The Affair’ by Katharine Gallagher 1935 දී ඕස්ට්‍රේලියාවේ උපන් Katherine Gallagher, දශක හතරකටත් වඩා කාලයක් තිස්සේ ලන්ඩන්හි රැකියාව කරමින් වෙසෙන්නීය. වැඩිහිටියන්ට මෙන්ම ළමුන්ටද කවි ලියන ඇය පොත් රැසක් ලියා ඇත. ඇගේ කවි ප්‍රංශ, ජර්මන්, ඉතාලි සහ රුමේනියානු භාෂාවලට පරිවර්තනය කර තිබීම විශේෂත්වයකි. Photo- Jr Korpa on Unsplash
කවිය බලන්න
සුභා තෙරණි නෙත

සුභා තෙරණි නෙත

කේ.පී.එස් සචින්ත්‍රා හෝමාගම

නිල් මිණ පරදන වරුණින අගයන පින්වත මා නෙත වෑහෙත ලේ විත මස් ඇස කර විස නුවණැ'ස දී යස විදසුන අරුණින මෝ මන දුරලන පාඨශාලාචාරිණී , හෝමාගම ම.ම.වි.
කවිය බලන්න
A liberated woman

A liberated woman

මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

A liberated woman With a strong masculine element Clad in head to toe In shades of dark blue and black A feminist,moving freely Amidst men and women A woman writer Her writing already published World reads her Through her writing Labelled "Liberated " Behind the letters in books Wearing soft pastel shades Giving way to natural curves Whispering sweet nothings In not so musical voice There lives plain Jane Wandering around With eyes only on one Bound willingly By chains of love Liberated From hassles of life
කවිය බලන්න
අම්මා

අම්මා

ජයතිලක කම්මැල්ලවීර

ඈත ගම් පියසක පාළු සොහොන් බිමක වැඩුණු තණපත් මඩිමින් සොයමි අම්මා වැළලූ තැන හඳුනා ගත නොහැක කොතන, කොයිබද රහසින් විමසමි අම්මේ ඔබ කොහිද? මහත් ලජ්ජාවක් දැනෙයි සිතට. Photo credit; Robert Lukeman
කවිය බලන්න
ලන්ඩන් ගිය තාරා

ලන්ඩන් ගිය තාරා

කපිල කුමාර කාලිංග

උඩරට රාජධානි සමයේදී ,බ්‍රිතාන්‍යයයන් විසින් ඔවුන්ගේ රටට රැගෙන ගිය තාරා දෙවඟනගේ ප්‍රතිමාව නමින් ප්‍රකට විශිෂ්ඨ කලා නිර්මාණය දැන් පවතින්නේ ලන්ඩන් කවුතුකාගාරයේ ය.පසුගිය වසරේ පමණක් එහි පැමිණි දෙස් විදෙස් ජන සංඛ්‍යාව 5,820,860කි. තාරා දෙවඟන යළි ලබාදිය යුතු යැයි ඇතැම් පිරිස් ඉල්ලීම් කරති. තාරා නොඑන්න යළි මෙහි ඔතැන ඔබ ආරක්ෂිත ය. ලොව නන් දෙසින් එන රසික දන දැක ඔබ රූසිරි විඳ යති ඔවුහූ - විශ්මිතව අගයමින්- කලා නිමැවුම උඩු කය නොවසා සළුවකින් හෝ පුන් පියයුරු විදා සිටිනයුරු ඔබ සීත රටකට වී පුදුමයි විටෙක මට ගත හැකි මිටින ඔබ සිහිනිඟට බර වැඩි නැති ද පියයුරු මඩළ නොසිතේමැයි මට දෙවඟනකැයි ඔබ ඇසි පිය හෙළන පමණින් නොවෙද ඒ වෙනස ඔබ නිමවූ ඒ නාදුනන කලාකරු දෙව්ලොව හිඳිමින් තුටුවනු නිසැක ඔබ ලබන සැලකුම් පැසසුම් දකිමින් කටුගෙයක් යනු සිරගෙයක් තමා කලා කෘතියකට ඒත් ඔබ ඔතැනම ඉන්න එපා යළි මෙහි එන්න රස විහින අමන කැල සොරාගෙන ගොස් ඔබ කැබලි කොට උණු කර තඹ ගුලියක් සේ ගෙන අලෙවි කර දමනු ඇත සුළු මිලකට ඔබ ඉන්න ඔතැනම තාරා මගේ අඩනාරි දෙවඟන 29/07/24.
කවිය බලන්න
වයස්ගත කවිය

වයස්ගත කවිය

ගමගේ ලයනල්

ඇට වැදුණු වංගෙඩිය ඉරිතැලී මහළු වී පිරුණු රතු කොමඩු ඇගෙ එල්ලිලා වැටකොළු එදා කෙටු මෝල් ගස් බිම බලාගෙන සිටී මොකද වුණෙ දන්නෙ නෑ හන්දිපත් හිරි වැටී අහස් කුස සිසාරා සැරි සරන දුම වගේ අපේ හිත ඉගිලිලා අතීතය කර කැවේ උදුන් ලිප ටයිල් උඩ විදුලියෙන් බත ඉදේ එදා හිටි පරිසරය අද වෙනස් වී තියේ රෝස මල් සුවඳ කෝ ඔසු සුවඳ ජීවිතේ ගතේ ඔප මැකී ගොස් කොටු වැටී සරම සේ හැමදාම වාරු නෑ හැරමිටිය හුරු අතේ වැඩි වෙලාවක් සිටී උඩ බලං වැල් ඇඳේ
කවිය බලන්න
සුවඳ අපව අරගෙන යන දුරක්....

සුවඳ අපව අරගෙන යන දුරක්....

ලුම්බිණි විතාන ලන්ඩනය

සුවඳ අපව අරගෙන යන දුරක්.... සමහර සුවඳවල් ගාව අපි නිරායාසයෙන්ම නවතිනවා. ඒ.... ඒ සුවඳවල් අපිට මතක රැස් කරලා දෙන නිසා. තවත් සුවඳවල් අපිව අඩවනවා.... අපේ යට ගිය මතකවල් අවුස්සලා එකිනෙකාට ආවේනික වු ..... මිනිසුන් හා බැදුනු මේ සුවඳට කලහැකි දේ එමටයි. මේ සුවඳවල් අපිව ජිවත් කරවනවා..... තව තවත් සතුට දුක අපේ ජිවිත වලට මිශ්‍ර කරමින්.
කවිය බලන්න
වලා සළු ඉහිරිලා....

වලා සළු ඉහිරිලා....

ලලනී ගීකියනගේ රත්නපුර

අරුණ පෙරඹර රැස්විදා එකසේ හිරුත් හිනැහේ නව දිනට පෙරසේ..! ලොවක් හැඩ කල. හිරුත් ඔබමය... සඳුත් ඔබමය... එකම ආකාසේ..! දිලෙන හිරු වැළපේ... සිසි කිරණ වැද , ගිලී යයි අහසේ..! සැඩ සුළං හමුවේ.. පිණි පොකුරු සිප, මල් පිපෙයි සුවසේ...! මත් බඹර පහසේ.... අතු අගක පිපි , මල් කැකුළු වැනසේ....! දිලෙන තරු පෙරසේ.... රුසිරු පැහැසර නිවාලනු කෙලෙසේ..! අමාවක ගනඳුරට නතුවනසේ.. වලා සළු ඉහිරිලා නිල් අහසේ....! එලා වට තිර , උනා දමනට.. හිරුට හැකිවේ නම්..! කෙසේනම් ඉවසනුද හොර රහසේ..? 2024.07.23
කවිය බලන්න
අඳ ගොවි

අඳ ගොවි

ලාල් හෑගොඩ  

ආයුබෝවන්! ඔටුන්නක් දමා ඔළුවට ඇන මුරිච්චි තද කෙරූ පිළිස්සුණු පිටේ රත්තරනින් රන් රජ පච්චය කෙටූ ගොවි මිස අඳ ගොවි නොවේය දෙයියං පල්ලා අඳ නොවේය ට්‍රැක්ටර් මවන කොම්පැනිවල පැවැත්මට ට්‍රැක්ටර් ගෙන්වන එතුමන්ලාගෙ සතුටට හීය කරන එතුමන් කිරි සිනා දකින ගොවි මිස අඳ ගොවි නොවේය අම්ම පල්ලා අඳ නොවේය සොච්චමක් ලැබෙයි - පින් සිද්දවෙයි පොහොර මවන කොම්පැනිවල පැවැත්මට පොහොර ගෙන්වන එතුමන්ලාගෙ සතුටට පොහොර දමන එතුමන් කිරි සිනා දකින වල් නාශක මවන කොම්පැණිවල පැවැත්මට වල් නාශක ගෙන්වන එතුමන්ලාගෙ සතුටට පොහොර දමන එතුමන් කිරි සිනා දකින තොග වෙළඳාම කරන කොම්පැනිවල පැවැත්මට අලෙවිකරණ එතුමන්ලාගෙ සතුටට වී කිලෝ කර මණින ගොවි මිස අඳ ගොවි නොවේය බුදුන් පල්ලා අඳ නොවේය වී සොච්චමක් ලැබෙයි පින් සිද්ධ වෙයි ගොවියෝ කියන කම්කරුවෝ අපි - අඬ හැර නැතිවුණාට ලෝක කෘෂිකර්ම මැෂිමේ හොඳ ඇනයක් අපි මඩ තැවරුනාට ලෝක සාගිනි නිවන ජලකඳය අපි - නියඟේට පිච්චුණාට ගොවි මිස අඳ ගොවි නොවේය නේත්‍රා පල්ලා අද නොවේය සොච්චමක් ලැබෙයි - පිං සිද්ධවෙයි
කවිය බලන්න
සුභ පණිවිඩ පැදිය......

සුභ පණිවිඩ පැදිය......

ලක්විජය සාගර පලන්සූරිය

නැති බැරිකමට සිව් පද ලියවුණු යුගය කිවිඳුන් දුගීකම ගැන අත්දුටු යුගය සාගර කුමරගම දුගි කවි කී යුගය සිරිලක දුප්පත්ය එනුමැන ඒ යුගය දිලින්දාගෙ නැති බැරිකම ලියු පැදිය වැරහැලි සමග හිගමන ගැන කී පැදිය ටයි කෝට් පැලද රට රට ගොස් ඒ යැදිය කවියක් ලියමු බංකොත් සිරිලක හදිය නය බර වැඩි වෙලා හිරවී ඇත බෙල්ල සුභ පණිවිඩය ගැන ඇහුනා කියවිල්ල කිරි බත් කැවුම් කා ජයටම නැලවිල්ල නය කන්දක් කල් දැමුවට තැටමිල්ල හැම දුප්පත්ය නැති බැරිකම රටම වැසී වේලක් අමතකයි එක් වේලක් පමණ පිසී දරු රැකුමට වැඩිහිටි හැම මගම නසී නය ගොඩ ගැන සිතා හැම පනපිටින් නසී ඇති හැකි පිරිස සුර සැප දිවි ගතකරතී මැදි ආදායමත් දුප්පත්වී වැඩ වරතී දෙස්පාළුවෝ අයි.එම්. එෆ්.රැක වරතී ජනතා සටන් නිර්වින්දන සුව විදිති
කවිය බලන්න
නයගරා

නයගරා

ලතා ද සිල්වා මෙල්බර්න්

ලෝ දනන් දුක දැනී නිහඬව යුග නෙතින් කඳුලැලි සලන්නී සදාදර නයගරා තුති මල් මිටක් ගෙන දෙපා ළඟ සෙනෙහසින් පුද කරන්නෙමි ඉතින් දයාබර නයගරා 30අගෝස්තු 2024
කවිය බලන්න
අපේ සුන්දර කලා කරුවා ඔබයි දරුවනි ඇත්තමයි!

අපේ සුන්දර කලා කරුවා ඔබයි දරුවනි ඇත්තමයි!

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

සිසුනි ඔබ අමතන්න හැකිනම්කියාදෙමි රසවත් දෙයක් සුහුරු phone ය මඳක් පසෙකින් තබා කන් දෙනු රස දෙයක් අවට සුන්දර පරිසරය විඳගන්ට හැකි යස උපායක් හොඳට හුරුවූ විටක ඔබ මට තුති පුදයි නෑ සැක බිඳක් පිපුන මල් ඇත විවිධ වර්නෙන් නොයෙක හැඩයෙන් මන්ද ඇයි? රැට පිපෙනා කුසුම් ඇයි අනෙ සුදෝ සුදු වී සුවඳ දෙයි හිරුගෙ කිරනට ගසේ පත් ඇයි හරිත වන්නේ කුමටදැයි මෙවැනි පැනයන් ගලා ආවොත්කු තුහලෙන් ඉගනුම ලබයි අම්මා පිසිනා විට ගොසින් මුලු තැන් ගෙයින් දැනුමක් ලබන් නටන වතුරෙන් තේ හදන්නේ ඇයි කියා සිතලා බලන් මාලුවට ලුනු මුලින් දැමුවත්, පසුව දෙහි මිරික ගන්නේ ඇයි සිතන්, පොතේ විද්‍යා පාඩමට මුලු තැන් ගෙයින් නිදසුන් ලබන් විදුලි කොටනා විටදි ශබ්දෙට කලින් අහසේ එලි පෙනෙයි එයට හේතුව පන්තියෙදි ඔබ හදාරා ඇති වග සත්‍යමයි අවට සිදුවන දෙයක් විදු නැනින් බලනට පුරුදු වෙයි එවිට ටියුෂන් පන්ති යන්නට උවමනාවක් ඇති නොවෙයි ලොවේ බිහිවුන විදු රදුන් ඔබ වැන්න දරුවන් ගෙන් තමයි ඔවුන් පොත පත වලට් යටවි නොසිට කුතුහල පෙරට ගයි සෑම සිදුවීමකට හේතුව සොයා ගන්නට තැත් කරයි මෙසේ සිතුවිලි රැසක් මුසුවී සුහුරු රථයක් ලොවට දෙයි කලා සිතුවිලි පහල වන්නට විසැසි ඉගනුම් අවැසි ඇයි? අහසෙ, කැලයක ගලන ගඟ ලඟ සුන්දරත්වය එහි මුලයි කලා ඇසකින් බලන විට එහි විවිධ හැඩයන් ඇසට එයි අපේ සුන්දර කලා කරුවා ඔබයි දරුවනි ඇත්තමයි!
කවිය බලන්න
මතක අමතක

මතක අමතක

මාලිනී හෑගොඩ USA

තීන්ත ගැලවී බිත්ති අවපැහැ වී ගියත් පිපෙනවා ඉදිරිපස තාම දම්පාට මල් වතුර නැතුවත් ඒ මල් කියන්නේ නොමැකෙන බව අපි ඇන්ද සිතුවම් දකින්නට කෙනෙකු ළඟක නැතුවත් පැණි කුරුල්ලෝ මල් පැණි බොන්න එනවා ඇති ගී අහන්නට කෙනෙකු නැතුවත් මීමැසි කැළට අමතක වෙන්න බැහැ නේද රොන්සුණු මල්වල එදා තිබු සුවඳ නැතුවත් මාලිනී හෑගොඩ 2024 ජූලි මස 12 දින ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා හි දීය
කවිය බලන්න
අලි වැට නැති දා

අලි වැට නැති දා

මානෙල් ඩේසි රාණි

ලොක්කි දීග ගිය දවසේ රෙජිස්ටාර් ළඟට යන්න ගම්මැද්දෙන් ඉල්ල ගත්ත පරණ පාට මල් සාරිය වගේ නෙවෙයි ඇඳල ඉන්න ලේස් සුදුම සුදු සාරිය . කවදාවත් නැති විදිහට අවුල් නැතිව පිළිවෙලකට කොණ්ඩෙ පීරලා ඉහලට කොහෙ යන්නද සූදානම කොහේ ගියත් අපි දෙන්නනෙ එකට ගමන් බිමන් ගියේ හදිස්සියට කලබලේට මං අමතක උනාවත් ද පාන්දරින් දොට්ට යද්දි "තනිය" එනව දැක්කෙ නැද්ද යන්තම් වත් දැනුනෙ නැද්ද අප්පච්චිත් ගිය සුමානෙ යන්න ගියා ඔය පාරෙම "මං නැති උන දාක අනේ පොඩි කෙලීට කවුද ඉන්නෙ" උදේ හවස කීව නේද මං කාටද බාර දුන්නෙ කණවැන්දුම් ගුණේ ඇවිත් උදේ ඉඳන් බරටම වැඩ උඹේ ඔළුව අතගාලා පානට තෙල් ටිකක් දැම්ම අනේ ඌට කියාපන්කො මගෙ තනියට නතර වෙන්ට ලොකු හාමුදුරුවො වඩිනව තවත් බැහැනෙ මෙහෙම ඉන්ට අම්මේ දැන් යමු එළියට 2024.07.08
කවිය බලන්න
සමනල සඳෙස -15

සමනල සඳෙස -15

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

දත යුතු කරුණු ගොමුව - 12 බඳ කිකිණිය වළව 279. සමනල සබඳ තව එකියක් ගැන නො ගැයූ සුකොමළ ගතිය කිසි විටෙකත් මැන නො කියූ දිය මල පුබුද මහ එළියෙන් පැන නැගුණූ කවි මල පා කරමු වළවේ දැන කරුණූ 280. පැහැදුල් වළා ඇති මහ එළියේ තැන්න සුවි-පුල් සමන් දෙවිදුගෙ අඩවිය මැන්න දියවැල් එතී දැවටී වනපෙත් ගොන්න සුර-තල් නදී වළවේ ඉපදුණු වැන්න 281. මහ එළියේ සුන්දර වට මිටියාවත වදුලූ දිය බිඳු පෑහී එකිනෙක ගලා ඇදෙන පබලූ නීල රැසින් බැබලෙන දිය පොකුණ විලස බුබුලූ ඇදෙයි නොරැදි ඒ දිය කඳ ගඟක් ලෙසින් බැබලූ 282. කල්තොට - උඩවළවේ - පදලංගල මා මඩල නකුළුගමුව - උස්වැට - තුන්කම රිදිය ද වටල අගුණකොළපැලැස්සත් හා ඇඹිලිපිටිය සළෙල මැගෙන් පිනා කෙත - හේනට බෝග දුන්න ලිහිල 283. උයන්ගස්තොටත් හම්බන්තොටත් ගිය මටත් බලනට ඇති දෑ එමටයි නොගිය නම් බොටත් උඩ සිට වළවේ කොමළිය ඇදෙන හැටි තවත් සයුරෙ ගිලෙන තැන බල ගොස් අම්බලන්තොටත් 284. තෙද සමනල මගෙ සුමිතුර නුඹේ නුවන් හෙළා බලනු මැනවි යන හැටි ඇය බද කිකිණිය සලා දසුනින් මන බැඳෙන විලස කෙටි කර කවි කලා කියනු මැනවි වළවේ ගඟ කොමළි නොකර මුළා සමනලයා දුටු නදී කොමලිය-4 කැළණි සුරවරුවරිය 18 285. වැද - වැද පා කමල සම්බුදු රජාගේ සිඹ - සිඹ ඔකඳ කළ සිත ලක් මෑණියන්ගේ දිව - දිව ජනිත කරමින් නද තරංගේ ඇද - බැද පබා කරවයි නෙත් දනන්ගේ 286. පොරවා නීල පැහැ ගත් යස පට සේලේ සරසා බමන දිය සුළි තැන - තැන මාලේ නළවා පද්දමින් ඉඟ - සුඟ යන තාලේ වෙසෙසා නෙත නටයි නුඹෙ හද ළඟ කෝලේ 287. නිරතුරු සැපත සතුට ද ලක් මාතාව විඳ තුරු ලතා කෙත් වතු දුන් පලදාව පෙම්බර නදිය වළවේ සුවිනීතාව තුටු වෙමි ගයා තීගේ ගුණ ගීතාව 288. සිහිලස හැම විට දි දී මද පවනෙ එතී නන්වන සුදිල වන් දිය රැළි එකට ගෙතී බඳිමින් වැටෙන වනමල් පත් පියලි පෙතී දිගු වරලසක හැඩ මවමින් ගලයි රුතී 289. තැන - තැන දිය කෙළති සුදනෝ ඔකද වෙමින් පැන - පැන ගසති දිය බුං රැළ ළමා වෙසින් කැණ- කැණ ඉවුරු දෙපසින් ගෙන වැල්ල හෙමින් අන - වින කරති මුදලට ලොබ බැඳි දුදනන් 290. නිල් මිණි පැහැ සලුව හද තුළ රුවා ගෙන නිල් දිය රැළි නගා සුළගින් කවා ගෙන නිල් නෙත් අයා නිලඹර දෙස බලා ගෙන නිල් රොද මැදින් යන්නෙ ද නුඹ ගලා ගෙන 291. ගල්-පරවල හැපී විසිරෙන රිදී බිඳූ නිල්-මිණි කැට කිදා සැගවෙයි මුතූ බදූ රල්-රැලි නගා පෙරළී වැලි ඉවුරෙ කදූ සල්-ලම් කරයි හඩමින් වා සුළිය හැදූ 292. ව ළ වේ සොදුරියේ නුඹ හරි හැඩකාරයි නැළවේ සොබනියේ සිත නුඹෙ මනමාලයි සැල වේ නිබද හදවත නුඹෙ දගකාරයි ජය වේ නුඹට නුඹ යන මග ගම බාරයි (මතු සම්බන්ධයි.) 2024.08.01
කවිය බලන්න
මේ ඔබටයි...

මේ ඔබටයි...

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

බෙදා කතා බස් සතුටින් හිනැහෙන්න බදා සෙනෙහසින් ඔබ මුව සිපගන්න මුදා සියලු දුක හිතුනම වැළපෙන්න එදා වගේ හැමදාමත් ළඟ ඉන්න වැරදුන දිනට මා පසෙකින් හිටගන්න පැරදුන පැයක අත අල්ලා නැගිටන්න හැමදින අරුණ ලා හිරු සේ පුබුදන්න සැතපෙන රැයෙත් සිහිනෙන් සිහිනෙට එන්න කැළඹුන විටදි නිහඬව නිසලව ඉන්න ඉවසන අයුරු නිතරම පහදා දුන්න දින දින ගෙවෙයි කිසිලෙස බැහැ නවතන්න අවසන කියමි මෙය හොඳහැටි අහගන්න සසර මගේ මම ගියහම නොම එන්න හතර රියනෙ මල් පඳුරක් හිඳුවන්න නිතර හැකිය මට අතු අග සුපිපෙන්න නතර නොවී ඔබ දුක සැප විමසන්න Photo credit; Walter Brunner
කවිය බලන්න
අපි නම් ගමේ !

අපි නම් ගමේ !

මාවැලි කුමාරී කුලතුංග මහනුවර

වෙනසක් නොදන්නා නියරක හා දෙවට ඇලක දොලක පිහිනා නැති අය කුමට "අපි නම් ගමේ " කියනා උන් නම් එමට කොල පෙන්නනවාද ගහ දන්නා අපට වක්කඩ දියෙන් මඩ සෝදාගෙන යසට සෙවණේ වාඩිලා ගෙන ගස යට දෙමට බෙදලා කෙසෙල් කොලයට ඇඹුලත් රසට කාලා නොමැති නම් අඩුවකි ගැමි කමට පැල් කවි තාලයට රෑ තුන් යම ඇසෙනා දිය බෙර හඬ ද එයටම නොදෙවෙනි වෙමිනා විඩාබර වුවද ගත - නෙත් නොපියවෙනා දැක තියෙනවද ගොවියන් තම පැල රකිනා නිල් පැහැ සීත දියපිරි කුඹුකේ ලිඳ ට දිය නා නැති අයෙක් හිමි වේවිද ගමට ගැමි සුන්දරත්වය කොටු කර පොත පතට "මම නම් ගමේ" කිව්වම සතුටුද සිතට
කවිය බලන්න
මස්සිනාට ආදරෙයි ..

මස්සිනාට ආදරෙයි ..

මංගලා රත්නායක වැලිමඩ

සුසුමන් හෙළමි බලමින් කැණි මඬල දෙස හැඟුමන් බරව සෙනෙහෙන් ඔබ දෙඩුව බස පැතුමන් ළඟදි මනමත් වූ පහසෙ රස රිඳුමන් ගෙනෙයි හදවත මතකයක උස හිමි අහිමිකම් දරා නොබලාම හිඳ පස්ස ඉමි මගෙ පාඩුවේ කඳුලු බී රැය දවල්වන රිස්ස ගමි හිතට වීරියක් ළඳක ලෙස ඇති යස්ස මගෙ ළයේ ගිණි නිවයි ඇදහැලෙන මහ වැස්ස ගියෙ ආවෙ හැමතැනම අපි දෙන්නමයි එකට ඉනු මැනව තබාගෙන මෙය මතකයේ හොඳට නොබැන්දට මුතුමාල ගෙනවිල්ල මගෙ ගෙලට තවම හරි ආදරෙයි. මම මස්සිනෙ නුඹට
කවිය බලන්න
මට මං වෙන්න පුළුවන්

මට මං වෙන්න පුළුවන්

මංජුල වෙඩිවර්ධන

මට මං වෙන්න පුළුවන් ඒ ඔබ එක්කම විතරයි... ඔබ - සිංදු වැහෙන ගිතාරුවක් ඇස් අන්ධ කරන ඇස් අමාරුවක් හිත් රිද්දන සුන්දර සරාගයක් කවි අද්දර පැද්දෙන පරාගයක් රොන් ඇහැරෙන මල් උයනක හොල්මං මෘදු මල් සුවඳේ සිල් බිඳුනම හිත් ඇහැරෙනවා... රොන් වෑහෙන මල් ගොමුවක නම් ගම් නැති මල් අතරේ මල් පෙති මත කවි ලියැවෙනවා... රොන් පෑරෙන මල් කෙමියක මන්මත් රජ බමර කුලේ රොක්වෙන තැන හීන ගලනවා... මට මං වෙන්න පුළුවන් ඒ ඔබ එක්ක විතරමයි...
කවිය බලන්න
කූඹියෝ 2‍,3‍,4‍,......

කූඹියෝ 2‍,3‍,4‍,......

නදී විතානාච්චි

තාත්තාගෙන් පුතාට පුතාගෙන් පුතාට යන දියවන්නේ උරුමය සහ රටේ කරුමය ⁣අල්ලස් දුෂණ කොමිස් අස්සේ වැජබෙන ර⁣ජයේ ලොකු පුටු රත්කරන බත්බැලයෝය වාසියට ජනමතය ලස්සනට හසුරුවන අමන තුච්ච නින්දිත ජාලගත ටෙලි පඩංගුය අටපාස් වත් නැතිව ලක්සෙට කොඩි දමන්නට ගොස් පාතාලයට කුඩු වලට කත් අදින මැරයෝය කලු සල්ලි සුදු කරන වෙඩි නොවදින තරු පනතියේ බිස්නස් කාරයෝය ගලහ තුම්මල්ල හන්දියෙන් රතු කබා ගලවා වැඩ වසම් රෙදි අපුල්ලන හෙංචයියෝය තුට්ටුවට දෙකට විකිනෙන ⁣ගොඩයන්න පාර හොයන තරුණ තරුණියෝය මව්වුරුය පියවරුය ඒ අස්සේ බුදු බණද සිවුරද අමතකව ගිය ගිහිද පැවිදිද දන්නෙ නැති අමනයෝය සුර පුරක් කල හැකි මුළු රටම දැන් නරා වලක්ය සේසතම හෝ විකුණා රට පැනලා කටු කෑවත් ඔවුන්ගේ දරුවෝ දවසක දිනුම්ය ⁣කිඹුල්වත් නුවර බරණැස විශාලාව මෙන්ම මහා සෑය දලදාව මහා බෝධිය දරා සිටින මව් රටට දිවැස් ලන සිව් මහා දෙවියෝ නිහඩය නිසලය..... ...නදී.... Ms.H.V.Nadeesha Lakmali (B.Pharm, PG Dip Toxicology, MSc in Applied Organic Chemistry)
කවිය බලන්න
හැම තැන අම්බලම

හැම තැන අම්බලම

නිරන්ජන් සෙල්වදුරේ සිඩ්නි, ඔස්ට්‍රේලියාව

අම්බලමක් ඇත, නොදනිමි කොයි තැන ආගන්තුක සැම නිරතුරු එන යන අවසර නොම ගෙන දින දින පැමිණෙන අයගෙන් එහි තුල නිරතුරු අසහන වයිරය, ක්‍රෝධය කරපින්නා ගෙන රහසින් වැඩ අම්බලමට ගොඩවෙන කරුවල සෙවනැලි එය තුල හොබවන අවමංගල බව සැම තැන පතුරන මෙත් කරුණා ගුණ වඩමින් එලඹෙන මදහස පා අම්බලමට පිවිසෙන මුළු පරිසරයට ආනන්දය දෙන ආගන්තුක අසිරිය යලි බබලන අවසර නැතිවම නිතරම පිවිසෙන ආගන්තුක සිතුවිලි හැම එන යන මෙම තැන සිත බැව් දැන් දැන් වැටහෙන අම්බලමක් ඇත සිත යන හැම තැන එක් තැන් මනසින් සංසුන් විය යුතු සිත වැඩුමට බාවනාව කල යුතු උපෙක්කා ගුණයන් වඩනෙම් මින් මතු අම්බලමක් ඇත පිරිසිදු කල යුතු
කවිය බලන්න
විමසමි  - නලිනි ද සිල්වා

විමසමි - නලිනි ද සිල්වා

නාලිනී ද සිල්වා

පැන්නුම් කුළුුණු පහුකරගෙන විමාන අට්ටාල මැදින් එකින් එක පිරික්සමින් මුදුනටම නගින්නට ඇත්නම් සිතුනු වාර අනන්තයි ම් ගෝපුරම් යන්න නම් නමක් හිමි විය යුතුයි වංශනාථ නවරත්න වගේ අවිචාර සමයක්ම විය යුතුයි යුගය ඒත් මෙතෙනින් යනකොට නවතිමි හැමදාම විමසමි ඒ රූප වික්‍රමය සුසුවඳ දොර කුළුණු අභියස
කවිය බලන්න
අධිවේගයේ මඟහැරුම

අධිවේගයේ මඟහැරුම

නයනශාන්ති දිසානායක

අධිවේගයෙන් මාතරට පිම්මේ ම ආපහුත් පියාඹන පිරිමසාගෙන කාලයේ මසුරම අමුණාන නෑ සනුහරේ මාලය අධිවේගයෙන් ගෙවෙන මේ ජීවිත පෙර, පෙරුම් පුරාගෙන යන්න දවසක් ම කැප කර කල්පෙකින් මූද නොදකින දෑස පුරවා ම විද විද හිතු හිතු තැනින් රැල්ල පෑගුව කිරල බීමක රස මතක අතීතය රස කෙරූ මතක පමණය අතුර බැදි රුප්පාව මැදින් හිරු චායාව කරදිය හුළඟ විද විද බැස යද්දි ගත්ත සේයාව එකතු කර ගත් සිප්පි එක්කම පැංචෙක් ගෙනත් දුන් මාලය ඇත තාම මා ගාව මතක මත පරිස්සං කරගෙන හික්කඩුවේ දි ගල් මල් සීනිගම පුද බිමේ හාස්කම් දැක බලා විදගන්න ගිය ගමන් ඒ තමයි ගොඩබිමෙන් ඈතටම ගියපු දුර වීසා නැතුවමත් රිටක සිටුවා ජීවිතය පවුලක් අස්වසා ගනු රිසිව මූද දුන් අස්වැන්න ඉල්ලගෙන හුවමාරු කර ගත් හිනාවක් අග නුහුරුවට 'දොඩනා' වචන රස කරමින බෙන්තර ගඟේ පාලම පැන්න හෙම්බත් උනත් දිගු ගමන වින්දා අපිත් ජීවිතේ එහෙම දැන් දුවද්දී පිම්මේ ම එකම වේගයෙන් සීයට නිදි බර දෑස පුබුදන සිනහවක් වී තැවරෙන ඒ... හෙමි හෙමින් ගිය මඟේ සුවඳ පමණය මතක
කවිය බලන්න
ජෝතිපාලයි මිල්ටනුයි .

ජෝතිපාලයි මිල්ටනුයි .

නීතීඥ නීල් ගුණසේකර කොළඹ

ඇඹරි ඇඔරී තැටියෙ පෙරළෙයි රත්වෙවී කදිමට ඇනෙයි මැරී මාසය ගෙවුණු කුකුළා හීනියට කැපුවම රසයි සෝස් දැම්මම ලීස් ඉතුරැයි ගෑස් ඇත්තේ තව ටිකයි චීස්,ඩොල්පින්, මාලු අතරේ පොලිස් කොත්තුව මල්පහයි ඔලුවෙනුත් දාඩිය වැටෙයි ඒ ලුණු රසෙන් කොත්තුව ඇනෙයි තොත්තුවක් මට දෙන්න ආසයි නෝනගේ කම්මුල් යසයි ඉන්දියාවෙන් ගෙනා බිත්තර සන්තොසින් සතොසින්බෙදයි සින්දුවට මං අදත් ගත්තේ ජෝතිපාලයි මිල්ටනුයි .
කවිය බලන්න
ඔබ

ඔබ

ආචාර්ය පාලිත ගනේවත්ත ඔස්ට්‍රේලියාව

අඳුරු ලොව තුළ ගිලුණු හදවත ස්නේහයෙන් පුරවා සොඳුරු පෙමකට අන්ධ වී ගිය දෙනෙත් යළි ඇරවා යටිකුරුව තිබු ප්‍රේම බඳුනක් උඩුකුරුව හරවා වැසී ගිය ආදරේ නිවහන පියන් පත් හැරදා ගිලන් වූ හදවතට පණ දී දයාවෙන් පුරවා සිතේ සැනසුම සතුට සෙනෙහස නිබඳවම පෙන්වා නවමු හැඟුමෙන් වෙලා සියොළඟ ප්‍රේමයෙන් පුබුදා යළිත් මට ජීවිතය ගෙනදුන් ඔබ ය ඔබමය මා නිසල බව සිඳ හමන මඳ නල සුවඳ හා මුසුවී පෙළුණු ගත සිත නිවා සරතැස වැළඳ උණුසුම දී දෙහද එක්වී සිහින ලොව තුළ එකම හදවත වී වලා පෙළ සිප වැළඳ පුන්සඳ ලොවම අමතක වී Photo credit ; freestocks
කවිය බලන්න
දඩබ්බර රස්තියාදුකාර කවියෙක්

දඩබ්බර රස්තියාදුකාර කවියෙක්

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

"ඉගෙනුමද අඩාලව ගිය රස්තියාදුකාර මා ප්‍රිය මිතුරු කවියෙකි ඉතා දඩබ්බර" කා සමග හෝ ඔබ කියනු මතකය පෙර දිනෙක උදෑසනින් මවෙත අවුත් තිලින කළ උද්භිද විද්‍යා සටහන් පොත් අපූරු කවි සිතිවිලි මවයි සැඟව උන් රන්වන් ලා දල්ලක් විනිවිද දෑතේ දුවන හරිත වන් සිහින් නහර වැල්ද මුව මඳහසද දැක මහද තිලැස්සුනි සදාතනික සිහිවටන ලෙස හරිත පත් වල තැන්පත්ව ඇති වියැලුන නෙක දළු කොල අතර මසිතද සිර කර දමමි රහසින් එක ගසක පත් සේ අප යළිත් ඉපදුනත් සතුට සෝකය උතුරා යන දෙනෙතින් යුත් සොයුරියක්- මිතුරියක් දකිනු රිසියෙමි * Ficus Leaf - A. Ayyappan (Kerala poet) ඇසුරින්
කවිය බලන්න
අබිනික්මන

අබිනික්මන

ප්‍රියංගිකා බටගොඩ

අහස ගිනිගෙන දැවේ බොහොදුර හිරුද මැදිකර රුදුරු පුලිඟුව තුංග කඳුවැටි යාය ගිලගෙන කලුම කලුපැහැ අලුය විසිවුන හංගගෙන ඇස් දිට්ටි මානෙම.... අලස ගතියෙන සැලෙන පියපත වවුල් රෑනක සොඳුරු සිතුවම දකුනු කුරුසිය දිලෙනමුත් රැය බොහෝ දෙනෙකුම වැරදි මගකය හත් දින්න ගැන ගැනම එළිවිය.... පහන් පැල තුල නිවුනු පහනය කොඩෙයියන් රොද බැඳුන සයනය පැන් පොදක්වත් නැතුව හිමිසඳ දූලි ඇලවුනු මකුලු වියනට යටින් අඩවන් දෑස නොහරින....... පොහොන් යායකි දෙවැට අද්දර බිමට නොවැටි ඇලවු කුලුනක සාත්තුව කිසිවකුත් නොබලම ආන්..,ඕසෙට පිපුන මල් ඇත බිඟුට කලියෙන් වැටී සැඟවෙන.......
කවිය බලන්න
එහෙව් අය

එහෙව් අය

බී.පවිත්‍රා අංජලී ලීලාරත්න ආලංකුඩාව

තිබුණත් රුවින් උන් ළඟ මහ පොෂ් ගතිය කැකෑරෙයි වටවල තේ හැළියක් හිත් කොනක වැඩ වැඩි නිසා කට කොනකින් හිනාවෙන හරිය ටිකට් නැතිව පෙන්වන බහුරූ කෝලම් වැනිය... කලට වෙලාවට පදමට රසට ලොකු පුටුවලට බෙදනා රස පැණි ගුළිය අරයාගේ මෙයාගේ කතන්දර එක පෙළට අනේ කොහොම මතකද ඔච්චර හොඳට... උන් විතරයි හොඳම අනිත් උන් ඕපපාතිකය උන් විතරයි දන්නේ අනිත් උන් මැටිගුලිය අඩු කළ උන්ය අහු මුලුවල කියවන කටවල්ය විලි සංගයක් නැතිව දඟලති බාලයින් ලෙස... 2024/07/06
කවිය බලන්න
පිනෙන් තොර සැපයක්ද ජීවිතයක්ද නැත.

පිනෙන් තොර සැපයක්ද ජීවිතයක්ද නැත.

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

මුළු ජීවිතය දුක් ගෙන දෙන දදයක්ය එක එක ගැටලු ගෙන දෙන්නේ වදයක්ය දුක නොමැති නම් දිවියම මී වදයක්ය සැප දෙන ඔසුව සුම්හිරි දම් පදයක්ය ආශා ලෝබ ආදර සෙනෙහස පේම එක එක ලෙසින් ඉන්නේ තෘෂ්ණා මේම නසමින් මොවුන් සසරින් ගැලවෙනු කෝම සිත යොමු කරමු වෙත අපි සම්බුදු දහම පැතුවත් කොතෙක් සිතුවද අදිටන් කළද වලකනු බැරිය ඉර හඳ පායන තරුද එලෙසම සෑම දිනකම ඔබ හා මමද වලකනු බැරිය වයසට යන එක සබඳ කන බොන දෑ සමඟ වාතය උණුසුමද සුවබර වාසයට සුන්දර මන්දිරද යානද වාහනද නෑදෑ මිතුරන්ද ඇති මුත් නොමැති නම් පින යයි පණ කෙන්ද මිය යන බව දනිමු අපි සැම දෙන නිසැකී එනමුත් කැමති ඉන්නට මරණින් වැළකී එය සිදු නොවෙයි කරුමය ආ විට කැරකී කළ යුතු පිනයි සුවසේ ඉන්නට සුරැකී
කවිය බලන්න
ගමන...............

ගමන...............

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

කඳුළු හා දහදියෙන් තෙත්ව ඇත මුළු ගතම බුර බුරා නැඟෙන ගිනිදැල් දවයි සියොළඟම නොනිමි පැතුමන් තුරුළු කරන්හදවත තුලම කවදාද කොතැනකද නවතින්නෙමේ ගමන. දුර ඈත සිතිජයට පිය නඟන තුරුම මහා වාලුකාවක දිය දකින තුරුම දිණුම් කණුවක පහස සිත ලබන තුරුම වැටිවැටී නැඟිටිමින් යයි වැටෙන තුරුම තරඟයකි නිමක් නැතඅනෙක දුර යතේ කෙලෙස හෝ දිනිය යුතු දිරිය දා ගතේ පැතුම සිතුමිණක සේ දුර ඈත ඇතේ ලැබිය යුතු නිසාවෙන් පෙරමුණට යතේ. වැටි වැටී දිව ගියත් ජයක් නැත ලබන්නේ කටු උඩින් ගිය දෙපා ලෙයින් වද විදින්නේ තවත් යා යුතුව ඇත දෙපා නැහැ තකන්නේ කිමද දිවි ඇති තුරා මෙලෙසින් දුවන්නේ
කවිය බලන්න
ඒරියා 51

ඒරියා 51

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

විශ්වයේ කෙළවරක ඔහේ පාවී තිබෙන ලෝක අතරින් පැවති එකම එක ලෝකයක්... පිය වදන් තෙපලනා ස්වේත වර්ණය හඳින ගෙල වටේ මල් පැළඳි අමුතු මිනිසුන් කැලක්... දිවා රෑ බණ අසන ඒ වදන් පිළිපදින ජීවියක් නොමරණා හරි පුදුම ජාතියක් ... රටවලට බෙදී නෑ නායකයෙකුත් නෑ ජාතිවාදයක් නෑ ආගම් ද බෙදී නෑ.... වෛරය දන්නෙ නෑ දුක කියා දෙයක් නෑ සතුට සැනසුම මිසක වෙන දෙයක් එතැන නෑ... රූප ශ්‍රීයෙන් සුසැඳි අමරණීය ව වසති කෑම බීමට වඩා භාවනා යෝග වෙත්... නම් ගම් ද වෙනුවට වෙනම සටහන් ඇති ලද දෙයින් සතුටු වන අරුමැතිම ලෝකයක්... සත්‍යාවබෝධයෙන් මරු පරාජය කරන් තම සිතම ලෝකයම ජය ගත්ත ජාතියක් හෙට එනවා ඒ ලොවෙන් එක් අයෙක් මේ ලොවට මගේ වැඩ බිම වනා ඒරියා 51 තුළට... ඔහු සමඟ එහි යන්න ඇතිලු තව ඉඩ දෙකක් මම යනවා මැදියමේ උඹත් එනවද යන්න අපි එක්ක...?
කවිය බලන්න
එයා යන්නට යද්දී  මට ගුඩ්බායි කිව්වා!!

එයා යන්නට යද්දී මට ගුඩ්බායි කිව්වා!!

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් කිරිඳිවැල

හිතවතෙකුගේ සාදයකදී... එදා අපි මුණගැහුණේ සමුනොගෙන සමු අරන් කාලෙකට පස්සේ... ඔයා දුටු ගමන් මම මොහොතකට ගල් ගැහුනා. හුස්ම නැවතුනා වගේ දැණුනා. ඔයාගේ පෙනුමත් පොඩ්ඩක් විතර වෙනස්වෙලා තිබුනා. තවත් ලස්සන වෙලා... මට එහෙම හිතුනා. හායි... කොහොමද සදාකාලික ඉලන්දාරියා.. යහළුවෝ ඔයාට ඉඟි මැරුවා. පාසල් කාලයේ කෙලිබිමේ හයේ හතරේ පාරවල් ගහද්දී සතුටින් ඔල්වරසන් දීපු මතක අතනින් මෙතනින් ලීක් වෙනකොට ඒ සිදුරු ටික මම රිදි රිදී මැහුවා. ඔයා මා අභියස සුපුරුදු සිනා තවරගෙන නොසැලී බලා උන්නා. තත්පරයක් ගතවෙන්න කල්පයක් බලා හිටියා වගේ දැනුනා. මටත් නොදැනිම හිතේ සමහර හිස්තැන් පුරුදු ආදරෙන් පිරුනා. මොහොතකින් ඒ උණුසුම් සුසුම් වම් කම්මුලට දැනුනා. මේ දුකටද? සතුටටද? නොදන්නා විලම්බීත සයුරක මම ගිලුණා. "මම එදා වගේම අදත් අසරණයි ෂුගර් ..." ඔයා හෙමිහිට කිව්වා. (ෂුගර්....ඉස්සර එයා එහෙමයි මට කිව්වේ ආදරේට ) මගේ හිත වටපිට බල බලා හැංගෙන්න තැනක් හෙව්වා. ආයෙමත් ඔයාගේ ඇස් මගේ දෑසම හෙව්වා. මම ඔහේ බලාගෙන එදා තිබු දඟකාරකම් මැව්වා. "බලන්න ෂුගර්.... අපේ ජීවිත කොච්චර වෙනස් වුනත් අපි එදා වාගෙමයි. ඔයාගේ ඔය හිනාව...ඒ වගේමයි." හ්ම්....ඔයා දුටුවේ එහෙමයි. පපුවේ තැලී ඉරී ගිය තැන් බොහොමයි. ඒත් මට සතුටක් දැනුණා මා ගැනම අහා....ඒක කදිමයි. ඔයා වැළඳගත් මොහොතේ මගෙ අතින් ඔයා අත හැරුනා. මෙතෙක් හිතේ සැඟවිලා තිබූ ගිනි පුපුරු ඉතින් සදහටම නිවුනා. ආදරේ කියන්නේම හිතේ නොමැකෙන දෙයක් .. යටි හිතත් මට අමතන අයුරු දැනුනා. මම හෙව්වේම නොසැලෙන පෙමක්! හිත දස දහස් වරටත් කිව්වා. ඉතින්....ඔබ නමින් පිදු සෙනෙහසේ මල මම ආපහු පුදසුනේම තිව්වා. "ආයෙමත් යනව නම් ගුඩ්බායි කියලා යන්න. ඒ ඇති..." මම ආදරෙන් කිව්වා. එයා යන්නට යද්දී මට ගුඩ්බායි කිව්වා!!
කවිය බලන්න
සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

සුනිල් වලා නව සඳ නිලුපුල් පලළු විමල් සක් ගිජිඳු කුඹු සිරිවැස බැබළු විපුල් පුලින රඹ සිකි ගල මුතු ළදළු ලකල් රණලියන් සරනා බල යහළු ඉතා නිල්වන් වලාකුළු වැනි කෙස් කලඹ ඇති, නව සඳහන් නළල ඇති, නිල මානෙල් වන් ඇස් ඇති, පබළු වැනි තොල් ඇති, කුරුළු පේළි වැනි දත් ඇති, සක්ගෙඩි වැනි ගෙල ඇති, වෙනවා ඇත්කුඹු වැනි පියයුරු ඇති, උඩැක්කි වැනි සිහිනිඟ ඇති, විශාල වැලිතලා වැනි උකුල ඇති, කෙසෙල් කඳන් වැනි වටොර ඇති, මොනර ගෙලවන් කොණ්ඩා ඇති, මුතු වැනි නිය ඇති. ළා දළු වැනි අතුල්, පතුල් ඇති සිත්කළු රන්වැල් බඳු අඟනුන් දෙස බලන් මිතුර.
කවිය බලන්න
කැදළි කරා පියඹන............

කැදළි කරා පියඹන............

රංජනී කොස්තා නවසීලන්තය

කැදළි කරා පියඹන රන් ගිරවු අතේ තටුසලලා රඟඳෙන සමනලුන් වෙතේ බිම ඉසලා සරසන මල් පියලි මතේ ලියල එවන්නද තතු කියවෙනා හිතේ,,,, ගෙමිදුල ඇඳි හිරුගේ රැස් කිරණ පුරා රටා මවයි සෙවනැළි සිත්තමක උරා ගතහිරි දෙන සීතල පවනකම නුරා මඟ බලමින් ඉන්නම් ඔබ වඩිනතුරා සෙනෙහෙ පිරුණු සිත්තම් රූ අඳින්නටා වෙළුන දෑතෙ රැකවල් නිති ලබන්නටා සුව සිහිනෙක මල්ඵළ නෙත විඳින්නටා පැතුම දිනෙක හිමිකම් හිත රඳන්නටා වෙහෙස ගලන සිරුරෙන් දාහය නිවෙන්න හිතට සවිය දෙන්නම් මතුදා දිනන්න කැදැල්ලෙ රැඳි පැටවුන් නිතිදා රකින්න ජීවෙ පුරන්නම් මා තනිකම මකන්න Photo credit; Syed Ahmad
කවිය බලන්න
ප්‍රාර්ථනා !

ප්‍රාර්ථනා !

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

හැඩි දැඩි සිරුරේ පහසට ලොල් වී සියුමැලි හැඩරුව ඔබට පිදුව වග හන්තාන අරණ තුළ පුළුල් දෙව්ර හිස වැඩුණු උඩුකය දුටුව සඳ මගේ සිත නිමා කලෙහිය දිගු වෙහෙසකර ගමන මගේ දෑස් දල්වා බලා ඉමි සියො ළඟම දැවී ගිය ආලවන්ත ස්නේහයෙන් පිරී ගිය ප්‍රේමයක් හමුවෙන තුරු මම නිමේශයකින් ඔබ කියා දුන්නේහි ආදරය ගොතමි මල් දම රැය පුරා මගේ තුරුලට එනතුරා …….
කවිය බලන්න
Raskolnikov has done a crime again ……

Raskolnikov has done a crime again ……

සන්ජය ප්‍රියදර්ශන උඩුගම්පොල

To the Unsmoothing sky I said my secret remorse Gathering dark clouds laughed at me Retired tides faraway got a silence mood Beheld at my long face lovely wife shaken her smiles sniggering at me always hit her words “You Rascal, nothing has done to you yet” I was numb to be a stone One day I hid to catch that Lovely lady SONYA I knew it was she my relief If Prostitute she was Soon after I set about my short episode She handed me a visiting card “Here is my visiting card. Call me for an appointment One hour two thousand as you like” She dwindles away through the black air fogs It was SHE certainly I wonder whether she bit changed RASKOLNIKOV - A Character in remorse in Crime & Punishment novel by Fedor Dosthosky SONYA - A Sexual worker in the very novel but she listened to him and helped to get his salvation
කවිය බලන්න
පොරොන්දුව

පොරොන්දුව

සහන් තීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර සරසවිය

විහිදෙයි කිරි සුවඳ මුළු මාලිගය පුරා ඇවිලෙයි හදෙහි සෙනෙහස් ගිනි පබළු ලතා කිම් අන් සැපත පුතුගේ මේ බොළඳ සිනා ඉල්ලාපන් පුතේ මොනවද ඕනෙ කියා කැරකී නටන සොඳ සුන්දර බෝනික්කෝ ගී කිය කියා නටනා පොඩි බට්ටිච්චෝ වේගෙන් එහෙ මෙහේ ඇදෙනා රථ පොඩ්ඩෝ නොව අන් දෙයක් ඉල්ලමි මම හද බැන්දෝ දැවෙනා සිතට නිවෙනා මග සොයාගෙනේ ඒ මග ගොසින් දිලිසෙන මුතු පබළු වගේ සොයලා උතුම් දායාදය විරිය ගෙනේ ගෙනැවිත් දෙනවාද මාගේ පියාණනේ දල්වා සඳ පහන් සිළු හද ගුවන අරා නිම්මා නොමැති ගනඳුර හැර දමනු නියා සම්මා සම්බුදුන් වෙන්නට පෙරුම් පුරා නේරංජනාවෙන් සෙනෙහස ගලා ගියා ශ්‍රී ජයවර්ධනපුර සරසවිය Whats app - 0713527143
කවිය බලන්න
අම්බලම

අම්බලම

සනත් හේමචන්ද්‍ර

සැදෑකල ගෙවෙන තුරු.. එක්වෙති මගියෝ අම්බලමට.. උනුන් සුව විමසමින්.. වැතිරෙති ගිමන් හරිනට.. එකතුව අහර පිස ගනිත්.. සැතපෙති යමක් වලදා.. උදෑසන අවදි වී.. නෙත් යොමා බලන විට.. මගේ යැයි සිතූ ඒ.. කොහි ගියෙද උන් සැවොම? මොහොතකට නැවතිලා.. වැටුනෝය ගමනටම.. සිටිනු! යයි නවතන්න.. හැකිවීද කිසිවෙකුත්? මවු පියන් ගිය සොවින්.. හැඩු කදුලු සයුර පැරදී.. දරුවන් සොයුරන් මිතුරන්ද... ගිය සොවින් හැඩූ කදුලුද.. සත් මහ සයුර පැරදී.. මගේ යයි කියා හඬමින්.. යන්නෙමුද තව කොතෙක් දුර? ලැබී ඇත දුලබ සැනයක්.. මෙ අම්බලමෙදී අද.. ලබන්නට විරාමය.. ගමණ නිම කරන්නට.. මගේ බව නිවා එම.. නැවතීම ලබන්නට.
කවිය බලන්න
කොරහෙ නාන අලි

කොරහෙ නාන අලි

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

ගඟේ ගිලී කරවට දිය නෑව මට ඇඟේ උලන්නේ ඇයි මේ රබර බට මගේ දෙවි රඳුන් වැඩියත් ඇතුන් පිට වගේ වගක් නෑ වාවනු බැරිය මට කොතෙක් වැතිර සිටියද ගඟ දිය පොරනේ කුඹුක් තුරු සෙවන නෑ හිරු රැස් දැනුනේ නිමක් කොනක් නෑ මේ කරුමය ඉතිනේ ඇතෙක් උනේ පූරුවෙ කරුමෙට යකුනේ දිය නා බඩ පුරා බිව්වේ යස වතුර ගිය ආ මගේ කොල දළු හොඬ අග නිතර අය වැය ඉලක්කම් හැදුවත් ගා කෙකර ණය නෑ රටට අපි නම් නිලමෙල විතර ගඟේ ගිලි එදවස් දිය නාන කොට අගේ රැහැයි ගඬ කවියක් උනා මට රැහේ එවුන් මේ හැටි දුක් විදින කොට ඔහේ කරබාන ඉන්නද ? කියන් මට ඇතෙක් වැහැරුනත් කොරහේ ලගිනු බැරි කොතෙක් අසා ඇතිමුත් ඒ පෙගුන පොරි කටක් ඇරන් කීවත් යලි යලිත් සොරි හෙටක් නැති රටක බල සකි ඇසල සිරි
කවිය බලන්න
ආදරය බෙදමි

ආදරය බෙදමි

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

මුලු හදින් එක්වරම පෙම් නොකර කිසිවෙකුට හද නැගෙන ආදරේ සම සමව බෙදන්නෙමි ඇස් පිනන ලස්සනට විඳ සතුට හදවතින් වැය කරමි කාලක්ම යළි දෙනෙත් නොගැටුනත් ආදරය කරුණාව උතුරනා සිත් වලට වෙන් කරමි තව ටිකක් දුකක් නැත නොලැබුණත් මගේ හද අඳුරනා පෙමින් මා සනසනා හදක් වෙත පවරමී තවත් හතරෙන් එකක් තිරව තැන්පත් කරමි ඉතිරි කොටසම හදේ දෙන්න ආදරෙ මගේ තවත් අය ඉල්ලුවොත්
කවිය බලන්න
අනතුර

අනතුර

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

පළමු පෙම ටයරයක් වාගේ ගැලවුණා වේගයෙන් යද්දී ජීවිතේ කුඩු නොවී බේරුණි හීන බිම සමතලා වෙද්දී රෝද හතරේ ඇදය දිගහැර බොඩිය ටින්කර් කර තියා තැළුණු හීරුණු තැනට කැට්ලොයි පුරවලා ගමනක් ගියා අතේ ගැවසුණ ලෙසට රුපියල් පිටත සායම් ලෙස උලා කාලයක් ගතවුණා එන්නට කොට උඩින් බැස නැඟිටලා බිඳී ඉරිගිය හෙඩ් ලයිට් දෙක දුටු දෙයින් ඩිම් විය වරක් හැලුණු ටයරය අලුත් රථයක සවිවෙලා දුටුවා දිනක්
කවිය බලන්න
තරග බිම.

තරග බිම.

සපුමල් බන්ඩාර ලන්ඩනය

කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ ඒයන ගමනට පිංකර ගන්නේ ලැබුවද නෙත්මිනි දහසක දසුනේ නිවන දකින්නට අපහට නොමවේ මා රැකගන්නට සතුදේ ඇතිවේ දිවිය ගෙවන්නට කාබී සුවසේ ඔහු සතු මාහට නැතිදේ පෙනුනේ එතැනින් දුවනා තරගය ඇරඹේ ලෝකය සිසරා විසිතුරු දසුනේ ගෙනැවිත් අත්ලට අතහරි නිසිසේ සතුකර ගන්නට යුතුබව කියදේ තරගය අපබව අපහට නොදැනේ
කවිය බලන්න
සෙවීම

සෙවීම

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

සොයන විට ඔබ මා නෙත් පුරා ඇවිළේ දැයි රාගයේ ගිනිදැල්ල සොයමි මම ඔබේ එක් නෙත් කැල්මක වේදැයි ප්‍රේමයේ සඳ එළිය..
කවිය බලන්න
ගිම්හානයේ වන පෙතක අසිරිය

ගිම්හානයේ වන පෙතක අසිරිය

සුනීශා සෂී සමරවීර

ගිම්හානය ලබන කලට පාට පාට මල් පිපිලා මී මැසි ගුමු ගුමු නාදය මලින් මලට රැව්දීලා උදේ රැයින් කිචි බිචි හඬ වෙනදට වැඩියෙන් ඇසිලා රන්වන් පාටින් හිරුරැස් ආකාසේ පැතිරීලා ගස් වැල් දළු දා ලියලා මද සුළඟේ නැලවෙනවා ඈත දිවෙන තණ නිල්ලේ පොඩි පිනි කැට දිලිසෙනවා කුරුළු රෑන් රංචුපිටින් කොහෙදෝ පියඹා යනවා උසට උසේ නිල් අහසේ පුළුන් වලා පාවෙනවා පුංචි පුංචි ලේන පැටව් ගහින් ගහට පැන යනවා හා පැටවුන් නිසසල වී අනතුරකට කන් දෙනවා මුව පැටවුන් විදුලිය සේ පඳුරු උඩින් පැන යනවා බලු පැටියා ඉව අල්ලා යුහුසුළු ගමනින් යනවා දිය බුබුලක මිහිරි හඬින් සවනත පිනවා යනවා වනමල් මත සමනලයින් තටු සලමින් රඟදෙනවා ගස් අතරින් බේරුනු හිරු තුරු හිස් මත නැලවෙනවා ගිම්හානයෙ උදා සිරිය අරුණෝදය සරසනවා පුංචි අපට කවි සින්දු
කවිය බලන්න
මැරූ සිහිනය

මැරූ සිහිනය

තුෂාරි ජයසිංහ මහනුවර

සීත හිරිකඩ මුවා කර මම වසාගෙන රැකවරණයම දුන්නා ළපැත්තට කන තියා බල බල හුස්ම වේගය මැනල බැළුවා කිරි හිනාවක් මෝරනා කළ තුටින් ඉපිලී මලුත් පිපුණා නුඹෙ කඳුළු බිඳු දවා හදවත ලැව් ගින්න සේ සිරුරෙ දිව්වා සිප් හලේ දුටු හපන්කම් නුඹේ උදම් ඇනුමට වචන හෙව්වා තුරුණු ඔය නෙතු කතා කළ හැටි ඇස් කොනින් මේ මමත් දුටුවා ජීවිතය උගනින්න යයි යළි සරසවිය ආරාධනා කෙරුවා මෙතෙක් පැටලැවි තිබූ අත මම ලිහිල් කර නුඹ මුදාහැරියා සොඳුරු සිහිනයට ගෙවැදී පැතුම් මල් සුන්දරව පිපුණා උදම් රළ විත් අහසටම නැග ලෝකයම සුනු විසුණු කෙරුවා සිතත් හූරා කොනිති ගසලා හුදකලාවට දමා තිබුණා මිනිස් වෙස් ගත් රුදුරු රකුසන් බිදුණු සිත පාරවා තිබුණා ජීවිතය සරසා සුවඳ දුන් සිහින පැස ගිනි අරන් තිබුණා කයට රිදවුම්, තැලුම්, සීරුම් හොඳ කරන්නට බෙහෙත් තිබුණා බිඳුණු හදවත් පාස්සන්නට බැරිව දිව ඔසු පැරදි තිබුණා දෑස්වල දිලෙනා කාන්තිය සරවියෙ උන් මරා තිබුණා. 2024.07.19.
කවිය බලන්න
කොහේ සිටියත්

කොහේ සිටියත්

විශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න එක්සත් රාජධානිය

පෙම් විකසිත පැරීසියේ සද එලියේ මැද පෙරදිග, තනිය දැනුන ඉතාලියේ හිරු නොබසින තැන, මෙල්බන් සැනකෙලියේ එදා ඇසුනු ගී පමනයි ලග සිටියේ අම්මා සිහිවී කදුලක් ගලත ඔහේ මීවිත එසවෙන දුටුවිට එවුන් රැහේ අමරදෙව් රදුන් මාලිනියන් ද ඇහේ හීන හොයා ආ ගමනක කැලැල් වැහේ වෙනස් උනත් දෙස, නැතුවත් කසී සලූ දවස් ගෙවී දිවියේ ඉම උනත් කලූ හද ගැහෙනා තෙක් ඉපදුන බිමෙන් නෙලූ ගී මල් වල සුවද පමනි ගමන් මලූ
කවිය බලන්න
සිතුවිලි

සිතුවිලි

උපාලි අත්තනායක මහනුවර

එක්වූයේ අප නොහඳුගෙනයි වෙන්වන්නෙත් අප නොහඳුගෙනයි භව සසරේ ගෙන ආවේ සිතුවිල්ලක් පමනයි භව සසරේ ගෙනයන්නෙත් සිතුවිල්ලක් පමනයි සංසාරේ පෙර පුරුදුරටා නැත හඳුනාගෙන මියෙනතුරා ජීවිතයේ මොහොතින් මොහොතට උපත විපත සිතුවිලි පමනයි Photo credit; Shahalyyy !!!
කවිය බලන්න
හිතවතුනි....

හිතවතුනි....

වජිර ජයවර්ධන

හදපු තැන්, හැදුන තැන් දකිනකොට දින දින බිදෙනවා දරන්න බැරි තරම් හදවත කකියනවා හිතවතුනි සාක්ෂි නැතුව තීන්දු දෙන්න එපා හැම නඩුවකටම විත්තියක් තියනවා. 🙋‍♂️ Photo credit; Levi Meir Clancy
කවිය බලන්න
🗙