ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම
2023 දෙසැම්බර් කලාපය
සුසිරි ගී ස්වරගතය දසත යොමු කළා මං
සුවහසක් සවන් යුග අම නඳින් පිනුව මං
දෙව්ලොවින් මනු ලොවට හඬ අරං ආව මං
පන්සිළු ගෙ ගී කුලයෙ පළවෙනිය උනා මං
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
පටුන
ආචාර්ය නන්දා මාලිනී උපහාර කලාපය
අන්තර් ජාලයේ වාරණ හෙයින් කවි සමඟ චායාරූප පළකිරීමේ සීමාවන් පැනැවී ඇත. එසේ හෙයින් ඔබගේ කවිය සමඟ චායාරූපයක් එවන්නේ නම් එය ඔබට අයිතිය ඇති හෝ පළ කිරීමට අවසර ඇත්තක් එවන්න.
ඉර ද හඳ ද සක්වළ තරු සියල්ල
පැහැද සිටිය රෑ දහවල මුළුල්ල
හෙට ද හැර නොයන ලක්මව් තුරුල්ල
නුඹ ද සදාකල් හඬලන කෙවිල්ල
විසල් අහස මැද දිළි තාරකාවා
මුළුල්ලට ම රට තොට, එළිය පෑවා
සියල් සුළවතුන් හඳ මඬල ගාවා
කෙවිල්ලියේ නුඹ ම ය වාසනාවා
රෑහි හඬන මිහිරන් මෙන් වසඟ වුණ
ජාතියකට අහිමිද ඈ රකින පින
පාට වරුණ වලි කුකුලනි සැඟව ගෙන
අදට දෙන්න කෙවිලියකට උරුම තැන.
2023/11/19
කවිය බලන්න
ඇයයි හඬයි
හඬක හඬකි මහ අරුමෙකි සුමියුරු ඒ හඬ
හැඩකි හැඩකි සප්ත ස්වර මුව’ඟ රඳන හඬ
උඩකි උඩකි ගායනයෙහි උඩඟු ලියන් හඬ
වැඩකි වැඩකි ජීවනයෙහි පවන හඬන හඬ
කවිය බලන්න
සත්‍යය ගයන්නී
සත්‍යය ගයන්නී
හදවත පාමිනිය
හෙළ දන මන දිනූ
ගී මන්දාකිනිය
තවමත් කිරුළ බිම
නො තැබූ රාජිනිය
ලොවටම එකයි - ඈ
නන්දා මාලිනිය
කවිය බලන්න
පන්සිළු වෙණ නදට විලි වැද සැඟ වෙන්ට
පන්සිළු වෙණ නදට විලි වැද සැඟ වෙන්ට
පෙම් මල් සිනාවක ගී රස රඳ වන්ට
හැන්දෑ අහස දේදුනු සළු පළ ඳන්ට
රන් සර ඔබ නොවෙද දුන්නේ කොවුලන් ට
බෙදා කඳුළ විඳ ලද දිවි පන්නර ය
සදා දැයට දුන් ගී රස සංවර ය
උදා හිරු මඬල සේ නිති පින්බරය
නිදා වැටුනු දැය පිබිදූ මන්තර ය
මිහිකත නිවාලන ගී මිණි මුතු වැටු නි
සියපත සියදහස් නිල් විල් මත නැටුනි
යහපත සෙත් පිරිත ඒ පදවල කෙටුනි
පිරිපත දුරැර මුව මුව හසරැල් ගැටුනි
කුමරි බඹසර ගොදුරු සොයනා කුවෙරයන් හට
ඉසුරු සම්පත් දැයේ ගිලගත් අමනයන් හට
මියුරු ගී පදසඳලුතලවල විසුරුවන් නට
මහරු දිව සර නොදුනි කිසිවිට අලෙවිවන්නට
මුල් සිඳී ගිය ජාතියේ පාදමින් නුවණැ ස
දැල් වුවේ ගීපහන් එලි ඔබය සිව්දෙ ස
මල් දමින් බර මුසාවෙන් වැසූ කිතු ගොස
බොල් පිලිම පාමුල නැමී නැත ඔබෙ හිස
හෙලන දුකට අඳුරට කඳුලු මාවතේ
බලන දයා ගුණ අපමණය ඔබ සිතේ
දිලෙන මුතු තරු පොකුරු පිරුණා ගී පොතේ
ගලන ගඟ වැනි දයා ලූ ඔබෙ ජීවිතේ
කවිය බලන්න
නන්දක්කා..........
සෞම්‍ය සොඳුරු
වානේ ගැහැණිය ගැන
කවියක් බඳින්නට
නැත කවිකම් මා සතු
තැවෙමින්
ඉබාගාතේ ඇවිද යමි
කඳුමුදුනට වන් කළ
හාත්පස වසාගත්
ඝන නීල තිරයකි
හැකි උච්ච ස්වරයෙන්
'නන්දක්කා' යයි ගයමි.
ඒ හඬ නැවත පැමිණේ
දෝංකාරයට ලොල් වී
නැවත නැවතත් ගයමි
නිල් අහස යට කර
වලා එකිනෙක මෝදු වෙයි
කැටි ගැසෙයි
අඳුරු වෙයි
අහස සතුටින් හඬයි.
- ඡායාරූපය - ලාල් හෑගොඩ
කවිය බලන්න
ස්වස්ති සිද්ධම් බෙණෙම්
විතර නොවිතර ගැයුම් කෙවිලියන් උස් තැනින් පත්
අතර බුහුමන් වෙසෙස් හිස් මුදුන් සරණින් ලබා
අමර පද'රුත් බෙලෙන් මජර මන් දපනේ දැමූ
මතුළ ගී අනුහසින් මාලිනී නන්දා දිනේ
ඉන්ද්‍රඛීලය ලෙසින් නොසෙලෙනා බැවිනුත් විලස්
ගී ගයන් තියු අගයමින් ගී ලොවේ ජනනී පබා
ස්වස්ති සිද්ධම් බෙණෙම් නිරෝසෙත් යව්දිව් පතා….
කවිය බලන්න
"ගලන ගඟකි ජීවිතේ" කියාදුන් ඔබ ගී මතුරකි අති රමණී
"දෙදහස් පන්සිය වසරක්" තිස්සේ "රට කරවන්න"ට පැමිණි නඩේ
අප "යදමින් බැඳ විලංගු ලා" බව "නිදහස් බයිලා" නැඟූ හඬේ
හිමිකාරිය ඔබ "රුවල් ඉරී ගිය නෞකා" නිදි බිඳි වියරු සැඩේ
"උරය පලා සැතකින් එක රතු පැහැ රුහිරු ගලනයුරු" ගැයූ හඬේ
"හන්තාන අඩවියේ මැදුරු කුළුණු"තර ඔබේ ගීත රැව් දී ඇසුණී
"පෙරමුණ ගත් වරදට වෙඩි සැර කෑ" සොයුරන් නාමෙන් පෙළගැසුණී
"සුළං කපොල්ලේ" සැඬ "පවන"ක්තර පවා ඔබේ තෙත හද ගැයුණී
"සම්මා සම්බුදු අම්මාවරු ම ය" දරුවන්ගේ දුක් කඳ හැඳිනී
"රන් කෙන්දෙන් බැඳ" "හද විල කලඹන පෙම් ජල රේඛා" මැකි සොවිනී
"ළසොවින් හඬනා"හද තත් අතරේ "දෙවියන් දුන් පඬුරක්" වෙසිනී
"ආදරයේ වේදනාව" දුරැරා "ජීවිතය ම කවියක්"ලෙසිනී
"ගලන ගඟකි ජීවිතේ" කියා දුන් ඔබ ගී මතුරකි අති රමණී
"සැඳෑ කළුවර" ම හද දවනා සඳ "තරු ද නිදන මහ රෑ" නිදමී
"ඔබයි රම්‍ය සඳ කිරණ" "රෑට ඉහ ඉද්දර කොඳුරන කවි" අම මී
"යමුණා ගං තෙර තමළු ලතා සෙවණේ" සතපා හද දුක් සිඳිමී
"අරලිය ලන්දට හද පායන කොට" ඔබෙන් නිවී සඳ සේ නැඟෙමී
"පූජාසනයේ හිඳුවන ලොවමයි ඔබට එරෙහි වී නැගිටින්නේ"
"උඩඟු ලියන් හිස සරසනු" නොරිසිනි "මලට රේණු" මුතු හිමිවන්නේ
"නිවැරදි කරනට බැරි රජු නෙරපනු" ගැයූ ඔබේ හඬ රැව්දෙන්නේ
"ඉහලින් වියැළුණු ගම් බිම්" නිවමින් වසිනා වැසි ඔබ ගී වැන්නේ
ඔබ ගැන වැණුමට "දහක් දේ තිබේ වදනින් කීමට බැරිව වැසී"
"අහස සේ ම ඔබ අනන්ත" පැහැති ය, " කුරුටු ගෑ ගීත" දසත වසී
"ඔබයි නවාතැන් පොළ" ජීවිතයේ "වන්දනාව" සැනසූ සුහසී
අසූ වසට තව සහස් වසක් නිදුකින් වැජඹේවා ! මවුනි සිසී
කවිය බලන්න
ඇය වැනි අය එන්නෙ රටකට වතාවයි
ජ්‍යෙෂ්ඨ කලාශූරීනී නන්දා මාලනී උපහාර
**********************************
අඟහරු වෙතට ඇති අති දුර අහස් කුස
යාමට නොහැක අධිබල වේගෙකින් මිස
හෙලිකොප්ටරයකින් යාමට තනන ලෙස
කරනා වෑයමකි මා මේ කරන කිස
කවි ලක්ෂයක් ඇති "මහභාරතය" පොත
වැනි ලෙස ලිවිය හැක ලියුවොත් ඇයගෙ වත
එනිසා එතුමියට අවමන් නොවනු ඇත
සිතමින් මෙසේ අති කෙටියෙන් ලියමි මිත
දඹදිව් තලේ සුපතල කිංකිණි නාදේ
අයිතිය ලතාටයි නැත ඒ ගැන වාදේ
සිරිලක් තලේ සුමියුරු කෝකිල නාදේ
නන්දා මාලනීගෙයි කුමටද වාදේ
නිවනින් සැනසුවේ සම්බුදු අම්මාය
කරමින් දුකැති දනහට නිති පෙම්මාය
ගයමින් ගීත වී සැමගෙම අම්මාය
වැඩෙමින් තිබුණු දුක් ඇය බිඳ දැම්මාය
ගීයෙන් ගෙනෙන්නේ දිවියට ලතාවයි
නන්දා එය ගෙනෙන සුන්දර ලතාවයි
මා මේ කියන්නේ ඇයගේ කතාවයි
ඇය වැනි අය එන්නෙ රටකට වතාවයි
වැසි නැති වියළි ගමකට වට වැස්සක් සේ
කුසගිනි දිළිඳු මිනිසුන් ලද අහරක් සේ
දාහය නිවාලන සීතල සුළඟක් සේ
ගීතය සුමිහිරිය ඇගෙ දම් පදයක් සේ
අමයුරු මිහිරි රසවත් බීමකි ගීය
ඒ රස බෙදන අය දැන් සැම අත බෝය
නන්දා මාලනිත් ඒ අතරෙහි වීය
ගණනය කළොත් මුලටම එන්නේ ඈය
සිත ගත සවිය රූපය හා කටහඬද
සරු ලෙස ලැබෙන්නේ පින් බලයෙනි සබඳ
සිදු කළ කෙනෙකි පෙර පින් අපමණ ඇයද
ඒ බව කියයි සුදු ඇඳි සංවර කයද
ජීවිතයෙදි ලැබෙන නෙක අවමන් නින්දා
සමඟින් නොයෙක් කරදර බාධක හින්දා
ඇතිවන ගත සිතේ සැම බාධක බින්දා
ඇසුවම ගීතයක් මාලනියගෙ නන්දා
බිඳිලා පළමු ප්‍රේමය දස වසක් තිබූ
වැළපෙන අයකුහට දුක් ගිනි හදක් ලැබූ
සහනය ලැබුණි සිසිලෙන් ඇගෙ හඬෙහි තිබූ
රත්වූ යකඩ නිවෙනායුරු දියෙහි එබූ
කුසගිනි පිපාසා සීතල සුළඟ වැදී
හඬනා ළදරුවන් පෙරලී මොරද දිදී
ඇයගේ මියුරු හඬ ඇසු විට එයින් මිදී
සිහිනෙන් හිනැහෙමින් නොසැලී සැපට නිදී
ජල කඳ ඇවිත් මුළු ගෙදරම යට වෙද්දී
ඇඳ පුටු මේස ජලයට ගහගෙන යද්දී
වහලය මතට නැග යන්තම් ගැලවෙද්දී
සැනසෙති ඇයගෙ ගීයක් සවනට එද්දී
ජීවිත රකින්නට රැකියාවට සයුරේ
ගොස් සිටි විටක සැර වැඩිවිය ජල පහරේ
කළ හැක්කක් නැතිව අසරණ වන අතරේ
සිත සැනසෙන්නෙ ඇගෙ ගී හඬකිනි වතුරේ
දැන් දැන් සතුරු පහරක් එනු ඇත සිතමින්
අවි ගත් යුධ සෙබළු සිටි වන මැද සරමින්
ජාතික ආලෙ මතුවන ඇගෙ ගී ගයමින්
ඔද තෙද වඩා ගති සැක බිය දුර හරිමින්
මරණය පෙනි පෙනී ඇඳ මත දපන ලෙඩා
දිවියට ලෝබයෙන් වැළපෙයි දුකට හඬා
ඒ දුක අතරෙ ඇසුනොත් ඇගෙ මියුරු හඬා
මරණය අමතකව සැනසෙයි සතුට වඩා
රාජකීය පණ්ඩිත
පූජ්‍ය පනාමුරේ තපස්සී හිමි
2023 . 11. 21
කවිය බලන්න
සවර්ණ වර්ණ මැද දිළිසෙන ස්වේත වර්ණ නන්දා
ලක් මෑණි ගෙ ගෙල පැළදූ
සුවද මලයි නන්දා
සිරස පැළදී කිරුළෙ දිලෙන
වටිනා මිණ නන්දා
පාරිශුද්ධ ප්‍ර්‍රේම කතා
නිදන් කෙරූ නන්දා
අයුක්තියේ කඩු තුඩු මී
ගී වැපුරූ නන්දා
කුල නිල බල රන් රිදී මුතු
දූරී කෙරූ නන්දා
සවර්ණ වර්ණ මැද දිළිසෙන
ස්වේත වර්ණ නන්දා
ඉපදුන මව් බිම මතු නොව
ලෝකෙම නම රන්දා
කළල් දියෙන් අහසට නැගි
සුදු නෙලුමයි නන්දා
ලක් පොළවට ශාන්ති යයි
සෙත් පිරිතයි නන්දා
තිස්තුන් කෝටියක් දෙවිදු
රකී.....මාලිනි නන්දා .🙏🙏🙏
කවිය බලන්න
නන්දක්කා කියා කටපුරා අපි අමතන...........
නන්දක්කා ආ ආ ආ ආ ආ කියා කටපුරා අපි අමතන
අනුරඅඅඅඅඅඅඅ කියා ආදරෙන් මා අමතන
සදාදරණිය නන්දක්කේ
අද ලොවපුරා විසිරී සිටිනා
ඔබ හඩින් සුවපත් වූ
හදවත් සනසාගත්තාවු
ගීත ලෝලීහු
ඔබ දසුන නෙත ගැටී
ඔබ වදන් අසන්නට
ඔබ දෑත සිපින්නට
දස දහස් ගණනින්
සිතින් පෙළ ගැසී සිටිති.
ඔවුනට ඇත්තේ එකම එක ප්‍රාර්ථනයයි.
ඒ
තෙරුවන් බෙලෙන්
සියලු ආගම් දෙවිවරුන් බලයෙන්
සදාදරණිය නන්දක්කා
සුවෙන් සැපෙන් සිටීවා!
යන්නයි.
එකම ප්‍රර්ථනයේ දෙවෙනි කොටස මෙයයි.
ඒ ඔබේ දිව්‍යමය හඬින්
සජීවී ගීයක් ඇසීමයි.
එය සපල වේවා!
කවිය බලන්න
ශ්වේත වර්ණ අම්මාගේ ආදරය
බැලුව ළගදී වීඩියෝවක් මං
ඒකෙ තිබුනෙම ගැහැට තැන්
මහන මැෂිමෙන් මැහුව
තේ උණු නැතුව බිව්ව
මැෂිමට වඩා
යන්තරයක් වගේ
දැඩි වුන
තාත්තගෙ ආදරේ
ගී මන්ත්‍ර ගුණයෙන්
දුවෙක් සතුටු කළ
විදිය...
රට යන්න ලැබුනම
ඒ තෑගි එපා කියමින්
අහස උසට තිබුන
ගෙදර ප්‍රශ්න කන්ද
බිමට පාත් කරන්න
අහස් යන්තරේ ගමන
ගෙදර සතුට වෙනුවෙන්
පස්සට දාපු හැටි,
ඒ කතාවට කඳුළු
ආවෙ දුකට නෙමෙයි
තදින් තද වුන
ආදරය පිපිරුණ නිසාමයි...
ශ්වේත් වර්ණය වගේමයි
කහට පැල්ලම් ඇත්තෙම නෑ
ලෝබ නැතුව අගේ කරන
අගේ නැතුව සිනා පුදන
මගේ ආදර නන්දා මිස්
අම්මා තරම් ම වටිනවා...
කවිය බලන්න
ආචාර්ය නන්දා මාලිනියට සෙනෙහසින් ❤️🌹💐
සැවොම ඇය ඇමතුවෙ 'ටේලර්ගෙ දෝනී'
වත්තෙහි විසූ කඩිසර, නැණ-ගුණවත් දුවනී
ජීවිතේ නොයෙක් දුක් ගැහැට වින්දා, මාලිනී
පොලොවේ පයතබා හිස එසවූ දැයේ අභිමානී
ගී ගයා දින්නා තරඟ එකපිට හපන් උදුලාවී
පදවැලක සාරය ලෙයට එක්කළ සුමුදු මායාවී
පහර යුතුතැන වචන දැලිපිහි වෙන්න ගුගුරාවී
ස්වරයෙ තානය සිතක මානන චතුර රුචිරාවී
සුවහස් හදක නාලිය ගී ලොවේ සම්භාවී
රටක් කැලඹූ සත්‍යයේ ගී-මල් කෝකිලාවී
බිම සිඹින්නීය ඇය සුදුවත තවත් ඔපලාවී
සුවහස් කල් දිනේවා! ආදරෙයි!, නන්දා මාලිනී
Shani
- 25/11/23
කවිය බලන්න
ඔබයි අප ලොව සත්සරය
රන්ඳා අම රසය ගැයුනි
- නැඟෙයි පන්හිඳ නැණසරය
වින්දා සිරිලකම එ මිණි
- නඟයි දෙසවන අනුනදය
කැන්දා කිතුගොසය තුටිනි
- නිවෙයි අසමින මනනඳය
නන්දා මාලිනී මවුනි
- ඔබයි අප ලොව සත්සරය
කවිය බලන්න
ඇය කොහින් ආ දෝ මට සිතෙයි
හද සන්තාන කලඔා
රස සාගර ය කලතා
දන මන ද කම්පිත කරවා
ගැයු කෝකිලාවී නන්දා
විකසිත ප්‍රේම උදානය යි
බිඳිි ප්‍රේම යේ කඳුලු බිඳුව යි
ස්වර නැගී තාලෙට බසිියි
වියෝ ගිනි දැල් සිසිල් වෙයි
මඟ කියන කාහල නාදයයි
වා තලය විනිවිද දිවෙයි
මහද වෙණ තත් නැළැවෙයි
ඇය කොහින් ආ දෝ මට හිතෙයි
19-11-2023
කවිය බලන්න
ඒ හඬ වීය ඔබ මට
හඬක් වී නම් සත්‍යයට
වේදනාවට, දුකට, කඳුලට
ඒ හඬ වීය ඔබ මට
පවන් රොද සෝ තැවුල් නිවනට
කවිය බලන්න
කලාවේ සමාජමෙහෙවර යනු - ඇයයි.
අන්දා ශ්වේත සළු සංසුන් කර අඩිය
බන්දා ස්වර තන්ත්‍ර තනුවට අඩු වැඩිය
කැන්දා සරසවිය පවන ට මුසු එඩිය
නන්දා තමයි රුපු යුධයට ජය කොඩිය
නැඟ මල්යහන මත රණබෙර වයන්නී
ගඟ ලෙඳ නොනැවතී තෙම තෙම ගලන්නී
රඟ සෝබා පසාකර හී ගයන්නී
මඟ නොනවතින්නී සටනට වඩින්නී
නවනලු රසම එක පලයක දරාගෙන
තව එක ඇසක් නළලත මත වසාගෙන
ගව සම්පතට ප්‍රඥා රස බෙදාදෙන
මව නුඹ තමයි දැය නලවන දරාගෙන
කංහැන්දක තරම නොතකා උඩඟුකම
නන් ඇගයුම් නොගෙනබර රැක සරලකම
දංගෙඩි දැකදැකම හිස සෘජු බවින් තම
සංහිඳ උපන් පණඇති වෙණ තතක් සම
නොකී ගී ගීකර නව
දුඛී දැය රැක වී මව
රැකී තෙදබල තව තව
සුඛී දීඝායුකො භව!!!
කවිය බලන්න
"නන්දා මාලිනිය... ගෝර්කිගෙ කථාවේ එන පාවෙල්ගෙ අම්මා නුඹය"
වපුරා දූෂණය පාලක ජඩයො රැල
හිත් පිත් නැතුව අපෙ මව්බිම නසන කල..
මේකට එරෙහි වී නැගිටපු තරුණ තරුණ කැල.
වදකයො මරා ගිනි දැමුවා ටයර් තුල..
සරණක් නැතුව ලක් දරුවන් හඬන කල..
අම්මා කෙනෙක් වී අඳුරක් එළිය කල..
නන්දා මාලිනිය පවනෙන් හැමුව කල
එය ශක්තියක් විය විරුවන් එකලු කල..
රණ හඬ නුඹය හොර බලමුළු සලිත කල
වෙඩි හඬ නුඹය නිදි මිනිසුන් අවදි කල
හෙන කඳ නුඹය ජඩයන් සුනු විසුනු කල
අම්මා නුඹය අපි වෙනුවෙන් සටන් කල..
සුදු සාරියක් ඇඳ හිනාව මුව රන්දා
කොඳු ඇට ඔබේ සවිමත් වී තිබු හින්දා
සුමිහිරි හඬින් ඔබ හොර බලකොටු බින්දා
ඔබ වගෙ කෙනෙක් මේ ලක්දිව නැති හින්දා
ජීවත් වෙන්න දිගුකල් මාලිනි නන්දා......
බුදුරජුන් ඉදිරියේ ගී ගැයූ සමන් මල
සමඟ පන්සිළු
දෙව්ලොවින් වැඩ
බුදුන් ඉදිරි යේ
ගී ගැයූ සමන් මල
සුවඳ පිදු සඳුන් ගස
පුද දෙවුණු නෙලුම් මල
සවන් පිනවූ
හදවත් සැනසූ
පිනම ඇති
කෙදිනක හෝ යළි
එහිම වඩින්නට
එනවා මමත් කවදා හෝ
සවන අම දෙන
හද ම සුවවන
තව්තිසා සිට ගයනා
සත්‍යයේ ගීය
අසා සුවපත් වන්නට
කවිය බලන්න
මාලිනියේ... සත්‍යයේ ගීතය නුඹ ය!
අසූ වසක් වයසක් දැයි ඇසුමට
මුව ඉස්සර කරවනු නොහැකී
මෙතෙක් දවස් නුඹ ගැන නොසෙවූව ද
ඇසූ-පිරූ ඇති බව කියමී...
අලුත්ගමේ ලෙව්වන්දූවට ගිය
තැන මව්ගම සෝබාව පෙනේ
ඇති ගල් පව්වක නුදුරින් ඇති ගෙය
ඔබෙ මතකෙට නව පණක් ගෙනේ...
“පිය උතුමා මගෙ මව් උතුමිය ලද
දෙයිනි ජීවිතේ මඟ මැන්නේ
එමලි පෙරේරා මවට කියූ නම
කෝට්බාස් වත්ත ම දන්නේ...
ගම හැරලා කොළඹට ආදා අප
කොටහේනේ වත්තට ආවා
ගෙවල් පනස් අටකින් හෙබි වත්තට
කාසෙට්ටිය නම දී තිබුණා...
දිවි හරඹේ දින-දින ගෙව්වා අප
බොහො තැන්වල දී සිත් රිදුණා
අගහිඟ කම්වල කටෝර බව මට
සෙසු අසටත් වැඩියෙන් දැනුණා...
ගෙදර ම ලූණු බිකක් නැති හින්ද ම
ලූණු ගෙඩි තුනක් අරගත්තේ
අම්මට නොදැනී මුදලාලිට
නොපෙනී ගත් වෑයම මව් දත්තේ
බැණ-බැණ පාරේ සෙනග මැදින් යළි
ලූණු ගෙඩි තුන ම රැගෙන ගියේ
නැවත භාර දී කඩ හිමියාගෙන්
සමා ඇයැද මව්තුම අයේ...
එදත් එදයි හොඳ පාඩමකට ගෙන
දිවි සරුකර ගැනුමට සිතුණා
ඒ දේ නොවනට මගෙ දිවිය ම
හරවත් නොවනට නම් ඉඩ තිබුණා...
ගුණානන්ද පාසලට ගියේ මා
අකුරු කරන්නට සිත ම සදා
අඩුපාඩුවකට පෙනුණු දෙයක් නැහැ
පහසුකමක් නොතිබුණේ එදා...
පැදි ගායනයට සිත ගිය හින්දා
පදක්කමක රන් හිමිකාරී
එකදස් නමසියෙ පනස් හයේ දී
එය මගෙ දිවියේ හැඩකාරී...
එතැන් පටන් මම ගීත ගයන්නට
හා-හාපුරා ගියේ සෑදී
බුදු සාදූ-බුදු සාදූ ගීතය
බුදු ගුණ ගැයුමෙන් මට යාදී...”
එතෙක්-මෙතෙක් ඔබ සුගැයූ ගීවැල්
මෙතෙකැයි කීමට මට නොහැකී
දිවි විවරණ-නෙක ගැටලු සමාජික
ඇස-කන විවර කෙළේ නොමැකී...
සුනිල ගී පදයි-මාලිනියගෙ හඬ
රැව්-පිළිරැව් දුන් හැටි මතකයි
සත්‍යයෙ ගීතය-සුකිරිබටිල්ලන්
කිරිමදුවැල් ගී පද නොමියෙයි...
ජීවිතයේ විඳි කටුක-දුක්ක හා
ප්‍රේමය විඳ -බිඳ රිදෙන තරම්
දිවි හව්හරණය නොමැති දිවි තුළ ද
ඔබ ගී හඬ හද වැදුණු තරම්...
ඇසුරෙන් ඔබ දිවි සමාජයට දුන්
අපමණ පැතිකඩවලට කඩා
මිනිසුන් මෙතරම් භේද-භින්න කිම
පිළිතුර ඔබෙ ගී තුළ ම මෙදා...
නිලතල-බලතල-ලොකු-පොඩි වෙනසට
වෙනසක් ඇති කළ යුතු ය අනා
ඒ ගැන කොතරම් කීවත් ගීයෙන්
වීණා වයනු ද උගත මනා...
ගීකෙත වපුරා අස්වනු නෙළුවා
ගත්තේ නම් ටික-ටික නෙළු දේ
ජීවිත සපුරා ගනු ලෙස සිතලා
නැත්තේ කිම! සිත නම් නොරිදේ...
රිසි ලෙස ගන්නට උකහා කියු දෙය
හ`v`ගා කාලෙට තාලය දී
නිසි ලෙස කීව ද දෙකන් වසාගෙන
හිඳිතෙයි කාලය කකා හුදී...
කෙටියෙන් නිම කළ නොහේ නිබඳව ම
දෑ වෙනුවෙන් නැගු ගොසේ ළයේ
අපෙත් ආයුගෙන වැජඹෙනු රැජිණිය
ගී කෙත නන්දා මාලිනියේ...!
2023.12.01
කවිය බලන්න
ගගන සැලෙන ඔසරි පවන
සඳ කිරණ ගලන රෑ රුක් වදුළු සැළෙන සේ
දොළ ගලන මිහිරි හඬ මැවී ඔබ ගගනතේ
ඔරුව පැද යන දියේ හබල බිඳි ප්‍රේමයේ
හද සලන භාවයක සර රැඳේ වා තලේ
පංසළක දවුල් හඬ දෙවොල් දොර ගීත රස
සවන් පිනනා ලෙසින් ජන හදට මුසු කලේ
පැලක කුසගිණි ඇවිල අකුරු කරනට නැතිව
හඬන දරුවන් සුසුම මුදාලී සවනතේ
කැණි මඬල බිඳ වැටුන පාලු යහනක තැවෙන
මවක නෙත කඳුළු බිඳු අඹර සර පා කලේ
දිළිඳු දරු සුසුම් මැද තැලෙන පීඩිත දනට
සිසිල් පැන් පොද වැස්ස ගී මලක මුසු කලේ
නෙලූ පිලිමය ගලේ හෙලූ බැල්මක සවිය
සවන පතුලේ රැඳේ ඔබේ ගී මල් විලේ
වීණාව බට ලීය ගජනාව ලක් බිමේ
සර්පිණා දවුල් බෙර ගිටාරය හඬ ඔබේ
රජ අණක විලංගුව කඩුව ගිණි අවි බැම්ම
කුඩු කරන රතු මලින් සැරසි ඔබ වා තලේ
වසන්තය මල් පිපෙන සුවඳ සිව් දෙස ගලයි
ඔබෙ සුවඳ ගෙන සරයි සහස් දන මිහි තලේ
කවිය බලන්න
අහස් ගව්ව, යොදුන කෙටිව ලෝකෙම එක යායයි….
සදට තරුට මල් පෙත්තට, කවි ලිව්වා ඉවරයි
මුහුණු පොතේ ලෝකෙ පුරා, ගමන හරිම කදිමයි
වට්ස් ඇප් වල , වයිබර් වල වල් පල් හරි බොහොමයි
ඇති හැටියට වඩා වැඩියි පෙන්නිල්ලයි , බොරුවයි
ගහ කොල ගැන , දිය ඇලි ගැන, ගී පද අද නෑසෙයි
රොකට් එකෙන් හදට ගිහින්,හිනා වෙන්න දවසයි
ගුවනින් හරි මුහුදින් හරි යන්න ගමන් බොහොමයි
හරි විදිහට ඉතිරියකට ඉඩ නම් අඩු පාටයි
ආදරයට සුවද කවා ලිව්ව,හසුන් කටුගෙයි
ඩේට් නොමැති , ෆෝන් නොමැති එදා පෙමත් කදිමයි
හැංගි හැංගි පෙම්කල හැටි කිව්වම හරි පුදුමයි
අප්පච්චී ඒ ඇත්තද ? සුදු දෝනිත් විමසයි
අහස් ගව්ව, යොදුන කෙටිව ලෝකෙම එක යායයි
ගම , රට අත ළගට ඇවිත් හිතන්න බැරි තරමයි
වෙනස තමයි ඉදිරියටම යන්නෙ කියව බලවයි
අනේ අපොයි නොම කියමින්, යනෙනා අය අරුමයි ........
කවිය බලන්න
ඇගේ නම නන්දාය ..... මාලනිය වී ඇතේ හදවතේ
ඇගේ නම නන්දාය ..... මාලනිය වී ඇතේ හදවතේ
ඇගේ නම නන්දාය, කටු ඔටුණු කිසිදාක හිස නැතී
මියුරු හඬ අදත් ඇත , නැත අඩුව මිහිර ඉන් වියැකී
හදවතට තට්ටු කර හීන් කෙදිරිලි නගන මුදු හඬකී
පතමි තවකල් බොහෝ , කරන්නට අපව තුටු යෙහෙකී
රුක් අත්තන මල මුදුනින් මුදු පිය ගුණ සැමරූ
අම්මාවරුනේ තවමත් නැත හැර මව් කිරුළු
සුදු හාමිනේ තුල තනිකම හැංගු
සුරංගීට දුක හිතුනද හෙටත් අපිම හොයමූ
මිහිමඩලේ අදුරු කුසින් අතු පැලටත් රිංගා
බමුණෙක් වුණත් යදමින් බැද තබලා
පවනක් සලා ජනතා දුක කියලා
වෙනසක් නොවුණු එක පුදුමයි එය අහලා
අරලිය ලන්ද , කඩමණ්ඩිය ඔස්සේ
යමුනා ගංතෙරක සුළං කපොල්ලේ දැවටී
රන් කෙන්දකින් අත්වැල් හිත පැටලී
ඔබෙ හඬ අහන්නට තාමත් ජන පෙලකී
කවිය බලන්න
මගේ ලොවේ රජ්ජුරුවෝ
මගේ ලොවේ රජ්ජුරුවෝ මගෙ අප්පච්චී……………
දෑතට දෑතම දුන්නේ
නැගිටගන්න තුරු දෙපයින්
වගුරා දහඩිය තිස්පැයේ
මගේ ලොවේ රජ්ජුරුවෝ මගෙ අප්පච්චී......
වේල දෙවේලේ නිසිලෙස
අහරක් නොමගෙන හරිහැටි
රස රස දේ මට ගෙනදුන්
මගේ ලොවේ රජ්ජුරුවෝ මගෙ අප්පච්චී.....
නොතෙමා අර පොද වැස්සට
නොතබා අව්වේ ඉන්නට
ඔවා දෙමින් මාව වැඩූ
මගේ ලොවේ රජ්ජුරුවෝ මගෙ අප්පච්චී.......
කවමින් බත් කට කට මට
පොවමින් දිය බිඳ බිඳ ගෙන
කියවාදුන් කතා රසට
මගේ ලොවේ රජ්ජුරුවෝ මගේ අප්පච්චී....
මාපනාවතුර
මහනුවර
කවිය බලන්න
ගෙනෙනු මැන ගී අමරසේ
සැඳෑ කළුවර කුර ගගා විත්
මළහිරුගෙ රැස් පිස දමන ව්ට
තරුද නිදිගත් ගිම්හාන අහසක
රම්‍ය සොමි සඳ කිරණ විය ඔබ
වියළි ගම්බිම්වලට ඉහලින්
කඩා හැලෙනා වැස්සකිය ඔබ
බතක් නොඉදෙන පැලක රහසේ
ඉදෙන සුමිහිරි බොජුනකිය ඔබ
දේශයක් පිසදා හමාගිය
සැඬ පවන විය කලෙකදී ඔබ
විටෙක බුදු බැති ගීයක්‍ම විය
තව විටෙක පෙම් කවකි සුමියුරු
සුවහසක් හදවත් තෙමාලන
ගලන ගඟකිය ජීවිතේ ඔබ
වදින තෙක් හිමි සයුර’තේ
ගෙනෙනු මැන ගී අමරසේ.
කවිය බලන්න
ඒ හඬ ආත්මයටද කතා කරයි
කරලක් කොණ්ඩ පිට මැද මල් නොගැසූ
කිසිවක් බරණ නැත ආටෝපෙට ගැවසූ
උදයක් වගෙයි කිරි ඔසරිය ගත සැරසූ
සවනක් කුමට මාලනියගෙ ගී නොඇසූ
කවිය බලන්න
ඊළඟ පෝය එනකම්
බුදුන් වැදල බණ අහන්න
පන්සලේ බුදු මැදුරෙ
කිරි ගරුඩ බිම වැතිර
කරුණාබර බුදු දෙනෙත් දෙස බලා
හිතේ දුක කියා ගන්න
හිතේ සැනසීම ලබා ගන්න ..
ඊ ළග පෝය එනකම්
බලා සිටියා බුදු හිමියනේ ......
තරුණකම දිය වුනා නොදැනීම
දරුවො මත්තෙම නැහුනා
ලිපේ ගින්දර එක්ක
හදවතත් දැවුනා....
හේනේ කුඹුරෙ වැඩ කලා
ඊ ළග පෝය එනකම්....
දරුවො උස් මහත් වුනා
පිළිවෙලට දීගේ තලත් දුන්නා
දරුවන්ගෙ තාත්තා එක්ක
මමත් තනි වුනා....
ඊ ළග පෝයටවත්
පන්සල් යන්න හිතුවා
සිල් රෙදි හැද සිල් ගන්නවත්
හීනෙන් දුටුවා...
පෝයට කලින් දා
ලොකු දූට අමාරු වෙලා
පුංචි කිරි කැටිය ළග
ඉන්න ඕන හින්දා
ඒ වැඩ ටිකත් සංතෝසෙන්ම කලා...
තවත් පෝයවල් ගෙවෙනකම්
අනිත් උනුත් මගේ දරුවො හින්දා ..
උන්ගෙ දරුවොත් බලන්නට උනා
හැම දේකින්ම නිදහස් වෙලා
එන්න තමයි හිටියෙ
ඊ ළග පෝයටවත්....බුදු හිමියනේ ...
හිතේ සැනසීමෙන්
බණ මඩුවේ ඉදලා
බණ ටිකක් අහන්න...
පොඩි ලේලිට රස්සාවක් ලැබිලා
පුංචි උන් බලන්නට
කෙනෙක් නැති හින්දා ...
ඒ වැඩෙත් කරලා
කවදහරි එනවා....
සිල් අරන් බණ අහල
සැනසීම ලබා ගන්න...
බුදු හිමියනේ .....
කවිය බලන්න
නොනිදන සිහින
කාලය එලඹිලා යමි ගම්රට දිශාවට
හැරදා දෙවැනි මව වැඳු මව හොයාගෙන
මහලු මව මගේ ඳොරකඩ අරක් ගෙන
සනසා ඇයව යලි එමි හිත පුරෝගෙන.
දහයක් මට නයයි නුඹ කිව්වට මෙමට
දහසක් මම නයයි යෙහෙලියෙ මා නුඹට
සහසක් කවි සිහින සිතුවම් මැවු රුවට
රහසක් නොකියාම රැකගෙන යමි රටට.
කැඳැල්ලේ උණුසුමට පැටවුන් එන කලට
සෙවිල්ලෙන් යෙහෙලියේ වටපිට ගැන හොඳට
පෑදුනු දිනෙක මා පෙර පින් නිසිකලට
එමි කිවු රසම බත් කටෙ රස බලන්නට.
කවිය බලන්න
ඳෑඟුල පමණ නුවණැති ගැහැණියක් හට...
මෙහෙණි සසුන ලංකාවේ පිහිටවූ උඳුවප් පොහොය නිමිත්තෙන්
සෝමා ථේරී ගාථා ඇසුරෙන් ලියූ මේ කවි පංතිය ඉදිරිපත් කරමි.
ගැහැනියගේ නුවණ ගැන මාරයා එදා කළ සමච්චලයට සෝමා තෙරණිය
දුන් පිළිතුර හැමදාටමත් වලංගු වේ.
පෙර බුදුවරු සිටි දවසත් පින් කෙරුණා
සිඛී බුදු කලත් මිනිසත් බව ලැබුනා
ඉපිද කැත්මහල් කුලයේ ඇය වැඩුණා
අරුණවන්ත රජු හා සරණයෙ බැඳුණා
සිඛී බුදුන් වැඳ පුදමින් පින් කෙරුවා
එපින් බෙලෙන් දෙව් මිනිසත් බව ලැබුවා
මෙබුදු පතෙහි රජගහ ජන්මය ලැබුවා
රජුගෙ පුරෝහිත දුව සෝමා සොඳවා
අප මුණිදුන් රජගහ පුර වැඩි දිනයේ
බුදු දැකුමෙන් සෝමා සැදැහෙනි තරයේ
උපාසිකාවක විය දැක දුක දිවියේ
පෙර කිස ඇති ඇය සසුනේ ඇත සුවයේ
නිසි ඔවදන් ලබා විදසුන් වැඩුවාය
සෝමා මෙහෙණ අරහත් ඵල ලැබුවාය
නිදහස් සුවෙන් තෙරණිය කල් ගෙව්වාය
බිඳිනට තෙරණි සිත මරුවා සිතුවාය
දිනක් සුවෙන් දහවල ගත කරන ලෙසේ
අන්ධ වනය වෙත ගොස් ගස් මුලක වෙසේ
තෙරණිගෙ විවේකය තොර කර ගනුය කෙසේ
අහසෙ සැඟව සිට මරුවා කියයි මෙසේ
ඉසිවරු විසින් පැමිණිය යුතු මෙම තැනට
අරහත් ඵලය අත් නොමවේ අන් අයට
ඳෑඟුල පමණ නුවණැති ගැහැණියක් හට
දැනගනු රහත් ඵල ලැබගනු බැරි බවට
වඩමින් බවුන් සිත එකතැන් වුණු යසට
අරහත් නුවණ එහෙයින් පවතින කලට
සදහම් දැණුම නිරවුල් ලෙස දුටු සිතට
ගැහැණිය වීම කිම කළ හැකි වෙද ඇයට?
ආශාවන් තොරව සිටිනුයෙ මා මෙලෙස
දැනගනු අවිඳු අඳුරද දුරු විය එලෙස
නැසුණය මරුව නුඹ ඔය කරුණෙන් මෙලෙස
සෝමා තෙරණි දෙසුවය මරුවට එලෙස
කවිය බලන්න
නොමිනිසුන්
මිනිසුන් නොමිනිසුන් වී
අවි මුගුරු අත දරා
හලා රුධිර ගංගා
යුද වැදී තරඟයට
මිනිසුන් නොමිනිසුන්වී
වැසී නෙත් රාගයෙන්
තලා පාගා කැකුළු මල්
වනසන්නේ හෙට දවස
මිනිසුන් නොමිනිසුන්වී
තව සිතක කඳුළක්
දැක නොදුටුවා සේ
දිවයන්නේ උමතුවී
කවිය බලන්න
නන්දා මාලිනී මහත්මියට උපහාරයක්
මුදු මොලොක් ලෙස
කළඹමින් හද
ප්‍රේමය රැගෙන විත්
ගයන්නී ඇය
පවන් රැල්ලක් සේ
තැවුණු දැවුණු සිත්
සනසමින් නිඹද
ගයන්නී ඇය
අකුණු සැරයක් සේ
නිදාසිටි මන පුබුදුවා
නැණ පහන් දල්වා
ගයන්නී ඇය
කවිය බලන්න
ආදර නන්දා .....
උස්කර නොබැඳ ගෙතුවරක් ඇති ලන්දා
ස්වේත පිලි අඳී අභරණ නොම පලඳින හන්දා
සුලං කවුළුවෙන් බේරී පැටවුන් රැකි හන්දා
කෙවිලිය බැබලුනා පොලවෙහි සරණා හන්දා .
කලකදි වහ කදුරු වේ ඈ ගැයු ගී කන්දා
පාලක දනා ගියෙ ඈ දං ගෙඩියට කැන්දා
ලක් මව වාසානාවට ගෙන ආ පණ නළ කැන්දා
රණ ගී ගයයි ඈ සැමදා අපි හන්දා.
සරලය නිහතමානී කෙවිලිය හන්දා
බෝ කෙවිලියන් කොවුලන් ගී පද බැන්දා
සාගර ජලය සේ කඳුලැලි හෙලු හන්දා
අදටත් හිනැහේවී ඒ ආදර නන්දා .
සියක් වසකට ආයු බෝ වේවා !!
කෙවිලිය නන්දා ..........
කවිය බලන්න
ඇවිද යමු
හිරු එලියෙන් ගලාවිත් D විටමින් උදැසනම
සවි බල ගන්වයි ඇට කටු ගත පුරාම
ගස් වැල් මුදු සුළඟේ ලෙල දෙමින්
ජීව වායුව දසත පුරා පතුරවමින්
රඟ දේ මනරම්ව
ඉහලට ගන්නා හුස්ම පොදින්
විකසිතවු හදවත් ගැස්ම
රුධිර දහර ගත පුරා ගලා යවමින්
ගත පණ ගැන්වෙයි උදෑසන පිපුණ මලක්සේ
මේ ලස්සනම වෙලාවයි
එන්න නගෝ,.....ඇවිදින්න මාගම්පුරයේ
විලුඹ තබා ඉදිරියට
ගෙන උරහිස පෙරමුණට
නංවා මුදු සිනාවක් දෙතොලට
ජය සිකුරුයි අපි දෙන්නාට,...
23/11/2023
කවිය බලන්න
ගලන ගඟකි මේ ගිනිගත් කතරට රන්මුතු දූවෙන් පැන නැඟුණූ
ගලන ගඟකි මේ ගිනිගත් කතරට රන්මුතු දූවෙන් පැන නැඟුණූ
සවන පිනන මුදු මධුර මනෝහර ගායනයෙන් ජන පොබ කෙරුනූ
තැවෙන දැවෙන හද සනසා සුව කොට අමා පැන් පොඳක සිරි මැවුණූ
නහින දෙහින මේ කලියුගයේ අප අඹර දිළෙන සොමි සඳ පිරුණූ
බාල ළමා වැඩිහිටි කොයි කාගෙත් සවන් පිනන ගී රස මැව්වේ
කාලෙට ගැලපෙන පද මාලාවන් ජීවය පුරවා රස කැව්වේ
පාලකයින්ගේ නොපනත් කම් ගැන තම දිවි නොතකාමයි කිව්වේ
සාධාරණකම් නොමැති කුරිරුකම් ගයද්දි සමහරු නම් රැව්වේ
ශ්වේත වර්ණයෙන් සැරසුණු බොහො අය කාල වර්ණ වැඩමය කෙරුවේ
ප්‍රේමය තැවරුණු සුදු ඔසරිය ඇගෙ කෝකිල නාදය ඔප කෙරුවේ
ද්වේෂය දුරු කොට ආලය ගුරු කළ ගී රස අරණක නම් දැරුවේ
ස්වර්ණ විමානය නන්දාවනි ඔබ අප පිනටයි ලක බිහි කෙරුවේ
චිරං ජයතු නන්දා මාලිනියනී
කවිය බලන්න
ඔබයි සෞම්‍ය තරු එළිය,
සිරි සරසවි මෑණී
දුන් වරම් හා බැඳීමෙන්
සවන පිනන රාවෙන්
රන්දනා සේ සුයාමේ
මිහිරි මධුර ගීතා
සත් සරින් නාව නාවා
ගයන ගැයුම රම්‍යා
සිත් දැහැන් හී සතප්වා,
පවන විලස පාවී
ශක්තියේ ද්වාර නංවා
සඳක කිරණ වීදා
සෞම්‍ය ගී වැල් සවන් ලා
සොඳුරුම තරු පායා
දීප්ති දුන් මේ කොදෙව්වේ
,ජයතු, සිරිනි සෑදී
මාලනී ගී ගඟුල් හී,
බලන්ගොඩ
කවිය බලන්න
නන්දා මාලනී ඔබ හැර කිම ගෙතුව............
දෙරණට පය ගසා විකසිත වූ පියුම
නළවයි සැවොම සරසවි වර ලද දිණුම
කෝකිල හඬින් ගයනා ගී නඳ සෙවුම
කිසිවෙකු සම නොවේ හිත බැඳි කම මැවුම
සවනට අම බිඳුය ගයනා ගී සින්දූ
වරෙකදි සැඩය තව වරෙකදි බන්දූ
මුතු මෙන් වටින මේ ලක් මව වෙත කැන්දූ
දිරි දියණියක් මය ඔබ අපහට ඉන්දූ
පෙම් ගී ගයන විට අමරස වෑහෙනවා
නෑ කිසි අඩුව යුතුකම ඔබ පවසනවා
සෝදන කරන්නෙ කෙළසද මොරදෙනවා
ජාතිය නඟන්නට පණිවිඩ ගෙනයනවා
දිස්නය වැන්න මරකත කිරණින් සතුව
රැල්ලක් නඟන කිරි සයුරෙහි නිති ඇතුව
නන්දා මාලනී ඔබ හැර කිම ගෙතුව
ආඩම්බරයි සෙනෙහෙන් බැඳි සිත පැතුව
කවිය බලන්න
රස කැවිලි...
සෙබල ඔබට නොහැඟේද
කෙසේ,නම් පවසනුද
කෙදිනක්වත් වැටහේද
නුඹේ පුතුගේ හඬ වැනි
පුංචි හදවත ගැහෙන හඬ
නැත නුඹට ඇසෙන්නේ නැත
ෂෙල් වෙඩි හඩ පරයා කුමන
ලබ් ඩබ් හඬක්ද.
විහඟ පිහාටු ඉගිල යන අවකාශයක
පාව යනු නිසැකය මොහොතකින්
අපේ ආත්මය
හවුහරනකුදු නොමැති
කලු කුහරයක
කිනම් වාස භවනක්ද.
උන්ඩ නම් අනවැසිය
එතරම් තද නැති මෙලෙක් හදවත
ඇඟිලි තුඩකින්ද පාරා දැමිය හැක
පෑරී පෑරී තිබෙනා බැවින්
එය එතරම්ම පහසුය.
නුඹට නිවස කරා ඉක්මනින් යායුතුනම්
සියලු මෙලෙක් තැන් පාරා දමන්න සැනින්
නුඹ පුතු ඇති මග බලාන
ගෙනෙනා තුරු කැවිල්ලක්
පුංචි දිව රසකරන්නට
ඉතින් පාරා දමන්න හදවත .
පිලියන්දල .
කවිය බලන්න
සැලි සැලී අතු අග පිපී
සැලි සැලී අතු අග පිපී
මඳ මරුන් හා සුරතල් වෙවී
මඟ බලා ඉන්නේ බමරු එනකත්
පිපුණේ ම බමරුන්ට යි
නාවොතින් දුක මලට ම යි
සුන්දරයි සුවඳයි ඒ මල
පවස සනහන පැණි පිරෙයි
බමරු ඒ මල රස සොයයි
මල හිතා ඉන්නේ......
බමරු මට හරි ආදරෙ යි
කණට ලංවී රහසින්
මලට කොඳුරා කියන්නෙත්.
නුඹට මම හරි ආදරෙයි
රස කථා එක දවස යි
හවස මේ මල මුකුලිතයි
හෙට හැඩට තව තව මල් පිපෙයි
බමරු යන්නේ ඒ දෙසයි
පිපෙණ මල් හැම පරවෙයි
ඉර හඳත් ඇවිදින් බලයි
මුහුදකට කඳුළු හැලුවත්
ගිය දවස ආපසු නොඑයි
මතක විතරක් ඉතිරි වෙයි
මතක සොඳුරුයි මිහිරියි
ඇවිත් යනකොට හිත රිදෙයි
ලොකයේ හැටි එහෙමයි
ඒ සොබා දහමයි
01-10-2023
කවිය බලන්න
ලැබේවා සියක් ආයු ….
කලිල දියෙන්
මතුව
ප්‍රේමය නම් කිමැයි
කියා දුන්නීය
සුර ලොවින් වඩින
මව් සෙනෙහසේ
අරුමය දෝතට
යා කළාය
හිරු සදු එකවර
දෙපස නැගුනද
විජිතයේ කළුවර බව
සිහි කැදවීය
ගලන ගග දිගේ
රම්‍ය වූ සද කිරණ
දිවියට වත් කළාය
දේදුනු පැහැ ආදරය
ගිලිහී ගිය දා
මතක සුලන් පොදක එතී
පැමිණෙන අතීතය
බාර ගත හැකි බව
මතක් කළාය
කවදාවත්ම නොලැබෙන
ආදරය දරා ගැනීමට
දෙබසට වඩා
මුනිවතේ අගය
කියා දුන්නීය
කලකිරුණු මොහොතක
දයාබර වදනකින්
ආත්මය සුවපත් කල හැකි බව
පසක් කළාය
අතීතය ,වර්තමානය
උත්තරීතර අනාගතය ද
ඔබම බව
ඒත්තු ගැන වූ
ආදරණීය මාලිනිය
ඔබට ලැබේවා නිදුකින් සපිරි සියක් ආයු ….
කවිය බලන්න
කෝකිලාවී ඔබයි නන්දා
අයුක්තිය හා අසාධාරණෙ දකිද්දී ලේ කිපෙන
හන්දා
නොයෙක්වර නැගිටිනා සිත් වෙත පතා යුක්තිය සටන්
කැන්දා
මිහිරි නාදෙන් නිවී සැනසෙන ලෙස විමුක්තිය පදෙහි
රන්දා
දොළොස් මාසෙම නැගූ රණ හඬ කෝකිලාවී ඔබයි
නන්දා
ධනය බලයද නොකර මායිම් අධම පාලක මාන
බින්දා
අමන පූජක දනට බැන වැද දෙවි වරුන් ඔද තෙදද
සින්දා
ගැඹුරු තැනකම මගේ හදවතෙ ගීතවත් සිතුවමක්
ඇන්දා
යකඩ ගැහැණිය වීරවරියක් සදා මට මාලිනිය
නන්දා
කවිය බලන්න
ගී ලොව රැජින
ජාතිය ආගම දේශය ගැන ගී ගැයූ ඔබ
ගීත ලෝකයේ හෙළ අග රැජින වූ ඔබ
දශක ගණනක් අපේ දෙසවන් පිනවු ඔබ
අභිමානයෙන් ගෞරවයෙන් තුති මල් පුදමි ඔබ
සය අවුරුදු වියේදී ළමා ගී ගයා
ඇරඹුවා ඔබේ දිවිය ගී මග සොයා
කොටහේන ගුණානන්ද විදුහලෙන් මෙයා
ගුවන් විදුලියේ ළමා මණ්ඩපයට ගියා
සරණාමර ගුරු ලෝක ශිවංකර බුද්ධ දිවාකරයාණෝ
ගීතය ගැයීමට අත දුන් ගුරු අමරදේවයාණෝ
තවමත් ඔබ සිහි කරයි ඒ ගුරු පියාණෝ
ලදිමි පලවෙනි සිහල චිත්‍රපට සම්මාන යාණෝ
උඩඟුලියන් ගොතා බඳින නීල වරල සරසන්නට
උඩඟු සමාජය අසිරිමත් ලෙස විග්‍රහ කරන්නට
රසවත් ලෙසින් මිහිරි හඬින් දෙසවන් පිනන්නට
හැකි වුණා ඔබ හට ගී ලොව රැජින වන්නට
මැතිණියනි ඔබ ලැබූ ජනපති සම්මාන
දස්කම් විස්කම් විශාරද සම්මාන
මෙතකැයි කිව නොහැක සරසවි සම්මාන
ඔබ ලැබූ නිරහංකාර ජනතා සම්මාන
නිම කළ නොහැක ඔබගේ ගී මිහිර
එතෙර මෙතෙර දෙසවන් පිනවූ රුසිර
කවි සටහනක් කලබලයෙන් තැබූ අතර
දීඝායු පතමි ගී කෝකිලාවිය අමර
ලන්ඩන්හි ධම්මදරා මෙහෙණින් වහන්සේ
කවිය බලන්න
ඉරණම
එකම එක පේළියට
ඉන්ඳ වූ පැළ වුවත්
අතර මැද දුටුවාද
හැඩවෙවී යන හැඩත්
සමකුලේ නම ගියත්
ලියලද්දි කරලියත්
එකෙනෙකට වෙනස්හ් වග පැහැදිලියි පැතිකඩත්
වැඩෙන්නම ඕනේමයි
දිය පොහොර හිරු රැසත්
විසිරිලා අතු රිකිලි
මෝරන්නෙ අරටුවත්
මද පවනෙ සෙලවෙද්දි
චංචලව අවනත්
ගිම්හාන වස්සාන
නොහඳුනන අරුමයත්
බමන විසකුරු සතුන්
නොදැනීම ලංවෙතත්
ගොඳුරක්ව වී හඬා
වැලපුණා දළු කොළත්
ගිළිහෙද්දි නටු අගින්
වැරූ තම මල් ඵලත්
ලියකගේ ඉරණමට
ඇයි ? කීවේ නෑකමත්
- පුලතිසිපුර -
කවිය බලන්න
විරුවෝ සහ මරුවෝ
කළුවට ඇඳන් උන් එනු සඳ තරු දැක්කා
බැඳ අත් දෑස් ගෙනයනු දුටුවත් එක්කා
දරුවන් පැහැර ගියෙ ඇයි නොදනිත් මක්කා
සඳ තරු වුණත් දැක දැක මුනිවත රැක්කා
දෙගුරුන් හැඬූම් සුළඟට හොඳහැටි ඇහුනා
උන්ගේ විලාපය ඇසු හදවත් පැලුනා
දරුවන් මර බියෙන් වෙව්ලා තැති ගැනුනා
සුළඟේ උඹත් බල බල හෙමිහිට ඇදුනා
දසවධ දුන්නු දඟගෙය ගහකොල දුටුවා
මහඋස ගසුත් මේවට හෙවනත් හැදුවා
දරුවන් වේදනාවෙන් මර හඬ නැගුවා
ගහකොල යක්කු කොල අතු වන වන නැටුවා
මිනිමරු වධක රැළ පොළොවට බර දමලා
දුන් මරු පහරවල් කාගෙන ඇද වැට්ලා
දරුවන් ලෙයින් තෙත්වී යනවිට ගලලා
පොළොවත් හිටිය නිහඬව ලේ රස බලලා
දරුවන් මැරෙද්දී ඔළුවට ඇණ රිංගා
මූසල අහස රැකගත්තා හෙණ හංගා
කිසිවක් නොවුනලෙස රළ පෙනපිඩු නංගා
විරුවන් අරන් ගැලුවා ජඩ බලු ගංගා
දැවුනට ටයර් කළ කරවපු උන් දන්නා
පාලම් බෝක්කුද කණු මළමිනි ගැන්නා
දැන හැමදේම කඳු හෙල් නිහඬව ඉන්නා
දැයකට සෙත පතා දරුවන් දිවි දුන්නා
කවිය බලන්න
ගීත කෝකිලාවිය නන්දා මාලනී...!
රටක පිනට පහල වෙනව දස්කම් ඇති බෝ උදවිය...
අටක පමණ, දශක ගණනකට පෙර මෙතුමිය බිහිවිය...
විටෙක පුදුම හිතෙන තරම් ඇගෙ හඬ හදවත් නැලවිය...
කටක බලය යොදවා ඇය කළ විස්කම් රට සතුවිය...
නන්දා මාලිනිය නමින් ලොකු පොඩි කවරුත් දන්නා...
බන්දා ගත්තේ හැම හදවත් ඇගෙ ගැයුමින් වන්නා...
නින්දා කෙරුවත් සමහරු උරණව ඈ සමගින්නා...
සින්දා මානය උනගේ , සිනහව මුවගේ පෙන්නා...
ජනප්‍රිය හා හොඳම ගායිකාව ලෙසින් දිවිය පුරා...
පින පලදී සම්මානත් ලැබුවෙ හදේ සතුට දරා...
වෙන කවරුන්හටද එලෙස පිදුම් ආවෙ තමා කරා...
මිණකි වටින, පතමි දිගාසිරි ගැයුමට සිටින තුරා...
කවිය බලන්න
ගම්දෝ නොගම්දෝ
ලාබාල අවධියේ
සිප්සතර ලබන විය
සවන රැඳි හඩක් විය
ඒ ඔබය ගෝකුලය
විදුලිසැර අසිපතින්
නැඟුනු ඒ හඬ සරින්
කිළිපොලන හදවතින්
වැලඳගති උණුසුමින්
ගෞරවය මිශ්‍රවූ
ඒ හැඟුම් සමුදාය
නොමැකෙමින් නොනැසෙමින්
තවම අප සිත් තුලය
සංගීත මංපෙතේ
පිපුණු දහසක් කුසුම්
අතර ඔබ බැබලෙමින්
ඉන්ද්‍රඛී ලයක් සේ
වැජඹෙමින් දිදුලමින්
සුවහසක් ජනී ජන
සිත් අරා සිටින්නේ
රැජිනලෙස රජ කුලය
බලලොබින් උමතුවූ
නිරිඳුන්ව පෙලාලු
රණ හඬට බියපත්ව
ඔබ මුවට දමාළු
විලංගුව බිඳහෙලා
උතුරේද දකුණේද
කැලෑතුල සැරි සැරූ
සිංහ පැටවුන් අරා
පතුරුවා සිංහ නඳ
ජාතියම පිබිදවු
මෑණියනි ධීර විරු
ජීවිතය තිබෙනතුරු
අපි ඔබට කරමු ගරු
බේද කිසිවක් නොමැති
රටදැයට හිතක් ඇති
දමිළ මුස්ලිම් සිහල
සියලුදෙන හදවතින්
සෙත පතන ගරුකරන
අයෙක් වෙත්නම් රටේ
මාලනිය නන්දාය
අයුක්තිය පරයමින්
ලබන්නට විමුක්තිය
දැයක් පුබුදුවාලූ
රණ හඬින් ඔබගැයූ
ලේ නහර කිතිකවන
ජීවිතය වුව පුදන
පරපුරට ජවයදුන්
ඔබේ ඇස් ඉදිරිපිට
සපලවනු දකින්නට
නැතදුරක් ඇතඉඩක්
ඒ අසිරිමත් මොහොත
නෙත්වලින් දකින්නට
එනු මැනවි ඒ පැයට
එය සැපකි ජාතියට 🙏
ඔබ පෙළු නිරිඳුනගෙ
දෙවන පරපුර වෙතින්
තුටු පඬුරු පිළිගැන්ම
කළහැකිද නොදන්නෙමි
දෛවයේ සරදමින්
විය එලෙස ඒ ලෙසින්
දකින්නට සිදුවීය
රිදුම්දෙන හදවතින්
ඍජු බවින් විරු බවින්
සිත්වසඟකල රහස
ඔබනොමැති දින අඳුරු
වේවි මේ නිල් අහස
කිලිටි ලේ අත්වලින්
කටුඔටුන්නක් විලස
නොවින්නඳාම් වටී
සම්මානයක පහස
ලන්ඩනය
කවිය බලන්න
ගමේ කඩේ !
පොඩි කඩ පිලකි
සරුබර නැත
ජය පහට
පොඩි පොඩි
කෑම සමඟින්
තේ රස බෝම
පත්තර දහක
විස්තර දත හැක
කදිම
කුසට ද ඔළුවට ද
ලැබදෙයි
හොඳ පදම
ලොකු ලොකු
කාර්වල එන
ලොකු මහත්තුරූ
චිරිස් බිරිස්
පළඳින
සුදු නෝනාවරූ
යතොත් මෙතැන
පහුකර
ගමනක් අතුරූ
එන බව කියයි
මුදලාලි
ඇතුව ගරුසරූ
බොයිලේරුවේ
තේ නිතරම
උණු වෙනවා
හැලප ලැවරියා
පිට්ටුත්
රස දෙනවා
ඉඳි ආප්ප
කිරි හොදි
බඩ පුරවනවා
ගමේ කඩේ
ලඟ කවුරුත්
නවතිනවා .... !
කවිය බලන්න
යම රජුටත් පගා...!
විහාරයක වූ යම රජ
පිලිමයකී...
දිහා ඒක, බැලු විට මා
දුටු දෙයකී...
මහා කාසි තොගයක් විසි
කළ සෙයකී...
වහා ගත් සෙයාරුව
දුන්නේ බියකී...
මෙමඟින් සැමට පැවසෙන
පැහැදිලි කරුණ...
කිමදැයි අසමි ඔබගෙන්,
වැඩිහිටි,තරුණ...
එම දේ පෙනෙනවා පොත
මත ඒ ඇරුණ...
නොමනා වැඩකි, නැති
කරවන අපෙ වරුණ...
දීමට පගා පුරුදුව
ඇති නිසාමද...
යෑමට කලිං නිරයට ,
එය සිතාමද...
කෑමට ලැබෙන වද අඩු
කර ගැනීමද...
දෑමට පඬුරු, සිතුවේ,
'පව්පොතේ' මැද...
ඕව මෙහෙදි වැඩ
කෙරුවට නිරයෙදි නම්...
කෑව සමයි ඉල්ලං
වස, සිතනෙමි මම් ...
පෑව උජාරුව නැතිවෙයි
ලැබ දඬුවම් ...
ඒව සිතට ගෙන පුරනුව
හොඳ මනුදම්...
කවිය බලන්න
සිරි ලක ගීත කෝකිලාවිය
නව අරුතක් දෙමින් හෙළ ගී කලාවට
රසවත් කළා ජනහද නිසි වෙලා වට
හර,බර බස් කියා නිවැරදි වෙලා සිට
කවුරුන් ණයයි සිරි ලක කෝකිලාවට
දැයට දිරිය දී මියැසිය හැඩ ගන්නා
සෙයට පෙර මුවට යන හරි මඟ පෙන්නා
ණයට නොගත් පදවැල් ගෙන රස පෙන්නා
ඇයට දිගාසිරි ගෙන එමි කර පින්නා
ගතවුණු ගමන් මඟ,මිහිරක් ලෙස දැක්ක
අතවැසි හුදී දන හද පණ,මෙන් රැක්ක
නිහතමානී කම නොම මුදලට වික්ක
ඇය නිති සැන සුනේ පොදු ජනයත් එක්ක.
දුප්පත් පවුලකින් බිහිවුන කොට හේනේ
පැන්චිය කිසි දිනක ඉන් පසු බට නූනේ
මියැසිය හඹාගෙන ගොස් හැම දින ගානේ
පුන්සඳ දිලෙන සේ අබිසෙස් ලැබුවානේ
පීඩිතයාගෙ දුක මියැසිය තුළ දැක්කා
දහදිය කඳුල පදවැල් අතරින් රැක්කා
තම,වාසියට ඇති හැකියා නොම වික්කා
සැම දා දිනේ නන්දා මාලිනි අක්කා
කවිය බලන්න
ජීවයයි සත්සරය නැලවූ...(නන්දා මාලනිය.)
සංසාර සාගරේ ...ජීවිත ..
යාත්‍රාවෝ එද්දි වෙරළට
බුදුහු කරුණා ..දෑස තෙමිළා..
නිසංසල මල් පිපුණි කඳුවට.
නොදුන්නත් නුඹ ..එමල් පෙති ඉති..
උඩඟු ලියනගෙ නීල වරලට.
ගිගුම් දීලා ...වැටුණු මහ වැසි...
ගී ගඟක් විය.. වියළි පොළොවට.
පිපුණු මල් දැක...මවක් හැඬුවා...
දුවගෙ කර නැති මාල පොටකට.
දෙතිස් වදයෙන්....මැරුණු මපුතුන්..
යදම් සමගින් නිදයි කඳු යට.
දුගීයන් මුව ...සිනා කැන්දා...
බතක් වෙනකොට දුගී පැල වෙත.
යුගය නුඹගෙයි ...ගී ලොවේ හෙළ...
ගලන ගඟ ලෙස සුබාවිතයට.
ගැහැනියයි කඩ..මණ්ඩියේ සිටි..
හිතුමතේ දුව යද්දි දීගෙට.
ප්‍රේමයයි නුඹ .. හෙලූ කඳුළේ ...
බලා සිටි ..ඔහු පදින ඔරු දෙස.
ජීවයයි.. සත්සරය නැල වූ..
ඇදුරු පට්ටම් නැතත් නම වෙත.
ගීතයයි... අම්මා වරුන්ගේ...
කඳුළකට කී..හදවතේ දුක.
*************************************
වෛද්‍ය නිලධාරී .
බන්ධනාගාර වෛද්‍ය ඒකකය .
බදුල්ල .
2023.11.28.
කවිය බලන්න
"ජයරාණි" මිතුරියේ නුඹ සමග හිනැහුනේ මම බොහෝ පමාවය.......
බුලත් විට කා රත් දෙතොල් මැද කිරි සුදට ඇඳී යන
ජයරාණිගේ හිනාව අදත් ඒ වගේ ම ය
නුවරු නිදි අතර ඇය අළුයමින් අමදිනා
මහාවීදිය වගේ නිකසලය නිරවුල්ය
යනෙන මඟ අයිනෙ සිට බයාදුව සිනාසුන
මුල් වරට ඇය දුටුව දිනය මට අමතකය
නොරිස්සුම් බැල්මකින් මම අහක බැලු
ගුරු දෙගුරු රැස්වීමෙ ඇය සිටියෙ කොනකමය
සාරි මොට්ටැක්කිලියෙ වහන් වත දැරූ තැත
නිරර්ථක මුවග පිපි කෝපි මල් හිනාවය
මපුතු හා ඇගේ පුතු එකම පන්තියක දුටු මා දැවුනෙ
ලන්සිවත්තට යාවු සුපිරි පාසල් පවුර පුපුරවන තරමටය
ගේට්ටුව පේන දුර පහන් කණුවට සැඟව
පාසලට පුතු යවන ඇගෙ දසුන සුපුරුදුය
දිවා කල කනත්තේ උද්‍යානෙ වල් නෙළන
බස් පොළේ පොදු වැසිකිලි මදින
සැදෑවේ මහ මැදුරු බිතක්කන කුණු අදින
ඒත් නොහඬාම හිනැහෙන
ඇයව දැක ඔරවාපු මසුරු සිත් පතුල්වල
දයා හැඟුමක තෙතක් නැති හැඩය
නළල මැද රතුපාට තිලකෙ තැබුවා මිසක
මලක් සේ රකින්නට සෙල්වම්ට පිදූ හිත ගලක් වී අහවරය
වත්තෙ කුඩ්ඩෙක්ය ලේබලය නිසාම
දත් කුඩු පැකට්ටුවටත් අල්ලගෙන යන
බොහොමයක් වත්තෙ උන් වගේ
වැඩිපුරම ඔහු හිටියෙ ඇතුළේය
ගුවන් යානෙක හඬට ගිනි පිඹි
අගනුවර අහස දෙසහූල්ලල බැලුවෙ ඇය
නොරට දුන් බිළිඳියගෙ පුරුදු කිරි සුවඳටය
ඉහළටම උගන්වා වත්තෙ නරකාදියෙන්
ඉගිලෙන්න පුතුට තටු දුන් පසුත්
ඇය තවම අමදිනා පාරෙ ඉඳහිට ගියත්
එදත් ඇගෙ සිනා මුව මගහැරියෙ හිතලමය
මතට ඇබ්බැහි මපුතු රඳන පුනරුත්ථාපනෙට යනෙන මඟ
මහරගම රෝහලේ ඉදිරිපිට
මගේ රිය කවුළු වීදුරුව මත
ඇගෙ මුතු හිනාවයි සුදු පාට ඉරක් සේ ඇඳී යළි මැකීගිය
ඉනුත් වසකට පසුව අදත් යමි
නුඹෙ කඳුළු පාගමින් මගෙ කඳුළු අහුලමින්
මෙතෙක් කල් ඇවිදගිය නුඹ ඇමදු මාවතෙහි
මග දිගට තාප්පෙක කණු බඳක ඇලවිලා
ගිනි අව්වෙ පිච්චිලා වැස්සෙ නෑවී දියව
ඒත් ඒ අව්‍යාජ සිනාවම මට පුදන නුඹ සමග මුල්වරට හිනැහෙමිය
ජයරාණි! ජීවිතය නුඹ දිනුම් අදත් මම පරාදය
නුඹ සමග හිනැහුනේ මම බොහෝ පමාවය.......
වෙනදාට ඇන තියා විටක් කන කොට්ටම්බ හෙවන යට
ගස් කඳට පිට දෙමින් දිගම දිවි ඉසිඹුවක් අද විඳින මිතුරියේ...
නුඹ සමග දොඩන්නට එක්වරක් ලැබුනි නම් මට වරය........
සෙනෙහසක හැඩ නොදත් හාදුවක සුව නොදුන් සෙල්වම්ව බලන්නට
බත් මුලත් නොවරදා වැලිකඩට ගෑටුව නුඹෙන්
ඩිවෝස් වෙන්නට තරම් කොඳු හයිය ගෑණු අපි හිතුවාට
දරු නමින් නුඹ වගේ කුටුම්භය පුරුද්දන ගැහැණුන්ට
ඔය හයිය පිටකොන්ද ලැබුන හැටි විමසමිය
කළු ව ගෙරවිලි බයට කඩා නොවැටී සීරුවට
ගැබ්බරවු අහසක්ව බිරිඳක් උහුලනා හද රිදුම් බර ගැන
ඉරි තැලුම් ඉඩෝරෙත් පැටවුන්ට සෙනෙ බිඳ මිරිකා පොවන
කාෂ්ටක පොළොවක්ව මවක් හද ඇවිලෙනා දරු ගින්න ගැන
අපෙ හැඟුම් බෙදාගෙන, බදාගෙන හැඬු කඳුළු අමුණමිය
ජාති බස කුල දේශසීමා ගසා කොටු කළත් තෙත් හිත්
අප වටා වාසියට උන් මැව් අදිසි වැට කඩුලු සීමා ළඟත්
අසීමාන්තිකව ඉනු නුඹේ මානව ප්‍රේමයේ වග
නගරෙ කුණු කානු වල ගසා යනු දැක දුකට
දෙවේලේ නුඹ ගොඩදැමූ මිනිස්කම ගැන
පිරිත් අහනා ගමන් තිරුක්කුරල් කවි කී අරුම ගැන
මා නොදත් මුල්ම පාඩම නුඹෙන් උගනිමිය
ආටෝප පුහුමාන හුලන් පිරි බැලුන් මෙන්
මහපොළොවෙ පාවෙනා මනස් ගැහැණුන් රගන
ඉහළ මණ්ඩුක කුලේ උන්ට මට හිනැහුනා විනා නුඹ
එදා වගේම අදත් හිනැහෙන්නෙ අප සමග නොවේමය
මේරිලන්ඩ්,ඇමරිකා එක්සත් ජනපදය
කවිය බලන්න
බාල -ඝාතිකා.
දෑස්වල මගෙ අඳුර පිරුණා
සවන් බිහිරිව යනෙනු දැනුණා
උගුරෙ සිර වී වචන බිඳුණා
මොහොතකට හද නතර කෙරුණා.
මහා කල්දේරම්හි පැසෙනා
ලෝ වතුර පෙණ බුබුළු දමනා
සිව් අපාවල් දුමින් පිරුණා
මොහොතකට මම මියෙණු දැනුණා .
සතර බඹ ලොව සදෙව් ලෝකය
ගිනි වැදී රන්වනින් දිළුණා
කවාකාරව දකින සැම දේ
චතුස්තල වී සිරසෙ හැපුණා
සියොලඟම ගල් වුණා වාගෙයි
මොහොතකට සිත හඬනු ඇසුණා.
දහම් පොත් පිටු ඉරී තිබුණා
දේව මන්දිර කඩා වැටුණා
සක්වලම කළු කුහරයක් සේ
සියළු ඉර හඳ නිවී පෙනුණා.
මහා මායා මැරී දැවුණා
කන්‍ය මරියා සොහොන් කෙරුණා
නබි තුමනි ඔබෙ මව්ද සිතුණා
මොහොතකට මන විකල් කෙරුණා .
කොටහලුව ළඟ නැවුම් දිය නා
පිපි මලකි නුඹ සිටින රුවිනා
ඝාතිකාවක් කියනු කෙලෙසද?
හිරිමලියෙ මම පියෙකු බැවිනා.
බැද්දෙ පසළොස්වකක් නැතිනා
නිසා කළුවර තුළම ගිලුණා
මවුන් මැරුවද - මරුණෙ නුඹමද ?
මොහොතකට හරි මමත් මරුණා.
බන්ධනාගාර වෛද්‍ය ඒකකය .
බදුල්ල .
2023.11.17
කවිය බලන්න
මරණයක සුවය!
පතින් පත සන්තකය
අහිමි කළ ගහක් ගැන
කුණාටුවකට දැනුන දුක අල්පය
අතින් මල් කිනිති හද තත්
සන්සුන්ව සුසර කර යළි ඇවිත්
මාර්තු හුළඟක්ව මිතුරු සල්ලාපය
"ඉතින් අතීතය අමතක කර
අළුතින්ම අරඹමු ජීවිතය
මේ අපේ ප්‍රේමයේ භද්‍ර කල්පය"
බැතින් එවදන් අදහන ගැහැනුන්ට
කවදත් වුනෙ සක්වල දුක් කඳම
අත් මිටට දුන් ගැප් පෙළහරක ශෝකාලාපය
වරුවක් පණ ඇද්ද
තරුවක් වියපත්ව පිපිරෙනකොට
උපදින නිහාරිකාවකට
අර දූලි සුන්බුන් මතින්
පූදන්න හැකිලු නව තරු කැට
තුරු වියන් නිද්‍රාවෙ ගැලුනට
හරිත හීනය නොමරාම
මුල් හිටියෙ ගැහි ගැහී හිම යට
හුරුපුරුදු උණුහුම එන යනවිට
දරා අත්නොහැර ඉඳීමමයි
උරුම ජීවිතයෙ වරපට
වැසි පොදක් , විශ්ව දූවිළි සුගක්ව
ජීවිතය පවතියිද නොපවතිද අඩක්
ඉසිවර හිතක් සුහුරුයි කියවන්න
අසරණව හඬන හද හඬක්
රිසිව නව සහජාත පරපුරක
පණ ගැහෙන ඉඩ කඩක්
නිසි කලදි " මරණය " වුනත්
නිරාමිස සුව දෙන බිම්කඩක්
කවිය බලන්න
මල්බෙරි ගස
මට මතක ඇති කලෙක සිට
ඔබ උස් ව වැඩුනා මෙතැන
එබී මේ පවුරෙන් මෙපිටට
චීනය ගැන වත්
සේද පණුවන් ගැනවත්
දැනගන්නට පෙර
හැඳිනුවා මා ඔබේ ඵල
ඔබේ දම් පැහැය
පොඩිවී මගේ දෙපයට
පැතිරුණා මිත්තනියගේ පලස් මත
කවුරුන් හෝ නැවක නියමුවෙක්
අනාගතයට සෙවනක් මවන්නට
මෙහි මේ පැලය සිටුවන්නට ඇත
මේ සිසිරයේ දී රථයක් ගැටී
අහිමිවුණා ඔබේ පහත අත්තක්
ජීවිත කාලයක්ම
ඔබව හැඳිනූ ඒ මැහැල්ල
වැළපුනා, ඒ තුවාලය දැක
කිසිම මුහුණකට වඩා
රැළි වැටී ඇත ඔබේ මතුපිට
ඉතා සෙමෙන් දිවි ගෙවන්නෙකි ඔබ
ඔබට අපේ කටහඬ ඇසෙන්නේ
සලබ පියපත් හඬ ලෙස ද?
ඔබට අප ව පෙනෙන්නේ
දුක්බරම දේ වෙත ලූ නැංගුරම්
තදින් අල්ලාගත්
මුල් අහිමි වූවන් ලෙසද ?
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of the poem ‘Mulberry’ by Craig Arnold
ඇමෙරිකානු ජාතික කවියෙකු වන Craig Arnold, University of Wyoming හි කාව්‍යකරණය පිළිබඳ මහාචාර්යවරයෙක් විය. ඔහු තම නිර්මාණ වෙනුවෙන් සම්මාන රැසක් දිනා තිබේ. 2009 දී කවි පොතකට කරුණු සෙවීමට ජපානයේ ගිනි කඳු සහිත දූපතක සංචාරයේ යෙදුණු Arnold ඒ ගමනේදී අතුරුදන් වී තිබේ.
කවිය බලන්න
අප්පච්චි
සෙංකඩගල දළදා වරුනේ
උත්තම ගුණ සේම
වැව් දියවර සොලවා
නැලවෙන දියවර පේන
උජාරුවකට නොකියා ලය
හෑරෙන සෙනේ ගේන..
දරාගත්තේ නුඹයි දෑල ඉවුරු වී
දිවියේ හැමදාම....
කිසිම දාක කිව්වෙ නෑ...
මගේ පනයි නුඹ හැමදාම
සුසුම් අහුරා මග සැරසූ
සෙනේ කදයි රහසේම
සංසාරෙ පුරා යන ගමනේ
භවයක වත් අත් නොහැරීම
නුඹ මගේ වෙනවද හුස්මට
හැමදා පන නල ගේන
සෙවනැල්ල මයි අඳුර පුරාමත්
අත් නොහැරම ඉන්න
කරගැට ගයයි ගීතය රිදුනද
ජීවිතේ කිසිත් නොකියන්න
නැවත ඉපදේදැයි නොදනිමි
සසරේ අප හමු වී ඉන්න
අප්පච්චි යේ නුඹ බූදු වෙයන්
එකම මලක් වත් පූජා කරන්න....
යටියන්තොට
කවිය බලන්න
දොර ළඟ
බලා ඉන්නෙමි
දොර ඇරෙන තුරු
ඇතුලුවන්නට
අඳුරු කුටියට
දොර අරින්නා
නොදන්නේ ම ය
මා සිටින්නේ
පහනක් අතින් ගෙන බව
17-11.2023
කවිය බලන්න
ඉන්ද්‍රාජාලය නුඹයි මාලීනියේ
මන්දහාසය සපිරි සෘජු සිරසේ
හැපුණු කළුගල් බිදුනි පෙරදවසේ
අන්ධකාරය නැසූ දන මනසේ
ඉන්ද්‍රාජාලය නුඹයි මාලීනියේ
කඩුව ඔසවා ගහලයා රුපු සේ
බලද්දී නුඹ දිහා සතුරු කුසේ
නුඹ ගයන්නේ උගේ සොයුරිය සේ
රජුට එරෙහිව පමණි මාලිනියේ
කවිය බලන්න
නොගොසින් එන්ට බැරි බවයි.
දෙවෙන්දොරා නොරිකො ඔබ
පමණක්මද අත් දුටුවේ
ලොව පවතිනවයි කියනා
යෑමයි ඊමයි.
ඒ විතරද,
නොගොසින් එන්ට බැරි බවයි.
නෑවිත් යන්ට බැරි බවයි.
සත්තකින්ම ලොවැ ඇත්තේ යෑමක් හා ඊමක් මැයි,
ප්‍රභවය හා කෙළවර'තුර
යෑම් කොතෙක්දැයි නොදනිමු,
ඊම් කොතෙක්දැයි නොදනිමු,
අනේකවිධ සමාගම් ද
සම්පයෝග විප්පයෝග ලෙන්ගතුකම් සන්තාපද
මහ සයුරේ දිය බිඳු මෙන්
වැලි කතරක දූවිලි මෙන්
ගණනක් මිම්මක් නැතුවා,
හිතා ගන්න බැරි තරමින්
දෙවෙන්දොරා නොරිකො සං, නොකිව්වාට අපි දන්නවා
කවුද කියා දුන්නේ මෙහෙම
මගේ අමා මෑණියන්ගේ
බණ ඇහුවනේ එක දවසක,
මෙහෙම නේද කියලා දුන්නේ
ඇත්ත කියන්නකො නොරිකො,
ඇත්ත නේද දෙවෙන්දොරා.
යෑම හොඳයි, ගොස් ඊම ත් ඊට හොඳයි
ඔව්! ඔබ හරි
ලොවැ ඇත්තේ මේ දෙකම නේ
නොගොසින් එන්ට බැහැනේ
නෑවිත් යන්ට බැහැනේ
අපි හැමෝම එනවා.
අපි හැමෝම යනවා.
කවදා කොතැනකදී හෝ නැවතීමක් වෙනවා.
එදාට,
සැනසුම් සුසුමක් ලබන්න
සතුටු උදානය විඳින්න
ඔබත් එතැන නැතුවා
මමත් එතැන නැතුවා.
කවිය බලන්න
සමනල සඳෙස -7
දතයුතු කරුණු ගොමුව - 5
සමනොල ගිර
118. සමනල අමිල සමනොල ගිර බසින විට
නිසසල නිමල “අරණය” වට බලනු පිට
නැණසල පතල පින්බිම අද එ තැන සිට
මදනල මුකුල සරසන්නෙ ද පත් ක හට
119. සම නල පිය බදන නුඹෙ නෙත්වලට හොරා
තෙද බල සමන් සුරිඳුගෙ නම පතල පුරා
වෙද නල ගැහී සමනල අඩවිය ම සරා
මද දල යනු ද මිණිලිය ළමැදින් ම පෙරා
120. සුකොමල ගමන් තැන තැන බලමින් පැමිණී
ගත සර ගිමන් හළ හළ ගයමින් අම ගී
නෙතු හැර බලන් විඳ විඳ සතුටින් පෙර කී
සමනල කියන් දුටු දෙය දැකුමෙන් සිත කී
121. සිතකට නැඟුණු සිතිවිලි දැකුමෙන් මෙ ගිරේ
කියනට දුක - තැල්ම හද පත්ළෙන් ඉ තිරේ
වෙනසට දකින තෝතැන මනැසින් වැ තිරේ
සුළඟට ඇදෙන දුහුවිල්ලක් මෙන් වි සිරේ
122. එ දා පුරාතන වත් ගැන ඇසුණු කට
ස දා චාර හුව බැද දන තිබුණු වැට
මෙදා සොඳේ සකවල පණ ගැසුණු විට
උ දා වෙ දෝ මෙ පුරේ මිණ බිදුණු කැට
123. ඇසුවොත් පිළිතුරක් දෙන්නට බැරු ව නොවේ
දුන්නත් එය පළක් වේ දැයි සැක ය මැවේ
මුදුණත් දැක බලා බුදු පා පහ ස සුවේ
සුවපත් වෙන්න සිත විද එනු මිතු ර නිවේ
124. සිහි තල මීදුමේ හැපි - හැපි සුළගෙ එ තී
බිහි කළ පරිසරය හිරිහැර නොදෙයි සිතී
සිහි කළ තැන සමන් දෙවි තෙද බලය ඇතී
ගිහි-සත්-පැවිදි හැමට ම රැකවරණ දෙතී
125. සමන් සුරිඳු සහ දෙවි නරදුන් වැන් දූ
සතර කවි පදට රස වැඩියෙන් කැන් දූ
සපරගමුවෙ නම මහ ඉහළින් රැන් දූ
සමනොල ශිඛර බොදු දන බැතියෙන් බැන් දූ
126. කුරුවිට - කැකුළු - නවදුන් - අටකලන් ද
කඩවතු-කොළොන්නා මැද නම්වලින් ද
සැදි “සත් කෝරළය” අද එක නමින් ද
“සපරගමුව” යැයි දිනු “කවිකමින්” ද
127. දහස් ගණන් බැති දන පුද දෙමින පුරා
අහස් උසට බුදු ගුණ හඩ නැගෙන අරා
වෙසෙස් නදට “සාදු සාදු” ඇසෙන තුරා
සතොස් සිතෙන් “යනු” සිරිපා සිහින දරා
(මතු සම්බන්ධයි.)
2023.12.01
කවිය බලන්න
මට ඇසේ කූජනය සවන්පත් අරා
දිළිඳු කමේ කළු මේඝ තලා
පෑයූ අයුරු එදා
දිවිය අහසේ අනන්තයෙ හි
දිරිය සෙනෙහේ සලා
සෙනෙහසට ඔහු නමින්
ගයයි ඇය ගී පෙමින්...
ඔබේ දෑතේ රැඳුණු සලුපිළි
ඇඟිලි පොරබැද මැකූ හෙළුවැල
නිවාලන්නට ඇගේ කුසගිනි
උගෙන ගන්නට “අ” යනු “ආ” යනු
මැළි වුණා නම් නුඹේ හදවත
දහස්වර මැරි-මැරී උපදිනු
නොඅනුමානයි පියතුමාණෙනි!
සෙනෙහසට ඔහු නමින්
ගයයි ඇය ගී පෙමින්...
සුගුණ ගීයක් මට ගයන්නට
ලැබුණු ඇරැයුම අගැයුමක් වී
ඔබෙන් උදුරා ගතිමි දිවි හඬ
සොරකමට නොව සෙනෙහසට ඔද!
ඒ හඬයි මේ ඇසෙනුයේ
ඒ හඬයි මේ ඇසෙනුයේ
දිවියෙ මැද මාවතේ දරදිය
ඔබෙ දිරියමැයි මගේ ඩහදිය
අරුමයක් සේ මට ද දිස් වී
උරුමයක් වූ අයුරු සිත් දී!
ඒ හඬයි මේ ඇසෙනුයේ
ඒ හඬයි මේ ඇසෙනුයේ
සෙනෙහසට ඔහු නමින්
ගයයි ඇය ගී පෙමින්...
01.12.2023
***
කවිය බලන්න
මිහිරි කොස්වාලිහිණ
ගීත ගෝවින්දයෙන් අමුනා
දහක් පදැතිව අකුරු කරමින
වලා සුසිනිදු ස්වරය මවමී
මිහිරි කොස්වා ලිහිණි ප්‍රේමය
නේක දසුනින් මවා රැඟුමන්
දෑල ඔය නෙත් අතර සොයමින්
ගෙවූ කාලය අහවරයි දැන්
එතෙර වනු ගං ඉවුර දෙපසින්
හෙටක් පහන් වන තුරුම සසලයි
ප්‍රේම පතිවත් හද ගැඹුරු කල්
අඬනු රිසියෙන් නවතනූ මැන
පහන් වේවී රැයත් විගසින්...
කවිය බලන්න
සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා
මිනිසුන් මරා මිනිසුන් යුධ වැද ගන්නේ
මනසින් උස් බව කිමද නිගරුවකිනේ
සිවුපා සතුන් කිසිදා නෑ වරිගේ නසන්නේ
මිනිසත් බව ලැබ අප කුමට උපන්නේ
සියලු සතුන් අහරෙනි ජීවත් වන්නේ
අහරට මිස නෑ ගොදුරු සොයන්නේ
ඇදහිලි ගෙන සතුනගේ ගෙල සිදවන්නේ
මිනිසත් බව ලැබ අප කොයිද සිටින්නේ
ආගම දහමට නැඹුරුව කියමින්නේ
ආගම දහමම විකුණන් කන්නේ
තිරිසනෙකුට ඇති හර නැනි මිනිසුන්නේ
නොපෙනෙන දෙවියන් උදෙසා උනුන් නසන්නේ
කවිය බලන්න
ජීවිතය ගයන්නී ...
දෙසවනින් වැළඳ
හදවත් සිසාරා සක්මනක කර ...
ආදරය බෙදා, දුක් සුසුම් තුනී කරනා
ඒ හඬ නින්නාදව
තවමත් තවමත් ...
නින්ද නැති දිගු රාත්‍රීන් තුලද
විඩාබරවූ මද්දහනටද
සංගීතයේ රිද්මය තැවරූ
ස්නේහයේ ස්වරයෙන්...
සුවහසක් සහෘද සිත් සනසා...
ඒ මාධූර්යයේ
සුමධුර ගැයුම ඔබය ...
සත්‍යයේ ගීතයක සැඟව ඇති
ජීවිතය ... ඇසේ ඔබේ හඬ තුල
නන්දා මාලිනියෙනි, මේ ආදරය ඔබටයි!
කවිය බලන්න
මගියා සහ භික්ෂුව
කොතෙක් කල් මෙහි
වැඩවසන්නේ දැයි
විමසූ කල
ඒ භික්ෂුවගෙන්
අතක් දිගු කෙරිණි
වනස්පතියක් දෙසට
"බවුන් වඩන්නට
කමටහන් කිව මැන"
අතක් දිගු කෙරිණි
දොළ වෙත
වන අරණ කෙළවර
පෙරළා යනු රිසිව
මග විමසූ කල
හිස එසැවීය
හිස් අහස වෙත..
කවිය බලන්න
දුරු රට ඇයට
වෙන්ව සිටියත් ඈත දුරකින්
සිතින් සිත ළඟ බැඳිලා
උදේ හවහා මලින් පුදනෙමි
නිහඬ ලතැවිලි නිවලා
නිදුක් සම්පත - ඔබේ සැපතයි
මගේ පැතුමට වෙලිලා
උපන් දින දා හදවතේ ඇති
ආදරේ ගඟ දොවලා
සෙනෙහසේ දිග ඔබට එවනෙමි
හමන සුළඟේ ඔතලා...
නින්ද බිඳි ඇහැරෙන විට
මැදියම් මහ රෑ………..
සිහි කර ගෙන තනි යහනේ සිහින දකින දා
මා ඔබ ළඟ බව සිහිකර නගින්න - මේ මහ ගිරි දඹ
තව දුර නෑ කෙරවලටම - අපි යමු අත් අල්ලාගෙන
කවිය බලන්න
දුරුතු මහේ අපි සිටින්නෙ
අද උදයෙම හිරු නැගෙද්දි
වළිකුකුලන් හඬ ඇසෙද්දි
කටරොඩු වැල දෙස බලද්දි
පිරිලම තිබුනයි....
වළි කුකුළන්ගේ සද්දේ
ඇසෙනා විට ගං මැද්දේ
තුරුලිය සතුටින් පැද්දේ
එය හරි සොඳුරුයි...
වතුසුදු ගහ සුදු පිරුවට
ඇඳගෙන වාගෙයි සරුවට
හැඩ වැඩ වී හරි පෙනුමට
මට හරි ආසයි....
සිහිල් සුළං වැල් හමන්නෙ
සීතල වැඩියෙන් දැනෙන්නෙ
දුරුතු මහේ අපි සිටින්නෙ
ඒ බව හැඟුනයි....
- කැකිරාව -
කවිය බලන්න
ඈ මාලනී මෙසේ සිතුනි
අයුක්තියට එරෙහිවෙලා
යුක්තිය තහවුරු කරන්න
හඬ අසිපත සටන් කළා
ගී මල් හිස පළන්දන්න
ඇති උන්ගේ වැඩවල හැටි
පොඩි උන්ටත් කියා දෙන්න
යුගයේ ගැහැනිය නුඹ වේ
සත්සර ගී නාද දෙන්න
හීන දකින පෙම් සිතිවිලි
පමණක් නොව රට හදන්න
එදා පවන හඬ නැගුවේ
දරුවන්ටත් හිනා වෙන්න
එහෙත් තවම මොකද? වෙන්නෙ
අදටත් බැහැ හිතා ගන්න
ඒ වුණාට ඔබ හඬ නැගු
සත්සර ගී නාද දෙන්න
කවිය බලන්න
ඔස්ට්‍රේලියාවේ සිඩිනි නුවර පාක්ලී වෙළෙඳපොළ දී.......
කොළඹ මැනිං පොල
ගමනක් මතක් කල ගමනක්
ගියා පාක්ලී පොල ඔසී රට...
එහි නොමදුටිමි නාටාමිල බර කරගත්
එහි කිසි තැනක නැත ඔවුනගෙ
හඩ තැලුමක්...
පාක්ලී වෙළෙඳපොළ පිරිලා දහස්
පිරිස් යටිගිරි හඩක් නැත
බඩු විකුණන පිරිස් වෙතින්...
එළවළු පලතුරක් ඇත නිසි ලෙස
හරි ගැස්සී මස් මාළුවත් යන මග
හැඩ පෙල ගැස්සී...
මං පොලොවේ අප ජල නැත
එක් රැස්වී තැන තැන කුණු
පොදක් නැත දුගඳ වැසී...
බඩු විකුණන මිල ගන්නා
දහස් පිරිස් නීතියෙ ගරුක බව ඒ
හැමගේ පොදු දහමක්..
නිවසට ඇවැසි හැම ගතහැකි එක
වහලක් අප පොදු වෙළෙඳපොළ
පතෙනෙමු,එවන් දිනක්...
කවිය බලන්න
දේශයේ හඬ ..............
අවියක් කරන ඔබෙ කටහඬ ලක්දිවට
සවියක් දුන්නේ පීඩිත ජනයගෙ ලොවට
දෙව්දුව වෙලා උන් සිත සැනසුවෙ යසට
දිවියක් ඔබයි ගෙන ආවේ ගීතයට
නොසැලී බිය නොවී ගීතය ගැයූ හඬින්
පාලකයන්ගෙ ජඩවැඩ පෙන්නුවා නිතින්
රට දැය ගොඩ නගන නව පරපුරට ඉතින්
ගුරුහරුකම්ද පෙන්නා දුන්නාය නිතින්
දූ දරු පරපුරට සංගීතයක් ලෙසින්
දුන්නා දැනුම අපමණ ලෙස ඔබේ බසින්
නන්දා මාලිනී යන නම ගයමු තොසින්
පතනෙමු දිවිය සැපවන්නට ඉතා සුවෙන්
නවසීලන්තය
27 නොවැම්බර් 2023
කවිය බලන්න
ඔබයි රම්‍ය සඳ කිරන අපට සැම කාලේ
කලක් සිට ගී ඇසුනි සැමදින
කතක් වීමට පෙරත් පෙර දින
එතෙක් නොඇසුන හදට සුව දෙන
හඬක් ඇසුනේ ගුව්නෙ රැව් දෙන!
සමන් වැල වෙන්නම් කියා
නෙලුම් පාපිසුනක් කියා
සඳුන් සෙවනක් වෙමි කියා
ගයන හඬ හද පතුලේ ලියා.
ගලන ගඟ ගැන පවසමින්
හැඟුම ආදර පෙන්වමින්
යොවුන් විය එන්නත් කලින්
ඇසුන එය රේඩියෝ තුලින්.
මගේ රට ගැන බැති එදා
වැඩෙන සේ දන තුල සදා
පවන ගී ගුවනේ රඳා
දිරිය දුන් ඒ ගී සොඳා.
වියෝ ගී අසනට කැමැත්තෙන්
සිටින සමයක ඇසේ රිසියෙන්
"තරුද නිදන" සවනෙහි රැඳීමෙන්
ලැබුන සැනසුම කෙසේ අගයන්.
අහස සේ ඔබ අනන්තයි
ගැයුම හද තුල ලැඟුම් ගයි
එවැනි මියුරට ගයන්ටයි
ලබන දිවිමගෙ පැතුම මයි!
මවගෙ ගුන ගී ඔබගෙ හඬකින්
ඇසෙන විට හද පිරේ බැතියෙන්
කුළුනු ගුන අප සැමගෙ වඩමින්
ගෙවන දිවි අද පිරෙයි බැතියෙන්
ජාතියේ හඬ ඔබයි මැතිණිය
ජීවිතේ හැම සංදියේ,
රෝග පීඩා වලින් වැලකිය
නොහැක සතු නැති කුණුකයේ,
එහෙත් ඔබ කල මෙහෙය දනහට
සුවෙන් සිටිනට මිහිතලේ,
ලැබෙයි අනුහස දුකින් තොර
දිවියක් ගෙවීමට හැම කලේ!
කවිය බලන්න
ගෑනුම තමයි
හමු වෙලා තියෙනවද toxic ගෑනුන්ව
නිතරම ප්‍රශ්නයක්ම හොයන
නිතරම ප්‍රශ්නයක් ඇති කරන
ප්‍රශ්න වලට උත්තර පෙනී පෙනී
ප්‍රශ්නයක්ම තෝරගන්න toxic ගෑනුන්ව !!!
හමු වෙලා තියෙනවද මහන්තත්ත ගෑනුන්ව
වටේ පිටේ බහුතර පිරිමි
එයාට කැමති වෙන්න ඕන කියලා හිතන
එහෙම කරව ගන්න
ඒ පිරිමි නොදැනම
ඒ පිරිමි ලව්වාම
තමන්ට ඕන දේ කරවගන්න
ඒ පිරිමි ගාව ඉන්න
තමන් වගේම ගෑනුන්ව
ඒ පිරිමි එක්කලාම පහත් කොට සලකන
තව ගෑනියෙක්ට හිනා වෙන
මහන්තත්ත ගෑනුන්ව !!!
හමු වෙලා තියෙනවද outgoing ගෑනුන්ව
තමන්ගේ relationship එක
පුදසුන මත තබා
පැන් ඉස රැක ගන්නා
අනික් ගෑනුන්ගේ relatioship
බල්ලට ගියාවේ හිතන ගෑනුන්ව
තමන් නිසාවෙන්
බිඳී විසිරෙන සබඳතා දිහා
නිවී සැනසී බලා සිටින
outgoing ගෑනුන්ව !!!
හමු වෙලා තියෙනවද රිද්දන ගෑනුන්ව
තමන්ගේ ජීවිතය උඩු යටිකුරු කළ
හදවත නෙත් අගටම අරන් අඬවපු
තම හදවත කීතූ වලට ඉරෑ දේම
අනික් ගෑනුන්ටත් සිද්ධ වෙන විදියට වැඩ කරන
out going ගෑනුන්ව !!!
හමු වෙලා තියෙනවද
කිසිම ගෑනියෙක්ට ගරු නොකරන
කිසිම ගෑනියෙක්ට වටිනාකමක් නොදෙන
තමන්ගේ දේ නාග කන්‍යාව සේ රකින
අනික් ගෑනුන්ව විනාශ කරන
toxic
මහන්තන්ත
out going
රිද්දන
ගෑනුන්ව !!!!
කවිය බලන්න
අරින වහන වයින්.....
රට නො මගට යවන පාලක උදවියට
හඟවන විරෝධය කළ හර්තාලයට
සියලු ම කඩ වසා කඵ කොඩි දමන විට
හර්තාලයට දොර ඇරියා තැබෑරුම
ගමනාගමන නොවනා බස් රථ මගට
නැවතුම් පොළේ නවතා තිබුණා පෙළට
කළ ඒ අරගලය නිම කොට මත් මතට
හර්තාලයෙන් පසු වැසුවා තැබෑරුම
කවිය බලන්න
සිහින් සුළඟට...💖
සිහින් සුළඟට මුසුව ඇවිදින්
අපේ සෙනෙහස සුවඳ දෙනවා
මතක අතරේ සැගව ගිය නුඹව
යළි යළිත් මම සොයනවා
පාට නොමැතිව ඇන්ද සිතුවම්
එක පෙළට මට මැවෙනවා
හීන අතරින් නළලේ තිලකය
මැවි මැවී මට පේනවා
මතක අතරේ කිමිදෙමින් මා ඉන්නවා
දෑතෙ සෙළවුණු වළලු සද්දේ
අදත් සවනේ රැදෙනවා
ඉදහිටක මගේ මුහුණත්
කැඩපතින් මා බලනවා
ඒ මතින් මට ළංව,
නුඹ ඉන්නවග දැනෙනවා
කවිය බලන්න
ගී කෝකිලාවිය
ආදරයේ වේදනාව දැනුනු සිත් සුව කෙරුවේ ඔබෙ හඩයි
ගිලන් හද පාරවා ගෙනෙන දුක් කුරුටු ගෑවේ ඔබෙ ගී පොතෙයි
ජිවිතේ දිගු ගමන් මග නවාතැන්පල ඔබයි ඔබගේ සිනාවයි
මගේ පුංචි ලෝකයේ ගනදුරම මකාලූ ඔබයි රම්ය සද කිරන ඔබයි
එක් කල අතැගිලි රන්කෙන්දෙන් බැද ආදර හදවත් අදත් ගයයි
වලාකුලකුත් නොමැති අහසේ සැදැ කලුවර මැකුවෙ ඔබයි
වියලි ගම් බිම් වලට ඉහලින් වහින්නට තැනු ගී හඩයි
දරුවන්ගේ දුක් කදුලු දකිනදා මනුලොව සිට පිස දැමුවේ ඔබයි
රටක් නොව මුලු ලොවක් පිනවන නුඹ අපේ ගී කෝකිලාවිය
රටක් එක ධජයක් යටට ගෙන එන්න ගී ගැයු පරවි කිරිලිය
රිදුනු සිත් නෙක දනන්ගේ සුව කරන නුඹෙ ඒ මිහිරි රාවය
රැදේවා තව බොහෝ කල් එය අසන්නට දෙසවන් බොහෝමය
කවිය බලන්න
රහස් රහස් වී රහසෙම සැගවුණු...........
රහසින් ලංවී
රහසින් වින්ද
ප්‍රේමය ..
රහස් කොදුරා
රහසින් නික්මුණු
ප්‍රේමය..
රහසේ හඩන
රහසේ විදවන
ප්‍රේමය...
රහස් රහස් වී
රහසෙම සැගවුණු
ප්‍රේමය ...
සීතල පපුවට
රහසින් ඇවිදින්
ප්‍රේමය
උණුසුම විදිමින්
සිත සුවපත් කල
ප්‍රේමය
අන්සතු උයනක
පිපුණත් සුවදයි
ප්‍රේමය..
රහස් රහස් වී
රහසින් වින්ද
ප්‍රේමය
පෙනෙන දුරකින්
නැති වුවත් අද
ප්‍රේමය
සිතිං සියවර
ඉතිං වින්දෙමි
ප්‍රේමය
මගේ නොවුනත්
මගේම වූ
ප්‍රේමය
රහස් රහස් වී
රහසින් වින්ද
ප්‍රේමය
කවිය බලන්න
දොලපිදේණි යකුන්නේ...
හෙණ පිට හෙණ වැදුන මුත් තව කමක් නැතී
තන බදු බලු බදුත් පුරුදුයි අපෙත් ගතී
මඩියම හිස් වුවත් ගැතිකම ඇඟෙත් ඇතී
වැඳ වැඳ පින් දියවු රට විකුණුවත් බැතී
වේලයි, දෙවේලක් කන්නට නම් බැරිය
සාගිනි උහුලමින් බඩ පොතු ගෙන දිරිය
පාරුව පදින උන් හඳුනති හොඳ හරිය
දුන්නද වම් අතින් දකුණතෙ නැත පිරිය
කළගෙඩි බඩ වලත් ඇතිවීමක් නැත්තේ
බහිරවයන්ට නොදෙවෙනි තැනකුයි ගත්තේ
තට්ටුව බර නිසයි ඉන්දුවෙ උඩ අත්තේ
රෙදි ඇන්දුවත් විළිසංගෙට නොව සත්තේ
දැන්නම් දැනෙන්නේ සවියක ඇති අඩුව
උන්මයි විසඳන්නෙ විත්තිය නැති නඩුව
බෙල්ලට හිරකලත් පළඳපු මළ පුඬුව
අත්පුඩි තලනවා දුටුවද විස කඩුව
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
කවිය බලන්න
ජාතියේ යශෝරාවයයි
කඩමණ්ඩීයේ දොල අයිනේ ඉදන්
රුක් අත්තන මල මුදුනින්
සැදෑකලුවර වැටෙන වෙලාවට
තරුත නිදන මහ රෑ
උඩගු ලියන්
දේවදාසියන්
සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ ඉදන්
කුරුටු ගෑ ගී පොත දිග හරින්නේ
බුද්ධානුභාවයෙන්යැයි ගයමින්
ගෙඩි සීයයක් බිම හෙලූ අප්පච්චි
අම්මාවරුන්ගේ
හඩනා කදුලු
ගිරි කුල පාමුල
රම්‍ය සදකිරණක් සේ දිලෙන්නට ඉඩ හැර
ගලන ගගක් ගැන කියමින්
ජීවිතේ ගැන වගේම
සරා සොදුරු මල්
රන්කෙන්දෙන් බැදුණු
ප්‍රේමය
පෙම් රැහැනින්
බිදගත්ත හැටි
හරි අපූරුවට
ගයන ඇය
ජාතියේ යශෝරාවයයි
කොටහේනේ උඩවැඩියා මලයි
කොට්ටාව
කවිය බලන්න
පුවතක් - මහා වකුගඩු ජාවාරමක සුලමුල
නිහඬතාවයකි රජයන
නිහතමානීව රකිමින
නියතයකි මේ ජීවිත
කඳුළු බිඳු කැටිති විසිරෙන
ගෙන්දගම් පොළව මතුපිට
නින්දගම් කිසිත් නැත මට
වින්දනම් දුක් කම් කටොලු එපමන
නින්දනම් කෙසේවත් ඇස අග නැත
සින්දුනම් කොපමණ ඇතත් අද
බිංදුනම් බැංකුවේ එකක්වත් නැත
දෙකක් තිබෙනා නිසා
එකක් ගලවා විකුණා
උඹේ ඔය සිනහව බලා
මැරෙනතුරු ඉන්නම් සදා
මන්දාර ලියනගේ
කවිය බලන්න
අබුද්දස්ස කාලයක .....
මාලය වගේ හිරු යනකොට සඳක් එමින්
කාලය දුවයි ආනත ලොව වටක් යමින්
තාලය හොඳම පුරවා සිත හුඟක් සොමින්
සාදය නටමු උතුරන තෙක් දියක් හෙමින්
සේලය කොටයි පෙනුනට උඩ යටින් ටිකක්
පාපය කිසිම නොරැඳෙයි එහි ලෙසින් තිතක්
ලෝබය අතැර ගෙනැවුත් පඬු යාර හයක්
පාදය තෙක්ම පළඳමු වළකමින් දොසක්
වැඳලා මොටද මහ සෑයට සිරස නමා
පළඳා ඇඳුම් පින් පුරවමු නොකර පමා
දෙසලා බණක් හිත සැනසෙන ලෙසට තමා
වළකා වැටෙයි මිසදිටු වැසි මෙලක තෙමා
කවිය බලන්න
ආයාචනා
මහා කරුණා
ගුණය නිබඳව
සියලු සත් වග
වෙතට සැමදින
මහා දම් කඳ
ආනුභාවෙන්
රතන සුතුරෙහි
සමරමින ගුණ
මහා නුවරෙහි
විශාලා නම්
තිබුණු තුන් බිය
දුරු කරපු මෙන
මහා මෙත් සිල
ම,බුදු සමිඳුනි
අපට සුව සෙත
සලසවනු මැන
සතර අත සැම
දනට සුබ සෙත
සදන බලමින
දොලොස් නෙතඟින
විතර නොවනා
මහත් තෙද බල
පතුරුවන ලක්
බිමෙහි සැම දින නතර නොවනා
කිතු රැසින් දස
අතෙහි නංවන
පබල කිතුමිණ
කතරගම දෙවි
සමිඳ වෙනු මැන
පිහිට අප හට
සෙත සලස මින
ඈත සිට පෙරු
මන් පුරාගෙන
මෙතේ බුදු බව
පතාගෙන එන
බීත කරවන
රුදුරු යක් සෙන්
පරදවා ලොව
සතට මෙත දෙන
දෝත නලලත
තබා නමදිමි
අයදිමින් පා
මුලෙහි බැතියෙන
නාත දෙවිඳුනි
නසා රෝ බිය
හදෙහි දුක් කඳ
දුරු කරනු මැන
නිමල බුදු දම
රකින විලසින
පිරිත් නූලෙක
බලය ලබමින
අමිල මෙහෙවර
මෙතෙක් කරමින්
බුදු සමය ආ
නිබඳ රකිමින
නළල තබමින්
පාද යුග මත
අයදිමින මතු
දිනක බුදු වන
පබල වෙනු මහ
දෙවිඳ පැතිරෙන
ලෙඩ වසංගත
දුරු කරනු මැන
මෙතිනි ලොව තුල
සියළු දන හට
දයා කරුණා
ගුණ පතුරුවන
නිතිනි සලසන
අමිල සුබ සෙත
සළඹ යුගලය
දෙඅත දරමින
බැතිනි පදයුග
නැමද ඉල්ලමි
සියළු වස් දොස්
සැම දුරුව එන
පතිනි දෙවියනි
දිවැස් හෙලමින්
රුදු වසංගත
.... දුරු කරනු මැන
සමන් ගිරි කුළ
මතට සිරිපා
පිහිටුවන්නට
කරන ඇරයුම
සමන් මල් අතු
රුවා බුදු හිමි
වැඩම.කරවා
ලෙසට සිත් තම
සමන් සුවඳින්
පුරා ලක් බිම
පුද බිමක් කළ
සුවය පිනිසම
සමන් මහ දෙව්
රදුනි රැක දෙන්
මෙ සිරි ලක් බිම .
වෙසෙන දෙන හැම
සියල් දිනකම
ජනී ජනයා
කරති පුද පෙත්
නැතද වත් කම
සියල් විටකම
යදින්නේ සුබ
සෙතම මිස නම් .
නොවේ වත්කම
සියල් දෙවියනි
අදද මා ඔබ
හමුවෙ පුද දෙමි
කවියෙ වත් කම
සියල් සත මේ.
වසංගතයෙන්
මුදා දෙනු මැන
දිවියෙ වත්කම
- බදුල්ල -
කවිය බලන්න
නොපෑහීම
කෝ...කොහෙද...
කිසි බැඳීමක්
හදවත් එකට යා කොට
දෙදෙනා ම තනිවී
හුදෙකලා ලෝ දෙකක...
ඔහු දකිනු ඇති
තනිවම සිහින ...
මම ද සිහිනෙක ගිලී
තනිවම ...
දෙදෙනා දෙතැනක
තනි තනිව දකිනා සිහින
නොපෑහෙන දීගෙක
තිත්ත මිදි යුෂ එකම බඳුනක
පුරෝගෙන අපි පුරමු සව්දිය...
2023.11.03
කවිය බලන්න
අමරණීය මවු හෙළ නන්දා මාලනියයි
සවනට ඇසෙන ඒ හඩ හවානාවමයි
බුදු ගුණ මවු ගුණ නිතරම
ගැයුවාමයි
කරලිය නඟන්නට ඇය කල
මෙහෙවරමයි
අමරණීය මවු හෙළ නන්දා
මාලනියයි
කවිය බලන්න
A View from the bridge
In a quaint abode
Wear a whispering bridge
Lived a girl with dreams
Beyond her age, a smidge
By the meadow's grace
Her heart would roam,
A soul enamoured by the flowers
That softly bloom.
She danced in the wind
Her laughter unfurled
With every step she took,
She'd paint the meadows' grounds
With blooming flowers and galore.
Beneth the bridge
There streams a gentle croon
That sang lullibies to the stars snd moon
It's water whispered secrets,
To the girl whose dreams,
Knew no bound, no end.
A girl by the bridge
In the meadow's embrace
Living a life full of
Wonder and grace.
කවිය බලන්න
යුධ ගිනි ඇවිලෙන ඝාසා තීරේ
යුධ ගිනි ඇවිලෙන ඝාසා තීරේ
මළ මිනිසුන් ගේ රුධිරය බේරේ
මෙහි අවසානය නොව මෙම වාරේ
පවතින තෙක් හදවත් තුල වෛරේ
*
කවිය බලන්න
නත්තල එන බව සැම තැන සද්දේ
උඳුවප් මාසේ සීතල මැද්දේ
නත්තල එන බව සැම තැන සද්දේ
සාමය පරදා ඇවිලෙන යුද්දේ
මිනිසුන්මය ගිණි උණ්ඩය විද්දේ
සමරන්නේ සමිඳුන්ගේ උපතයි
ඒ මැද සාමය පැරදූ විපතයි
මේ ලොව තුල ධන බල යේ සැපතයි
නත්තල විකුණන් කන අය එමටයි
දිළිසෙන වට පිට නෙත් සනසන්නේ
නත්තල් ගී හඬ සවන් ගැටෙන්නේ
කේක් සමඟ තව කැවිලි සැදෙන්නේ
සාමය වේවා කියා පතන්නේ
සාමයෙ කුමරුය ජේසුස් සමිඳා
වෛරය සිත් තුළ නිබඳව නොනිදා
කොතරම් දේශණ දෙසුවත් සැමදා
මිනිසුන් මිනිසුන් වෙන්නේ කවදා
දුගී පැලේ බත් ඉදෙනා නත්තල
සාමය ප්‍රීතිය උපදින සිත් තුල
දුගියන් නිදියන කඩ පිලවල් වල
වෙතට ද නත්තල් සීයා යන කල
*
Mark@kumarage* 07/11/2023
කවිය බලන්න
මිනිසත්කම ඇගේ දහම
හෙළයේ බිහිවු සත්‍යය හඬ ගයන්නී
සරල ව ජීවිතය නිහඬ ව ගෙවන්නී
ඇයගේ ගැයුම් හදවත ට ම දැනෙන්නී
මිනිසත්කමේ ප්‍රතිරූපය මවන්නී
නිරහංකාර ඇය නන්දා මාලනි ය
හිතුවක්කාර සත්‍යයෙ හඬ රාජණි ය
යුක්තිය නමින් දිවි ගෙවනා ජීවනි ය
මානව දයාවෙන් පිරි ගී ප්‍රේමනි ය
ඇය නන්දා ගී බැන්දා
රස හින්දා ජන වින්දා
තතු දන්වා ගැයු හින්දා
සොඳ සිත් ඇති අය වැන්දා
මඩ වගුරේ පිපුණු කුසුම
බුදු මැදුරේ පිදෙන නෙළුම
කිතු සමිඳුන් නමින් ගැයුම
මිනිසත්කම ඇගේ දහම
අසත්‍යයට ගහන පහර
අයුක්තියේ බිඳෙන නහර
හදට දැනෙන ගැඹුරු වහර
සිඳී නොයන ගීත දහර
මාක්@කුමාරගේ
කවිය බලන්න
රිදුම්
බර අඩි තබා පපුව මත
කවුරු හරි ඇවිදිනවා
දැනෙන විට
හරියටම පපුව මැද
හිරවිමකිය හරි තද
කවුළුව මදක් හැර
සීතල සිතින් අත හැර
පිරිමදින්නට රිදුම්
කුමටද තවත් වෙහෙසුම්
තුරුපත් සිප වැළඳ ගත්
ශරත් සමයේ මඳ සුළං අත්
මා බදා කරන මේ පිරිමැදුම්
කෙසේ සමහන් කරාවිද
ඒ නැඟෙන ඇදුම්කන රිදුම්
මේ අඳුරු මැදියම් රැයේ
ඇවිදින්න තැන් වෙන නැතිද
බර අඩි තබමින් ඔබට
මගෙ පපුව විතරමද
මේ මහා ලෝකයක් උඩ
කවිය බලන්න
යාළුවේ ඔය ඇති..
මතින් මත හැරං පේමෙක එදා රැකී
හිතින් පේවේද තාමත් ඇයට සකී
ඉතිං පවසපං තතු මෙතුවකුත් නොකී
තතින් තත සින්ද මතකය නැතිද මැකී
ඇසින් ඇස දුරස් වුවත් දුරක සිට
දොසක් නොදැක සෙවනැල්ලත් නිදොස් කොට
රසක් කරන් විස පිරි මතකයක් යට
හිසක් හෙවුම අදහන්නට හැකිද මට
තියා හදක පෙම යයි කී පතොක් කටූ
සොයා කල් මරනවද මල් බෙදන නටූ
ගිය ගිරවිට යළි එන්නට නැහැලු තටූ
ලියවන්නට තුට යළි පෙරළපන් පිටූ
කවිය බලන්න
නුඹ
සිතුවිලි අසංතුලිතයි
අතීතය අනාගතය
අතර දෝලනය වන...
තවමත් භෂ්මාවශේෂයක්
නොවූ වර්තමානයේ අහඹු
පීඩනයෙන් විඩාකන...
විටෙක මට අනුලෝමවද
විටෙක මට ප්‍රතිලෝමවද
හිත අස්සෙ දඟ කරන...
නුඹත් එක සාධකයක්
කුලකයක විස්තර කිරීමක්
තවමත් නොතේරෙන...
නැහැ,,,,
තවමත් විස්තර කිරීමට
උත්සාහ නොකරන... 💗
කවිය බලන්න
අම්මයි... පුතයි...
මහමෙරක උස තියන ආදරේ කාරනා
ඇත්තු වාගෙයි පුත්තු අම්මෙක්ට වාසනා
සංසාරේ පුරාවට පතා ආ කාරනා
හුස්ම ටික තියෙන්නෙ ම ඒ මත්තෙමයි සදා
කුස පුරා දඟ කරපු සුන්දරම කල්පනා
ලයේ උණුහුමේ දී කිරි වෙලා වෑහුනා
ඉරක් වී මගෙ ලොවේ සතුට කැන්දු නියා
පුතෙක් මහ හුයක් මය පරපුරක් බන්දනා
බොල් වී කරල උඩු හුළඟට වැනෙන නියා
සරු වී බරට ගුණ නුවණින් සරණු සදා
සරුංගලය සේ රැහනින් රදා නොලා
රිසි සේ සරනු ලොව දිග් විජයක් ම කරා
කවිය බලන්න
කවියන් වනන සිත එක අරමුණක නොයයි
සඳ ඇවිදින් රෑ මැදියම සිඳු තෙරට
පායා කළුවර තිබෙන නුබ වෙතට
සේයා විත් අඳුර හා ගැටෙන විට
මායා මැකී ආලෝකය පෙනේ මට
සඳවත සඟවනා රහසක් වළාකුලේ
අඳුර අතර පා වී ඔහෙ යනෙන වෙලේ
නැවත පුරුදු තැන ඇවිදින් රැඳෙන වෙලේ
දුකම රඳා හද තනිවේ කඳුළු විලේ
සඳ විටකදි සිසිල ගෙන එන ඉඳුමිණකි
හදවෙණ පිරිමදින සොඳුරුම සත්සරකි
විටෙකදි දුකම දෙන කළුවර ගුලාවකි
සිතිවිලි මකා දමනා වැහි වළාවකි
ලොව එළි කරන සඳ නුඹ හරි පින්වන්තයි
එනමුදු පෙමට විරහවට නුබ සුදු කළු වෙයි
දිවිය වරින්වර එලෙසින් එහෙ මෙහෙ යයි
කවියන් වනන සිත එක අරමුණක නොයයි
ලොව හැමදේම හැමදාමත් නියත නොවේ
කිසි දින හිතන පතනා දෙය ඉටුද නොවේ
මල වුව විකසිතව යළි විකසිත වී මැළවේ
එය දැනගෙනම ජීවත් විය යුතුය ලොවේ
නදී ශානිකා
නුවර
කවිය බලන්න
නුඹයි ලක් අම්මාට ජනිත වුනු හොරණෑව
කොටහේනෙ වත්තක වීදියක ගෙපැලක
තාත්තාගෙ කබායක ඇති වටින බොත්තමක
ගුණ කියා නාද කර නුඹ සෙවූ රුපියලක
සැගවිලා තිබෙන් ඇති කටුක බව අතීතෙක
මාගරට් ටීචර්ට පින් සිද්ද වෙන්නට
බොර දියක සුදු නෙළුම මතු වුනා ලෝකෙට
සදුන් ගස සේ බුදු සමිදු ලග සෙවනට
සමන් මල වී නුඹ පිපුනි ලංකාවට
ගලන ගඟකියි කියා ජීවිතේ දිගු ගමන
අමරදේවයන් ගෙන් මග හසර ඉගෙන ගෙන
නොයෙක් බාධක මැදින් නොනැවතී දිරිය ගෙන
මහවැලිය පරදීවි නුඹ දියත් කල ගමන
මැණික් ගල් අදුරේ වුව වුනත් දිලිසේ
රිදී සීනුවක හඩ පැතිරෙනා විලසේ
සත්‍යයේ ගීතයට අරුත දී නිසි සේ
පවනක් වුනා ලොවක් අදුරෙන් මුදා සුවසේ
පිරුණු කලයේ දිය නොසෙල්වෙන අපූරුව
කියා දුන්න නුඹේ චාම් බව සරල බව
හෙල බසම පීරලා සම නොවන උපමාව
නුඹයි ලක් අම්මාට ජනිත වුනු හොරණෑව
ජාතියක් අවදි කල නුඹේ පින්බර හඩට
පෙම් බදිමි හැමදාම පින් දෙමින් දෙසවනට
දිගාසිරි පතමි තව බෝ කලක් දිලෙන්නට
නන්දා මාලිනිය මහ මෙරක් වගේ මට
කවිය බලන්න
හිත බැඳෙන්නට කාරණා.?
නෙත් කැළුම් විදුවන මුදුවත.
කොඳ කැකුළු පුබුදුවන සඳවත .
අප්සරාවිය නුබයි මිහිමත .
හදේ කොතැනක ඉතින් සඟවත .
අලි ඇතුන් නතුවෙනා මදාරා .
තුරක සුවඳැති ගජ මදාරා .
ලැසිගමන කෙනෙරෙකිය උදාරා .
විඳිය හැකි රතියක් ය රසාරා .
සිහිල සෙනෙහස කාට දෙන්නේ .
කුහුල සිත තුළ ඉපිලවන්නේ
මාල ගිරවිය සේ දොඩන්නේ .
කෝල නෙත් වෙතමයි එබෙන්නේ .
දිනිඳු සේ හිමිදිරියේ පායනා.
උලිඳු සේ නිශාවේ බබළනා.
මලිඳු සේ බිඟුන්ගේ සේවනා .
කිමද බැත හිඳෙන්නට කාරණා .
අයිතියක් නොලැබුණු ද කිසිදා.
අත්රින්නට නොහැකිමය සැමදා .
සම්මත අසම්මත යැයි නොබෙදා .
පෙම් කරන්නට ඉතින් ඇතිවෙද බාධා.
බිඳුණු විශ්වය
ආදරයේ ෆැන්ටසිය හා
යථාර්තය අතර
ගතකල කාල සිමාවක්
නිමා වු පසුව
මනස් ලොකය මැවු
සුන්දර මනෝලෝකයට
යථාර්තයේ චන්ඩමාරුතය හමා
සුනු විසුනු කර දැමු පසුව
ගතවන දුෂ්කර කාලයකට පසු
තමාට තමාව
මුනගැසෙනු ඇත
බිඳුණු එම ලෝකය
නැවත ගොඩනැගිමට
ගන්නා උත්සහයම
තමාට තමා අහිමිව
අනෙකාවද
සදාකාලිකවම
අහිමිකරගැනිමකි.
කවිය බලන්න
ඇදුරු නන්දනිය
ගලන ගඟෙන් ඇරඹූ, එවකට දැරිය
නෙලන ලදිය බුහුමන් ගායන සැරිය
අහන කලෙක අදටත් ඒ හඬ සිරිය
දැහැන සමවැදෙයි දිවමතුරක් වැනිය
හඬින් උසක වැජබෙන මුදු භාෂිනිය
හදින් ස්වර ගයන මනහර නාදනිය
හිසින් නොහැර, රැක අදීන ජානනය
නිතින් ගී ගයන පෙම්බර ලාලනිය
මිටින් නොහල නිවහල් නව පන්නරය
බසින් ගළප ඔළු සේදුව යන්තරය
නිතින් අවදිකළ ජනමන වින්දනය
පෙමින් හැඩකළා ජාතික චින්තනය
ඉඳුර, වැජඹෙනා ගී ලොව රාජිණිය
සොඳුරු ඉසව් දුටු සාහිතවේදිනිය
මධුර හඬැති දුර්ලභ , අති පූජනිය
ඇදුරු නන්දනිය, නන්දා මාලිනිය
කවිය බලන්න
හෙලයේ මහා කෝකිලාවිය නන්දා මාලනී මැතිණිය වෙනුවෙන් ගෞරවයෙණි.. !!!
දුක දිනා දිග්විජය පෑව මියුරාවී
සත් ස්වරය සත් දිගම පතල කල ප්‍රේමි
කිත් යසස් දෙපා මුල අතුල සී දේවී
සියක් පරපුරක මුල් සරු කෙරූ මෑණී
අභීතව පවන සේ විසුල මායාවී
බෝ පතක සිසිල ඉස හිත් නිවු සැදැහි
හඳ හාමි ගේ ලයේ නැලවු ගී මිහිරි
ප්‍රේමය ම කිමැයි කී සොදුරු හද මියැසී
යනෙන මඟ කළන මිතු පිරිවෙරින් සරන්නයි
මහරු හද පුරා නැගි සෙනේ ගඟ බෙදන්නයි
කල්පයක් තෙක් ඉතිරි ඔබේ හඩ අපේමයි
නිදුක් වී නිරෝගව තුටින් නිති සරන්නයි... !!!
කවිය බලන්න
හුස්ම
වනසන්න හරිත ලොව නුඹ සිතින් වෙර දරා
සනසන්න කුරුළු කුස හිතුවාද ඇස පුරා
රැකගන්න පරපුරක නැසුනු දිවි සිත වරා
විඳවන්න දැන් ඉතින් දෙවියො නැත ලොව සරා
හිරු සඳුට වැඩි උසක සිටින දෙවියෝ බලා
නුඹ යදින තුරු මමද සිටිමි අහකට වෙලා
උකුසු ඇස මග බලනු නොදැක කිම මං මුලා
නරපණුවො කල්පයෙම පව් කතරෙ ගිලීලා
වාරු නැති දෑතින්ම මව් කුසය කොනිති ලා
හෙට දිනට ඵල ලන්න බීජ ටික වපුරලා
සිඹගන්න සැරසුනත් ඇයගෙ සිත සනසලා
උසුලන්න බැරි දිවිය පොළවටම බර වෙලා
මහපොළව ආකාසෙ නූහුලන දුක් දිදී
සිනාසුන මා සබඳ අද තනිව වද විඳී
ගිලිහිලා යන සුසුම් වාතලය වෙත බැඳී
දුක් කඳුලු සයුරෙ ඔබ හුස්ම නැතිවම නිදී
කවිය බලන්න
ගුරුතුමියගේ රචනාව
රචනා පාඩමට මා දුන් උපදෙසට
අලුතෙන් කොපි පොතක් අරගෙන ආවාද
වටයක් දෙකක් උන් අතරින් යන කලට
දුටුවෙමි බිම බලන් උන් බව වැඩි පිරිස
වේවැල අරන් විමසන්නට හැදු විගස
දරුවෙක් "පොත් ගණන්" යැයි කීවෙන් සැරට
උඩගොස් බිම වැටුණි වේවල හිටිවනම
බැස යමි උන් ළඟට දැන් කාගෙද වරද
"ගල් කූරෙන් එක වරයි අපි නම් ලිව්වේ
අද පොත් ගණන් මොනවද උඹ පුරවන්නේ?"
අත්තම්මා වරක් මතකයි මට කිව්වේ
එය විමසන්නට අදයි හිත ආපහු දිව්වේ
ලිය ලිය කෙළවරක් නැතිවම පොත් පුරවා
වෙහෙසම මිසක නැත ඔළු ගෙඩියක් පුරවා
රචනය තමයි "මා අත්තටු ලද ගිරවා"
මිදුලට යමු ළමයි අහසට නෙත් හරවා
කවිය බලන්න
නන්දා මාලිනී
ගුවන් තලේ ඔබ විසිරූ ගී වල පවන් රළ ක් හැමදා බැඳිලා
හෙමින් ඇවිත් මගෙ සවනත පිනවයි ගුම් ගුම් ගුම් ගුම් නද දීලා
මල් මල් හීනයෙ ඔබ ඇහැරෙද්දී පාසැල් යමි මා සැරසීලා
පාට පාට පොඩි දරුවන් සැමතැන එකම පංතිය ක ගුලි වීලා
මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬු දින සෙනෙහස දිය උල්පත කර ලා
ගෙඩි සියයක් බිම වැටුනත් අප්පච්චිට එක ගෙඩියක් තිය ලා
ජීවිතේම කවියක් වුන ආදර සොඳුරු වදන් හැමතැන ලිය ලා
කාලයෙ වැලි තලා පහුරු ගා කඳුලේ දුක සඟවන හැටි ගය ලා
කඩමණ්ඩියෙ දොල අයිනේ පෙම් ජල රේඛා හදවිල කලඹා ලා
කුරුටු ගෑ පොතේ කෑ ගසනා ගී හදම දැවී ඉකිබිඳ හිඳ ලා
පෙරදා මහ රෑ උර මඬළේ වැළපුන මුවඟක් ළසොවින් තැවි ලා
කඳුලයි දුක සඟවන්නේ කියමින් බිළිඳුන් නලවාලා තිය ලා
සකුරා මල් වෙත ඔබ අමත ද්දී සාරි පොඩිත්තක් හැඳ නටලා
සුරංගීට දුක හිතිලා හොඳටම ඒ ගී පද ටික පොඩි කරලා
රුක්කත්තන මල මුදුනේ ඉඳගෙන යොවුන් වසන්තෙට අත වනලා
වන්ද්‍ර මඬුළු යට සුරංගනාවන් සඳ මාමා එනතුරු ඉඳලා
අම්මා වරුනේ අහස වැනිය ඔබ අනන්ත යැයි ගී වැල් ගයලා
අරලිය ලන්දේ පාඩුවේ ඉන්නට ඉඩ දෙන්න බැරිදැයි අහලා
ආදරයේ වේදනාව දැනුනත් දවසක යලි එන්නට පුලුවන් කිය ලා
කලා වැවෙන් ගත් දිය දෝතෙන් ඒ රම්‍ය සඳ කිරණ අමතලා
කවිය බලන්න
දම්පාට හුස්මක්
හවසක
නුඹෙ සුළං හාදුවක
පුපුරා යන හඬ අසම්
සුදු රවුළු කොටයක..
බිඳකට
දම්පාට සොයමි
ක්ෂිතිජය අසල
නිල්, රතු අතර මැද හරියක...
රැයකට
පිනි තැවරි
ව්යළි පත් දෙස බලමි
සේපාලිකාවන්
වඩාගෙන සිටින...
කොට කොට
නුඹ මගෙන් අහනව
මොකෝ කරන්නෙ
පුපුරා පැටව් ඉගිලෙන
මව් හාදු ඉමොජියක...
එතකොට
කෙස්ගසක මතක සොයමි
හිස් අවුළු තැටියක, ඇගෙ
විග් එකක් දාන්න ඉස්සර
කවිය බලන්න
තුත්තිරි ජිවිත
වර්තමානයේ සිට අතිතයට ගියෙමි
හැමතැනම තුත්තිරිය
අතිතයේ සිට වර්තමානය බැලුවෙමි
ගෙවුන හැමතැනකම තුත්තිරිය
නැවතත් වර්තමානයට පැමින
අනාගතය බැලුවෙමි
හැම බලාපොරොත්තුවකම තුත්තිරිය.
ඇලෙමින් ගැලවෙමින්
යන ගමනේ ගැලවුම සොයා
නැවතත් අප ඇලෙමි.
නැවතත් අප ගැලවෙමි.
නා.ලා
කවිය බලන්න
ශිෂ්‍යත්වය.....
ඇමතුමක් නැති, තැනක් දන්නැති
ගෙවූ දින විය දහස්....
නේරංජනා ගඟින් එතෙරව
පියවරුන් ගිය නිවෙස්....
සින්න වී ගිය සෙනෙහසක් ඔබ
මිලට ගෙන කෙරුවත් උගස්....
ඉඳ හිටක එලියක් ගෙනෙනවා
හඳක් පායා ගව් අහස්....
ඔයා සතුටින් ඉන්නවා ඇති
මං වෙලා මොකටද හරස්....
මගෙන් අඩුවක් උනිද නොදනිමි
ඇගෙන් සෙව්මට පහස්....
බෙදාගන්නට එක්ව සතුටක
කඳුලු පිරුවත් දෙඇස්....
ඇත්තටම අපි හිතනවාටත්
වඩා අපි දැං දුරස්....
දුවගේ පාඩම් නිසා අපි
නිදි වැරූ පහුගිය දවස්....
නින්ද නැති රෑ සිහි උනා මට
ගෙවූ සුන්දර සවස්....
වෙදඟිල්ල හිස් උනත්, නුඹ කී
මතකයේ ඇත රහස්....
ඇවිත් කෙල්ලට සුබ පතනවද...?
ඒකි ශිෂ්‍යත්වය පාස්.....
කවිය බලන්න
ආචාර්ය නන්දා මාලනී උපහාර
ඔබ බේරගත හැකි නොවින අපටද
තම වාසිය පමණක් තකන
ප්‍රශස්තිය අතිශයෝක්තිය විකුණන
අසුබ පුවත් සඟවන දිගු මවන
මියගිය චරිතයක් මෙන් නොයිඳ
සුබවාදිව ලියන්නැයි කීවේ ඔබය
නිම්නයක පිහිටි බිඳුණු නගරය- ගඟ-
සියොතුන් නගන හඬ- මඳ සුළඟ;
ලා හිරු කිරණ පතිත යකඩ පාලම ලඟ
සැඟව ඇති සිහිවටනය වෙත පිය නගන කල
මසිත මඳක් දොඩමළුය
වලාකුළක් රුකක් මෙන් නිහඬව හිඳ
මා සිතන සරල දෙය වැටහෙද
ඔබ බේරගත හැකි නොවින අපටද
සමුගැන්ම සමග නවයුගක්ද ඇරඹින
සංවත්සර සැමරුම යෙදෙනුයෙ අදය
කටු මල් පිපෙන මෙම ශුෂ්ක බිම සරන
දේවාත්මයන් වෙනුවෙන් කුරුළු වෙසින් එන
මෙනේරි ඇට දමා මතු දිනෙක පූදින්න
කිනිති දෝතක් කඩා එක් පොකුරකට සකසා
නික්ම යන්නට කලින් නිම කලෙම මෙම කවිය
* "Dedication" by Czeslaw Milosz (1911- 2004) ඇසුරින්
10.11.2023
කවිය බලන්න
මාලිනියේ
කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
අම්මා වරුන්ගේ ගුණ කඳ කියා දුනී
කෙවිලිය ඔබයි ලක් දෙරණට ඔටුණු තැනී
සැරදේ මාලිනිය නන්දා අපට දැනී
දිඹුලාගල.
කවිය බලන්න
අසුබ දිනෙක ආ සුබ පැතුමක්
අසුබ දිනෙක ආ සුබ පැතුමක් ඔබ
සුබ දිනයක ආ අසුබ පැතුම ඔබ
ගිලානව දැන් වෙසෙනා බව ඔබ
මා හදවත දුටු අසුබ පැතුම විය
සුවය ලැබූ ඔබ ජනපති අබියස
රජ සැලකුම් මැද පිදුම් ලබන විට
මා දුටු සුබ දසුනක් විය එය මට
අසුබ දිනෙක ආ සුබ පැතුමත් එය
ගෙවුනු යව්වනය, ගෙවෙනා මැදි විය
ඔබේ හඬින් රසවත් විය නොමඳව
ඔබේ මුව’ග රැඳි සුමියුරු ගී හඬ
දෙසවන් සනහන පවන් රැලක් විය
එවන් සුවය ලැබු මාගේ දෙසවන
ඔබගේ ගීයෙන් යළි යළි ඉපදින
කෙසේ ගයන්නද ඔබ හට තුති ගී
මගෙත් ආයු ගෙන දිවිමග යනු මැන.
කවිය බලන්න
අනූ හතර වියට පා තැබූ ගුණදාස අමරසේකර ශුරින්ට
රතු රෝස මලක් ලෙස පිපී සාහිත උයන
අතු විහිදී රුකකි අද ලක්බිමට දෙන සෙවන
මතු දවස දරු කැලට පෙඳහි රස හව් පොවන
මහා ගත්කරු ඔබය දිගාසිරි සුව ලබන
එක්ටැමෙන් බිමට බැස හැඳිනගෙන බොල් පිළිම
ගණඳුරේ අතරමග අරුනලුව දුටු අරුම
මැද පන්තියේ පුවත කතා ලෙස පෙළ ගැසුම
ආවර්ජනා විලස පෙන්වු හද බස දැනුම
මගේ පොත් එළිදකින තුන් වතාවම පැමිණ
කියූ හරබර වදන් තවම දෙසවන රැඳෙන
රුසියානු සාහිතය අතැඹුලක් සේ හැඳින
පෙර පිනකි ඔබේ සාහිත ඇසුර මට ලැබුන
කවන්ධය වැනි දැයට හිසක් පළඳවන්නට
විල් තෙරෙහි වන මරණ වළක්වා දමන්නට
අන්ධවූ අලියාට ඇසක් යළි දෙවන්නට
ජය සතුට දීඝායුෂ පතමි කිවිඳුනි ඔබට
ආචාර්ය පාලිත ගනේවත්ත
සිඩ්නි, ඕස්ට්‍රේලියාව
කවිය බලන්න
නන්දා මාලිනියට
උඩඟු ලියන් ගොතා බඳින
නීල වරල නොම සරසන
ධවල සාරියෙන් හැඩවුණු
ගීත කෝකිලාවිය ඔබ
හිස් මිනිසුන් කුස් පුරවන
අමන ලොවක තතු පවසන
ඔබේ ඔධුර ගී හඬ විය
පීඩිත ජන හද රාවය
ජනඝාතක පාලනයක
පවිටු දුදන ගති හෙළිකළ
පවනින් ඔබ නැගු රණ හඬ
හද තුළ රැව් දෙයි නිබඳව
මේ සිංහල අපගෙ රටේ
යුව දනගේ අරගලයට
මියුරු සරෙන් ගත සනසා
ඔබ ගැයු ගී හඬ අරුමය
මධුර හඬ හද බන්ධන
රසික මන දොළ නන්දන
මාලිනිය ඔබ රන්වන
රැඳෙනු අප'තර හැමදින
ආචාර්ය පාලිත ගනේවත්ත
සිඩ්නි , ඔස්ට්‍රේලියාව
25/11/23
කවිය බලන්න
හුදෙකලාව..........
සිහින මිඳුන සඳ තරු නැති අහසේ
අඳුර ගලායන විටෙකදි රහසේ
මියගිය සිතිවිලි යළි ඉපදී ඇත
හුදෙකලාවෙ මා තනි වුනු මොහොතේ.
විකසිත මල් පෙති හිනැහුණු විලසේ
මිලින වු නෙතු කැන් දිලිසුණු
දවසේ
එක් වුනු මේ කුළු විසිරුණු
මොහොතේ
හුදෙකලාව මා සමඟය
එකසේ.
හිම මෙන් සිත සීතල වූ
දවසේ
ගිනි සේ දැවෙනා ලතැවුල්
අතරේ
පිණි මෙන් පිරිසිදු සිත
නොසැලෙන සේ
හුදෙකලාව මට පිහිටකි
පෙර සේ.
සිතුවම් පටයක රෑ සේ
මනසේ
පෙඟෙනා දෙනුවන් කඳුළැලි
අතරේ
ගලනා ගඟුලක ගමනක්
විලසේ
හුදෙකලාව මා රැක ගති
පණ සේ.
මායාවක පැටලුණු සිත මුදන
එකම කලාවයි
සේයාවක රැඳුන මතක ඉපිලෙන
සඳ තලාවයි
වීණාවක මියුරු සරින් සිත
නිවනා වෙලාවයි
අතීතයක මතක සුවඳ
ගෙනෙනා හුදෙකලාවයි.
කවිය බලන්න
රැජින ඔබයි මාලිනියේ ..
හෙළ ගී අඹරේ
රැජින ඔබයි මාලිනියේ ...
හෙළ කලාකෙත සරුකළේ
ඔබයි නන්දාවනි....
ලක්දෙරණ රනින් සැරසුවේ
ඔබයි රැජිනියේ
පතමි "චිරං ජයතු"
ඔබට මිහිරාවියේ
"තරුද නිදන මහ රෑ"
සෙව්වා ආදරේ
සොයමි සැමදාම සැමතැනම මෙලෙසේ
"රන්කෙන්දෙන් බැද අතැගිලි එක්කලේ ආදරයයි"
"පෙම්රැහැනින් බැදී සීතුම් වසගකලේ ආදරයයි"
"කඩමන්ඩියේ දොළ අයිනේ පේන්නේ ආදරයයි"
"සුළං කපොල්ලේ තනා කැඩීබිදී ගියේද ආදරයයි"
සත්යයේ ගීතය, පවන
අපට දායාද කළේ ඔබයි
"පවන " සුළිසුලඟක්ව
හමායාමට කාලයයි මේ
චාම්බවේ ප්‍රතිමුරතියත් ඔබයි
ගීතයේ යසෝරාවය
ඔබයි නන්දාවනි
ජාති, කුල, පාට නැති ඔබේ
ජීවිතය අපට පාඩම් පොතකි
කවිය බලන්න
'පවන'
කොළඹ ෛවද්ය විද්යාල සිසුන් වෙනුවෙන් 1987 අගෝස්තු 16 වැනිදා නන්දා මාලිනිය ගැයූ "පවන" පුසංගය වෙනුවෙන් නිකුත් වූ සමරුවේ මුල් පිටුව සැරසූ මා ලියූ පැදි පෙළ එතුමියට උපහාරයක් වශයෙන් තවත් පැදි කීපයක් එක්කර ලන්ඩන් කවි පිටුවේ එතුමියට උපහාර දෙසැම්බර් කලාපයට මේ සමඟ එවමි.
යදම් බැමි සිඳ බිඳ දමා
පෙරට යයි ජනගඟ ගලා
එවන් ගඟුලක හඬවෙලා
හමයි පවනක් දැය සලා.
අයුක්තිය හමුවේ නිතින්
චණ්ඩ මාරුතයක් ලෙසින්
පවිටු ලොව ගිරි සිකර පෙරළා
ගලයි පවනක් හද තුලින්.
සිහින් මද රැල්ලක් වෙසින්
සිහිල් ගඟුලැල්ලක් ලෙසින්
විඩා බර දිවි මාවතේ
පවන දැවටෙයි ජීවිතේ.
නෙතක කඳුලක් හිනැහිලා
හදක පැතුමක් පිබිදිලා
නැඟී සිටිනට දිරි වෙලා
ගයයි ඇය පවනක් වෙලා.
කාලයක් ගතවී ගියත්
තාලයට මිනිසුන් ගියත්
ඇයත් දැන් වියපත් වුවත්
දිරිය හඬ තවමත් සමත්.
ඇය පැතූ ලොව හෙට ලැබේවා
මියුරු හඬ දිගු කල් ඇසේවා
දිරිය ලක'ඹර තුල රැඳේවා
එතුමියට සුව සිරි ලැබේවා !
කවිය බලන්න
කවි සිතත් මැරිලා
පෙර දවසක ගෙතූ කවියෙ නුඹ සිටියා හැමදාමත්
වෙර දැරුවෙම රැකගන්නයි නැතත් සිතට සැනසීමත්
අර ඇඳි හැටි මතකයි නිති නොතිබුණු කල විසදීමත්
සැර වැඩි වුණි වදන් පවා දුර ගියෙ මුව සිරියාවත්
ඔහේ බලාගත් වන හිද මනෝ ලොවක තනිවෙලා
කොහේ සිටන් හෝ ඇවිදින් ඔබ හදවතෙ නැවතිලා
ඇහේ කොනක් තෙත් කරමින් පෙර මතකය සිහිවෙලා
ගැහේ ගතම රිදුමක් වී ඉන්නද දුක ඉවසලා
පදවැල් ගෙතු දුන් සිසිලස ලෙස සුවඳැති පවන සිහින්
මුතුවැල් හැඩ අකුරු පේළි ඇහින්ද බල බලා ඇහින්
තුරුවැල් මහදේ බිඳගෙන මාරුතයක් හමා ගිහින්
සුවිසල් ගිරිකුළු කවිසිත මියැදී වෙන්වෙලා රැහින්
කවිය බලන්න
චරිත…!
උදේට එක රූපකයක්,
හවසට තව වෙනස් එකක්,
ඔෆීසියේ, අතර මගදි,
හාත් පසින් වෙන විදිහක්,
හීන ලෝකෙ කුමාරයෙක්,
නිදි පැදුරේ තවත් සතෙක්,
මේ විදිහට වෙස් මවන්නෙ,
හැමදාමත් එක මිනිහෙක්..!
වෛද්‍ය පදුම විජයසිරි
කෙන්ට් - එංගලන්තය
කවිය බලන්න
එයා..
පින්තූරයක් වගේමයි
ගැස්සුනේ නැත්නම් තිසර තුඩු
මොකට මැව්වද මහබඹා
මේ වගේ නිමාවක් නැති නඩු
ගාගෙන මැස්කාරා ලිප්ස්ටික් පර්ෆියුම්
අපිව කරනවා
අන්දුන් කුන්දුන්..
ඔයාගේ වැලමිටි සාත්තුවට
මං උඩ ගිහින් බිම වැටුනා
එකම මොහොතක එකවර
දෙවිදියක තරු පෙණුනා !
කෙම් බිමක් මවලා වගේ
කාන්තාරය මැද්දේ ගෝබි
කඩුක්කමක් දිලුනා ඇගේ ගැට්ටේ නාභි
අහම්බෙන් හරි ඔය දැලේ පැටලුනොත්
කවුරු වුනත් වෙනවා සොම්බි..
යන යන තැන පස්සෙන්
පරිස්සම් කෙරුවාට බැඳගෙන
සින්නක්කරේට ලියාගත්තැයි හිතා
ඔය දෑසට වැලි ගසා
අදිසි වැට කඩොලු මැද්දෙන්
හිත දුවනවා නිස්සද්දෙන්
මමයි කියලා මොනවා කරන්නද බං
පිරිමි කාටත් දැනෙන්නේ ඔහොමයි
ඕන කෙනෙක් ගෙන් අහපන්
හිතක් හීලෑ කරන සාත්තරේ
ගොඩක් අය දන්නේ නෑ සහසුද්දෙන්..
ඔයාට ඕනවට
හිරකාරයෙකුට ඇන්දට
ඇහැට පේන දෙයක්
රස විඳීමත් සැපයක් එක්තරා..
අහිතකින් බැලුවා නෙවෙයි
ඒක කාන්දමක් වගේ....
මටත් නොකියාම යි
ඇදිලා ගියේ මගේ නේත්‍රා..
කලු කරගෙන මූණ
ජනේලෙන් පිට බලාගෙන
හිටියට වැඩක් නෑ
පිරිමි හිත් ඔහොම තමයි
වාගෙයි මූදේ ඇදෙනා යාත්‍රා..
බඩ පිනුම් ගගහා
නිදහසේ ඇවිදින හිතක්
හිරකරලා නවත්තන්නේ
ඇත්තටම කොහොමද
දන්නවා නම්
කියාපන් උත්තරා!!
කවිය බලන්න
රම්‍ය සඳ ඔබයි.......
ගලන ගඟක සුදු මුදු පෙන මතු කෙරුනී
හදවිල කැළඹි පෙම් ජල රේඛා මැවුනී
රුක් අත්තන මලට බඹරුන් එනු පෙණුනි
ලය මඩලේ රන් දෙවොලක් යලි තැනුනී
අදටත් පවන හමමින් මන දිරි බන්දා
අවියක් වගේ සවියකි ඔබෙ හඬ නන්දා
ආරාධනා ස්වර දැහැනේ අපි රන්දා
අරලිය ලන්ද සතුටින් සඳ රැස් වින්දා
කඩමන්ඩියේ දොල අයිනේ රිදී හඬයි
කලා වැවේ දිය දෝතේ සිසිල ඔබයි
සරුංගලේ හැඩ කෙරුවේ ඔබේ හඬයි
ගී අඹරේ නොබසින සඳ රැජින ඔබයි
11නොවැම්බර් 2023
කවිය බලන්න
𝑴𝒆 𝒘𝒊𝒕𝒉 𝒎𝒚𝒔𝒆𝒍𝒇
𝑵𝒆𝒗𝒆𝒓 𝒇𝒆𝒆𝒍 𝒍𝒐𝒏𝒆𝒍𝒊𝒏𝒆𝒔𝒔
𝑨𝒔 𝑰 𝒉𝒂𝒗𝒆..
𝑳𝒐𝒕𝒔 𝒐𝒇 𝒔𝒘𝒆𝒆𝒕 𝒎𝒆𝒎𝒐𝒓𝒊𝒆𝒔....
𝑻𝒉𝒐𝒖𝒈𝒉 𝑰 𝒉𝒂𝒗𝒆....
𝑺𝒂𝒅 𝒎𝒆𝒎𝒐𝒓𝒊𝒆𝒔
𝑻𝒉𝒆𝒓𝒆 𝒘𝒐𝒖𝒍𝒅 𝒃𝒆 𝒏𝒐 𝒓𝒐𝒐𝒎
𝑰𝒏 𝒎𝒚 𝒎𝒊𝒏𝒅...
𝑨𝒎..
𝑯𝒂𝒑𝒑𝒚 𝒘𝒊𝒕𝒉 𝒎𝒚 𝒉𝒂𝒑𝒑𝒚 𝒎𝒐𝒎𝒆𝒏𝒕𝒔....
𝑾𝒉𝒊𝒄𝒉....
𝑨𝒍𝒘𝒂𝒚𝒔 𝒔𝒕𝒓𝒆𝒏𝒈𝒉𝒆𝒏 𝒎𝒆
𝑾𝒊𝒍𝒍....
𝑰𝒔 𝒕𝒐 𝒍𝒊𝒗𝒆 𝒂𝒍𝒐𝒏𝒆
𝑩𝒖𝒕....
𝑰 𝒌𝒏𝒐𝒘
𝑫-𝒅𝒂𝒚 𝒘𝒊𝒍𝒍 𝒅𝒂𝒘𝒏
𝑼𝒏𝒕𝒊𝒍𝒍 𝒕𝒉𝒆𝒏
𝑰 𝒄𝒂𝒏 𝒍𝒊𝒗𝒆 𝒂𝒍𝒐𝒏𝒆......
𝑫𝒓 𝑹𝒂𝒎𝒚𝒂 𝑨𝒕𝒕𝒂𝒏𝒂𝒚𝒂𝒌𝒆
𝑼𝒌𝒅𝒆𝒏𝒅𝒖𝒈𝒐𝒅𝒂,
𝑷𝒆𝒕𝒉𝒊𝒚𝒂𝒈𝒐𝒅𝒂,
𝑮𝒆𝒍𝒊𝒐𝒚𝒂.
19𝒕𝒉 𝑵𝒐𝒗𝒆𝒎𝒃𝒆𝒓 2023
කවිය බලන්න
ච්රං ජයතු......
ගුවන් විදුලිය
මහ ගෙදරින්....
දොරට වැඩිය
නන්දා මාලිනිය......
මහ ගදඹ...
අමරදේවයන්
සෙවනේ
සත්සර හැසිරවූ...
නන්දා මාලිනිය....
තරුණ කැළ වෙනුවෙන්
අභීතව.....
සිහ හඩක් නැංවූ
ඒ මාලිනිය.....
චිරං ජයතු........
උක්දඩුගොඩ,
පෙතියාගොඩ,
ගෙලිඔය..
2023.11.22
කවිය බලන්න
ආදරෙයි මාලිනී නන්දා
මුතු ඇටයක් බඳු
රන් මුවා දූපතක සිට
ගලන ගඟක් මෙන් වේගයෙන් ගැයූ
පෙම් ගී පොකුරු හන්දා
ආදරෙයි මාලිනී නන්දා
කොහේ කොතැනක සිටියත්
ඔබයි රම්‍ය සඳ කිරණ
ඝන අන්ධකාරේ
ප්‍රේමයට මෙපමණ අරුත් දුන්
මේ තරම් හදවත ස්පර්ශ කළ
නැත ලොවේ අන් රසඳුනා
ආදරය සේ සුව දෙනා
යනුවෙන් පසු වදන ලියන්නට
ඔබේ ගී මැයි නන්දා ........
ආදරෙයි මාලිනී නන්දා .......
කවිය බලන්න
ආදරයද මේ
ඉරි තැළුන පොලව මත ගඟක් වී ගලන්නමි
තරු තියන ගගන මත සඳක් වී
දිලෙන්නම්
හිරු නැගෙන උදෑසන මලක් වී
පිපෙන්නම්
හිත රැදුණු නුඹේ ලඟ උණුසුමම
විදින්නම්.
නෙතු දකින හීනයේ ඔබෙ රුවම
දකින්නම්
සෙනෙහසෙන් ළං වෙලා දිවිමගේ
රැදෙන්නම්
උපදිනා හැම සසරෙ නුඹව මම
පතන්නම්
හද රැදුනු සොඳුරු පෙම ඔබ නමට
පුදන්නම්
මව් පියන් අසිරි මැද රන් හුයෙන්
බැදෙන්නම්
තැනූ පෙම් කැදැල්ලේ ඔබ ලඟම
හිදින්නම්
පුංචි කිරි සිනාවෙන් ගෙපැල එලි
කරන්නම්
මියන තුරු නුඹ සමඟ ආදරෙන්
රැදෙන්නම්
2023/11/07
කවිය බලන්න
මාලිනියේ ඔබටයි උපහාර
උඬඟුලියන් සරසන්නට
හිස පළඳින මලම නොවුන
හඬට නුඹගෙ කැලඹෙයි නිති
විඳි අයගේ හිතෙහි දැහැන
සරට හීන් පාවෙන මුදු
සුමදුර ගී සවන් රැහැන
සත්තයි හද පවන් සලයි
ලැබගෙන නිති සුවය සහන
කඩමංඩියෙ හිඳ සෙනෙහස
පුදකළ බව ලොවට කියා
මවුබිම නගන්නට පැතු
ස්වර මත ඇය හිඳගෙනම ගියා
අහසේ අනන්තය දැක
වැසිසේ බිම තෙත් වෙන බවද ලියා
තරුද නිදන මහ රෑකම
කළඹයි ඔබෙ සබඳ නියා
ස්වරය මතින් ගී දැහැනක
පිහිනා සුව විඳින කල
එකළුකල හඩක් කොයිබින්
ආවාදෝ සිතෙන කල
සමවැද දැහැනක මත්වෙන
හැම සිතගත නිවෙනකල
සරසවි පිහිට උතුරාවි
ලැබ තව දුර යන්න බල
සවන් පිනන ගී රාවය
මනකල්සෙ, විඳිනකලේ
පැතුමන් දහසක් මැවෙනව
හැමදෙනගේ හිතක බලේ
චිරත්කාළයක් වැජඹෙයි
අඹර පුරා ලෙසම නිලේ
සු'පැතුම් ඔබටමයි මෙසේ
හැමදාමත් යෙහෙන් දිලේ
කවිය බලන්න
සුදු නෙළුම
හිරු කිරණට නොසැලෙණ පියුමක්
කළල් දියක පිපි සුදු නෙළුමක්
නෙලා පැළදගත් දෙනෝදහක්
ඇත විඳීමින් අපමණ සුවයක්
වැස්සක් නැති මහ ඉඩෝරයේ
සීහිල් පැන් ලදීන් පිපාසයේ
සවන් සරණ අම රසෝඝයේ
මත්ව හිඳිමි ඇගෙ සුගීතයේ
හැඟුම් දිග හැරී උවන පුරා
ගයන අරුත හදවතින් පෙරා
හෙළ දිවියේ රාවය මතුරා
ඔබමය නන්දාවෙනි සපුරා
කවිය බලන්න
නන්දාය ඇය......
අඳුර බෝ වූ පහන් කඳු යට
අඳුර දියකර
දැල්වෙනා ගී සිලය.....ඇය
සුධවල රාත්‍රිය
සුදෙන් සිත්තම් කල
ධවල කෝකිලාවය.....ඇය
සත්‍යය පිරූ
සත්‍යය ගැයූ
සත්‍යයේ ගීතිකාවය....ඇය
පර මල් ඇතිරූ
ගුහා අභියස
සුවඳ මාලතිය.... ඇය
සදානන්ද කරවූ
මධුර රාවෙක
නන්දනීය නන්දාය.....ඇය
කවිය බලන්න
දම්පල් විදු මතක
බැතිබරව සල් සුවඳ නැහැ තුළින් හද පුරා
ඔබ වෙතට ආ ගියේ සරසවියෙ සුව වරා
තරු පොකුරු වගෙ දිලෙන ඇහැළ වියනක් දරා
සොඳුරුවට රුව මවයි සමරු පට නෙතු අරා
( මා සිප්සතර ලැබූ පන්නිපිටිය ධර්මපාල විදුහල් මාතාව වෙනුවෙනි )
කවිය බලන්න
The true beauty
Beauty can be found in the darkest of places.
Like a diamond beneath the deepest mines of Sierra Leone.
Uncut and unpolished, it is valued to be beautiful.
For the Western world, a diamond is the most valued item to sit upon the ring finger that leads to the heart.
Now that’s where true beauty lies within the heart
කවිය බලන්න
මාලනී
යාත්‍රාවේ නංවාලා පවනක පාකරවාලා
ජීවිතයේ වියලුනු තැන් ගීතයෙන් තෙත්කරවාලා
බොලද ආලය නොම ගැඹුරින් සිත්කියවාලා
සත්සර මාලනී අපහට නන්දාවන් පලදාලා.
කවිය බලන්න
Unmarried blessed soul
Happy…be like me
I am a lonely anchor
No rings or No bonds
And extraordinary duties
I whistle like a cuckoo
Sings as a heavy lark
No burden borne
As a captain sails his ship
Lives like simpleton
I take my oath
Until the end of this circle
until the rust wears my body
Wraps like a solitary reaper
Yes .. like a solitary reaper does
I decay as a virgin and sink
Like a ship
In to the blue water waves
One day
කවිය බලන්න
තිත්ත පැනි වරකා සහ ගස් නගින්නා
හුළඟට යාවිදෝ ඇඟපත නොවේ මස
අකලට මහළුවී නිතරම තෙමේ ඇස
මුදලට නොවේ කොස් කැඩුවේ ගසේ උස
පොලවට බරක් නෑ ඒ බර දරයි ගස
වැස්සට මිසක ඉස්කෝලේ නොදුටු තැනක්
කොස් ඇට ගුණ කියයි නොබැලු මෙලෝ පොතක්
ගස් යට පොලොස් කටු ඉවකර බුදිති හරක්
කිව්වට ඇස්වහක් නෑ උඹ ගමට පිනක්
අහස ඉරාගෙන මහ වැසි වට දාට
අලස නොවි ගස් නැගුමට හැකි කාට
දවස ගෙවන තැන අම්බලමක පාට
තුඹස තුල කෙසේ ඉන්නෙද නුඹ රෑට
නැග නැග ගසෙන් ගස අතගා පැසුන ගෙඩි
මැන මැන නොවේ නැග්ගේ කොස් ගසට තඩි
ගැන ගැන නොවේ වැල වරකා බිමට දඩි
තැන තැන බණ දෙසා හවසට රොනට වඩී
පොත්තට ගහ වගෙයි උන්දැගෙ බලු කොටියා
කැත්තට පොල්ල බලු රැල මඟ යුධ පිටියා
මත්තට ලෙඩ දුකට පිහිටට ලග හිටියා
ඇත්තට මෙහෙම මිතුරෝ මනු ලොව නැතියා
අප්පා අම්මා හැමදාමත් යුද වැදුනේ
පුප්පා ගෙන ඉඳන් එක ලගමයි මැරුනේ
සප්පායම් කලා උන් ගැන ගුන වරුනේ
අත්පා කැඩුවෙ නෑ එනිසයි මා රැකුනේ
පැදකුනු කරයි ඈ කිරි ගස් දෙකට නැමී
අදහනු බෑ අහස ගස් පෙල නිදයි තෙමී
අවුලනු කෙලෙස ලිප ගින්දර යමින් නිමි
කනුකුනු ගගා අගුවට ගොඩවෙමින් හිමි
උදේ ඉදන් රෑ වෙනකම් ගෙඩි කැඩුව
කඳේ තැනින් තැන රිදවිලි නෑ අඩුව
සඳේ සිටින සාවිය දක්නට බැරිව
ඇඳේ නොව ගොමස් පැදුරේ ඔහු තනිව
කොස් දෙල් පොල් පිරුණ යස යස ගෙවල්වල
කුස් පුරවලත් බත් ඉතිරිව හලයි පිල
ගස් යට තව හොදයි මහ වැසි දෙකයි පැල
උස් හඩ ඇහෙන් නෑ හැඩුවත් කිරිඳි ඇල
කවිය බලන්න
දීර්ඝායු වේවා නන්දා මාලනීය.
රුක් අත්තන මල මුදුනේ..
බඹරු නටන හැන්දෑව.
සකුරා මල් පිපුණු
ගෙයි දොරකඩ නිල් වන පියස...
මගේ ළමාවියේ - මා මනස සුවපත් කල.
ඔබේ පැල - පැලේ පිල
පිලේ නිදි පැදුර.
කඳුළු අතරින් දිනු..
ඔබ දිවියට සමවූ
මගේ ජීවිතය.
ඉදෙන්නට හැකිනම් බතක් වී..
බතක් නොඉදෙන පැලක රහසින්...
මසිත නිරතුරුවම තවමත් කකියන.. ඔබ හඬින් මා ඇසු මගේද සිතුවිලි.
අසාධාරණයට එරෙහිවූ ඔබ,
බුදුගුණ,
සමානාත්මතාවය, දේශානුරාගය..
ආදරය සමග
සුවහසක් මනුදම්, මා ලපටි මනසෙහි පැලපැදියම් කල ..
ඔබයි, රම්‍ය සඳ කිරණ..ගී ලොව,
මා නෙත වෙළුණු..
ඔබෙයි සොඳුරු හඬ මියැසිය,
ටිකිරි වියේදීම මා හද බැඳුනු..
නිදුක් නිරෝගී වේවා ඔබ
මා හද දිනු කුරවිය.
උපහාර වේවා - දීර්ඝායු වේවා
නන්දා මාලනීය. ❤️🙏
කවිය බලන්න
පතිනි සිත
ගිම්හාන කාලයට
පිණි බිදක් වී වැටෙන
හිම මිදෙන ශීතලට
උණුසුමක් වී රකින
ගණදුරට පහන් තරුවක්
විලස එළිය දෙන
ඉතින් වෙන කෙනෙක් වෙද
නුඹ විලස ළග රැදෙන......
උරණ වූ මා වෙතට
සිසිල් බැල්මක් හෙළන
කදුළු නෙත පිරුණු කල
උරතලය මත පිසින
නෙතේ බැල්මෙන් විටෙක
සියුම් තරවටු කෙරෙන
මගහැරුණු පිටු පුරා
අරුත් බර දේ ලියන
කෙනෙක් වෙද සසර මග
නුඹ තරම් මට දැනෙන....
වාරු නැති විටෙක ගත
සීරුවට දිරි දෙවන
විඩා වැඩි කල හිතට
නිවා සහනය මවන
තවුතිසාවක සැපත
දෙපාළග නීති මවන
නුඹ තරම් කෙනෙක් වෙද
ආත්මය වී සිටින .......
19/11/2023
කවිය බලන්න
මාලිනියේ...
ආදර ගේය පැදි
මුදු තනුවෙන් සුසැදි
සුමියුරු හඬ නොබිඳි
ඔබ ගැයුමන් ලබැඳි
අයුක්තිය පිටු දැක
ගනු පිණිස රට රැක
ඇත ඔබේ ගැයුමක
මුවහත පිහි තුඩක
නිසසල එක් රැයෙක
නිදිගැනුනු නුවරෙක
පෙම බිඳි දුක් හදෙක
ඔබෙ ගීය ඔසුවෙක
සවන් මන බන්දා
හදෙහි හඬ රන්දා
ගයනු මැන නිබඳා
මාලිනිය නන්දා
කවිය බලන්න
විහඟ ගී අඬහැරය
අඳුර මුනිවත රකින රහසක
නිතර දකිනා රඟන මුහුණක
ගොදුර සොයමින් රකින වෙහෙසක
සසර ඉකිබිඳි මොණර කොළයක
ප්‍රේමයක් තිර නොදුටු සිහිනෙක
පෑහි ඉඳුරන් වෙලී යහනක
වෑහෙමින් මධු බිංදු එකිනෙක
බෝකලා කුමුදිනියො කඳුළක
ලංසු දී මල් නෙලා පරසතු
මත් බිඟුන් මෘදු වෙලා දැනමුතු
පස් පවෙන් වෙන් වෙලා පෙර නතු
උන් සොයයි සලකුණක් ලඳ සතු
බොලොඤ්ඤා,ඉතාලිය
කවිය බලන්න
ඔබයි රම්‍ය සඳ කිරණ
අරලිය ලන්දට
ඔබයි රම්‍ය සඳ කිරණ..
රුක් අත්තන මල මුදුනේ
බමරු නටන
සැඳෑ කරුවල කුර ගගා විත්...
එහෙත්
අහස සේ ඔබ අනන්තයි
වහින්නට හැකි නම්
ගිගුම් දී
වහින්නට....
( නන්දා මාලිනියට මෙම පබැඳුම පුෂ්පෝපහාරයක් ම වේවා..)
-
කවිය බලන්න
රැජිනමය ගී ලොවේ අප ලද
නෙක විහග ගී හඩ මැද
මියුරු වූ මනරම් කොවුල් නද
සවන් පත් තුඩ තුඩ රැදෙන සද
යොවුන්වේ මය නිබද මා හද
සුපහන් වූ සොදුරු ගී නද
කහවණින් මිලක් වී නොවුවද
මාලනීය නම් ලද සොදුරු ලද
රැජිනමය ගී ලොවේ අප ලද
කඩ මණ්ඩියේ උඩගුලියන් දුටුවද
අරලිය ලන්දට පැයු පුරහඳ
පවනක් වී බැමි යදම් බිද බිද
සිහනද ලෙසි රට පිබ්දු රන් ලඳ
ශ්‍රියානි උඩගoගොඩ
මහනුවර
කවිය බලන්න
ආදරානිශංස
ඒ කාලේ ඇති කතා කොච්චරවත්
මත් වුණු පැණි මල්වත්
වැරුවේ නැති තරම්වත් පැණි පුරවන්...
නාකපන වැස්සෙත්
මඟ නොමඟ ගිය පාරෙනුත්
පිට පැන්නෙ හරි හීනියට අපි
මහා සද්දෙට ඇහුණු ලබ් ඩබ් හඬත් තුරුල් කරන්..
සද්දෙ බාල වුණේ හරි හෙමින්
අඟලෙන් අඟල හදපු බැස්මක් වගේ
ඒක හරි වෙනස්
පපුවටම ඇන්න ටොබැකො උගුර
මදුරු කොයිල් දුමක් වුණේ කොහොමද කියලා?
තාම දන්නෑ
ඔයාවත් මමවත්...
- සචී -
කවිය බලන්න
දිරිය මව
දුවා දරු කැලක සුරතල් බලා දඟ
සොයුරු සොයුරියන් රැකගත් මව ද වග
හැමට කියා දී යායුතු නියම මග
තරුණ වියම දිය විය මවු සෙනේ ළඟ
මාලේ ඇගේ ගෙල සරසන පිණ ද නිතී
නා නා සුළං ඇවිදින් මගහැරී ඇතී
නෑ බෑ කීම කිසි දේකට නුහුරු ගතී
මාසේ පඩිය මිස වෙන රන් රුවන් නැතී
අකලක නළල් රතු තිලකය මිලින විය
එතෙකින් ජීවිතේ කණු හුදකලා විය
තනි දිවි මගේ ගෙවෙනා'තර පෑල විය
දරුවන් සතුට දැක සැනසී නිමා විය
කවිය බලන්න
මවුබිම හැර දා
කඳු නිම්න කළල් දිය මතින් පා තබමින
සිඳු අඟන තරණ කොට පැමිණියෙමි සුර විමන
සාධු දන වෙති මෙපුර නිති රජ කරන
මුදු සිහින හද ගැබේ සැබෑ වී ඇත සිතින
සිසිල් වා රැළි කුසුම් කැන් නළවමින
ළකල් දෙරණේ සොඳුරු ගති ඔප කරන
විසල් සුර මැදුරු අහස් කුස සිප නැගෙන
සියල් දන සුව ලබන කේතුමතී රජ දහන
සොඳුරු මුත් සත්තකට මේ පුර ද පුර දන ද
අඳුරු වෙයි සිත නේක සිතිවිලි ගලා වැද
රුදුරු තනිකමකි මිතුරු ජන ගඟක් මැද
කවුරු බින්දාද මා ලැබූ සුව නින්ද
මිතුරු පස මිතුරු මැද වින්ද හැටි දුක් ගැහැට
සොදුරු වෙස් ගෙන යළිදු සිත දවන්නේ කුමට
නුදුරු දින මෙපුර හැර දා යා හැකිද මවු බිමට
කවුරු පිහටක් වේද ද්‍රෝහියෙකි මං රටට
කුසට අහරක් නැතද රජෙක් වුයෙම් නොවෙද
රුවට මා ළ ඟින් සිටි යටත් වැසියන් කොහිද
හදට නොදැනේ සිසිල මවු රටේ මං වින්ද
කුමට මා උපන් බිම හැරපියා ආවාද
කවිය බලන්න
සුසුමේ පැසසුම බැණුම නැති
සුසුමින් හෙලනා
ස්වර. තත්. පෙලෙනා
හඩ ඉන්. නැගෙනා
කට. හඩ කියනා
ක ඛ ග ඝ. කණ්ටජ
ත ථ ද ධ. දන්තජ
චඡ ජ ඣ. . තාලුජ
ප ඵ බ භ ඕස්ටජ
මුව තුළ තැන තැන
හඩ වල්. උපදින
ඒ එක්. වූ. තැන
වදනක්. බිහි වන
හර සුන්. හඩවල්
ගැසුවත්. ගොඩවල්
ඒවා. හැම කල්
හර සුන්. හඩවල්
ඒ පද. එක්වී
එයි. බැණුම ක්. වී
නැවත. සකස්. වී
එයි. සුබසක්. වී
-------------------------------------------------
[தூற்றுதல், போற்றுதல்
இல்லையே மூச்சுக்குழல்
மார்பை. விட்டு
வெளியேறும் மூச்சு
தொண்டையில் கொண்ட
சத்தத்தையோடு
வாய்க்கு வந்தால்
வல்லினம் மெல்லினம்
அத்தோடு இடையினம்
குறில்கள் நெடில் கள்
வேறாக கொண்டால்
அர்த்தமில்ல ஓசைகள்
சேர்த்து. கொண்டால்
தூற்றுகள், போற்றுகள்
------------------------------------------------
No blames or praises in the breath
Breath that released
from dual. lungs
gets the vibration
of vocal. Chords
There it produces
gutterals, palatels
dentals. nasals
In mouth. cavities
All five vowels. plus
consonants, phonemes
meanless voices and
meanless sounds
join to produce
Praises. and. blames
කවිය බලන්න
දික්කසාද අවනඩුව
කන්තෝරුවක් වගේ ආදරය බෙදලා
බින්තැන්නෙ කුමාරිය සිරගෙයක දමලා
උන්දැලගෙ පම්පෝරි ඔක්කෝම වහලා
ගෙන්නුවලු ජූරියට නඩුවකට කියලා
ඇත්තනම් මේකයි කුමාරිට වයසයි
පුත්තලම් කසාදෙට අවුරුදුත් විස්සයි
වත්තෙ පිටියේ වැඩට පවා හරි දස්සයි
අත් දෙකෙන් තරහකදි ඉස්සුවේ කොස්සයි
බුලත් විට කන්න ඇගේ රාළ මරු හපනා
ඉලත්තට්ටුව හිස්ව ඇතොත් අඩි හපනා
වළල්ලෙන් ගස් ගිහින් කිතුල් මල් කපනා
බළල් තඩියෙක් වගේ රෑට ගෙයි දපනා
පතක් විතරක් තිබුණු හාල් ටිකකුත් පිසා
දිනක් බත් මුට්ටියට වැටුණු ගෙම්බෙක් නිසා
කනක් නෑසෙන තරම් දෙන්නාම කර ගොසා
ඇහැක් කණ කළ වැරැද්දට ඇයට මේ දොසා
කවිය බලන්න
හඳුනයි ඈ මා
මගෙ පුංචි කවිකාරී
ගෙන සිඟිති
පා පොඩි දෑතට
ගී කියයි
සුරතල් කිරිල්ලක සේ
තාලෙට
මා නොදත්
සියුමැලි බසකින්
බුබුළු දමයි එවිට
රිදී පෙණ
ටිකිරි තොල්
පෙති මතින්
විසිරෙන සේ
අඩක් පිපුණු
සෙව්වන්දියක් මත
අරුණෝදේ පිණි බිංදු
විසිරෙයි කඳුළු කැට
රෝස පැහැ කොපුල් මත
බඩගිනිවී හඬන විට
බලා හිඳියි
විටෙක
ඇසට ඇස දී
මා දෙස
නිල් පබළු දෑසින්
විමසන්නා සේ
මා කවුරුන් ද
යන වග
නිදිබර මොහොතක
ඈ මුදු සවන සිප
"මං දෝණිගේ අත්තම්මා "යි
සෙමෙන් මා
මුමුණන විට
සිනාසෙයි ඇය
මිහිරි ඇස් පියාගෙන
හඳුනාගත් සේ
මා කවුරුන් ද
යන වග...
කවිය බලන්න
ඉර.....සඳ.....
පාන්දර වැඩ ඇරී එනකොට සඳ
හැඩිවෙලා මිදුල උල්කාපාත වැස්සට
ගෙනා බඩු මලු තියා පැත්තක
බහිනවා ඉදල ගෙන මිදුලට
කඩන්නට මකුළු දැල් අහසක
බඳිනවා කොසු මිටි දිගට
නාවලා පිහදලා තරු කැළ
කවනවා බත් ගුලි අන අන
හෝදලා වේලලා රෙදි වැල
මදිනවා සාරිය හවසට යන්ට
පාඩම් හොර අඟහරුට
අනිනවා ටොකු කනින් ඇද ඇද
අමාවක දාට සඳ ගෙදර
ඒත් ඉර නිති පතා වැඩ
ගමනක් බිමනක් යන්ට
ඉරට කෝ වෙලාව
එක අහසෙ හිටියට
රස්සාව තට්ටු මාරුවට
ඒත් මොනවා කරන්නද
දෙන්නම රස්සාව නොකර කොහොමද
කවිය බලන්න
මුතුමාල නන්දා මාලනිය
රන්මුතුදූවේ ආදර හැඟුමින් මතුවී
අමරදෙව්ගෙන්
වරම්ලද ඒ කෝකිලාවිය
කලාව කලාවමවම සඳහා
නොවන බවක්
ඔපකලාය රිදී හඬින්
දෙපානැති අසරණුන් ගැන
හද කම්පාවී
සහකම්නයෙන් සුසුමන් හෙලා
රනවිරැවන්ගේ දෙපයට
වැඳවැටී
මව්බිම නැතිනම් මරණයයැයි
හඬනැගූ ගීතිකාවන්
නිබඳව සවන්තුල දෝලනයවෙයි
බවයෙන් බවයට
අප සවනත ගැටෙන්නේ
නන්දාවන්ගේ මියුරැ තෙපලයැ
ඇය ජාතියේ
අබිමන් යසෝරාවයයි.
නොවැම්බර් 17 දා 2023.
කවිය බලන්න
මා පියාණන් සිහිවූ සඳ.
මා පියාණෙනි උතුම්
සිංහයෙකු නොව ඔබ මට
සිංහ රාජයෙකි
මා උපදිනා දවසේ
ඔබ පුරා සෙනෙහසින්
නෑ සියන් හට දැනවුයේ
ඇසෙනා සේය මුලු රටටම
ගල්ලෙනින් පිටව
සටන් වැද රුදුරු මිනිස් කැල හා
මා හට ජීවයක් දුන්නේ
ඔබයි මා පියාණෙනි
නැතේ කිසි අඩුවක් සෙනේ ඔබගේ
මගේ හද තුල සෙනෙහසින් පිරී
මවගෙ උණුසුම මා ලැබූවත්
ඔබේ සවිමත් දෑත් දෙපාවන්
මාද ලද්දේ ඔබේ අනුහසින්
බවකි මා හද රැව්දෙන්නේ
මාගේ ලෝකයෙ
කිරැළු දරන්නට
මා හට දෙන ඒ සිංහාසනයේ
ඔබ හිඳුවා මා සැනසෙන්නම්
පියාණෙනී
ඔබේ දහඩිය මුසුවු රැදිරය
සුවඳ පුරා දසත විහිදුවා
මා තුලට වැද ඇට මුදුළු තුලට වැද
ඇඟ පුරා යයි මැරෙන තුරා
පුතු සෙනේ පුර හඳක් විලසා
ඇත පිතුන් තුල රඳන්නේ
පිතු සෙනේ පුර හඳක් විලසා
ඇත පුතුන් තුල රඳන්නේ
කවිය බලන්න
වීදියේ දරුවෙකුගේ හඬ.....
අම්මගෙ උණුසුමෙන් ටික දිනකින් මිදුනා
පියෙකුගෙ සෙනෙහසක්
කිසි දින නැත හඳුනා
කෙනෙකුගෙ යමක් ලා
ගෙන ගත විළි රැකුණා
මහ මග පිහිට ලැබ නිති
කුස ගිණි නිවුනා.......
කොතැනද වරද කාගෙද
බව නැහැ දන්නේ
විසුමට තැනක් නැත මහ
පාරෙයි ඉන්නේ
සැම විට කාණුවක් අද්දර
හිඳ ගන්නේ
දවසම මෙලෙසටයි දිවියට පණ දෙන්නේ.......
රසවත් යමක තතු දිව
හඳුණන්නෙ නැතී
අකුරක් පොතක දැණුමට
බොහො ඇතිය බැතී
උණු බත් කටක සුව දුටු
සිහිනයෙක එතී
මගහොත් කරාමෙයි පිහිටක් වෙන්නෙ නිතී......
වැස්සක් අවුව ලැබුනත්
ඇඳි වතම පිටින්
සිසිලත් උණුසුමත් විඳ ගමි පුරුදු ලෙසින්
සෙවණක් සොයන් මග තොට ඇවිදලා ගොසින්
සරණක් නැති මෙමා
වැළැපෙමි සැළෙන හදින්..
ශ්‍රී ජයවර්ධනපුර.
කවිය බලන්න
හරිතපත් තැවුල්
හරිතපත් තැවුල්
වියැකෙනු කෙසේ
මෙලෙසට
හැම කොළයම
කහපාට
කාලයක් හිටියනෙ
හයියට
ගහ උස් මහත් කලේ
මොනවට
අවසන් සුසුම්
කහ පාටින් බිම
වැටෙන පත් තුරු
තුරුළු කරන් මිහිමත
ආරාධනා පිවිතුරු
හසකැන් පාන පත්ඉරු
සයුර විසිතුරු
අන්‍යෝන්‍ය පෙමින්
විඳින අවසන් සුසුම් නිරතුරු
ධනාත්මක සිත්තම්
ජීවිතය
මොණර පිලක්
සැහැල්ලූව
අමබිඳක්
වුවත් මියෑදෙන
නිමේෂයක්
කර ගමු සතුටක
උල්පතක්
Shani - 14/11/23
කවිය බලන්න
මග නොමග .
අනවතප් විල් පතුලෙ
පංකජය දෙදරා
දියවරට ඉහලින්ම
සුදු නෙලුම පිපුණා
හොඬින් ගෙන ඒ නෙළුම
පැමිණි ඇත් පැටවා
නෙලුම් පෙති විසුරුවා
හද මඩල බින්දා
ගජ මුතුත් දළින් ගෙන
කිංකිණිය දෙවනා
ඇත් පැටැව් විසල් වී
දියත පය තබනා
මංමුලා වැල් මතින්
පය තියන හන්දා
මග වැරදි දුර ගිහින්
ඉකිගසා හැඬුවා
කැණිමඩල යට දියව
හිරුගෙ රැස් හන්දා
කඳුළු පිණිදියෙ තෙමෙන
සඳක් දුක් වින්දා
මදපවන නිසා තරුමල්
කඩා වැටුණා
තුහින තුඩු ඇනී ඇනී
හිතක් පණ යැද්දා
මල් විලේ පංකජය
දෙදරවා නැගිලා
සුදුපාට නොවුණ මුත්
නෙලුම් මල් පිපුණා
සුවඳ දී සිසිළසින්
සඳ දියේ තෙමුණා
විසිරි සුදු නෙලුම් පෙති
විල්දියේ ගිළුණා.
2020.11.19
කවිය බලන්න
අභිනන්දන සත්සරණී
ගුරු ගෙදර බිහි දොර
ළමා මණ්ඩපය සරසා
රන්මුතුදූවට ගැලූ ජීවන ගඟ
රන් දහදිය හෙලන්නී ඈ
ලක් දනන් හට සෙත සාදමින්.
සන්නාලියනේ ,
නුඹලාම වෙනුවෙන්.
පෙරදාමහ රෑ
පහන් කන්ද අභියස හිඳ,
ඈ ගැයූ සත්‍යයේ ගිතය
සත්සරය මුසු කොට,
ලක් දනන් තුඩ තුඩ රැව් දී
නීවාලූවා සරතැස .
තරුද නිදන මහරෑක
මද පවනක්ව
සිත් සතන් සනහන්නී
සුදු නෙළුම සේම
ධවල වත දරන්නී
සුමධුර භාෂිනී
මනෝ නන්දනී
නන්දා මාලිනී.
පුදනෙමු පා කමල්
හරසර මුසුකොට
ලක් මවට පැළැන්දුවාට
රන්මිණි කිරුළු
සත්සරට හඬ මුසුකොට
කවිය බලන්න
මතක අස්සේ පේන හීන
මතක අස්සේ පේන හීන
හින ම වී වියැකුණු විට
ඔබ ගැන මට ඇති මතකය
කදුලක් වී නෙත් අභියස
ගලා ආවේ මගේ දෙනෙතට
හදේ නැගෙන විරහ ගින්න
එසේ වුවත් මගේ ආලය
කෙදිනකවත් නොමියනු ඇත..
කවිය බලන්න
මහැදුරු මනෝරිට නිසි තැන ලැබෙන ලදී
ලද පළපුරුදු හා දැනුමට බලය දිදී
මහැදුරු මනෝරිට නිසි තැන ලැබෙන ලදී
නිරතුරු ඔබට සුව බල සිත සවිය සැදී
වැජඹෙන ලෙසට එක කරනෙමි පැතුම් පොදී
2023/11/24
කවිය බලන්න
නොකියාම හිරු නික්මුනා
හිරුට සඳු හමුවෙන්න හිතුනත්
හැන්දෑ අහසේ ලංවෙලා
දැවී ගිණි ගෙන දිලෙන හිරු ලඟ
ඉන්න සඳ නොඑනා නිසා
වළාකුලකට මුවා වී හැංගුනේ
සඳ රැවටෙයි සිතා
ගොසින් දිනකර - මගෙයි ගොම්මන
කියා සඳ ඒ යැයි පතා
වළාකුලටත් නැතිව හිත් පිත්
හනි හනික පාවී ගියා
කණක ලෝහිත රජත හිරු රැස්
අහස් ගැබ පතුරා තියා
අදට යන්නට හිරු ගියා යැයි
සිතුව සඳ එන්නට කියා
පළමු අඩියම තිබ්බ එළිපත
රැගෙන ආපහු ගෙට ගියා
මුළා කර ඇස් වළා කැටියෙන්
වසා රළු රැස් සඟවලා
පුළුස්සා හළු කර දමන්නද
හිතුවෙ රවටා ගෙන්නලා
අසා සඳ එව් ලිපිය ලැබුනා
හිරුගෙ රතු ඇස් දිලිසුනා
කඳුළු මදි රළු රැස් නිවන්නට
දැවෙන ගිණි තව ඇවිලුනා
රළු රැසින් නොව ඔබ දවන්නට
මුහුණ දකිනට සිත් උනා
හැංගිලා ඒකමයි බැලුවේ
උනු වරද මට තේරුනා
දැවෙන රළු ගිණි නිවාගන්නට
දියඹටම තව ලං උනා
කියා ගන්නට සිතා උන් කව
නොකියාම හිරු නික්මුනා
කවිය බලන්න
ගුරු දිනයේ සිතුවිල්ලක්
නුඹ නමට හැඩ නොවන පන්හිඳ ,ආයෙ මොටදැයි හිතට දැනුනා.
ඉරි දිගේ නිල් තීන්තෙන් කලු ,නුබෙ සෙනෙහෙ ගැන මදක් ලිව්වා.....
ලියනවානම් මාගලක් මදි, ඇදුරු සෙනෙහෙ බැන්දුමක් මායා......
ගෙදර දරුවට වගේ නුඹලා , මගේ දරුවට සෙනෙහෙ පිදුවා...
එක් දිනක් ගැන පද ඇමිණුවට, නුඹලාට එක් දිනක් නැතුවා...
අව් , වැස්ස, පිණි, ලෙඩරෝග ,තැකුවද හැමදාම උන් ලගම රැදුනා...
මගේ දරුවගෙ ලකුනු ගැන මට වඩා...
නුඹ මහ මෙරක් හිතුවා..
දකින විට උන් ගේ හපන්කම්, රත්වු දෙකපුල් ඉබේ සැලුනා....
ඇතැම් විටදී මට වඩා නුඹ , මගේ දරුවව අදුන ගත්තා...
උනුත් නුඹ ගැන ගෙදර ඇවිදින්, විටින් විට පාරම්ම බෑවා......
නුඹ ට කිසි වාසියක් නොලැබෙන, හෙට දවසකට උන්ව සරසා....
ගුරු මව්නි, පියවරුනි නුබලා, රැස් කරන පින් වැඩිද මන්දා.....
කවිය බලන්න
සතුට ගෙනාවේ
සැළෙන කඳුලු නෙතගින් මුතුඇට සේ
නෙතග බැලුම් තරුකැට එළියයි
සිනහ කැකුළු පියුමක් වීලා
මියැසි තෙපුල් ගී හඩක් වෙලා
ගලන දියේ සිසිලස එක්කර
පිපෙන කුසුම් සුවඳින් මුසුකර
කුරුලු ගීත තාලෙට මුමුණා
මගෙ ජීවිතයට සතුට ගෙනාවේ
ඔබම තමයි
තුරුලුවෙලා සෙනෙහස ගෙනදී
දෙඩූවදන් හදවත් පතුලෙන්
නිහඩ දෙනෙත් අඩවන් වීලා
ආදරයෙන් සතුට ගෙනාවේ
ඔබම තමයි
උක්දඩුගොඩ
පෙතියාගොඩ
ගෙලිඔය
කවිය බලන්න
වියත් ගී හඩ
ගලන ගඟ සේ ජීවිතේ
මිහිර දුන්නා ආදරේ
හැපී පෙනපිඩු විසිරුනා
ජීවිතේ ගීතයක් සේ
මියුරු රසයක් මුසුකලා
වියත් ගී හඩ නුබට උරුමයි
නන්දනීයයි මධුර ගී
චන්ද්‍ර මඩුල්ලේ සුරංගනාවන්
වලාකුලේ හිඳ ගීත අසනවා
තරු නොනිදා මුතුකැට ඉසලා
නිල් අහසට රන් එලිය ගෙනෙනවා
කොවුලන් අතුඅග නුබට වරම් දී
නිහඬ වෙලා පද මුමුනනවා
අහස සයුර සේ අන්තයටම
නුබේ ගීත රස පැතිරෙනවා
රන් කෙන්දෙන් බැදි ආදරයේ
මිහිරට ගී ගැයුවා
හදවිල කළබන පෙම් සිතුවිලි
දෙහදක රස මැවුවා
සමිදුන් පාමුල සමන් මලක් වී
බැතිසිත පුබුදු කලා
නුබේ ගීත හඩ නුබේ ගීත රස
දෙසවන් පිනවූවා
උක්දඩුගොඩ
පෙතියාගොඩ
ගෙලිඔය
කවිය බලන්න
අවසරයි මට වරක් ඔය දෙපා සිප ගන්න
කවිකාර නෙත් දෙකේ කිමිඳිලා සැනසෙන්න
පිනි ඉහෙන සීතලේ උරතලේ සැතපෙන්න
සංසාරෙ හමුවෙනා පැතුමකට පණ දෙන්න
අවසරයි,මට වරක් ඔය දෙපා සිප ගන්න
අතින් අත අල්ලාන මහ දුරක් ඇවිදින්න
මේ භවයෙ ඉඩ නැතත් මතකයක් වී ඉන්න
කවියකට තව වරක් අපෙ හීන අමුණන්න
ඇත්තමයි එයම ඇති හිත හදාගෙන ඉන්න
භාවනාවක් වගේ නෙත් පියන් විඳගන්න
ගැහෙන පපුවක් මැද්දෙ මේ සුසුම් දවටන්න
හීනියට නළලතේ මුදු හාදු තවරන්න
සිදුවේවි මේ භවය නිමාවෙන තුරු ඉන්න
කවිය බලන්න
දෙවියන්ටත් වැරදුනාද ?
දෙවියන් වැඩියොත් මනුලොව මත්තට
තම රුව ගුණ දී මැව් දේ දැකුමට
ජාතිය ආගම කුලගොත් පොදි බැඳ
මිනිසුන් හැසිරෙන අන්දම දැක්කම
ගොළුවන් කරමින් නිරුවත් කරලම
සිනහව පමණක් මුවේ ඉතිරි කර
වැරදුනෙ කොතනද වැරදුනෙ කෙසෙලද
සිහි කරමින් යලි වඩීවි දෙව්ලොව
කවිය බලන්න
🗙

























































































































