විසල් හදක කවි

උපුටා ගැනීම - සඳගිර පාමුල - 2015 දෙසැම්බර්
සදත් ඇතුන් පසුපස ආ ඇතිනි මෙන
ඇවිත් ඇහැ ලඟට රෑ හීනෙන් පෙනෙන
නොදත් නමුදු මා සිත විතර ද පමණ
එදත් නුඹ ම පමණය මා පැතු සෙවණ
හේමමාලිටයි.............
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
ලන්ඩන් කවි ජනවාරි කලාපයට උරදුන් තිහක් පමණ වූ ජ්‍යෙෂ්ට කවීන්ද්‍රයින් සහ සතළිහක් පමණ වූ අනෙක් දක්ෂ කවි කිවිඳියන් හට අපගේ නොවක් ස්තුතිය පුද කර සිටිමු.
‘හැම හෙළයෙකුම කවියෙකි’ යැයි රොබට් නොක්ස් කීවේ නිකමට නොවේ. කවියක් ලියා නැති, නොඑසේනම් ලියන්නට උත්සාහයක්වත් කර නැති, එසේත් නැත්නම් ප්‍රේම කවියක් කොපි හෝ කර පෙම්වතෙකුට පෙම්වතියෙකුට නොදුන් අයෙක් සිරිලක සිටීයැයි මා සිතන්නේ නැත. කවියා දුප්පතෙක් යැයි නොමනා කතාවක් තිබේ. ඒ බොහෝවිට කොළඹ යුගයේ කවීන් අරඹයා කියවුනක් යැයි සිතමි. ජාතික ඇඳුම හැඳ, බොහෝවිට බුලත් විටක් ද හපමින්, කවිය තම දිවිය කොට ගත්, කුඩා කවිපොත් මුද්‍රණය කොට විකුණා ජිවත් වූ සමහර කොළඹ යුගයේ කවියන් වූහ. ඉන් කීපදෙනෙක් මා හොඳින් දැන සිටි අය ය. ඒ ඔවුන් බොහොමයක් අතකසයේ හමුවීම් සඳහා මපියා මුණගැසීමට අප නිවසට ආ ගිය අය නිසාය. එහෙත් අද කවියාගේ තත්ත්වය එසේ නොවන බව අප දනිමු.
ලන්ඩන් කවි අපි, අද ලන්ඩනයේ සිට කවි සිඟා යදිමින් යන්නෙමු. නිතර නිතර කවි ලියමින් සිටින ශ්‍රේෂ්ට ජ්‍යෙෂ්ට කිවිවරුන්ගෙන් අළුත් කවි ඉල්ලමින් ද බොහෝ කලකින් කවි ලියා නැති සුප්‍රසිද්ධ කලා කරුවන්ගෙන් කවියක් ලියා දෙන්නැයි ද කියමින් කරදරයක් වී සිටිමු. ඒ හුදෙක් රොබට් නොක්ස් මතක් කර දුන් හෙළ කවි ආත්මය ඔවුන්ගේ හදවත් තුළින් පිටතට ගැනීමේ චේතනාව මුල් කොට ගෙනය. ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය ශූරින් පැවසූයේ වසර පනස් එකක් වන ඔහුගේ කලා දිවියෙහි කිසි දිනෙක කිසිවෙක් ඔහුගෙන් කවියක් ලියන ලෙස ඉල්ලා නොමැති බවයි. එහෙත් ඔහු එවූ අපුරු කවිය මේ කලාපයෙහි පළ වේ. තිලකරත්න කුරුවිටබණ්ඩාර කිවිඳුන්ගේ කවියක් සිහියට නැඟෙයි. ‘ මා ලියූ කවි නැවත නැවතත් කියව කියවා පහන් සිතකින්…’ එය ඔහුගේ වුවත් ඔහුට පමණක් අයත් කවියක් නොවේ. එය අප සැමගේ ම කවියකි. ‘මා ලියූ කවි නැවත නැවතත් කියව කියවා පහන් සිතකින් සිටින්නේ….. මා පමණක් නොවේ යැයි සිතමි.

උපුටා ගැනීම - සඳගිර පාමුල - 2015 දෙසැම්බර්
සදත් ඇතුන් පසුපස ආ ඇතිනි මෙන
ඇවිත් ඇහැ ලඟට රෑ හීනෙන් පෙනෙන
නොදත් නමුදු මා සිත විතර ද පමණ
එදත් නුඹ ම පමණය මා පැතු සෙවණ
හේමමාලිටයි.............
පෙම්හසුන් පෙම්කතා පෙම්කවි මින් පෙර ද ඇය වෙතට ලැබුණේ
කම්පසේ පෙම් බැන්ද ඇගෙ හදවතට කවුරු ද තුරුඵ නොවුණේ
මම් කෙසේ පවසම් ද නුඹටත් මගෙත් හද බැඳ ගෙනයි තිබුණේ
තම් දෙනා තම් ඇය ගැන ම මිස කිසිවකුට නැහැ මසිත් නැමුණේ
කළතනා සිසිලස මැ ළමැදෙහි සදමිනා සරිගම මැ සුසිර ය
සසවනා එන-යන මගට වෙණ වයමිනා ගයනී යැ මිහිරි ය
ගොලුවනා ගොලුවත ම රකිමින කියමනා බොරුවකි එ නරක ය
පිනවනා සවනත ද ගලමින බැස යනා දිය නීල දහර ය
ඇගේ සුරතල් ගමන දුටුවෙමි ඉඟි පපා සරදමට ඔද පා
මගේ ඇස ගත් පමණි නොව සිත් ජවය දෙන්නට තරම් තෙද පා
දිගේ යන මඟ කඩින්-කඩ වමතට ද දකුණට බඳ ද ඇද පා
වගේ ලස්සන උරගයකු බදු ලතාවට යන ගමන හැඩ පා
ඇගේ නම උණුසුමට නොව හැම විට ම සිසිලට මුල් වුණේ
වගේ ඇඟ කිළි පොලයි වැදුණ ම පිපෙයි ගත හිරි මල් වනේ
මැගේ සිත හැම විට ම දිව යයි දැඩියි චපලයි නැහැ සෙනේ
නැගේ පිස දෙ ඉවුරු ම කළඹවා නටයි සිට නොදෙවෙනි තැනේ
පෙනෙයි ඇගෙ නිරුවත තව ම දුර සිට දි බැලුවත් යහලුවේ
වගෙයි රණ හංසියන් සේ ළැම දෙ පස කඳු ඇත පාලුවේ
ඇදෙයි ඇය එ මැදින් ගලා කෙහෙරළ ද දෙ පසට මෝදු වේ
දකියි නුඹ හද පෙමින් බැඳුණොත් මා කියන දේ බොරු නොවේ
හඳුන ගත් මැය දැක පුරුද්දෙන් සුරතලිය ලෙස පද්ද - පද්දා
වැටෙන විට පහළට ඉහළ සිට උකුල-පුළු ලුකුලකට කැන්දා
වැනෙන බඳට ම කෙහෙරළ ද දිගු පිට මැදට වට රන්ද - රන්දා
කුමන හේතුවකට ද නොදනිමි පිදුවෙ මම සෙනෙහස ද බන්දා
පෙමට පෙම්කවි ලියා දුන්නෙමි ආදරේ වැඩිකමට ඇති වුණ
මෙමට කෙම්කොට පලා ගියෙ දැයි සිතුණු වාර ද සිත් කොණට වුණ
රුවට සිත් දුණි නම් චපල ගති ඇති ඇගේ කිරිපැටිය දිස් වුණ
වෙසට මිස සිත-කයට-මනසට නැති ය කිසිවක් ඇයට සිදු වුණ
රාම-රාවණ සටන් කළෙ උහු දෙන්නගේ සිත එක ම ළඳකට
තාම ඒ ලෙස පටන් ගත් ජවනිකා ඇත හද බැඳුණු විලසට
කාම ධේනුව විලස ඉන්නා මැයගෙ වත-ගොත දැනුණු පිරිසට
නාම රන්දා මැගේ දිවි මුල-අග ම කිව හැක මෙහෙව් සබයට
පෙමට පෙම් බැඳි - රසට රස දුන් නෙතට නෙත දී මුව තියා
ළයට ළය උණුසුමට සිත් තුළ ආදරය හිඳ පැන ගියා
මලට පෙති නාදල දෙතොල් මත වතුළ මදු විත එහි තියා
රළට ඉකි බිඳ හඬා වැළපී සළු ඉරා නොපෙනී ගියා
මගෙයි කියමින් මමත්වයෙ හිඳ ඇදෙස බැලු මගෙ නෙත් කොණේ
වගෙයි කැවෙමින් ඇයගෙ රූපය තව ම ඇත හදවත කොණේ
අගෙයි රවමින් විටෙක හඬමින් තවත් විටක දි මත් වුණේ
මැයයි අදටත් “සිතම්බරි” මගෙ නමින් සීතාවක් වුණේ
ලොව සැම පසන් දන එක පොදියට බන්ඳා
සැප දුක සැමට එක ලෙස බෙදුමට හන්දා
පසමිතුරන්ද මිතුරන් ලෙද හිත රන්දා
මරණය පෙනේ අප අතරම දුක කැන්දා
ටෙලිවිෂනයෙන් හැඩ වැඩ දා සිත් බැන්දූ
රට තොට පුරා තම ජය ගොස හිස රැන්දූ
දහසින් පියලි බැඳ තම මිතුරන් කැන්දූ
මැති ඇමතින්ද ඇත මහජන යට ඇන්දූ
සැම දන මනස දහමට සිත හරෝනා
එඩිතර වුවද සිත් තුළ බර දරෝනා
දහමට නොනැමි දිවියෙද ඇස් අරෝනා
මුකවාඩම් දුනිද සැපතකි කොරෝනා
දුරකථනයේ තත් එහෙ මෙහෙ කරෝනා
පරිගනකයේ පුටුවට බර දරෝනා
නොදුනිමි නිමා නව වසරක් අරෝනා
සැපතක් කොහෙද වෙන සැපතක් කොරෝනා
අම්මගේ තුරුලේ උනුහුමට හිඳ
පැමිනියමුත් සැමගේ පෙරැත්තට
අමතක නැහැ කල කෙලිකම් බඩ වැටිවල
ආපසු හැරෙනු බැහැ සිරගෙයකි මේ සසර
දකිමි සත්‍යය ලබමි එහි සුවය
උතුම් බුදු හිමි දෙසු මග වැඩ
චායාරූපය සාරංග දේව ද අල්විස්
මුළු බස්නාහිරම ගිනිගත් මොහොතකදී
නොහැඟේ පෙනෙන මානෙක ඉන් මිදෙන විදී
රට අඳුරේය කෝවිඩ් වයිරසය හැදී
මගෙ නිවසේම මා සිරගත කරන ලදී
වෙනදා ගෙදරටම ඇවිදින් කහට බොන
නැතිනම් කතා කර සතුටින් විසිර යන
නෑයෝ නොනෑයෝ එන එක නතර වින
දැන් යති දුරින් මුඛ වාඩම් පැළඳ ගෙන
මඤඤෝක්කා අලය නැතිනම් කොස් පළුව
ගෙදරට ගෙනත් දී වරුවක් දොඩමළුව
ළඟ හිඳ මහත් සතුටින් දුක සැප බැලුව
කෝ අද අසල් වැසි ලෙන්ගතු බල මුළුව
දේස්පාලන කලා සාහිත මතවාද
උත්සව රැස්වීම් වැඩමුළු පිය සාද
මරණය සහ මඟුල අද තහනම් නේද
මේවා මහපොලව නුහුලන අපරාද
ලෙඩ දුක් වලට ලං විය හැකි වසංගත
රෝගයකින් පෙළෙන හින්දා නිධන්ගත
බාහිර සමාජෙට යන්නට වරම් නැත
පවසති ගෙදර අය ගිනි අවුලමින් සිත
ඇරගෙන ගේට්ටුව මහ පාරට යාවී
නැතිනම් කවුරු හරි නිවසට පැමිණේවී
දුරසිට දරුවන්ට දැක ගන්නට පේවී
කේලම් කියයි නිතරම 'සීසීටීවී'
පාරේ උනත් ඇවිදින එක තහනම්ය
වට පිට අයගෙ පැමිණීම ද නොතරම්ය
ගැලවෙන මඟක් නැත කොතැනත් විමසුම්ය
ඉවරද දිවි ගමන සුන්දර සහ රම්ය
ඉස්සර පේන්නට බැරි ටෙලි වසංගත
දැන් මුළු දවසේම තනියට ලඟින් ඇත
අලුතින් යමක් විමසන්නට වරම් නැත
ඔත්පල නොවුණි කිසිකල මේ තරම් සිත
මූණෙන් මූණ බලමින් ගේ තුලට යන
පිරිසක් පමණි අද ඇත්තේ දකින තැන
අපටම අප අහිමි විය කරුමය ද මොන
කෝවිඩ් ඇවිත් මා මෙ දුකින් මුදනු මැන
හමුවී සිනාසී උනුනුන් වැළඳ හඬා
සිහිනෙකි ගෙවු යුගය රස පිළිසඳර දොඩා
කවි කළ නොහැක ළය මඬලට දැනෙන විඩා
මරණය සුන්දරයි මේ හිර ගෙයට වඩා
බස් නැවතුමේ දී හමුවූ අදිසි ප්‍රේමය - පුවතක්
ඉර දෙස බැලිමි දැවි දැවි දැවෙන ප්‍රේමය
පුරහඳ බැලිමි දිලි දිලි නිවෙන ප්‍රේමය
පරසක්වල බැලිමි ගිලි ගිලි ගැහෙන ප්‍රේමය
වෙරළත් බැලිමි හැපි හැපි පොළොවෙ ප්‍රේමය
ප්‍රේමය සොය සොයා බසයක යන පෙමින
ප්‍රේමය පතා ගොත ගොත කතා අපමණ
ප්‍රේමය තරම දැන දැන හද ගොජ දමන
ප්‍රේමය අතුරුදන් සේසත ඇස් බමන
මගදි හමුවූ ප්‍රේමය හීනයක්මය
පෙරදි හැරපු ප්‍රේමය සාගරේමය
වැරදි කරපු ප්‍රේමය කළුවරේමය
පැරදි පසුව ප්‍රේමය නම් තිත්තමය
ප්‍රේමය සුන්දරය නිර්මලම ප්‍රේමය
ප්‍රේමය සෝමුසුය බියමුසුය ප්‍රේමය
ප්‍රේමය විරහ ගීයක් වුවද ප්‍රේමය
ප්‍රේමය සනාතනමය නොහිම් ප්‍රේමය
නික්මගිය පසු වලසුන්
බිඳ දමා මධු ජනපද
අවස්ථාවක් ලැබෙයි - වැඩකාර මැස්සන්ට
නිරවුල්ව කරගන්න - තමන් සමගම සංවාද
"වලස්සුන්" කියන්නේ කවර රූපකයක්ද
මල් උයන් තුළදි උන් හමු නොවන්නේ මන්ද
විත් පුරා උරා බී තදින් මත්වනු මිසක්
රැස් කරන යමක් විය නොහැකිදෝ මකරන්ද ?
"ඕන වලහෙක් එකයි - මං අනින්නේ දෙකයි"
ගොර බිරම් වූ නදින් රැජිණ කෙරුවත් සද්ද
වලස් ගඳ දුර තියා ඉවෙන් මෙන් හැඳිනගෙන
පිලව් ටික රැකගන්න ඒකි දන්නෙම නැත්ද ?
අපේ කඩිසරකමින් අලස වලසුන්ට මිස
ජනපදේ අපෙ උන්ට ලැබෙන මොකවත් නැත්ද
වලස් නිය පහරකින් ඇද වැටෙන්නට කලින්
කල්පනා කරමි මම " ඇත්තටම මං කවුද " ?
නැගෙන ගිනිදැල් නිවන්නට ඔබ කවදාද මා ලඟට එන්නේ
හදේ නොනිමෙන පහන් සිලුවෙන් කවදාද ඔබ කවි ලියන්නේ
හිස තියා මුමුනන්ට මට කවදාද ඔබෙ උරතලය දෙන්නේ
රීරි යකෙකුට පෙම් කරන්නට කිමද සිත මෙතරම් හඬන්නේ
ඔබෙ වදන් මට සුමුදු නූනට ඔබට හිත පෙම් කල තරං
පිටුපාල මට කල වෙනස්කම් කොයිතරම් ඉහිලුවද මං
හිතේ තෙත නැති කෙනෙක් වෙනුවෙන් සැලුව හැටි මම කඳුලු ගං
කාලෙ මගෙ පෙම හොරෙන් ගෙනිහින් දන්නෙ නැතුවම රත්තරං
වැල්ලේ ලිව් ඒ ඔබේ සෙනෙහස රැල්ල ඇවිදින් ගෙන ගියා
ගලේ කෙටු සෙල් ලිපිත් සබඳේ කාලයට යටවී ගියා
පණ තියෙන තුරු ගැහෙන්නේ හද ඇන්ඳ පෙම් සිතුවම නිසා
කාලෙ යනකොට මහලු වේවිද ? නැවතෙයිද ? බය හිතෙනවා
05/02/21
හෙමින් හෙමිහිට ගලා ගෙන විත්
වැටී නොවැටී සොයාගෙන විත්
කැමති වුවත් අකමැති වුවත්
බින්න බැසගත්තා
ටිකෙන් ටික දැන් ඇසුර වැඩිමුත්
විටෙන් විට දැන් තරහ යනමුත්
කැමති වුවත් අකමැති වුවත්
ආදරෙයි සිතෙනා
පහු පහු වන විට කොහු කොහු වනමුත්
දිනෙන් දින එකම දේ වන නමුත්
කැමති වුවත් අකමැති වුවත්
කාන්සියයි කියනා.
මග තොටදී හමුවෙනා
මිතුරෝ විමසති
කොහොමද අක්කට දැන්
කොළඹම ද ඉන්නේ තව
හොදින් ඉන්නවා
විශ්‍රාමිකනේ දැන්
කොළඹමයි ඉන්නේ තව
ගියේ නෑ එතරකට
එදා වාගේ තමයි
ආදරෙයි මව්රටට
සිනා මුහුණින් යුතුව
පිළිතුරට කියමි මම
සිහසුනේ අණ පනත්
නොගෙන තම දෙසවනට
නිවැරදියි කියා සිතු
මගක පිය මැන්නාට
ලක්වෙලා උදහසට
ගොනු වෙලා නෙක වැරදි
ඔවුන්ම ම නඩු අසා
නොමැරුවත් ගල් ගසා
ටිකෙන් ටික හම ගැසූ
රජ මිතුරු සැමගේ
අවමන් නින්දා අනේක විඳි
මගේ අක්කා
හොදින් ඉන්නවා නොකියා
කුමක් කියන්නද මම?
මේ කපේ අසිරිමත් උමතුසං වරුසාව වහිනවා
මිහිරි සංධ්වනි සරින් වැහි බිංදු වැටෙනවා
සත්රුවන් පාට පොද මල් සුවඳ ඉහෙනවා
දකින දකින නෙත් උමතුවී වැස්සටම දුවනවා
රජුන් රජ මැතිවරු න් වියතුන් ද විනිසුරන්
ශ්‍රමණ පූජකවරු ද සියලු නිලමේවරුන්
නෑ සියන් පිරිවරා අසිරිමත් උමතුසං වරුසාවේ වැසි දියේ
ඉපිලෙමින් තෙමෙනවා නටනවා ගයනවා
පසිදුරන් පුබුදු කර තුන් සිත ම අවදිකර
වහින මේ අසිරිමත් වැස්ස දෙස නොමබලා
නොතෙමී සිටි ය හැකි දැඩි සිතින් වීරියෙන්
යමෙක් වේනම් එයද අසිරිය ක් වේමැයි
නිරුවත ම පෙන්වා නීතියේ සලු පිලී ගිලිහී වැටෙන්නේ
හිරි ඔතප් නිසරු වේ මුසා බස් මිහිරි වේ
පස් පවම කළවුන්ට දඩුවම් අහෝසියි
එවන් අසිරිමත් උමතුසං වරුසාවේ නොතෙමී
සිටිනා යමෙක් වේද උන් ට දගගෙයමැයි
17-01-21
සීරුවෙන් වඩිනුය පුත
රහමෙර නොවී නාලාගිර
යදමින් බැදුනද පා යුග
නුදුටු සේ යා යුතුය අප
බලාපන් දියවඩන
උජාරුවට පාවාඩ මත
හෙලුබැලි පැටවු දෙපස
එතුම් උන් නුදුටු සේ යන
ආං මහරජ වාසී
විරාජමාන වේවී
හේවිසි හොරණැ වී
හිත් වේගෙටම තලාවී
ඕං නිලමේ පන්තිය
පින්තාරු නැටුමකිය රජු ලග
තාල වන්නම් පන්තේරු කුමට
එතුම් සිනාසෙන්නේ කෙළි කවටට
ඉතින් සීරුවෙන් යමු පුත
තබා යදමින් බැදුනු පායුග
අලුත් හුස්මක් ගෙන තව
අලුත් පොලොවක යමු හෙට
තුංමං සලේ - ගොන්මං වෙලාවට
හොල්මං කරන - තුන්බිය ගෙනන
මලපෙරේතයෝ අපි
මිනිසුන්ට වින කර - සපල සැම අපල කර
පසෙක සිට සතුටු වන
මලපෙරේතයෝ අපි
විසාලා නුවරට - අපි වින කරන විට
බුදුන් වැඩ හනිකට - දෙසු රතන සුතුරට
බයවෙලා පොදියට - පැන්නෙ අපි ලංකාවට
ලංකාව හරි හොදයි එදවස
තිබුනෙ නෑ බුදු දහම මෙදියස
අපට තිබුනා නිදහස - අපල කෙරුමට සිතුලෙස
බුදු බණ පැමිනි සඳ සිරිලකට
බුදු පිරිත සවනත වදින විට
ගැටලුවක් විය අපට - යලිත් සිදුවුන විපතට
අපේ පෙර පිනකට
හාමුදුරුවරු අපට
පිහිට වෙයි අද කදිමට
පංසල්ම දෙක තුනකි එක ගමට
ලවුස්පීකර් පිරිත් තරගයට
කංකරච්චලයක්ම මිස සැමට
නොතේරේ කිසිවක් හරියට
හිස නමනු මිස දහමට
ගරු සරු නොමැත ගොසකට
දැන් ඉතින් බයවෙමුද අපි කුමට ?
පංසලම පිහිටවී ඇත යසට
තුංමං සලේ ගොන්මං වෙලාවට
හොල්මන් කරන්නට - තුන් බිය ගෙනෙන්නට
දුන්න සහයෝගයට
පිං පුදමු නොමසුරු
සංඝ රත්නෙට ගරු.
වසන්තය නැවතිලා හීතලට ගුලි වෙලා
අඳුරු අහු මුලු අතර අතීතය ගොලු වෙලා
හීන් හිරිගඩු පිපෙන හිරිකඩට රැවටිලා
නෙතු කෙවෙනි අග මිදුණු කඳුලු බිඳු ඇහැරිලා
දෙතොල් සියොලඟ දවා මුදු සුවය තවරමින්
බඹර තුඩු පැණි සොයා දැඟලුවා නිදහසින්
හංසයින් සලිත කල අමාවක රෑ හොරෙන්
යෞවනේ සැඟවුණිය සඳවතිට සෙනෙහසින්
දුන්නු දේ දුන්නෙ ගන්නට නොවෙයි ආදරෙන්
සුසුදු වත සුරැකුණේ නැතත් නැහැ හිත දුකෙන්
බිඳුණු සිහිනෙක මතක අමුණලා රන් පටින්
රකිමි සදහට තබා ඇහි පිල්ලමට යටින්
08 ජනවාරි 2021
මහ වැව් නිමවා දාගබ් බදවා
පිළිම නෙළා සිතුවම් අන්දා
හේනේ කුඹුරේ අස්වනු නෙළුවා
දහඩිය මුතු වරුසා වැස්සා
රජවරු සිටුවරු අමති ප්‍රභූවරු
ගත දහදිය බිදුවක් නොහෙළා
අප කළ වැඩවල ඔවුන්ගෙ නම් වැල
නාම පුවරුවල ඇත ලියලා
පරපුරකින් පරපුරකට පවරන
හීන ධීන ගති පිසදමලා
හෙට දින බිහිවන නව ලොව වෙනුවෙන්
දැන්වත් බැල මෙහෙවර නොකරල්ලා
2020.12.17
ටිකිරි ටිකිරි ටිකිරි ලියා - කළෙත් අරන් ලිඳට ගියා
කළේ තියල ටිකිරි ලියා - හොර රහසෙම පැනල ගියා
පැනල ගිහින් ටිකිරි ලියා - එංගලන්තෙ නතර වුනා
දවසක් දා ටිකිරි ලියා - එහිදි අපට හම්බ වුනා
ටිකිරි ලියා වෙනස් වුනා - 'ටිකී ' කියල නම වැටුනා
රෙද්ද හැට්ටෙ පසෙක දමා - බෙල් බොටමට මාරු වුනා
සිතුම් පැතුම් වෙනස් වුනා - සුද්දෙක් හා හාද වුනා
හඳුනාගන්න බැරි තරමට - ටිකිරි ලියා වෙනස් වුනා
දවසක් දා ටිකිරි ලියා - සුපර්මාර්කට් එකට ගියා
කළයක් දැක ටිකිරි ලියා - මහ හයියෙන් සිනාසුනා
පරණ පුරුදු මතක් වුනා - 'කළේට' හිත ඇදිල ගියා
'කළෙත් ' රැගෙන ටිකිරි ලියා - කලාවකට ගෙදර ගියා
ඉන්දියන් සාගරය මැද්දේ දිළෙන දූපත අනගි රමණී
නමා හිස සැම දිනම නමදිමි මගේ පෙම්බර ලංකා මෑණී
තනිව සිට මහ සයුර මැද්දේ ගිලී යාවිද බියක් දැනුණී
මෙයින් රකිනා අරමුණින් ණය කඹෙන් තදකර ලොවට බැඳුනී
සාගරය සුරකින වටේටම වෙරල තීරය තම්බපන්ණී
සුන්දරයි හරි අලංකාරයි එයද අපහට උරුම කෙරුනී
රටේ අය හට නෙලා ගැනුමට සම්පතින් මහ මුහුද පිරුනී
ඒ වුනත් අනෙ ආයුබෝවන් පිටරටින් එන දුගඳ මසුනී
ජීවනාලිය මහා වනපෙත් තුරු ලතා පුෂ්පයෙන් පිරුණී
සතුන් විහගුන් පැලෑටිද මල් අනගි විවිධත්වයක් සැදුනී
නිසි කලට වැසි වැටී ඇල දොල වැව් පොකුණු ගංගාද පිරුනී
ජල උවදුරින් රට මුදාගන්නට ගස් කපා ලී කුට්ටි කෙරුනී
පොළොවකී සරුසාර මුළු රට හැමතැනම ගහ කොලින් පිරුණී
වියලි ඉන්නක් ඉන්දුවත් බිම දළු දමා නව පනක් ලැබුනී
වගාවන්ගෙන් දියුණු කල රට පැරැන්නන් ගෙන් සොඳින් රැකුණී
කන්න බොන්නද අවැසි සැමදේ අද ගනිමු පිට දේශවලිනී
පරයො ඇවිදින් හොරා කෑවා අපේ උන්යැයි වෙනස් නොවුනී
දියුණුවක් නම් දකින්නත් නැත විනාශය සැක නැතෙයි හැගුනී
ඔබව අපහට නැතිව යයිදෝ බයයි මට මගෙ ලංකා මෑණී
සමාවෙන් මට දුරින් සිට හඬනා මමද ඔබෙ පුතෙකි මවුනී
අලුත ගෙනා මනමාලිට පුතු සලකන විට
හිත රිදවා ගන්න එපා ඇය නෙ සිරිකත
පුතුගෙ දිවිය සරු කරන්න ඇප කැප වෙන විට
වඩා හොඳින් බලාගන්න හෙට සලකන කත
පුංචි පුංචි නොගැලපිම් හොඳින්ම දැනගෙන
යොදන්න නිසි පිලියම් ටික කලින්ම දැනගෙන
ගෙදර ගැටුම් ඇතිවන විට විවිධ හේතු මත
පුංචි පැටවු හිත රිදවා ගන්නවා නෙ හෙට
වැඩිහිටි ඔබ හැම මොහොතම ගතයුතු සිහියට
ආදර්ශය වඩා හොඳයි දෙන අවවාදෙට
බලන් ඉදලා අහන් ඉදලා ඉගෙන ගන්න දෙය
පුංචි පැටවු හෙට කරයිනේ වැඩිහිටියන් ලෙස
ගැටුම් මැද්දේ හැදෙනා පොඩි පුංචි පැටවු ටික
සාමාජයට සෙත් කරයිද ඒක සැකයි මට
දුර දිග ගොස් හිත රිදවා ගන්නේ මොටද ඔබ
අලුත් පවුල මුල ඉදලම පටන් ගන්න ඔබ
කුටිය සැම තැන
කෑලි කපන සීතල
උණුහුමක් නැති කල
පේන තෙක් මානයක
සීතල සළුව පොරවගෙන
නින්දේ නොනින්දේ මුළු රැයම
හිරු එළිය තීරුව එබෙන්නේ
දැන් අලුයම
දොරගුළු හරිනෙමි
සීතලේ ගැහි ගැහී
අමුත්තෙක් සිටී
සඳලු තලය දොරටුව අස
'එළිවෙන කල් මෙතැනද හිටියෙ
ඇයි දොරට තට්ටු නොකළෙ ? '
ඔහු සිනාසී විමසයි මෙලෙස
'තට්ටු කළා නම් දොර ඇරල
මාව ගන්නවද ඇතුළට ?
නිරුත්තර වූ මම
කැඳවීමි ඔහු ගෙතුළට
24.01.20/21
සඳ එළිය ගලා විත් සිඹියි සුදු හිම පලස
මැවෙන මහ අසිරියෙන් සැලෙයි සන්සුන් මනස
මදිය නෙතු විඳ ගන්න ඇද හැලෙන රස කලස
මෙය නොවෙද මෙලොව ඇති සොබා දහමේ රහස
සඳ කැල්ම දෙගුණ වේ හිම වතේ මදහසින්
සුයාමයෙ සුව දැනේ මිහි මවුන් අනුහසින්
ඇවිද යමි කිරි දියේ නැහැවෙනා අදහසින්
තුරු වඳුලු අත වනයි කිති කැවී සිසිලසින්
දිවා රෑ මාරු වූ විහඟ ගී ගායනා
සවන් පත් මත රැඳෙයි බිඳලමින් භාවනා
ගල් ගැහුණු තණ පඳුරු කරයි බොරු චෝදනා
විඳිණු හැර සඳ සිසිල කිම දුකට කාරණා
පුන් පොහෝදා හිමෙන් වැසී ගිය ලංඩනයේ සිට
මුතු බෙල්ලෙකුට මුහුදක පතුලේ රැඳුන
සතුටින් ජීවිතේ සුව විඳිමින් සිටින
නොසිතුම දිනක පාවී හිමිහිට ඇදුන
වැලි කැටයකට හදවත පෑරී රිදින
ආවේ කොහෙන්දැයි කිසිවක් නොඅසාම
කාගේකෙනෙක් දැයි කිසිවක් නොසොයාම
වාගේ කොනිත්තනු හදවත රිදුනාම
ආලේ කරනු සිතුනේ ඇයි හැමදාම
රකිමින් ටිකින් ටික රඳවා හදේ රුවා
සිටිමින් බිඳ බිඳ නොදැනී කලක් ගෙවා
තැනෙමින් අමිල මුතු ඇටයක හැඩය මවා
වැඩෙමින් තිබුනි හිමිහිට ලෝකයෙන් වහා
සඟවනු ලොවෙන් බැරි තැන මුතු ඇටයෙ හැඩ
උදුරන් යන්න එන වැද්දන් කෙරෙන් සැඩ
වලකනු නොහැකි වූතැන වෙන නොනග හඬ
මුතු ඇට සමග වැළලුනි යට රැඳුනි මඩ
හදවතක් රත්වෙච්ච
මදහාස මැලවිච්ච
වදන්වැල් ගොළුවෙච්ච
දැක්ම විසකටු වෙච්ච
කඳුලු කැට දිලිසිච්ච
නුරා මල් පරවෙච්ච
හදවතම ගල්වෙච්ච
ආයෙමත් රැවටිච්ච
අඳුරු සිතුවම් වෙච්ච
රන්හුයෙන් ගිලිහිච්ච
ආදරේ...........නැතිවෙච්ච
හිනාවෙන් ඇරඹිච්ච
කතාවට ලංවෙච්ච
සීතලේ තෙරපිච්ච
අතරමඟ හමුවෙච්ච
රැය නින්ද නැතිවෙච්ච
ගං දියේ ගෑවිච්ච
මලයි විකසිතවෙච්ච
මුදු පිරියමවෙච්ච
දිවි සුසුමක්වෙච්ච
වරෙක ගිනිසිල වෙච්ච
පෙම් වදන් ගැලපිච්ච
දළු දමා වැඩිවෙච්ච
රන්හුයෙන් පැටලිච්ච
ආදරේ.........හමුවෙච්ච
මල් පිබිදෙද්දි අරුණෙහි ලා දළු මත්තේ
මාදින්නාගොඩදි ජනිතව මහ වත්තේ
කළ කී දේ කතා මගෙ මතකයෙ ඇත්තේ
විමසමි කිමද අද ඔහු දකිනට නැත්තේ
පාසලකට ගියේ නැත අකුරට හුරුව
පිටුපෑ සේය ඔහු දැක සුරගුරු තරුව
පන්සල ගමේ ජීවිතයට ගරු සරුව
දුනි රැකවරණ දුගි දුක ඉවසනු බැරුව
අවමඟුලක් ගමේ කනැහුණු විටදී එදා
ඔහු පෙරහැරෙහි ගිය හැටි මළ බෙරය බදා
මතකෙහි රැඳී ඇත නොමැකෙන විලස සදා
ඔහු වැලපුනා තනිවම දුක් කඳුළු පුදා
සෝවුරු සෝවිරින් විසු නිවහනට රැයේ
ඔහු පැමිණියත් දහවල් දවසෙහිදි නොයේ
හෙළ වෙල් තැනිතලා අතරෙහි ගෙවුණු පියේ
සටහන් ගමේ හැම තණ පලසකම තියේ
දන්සිල් බාවනාවට හදවතෙහි බැතී
පිවිතුරු හැඟුම් අවහිරයක ලකුණු නැතී
ඔහු හදවත නමැති පියුමෙහි පිපුණු පෙතී
සැඩ හිරු රැසින් ගිම්හානය වැළඳ ගතී
අවමඟුලෙහිදි පෙරමුණ ගෙන ගමන් කළ
ඔහුහට සොහොන් බිම වනතුරු ගිමන් හල
ගම්මානයේ තැන තැන පිපි කුසුම් පෙළ
නංවනු ඇසේ පරවනතුරු සුසුම් වැළ
ඈත අභ්‍යවකාශයේ
හුදකලා තරුවක් ව මා සරද්දී
කොහේ දෝ චක්‍රවාටයකින් ගැලවී විත්
කක්ෂ ගත වුනා ඔබ මා වටා
ඉතිං වියවුලක්මැයි
මගේ හුදකලාවම දැන්
අසුරු සැනෙකටත්
වඩා හදිසියෙන් ඔබ මා තුල
මා ඔබතුල
කංසා දුමක් උගුර හරහා ඇදී
පෙනහළු පුරවා සරන විට
මනසේ රස හැඟුම් පුබුදා
දෑස් අඩවන් වූ ඔබ සිටියා
මා සිරුර වෙලාගන.
ඒ නිමේෂය තුල කැටිවුණු
ජීවිතයම මිහිරි වියවුලක්..
එතැන් සිට
මගේ හැම වියවුලක් මැදම
ඔබ සිටියා...
වියවුලම ආත්මය කරගන
මා අසලම දැවටී දැවටී..
සිහින් කෙහෙරැලි
එකින් එක ගෙන
ජීවිතය යලි ගොතන්නම්
ඔබේ පිළිවෙල මගේ වියවුල
එකට ඇඹරුණ රටාවක් යස
පැටුන්ගෙ තටු වැඩී - ඉගිලිලා ගිය දාට
උරුමයකි වියපත් ව - ගිය දෙමාපියනට
ජීවිතය පුරාවට ලැබූ සම්පත් අපේ
ජීවිතය පුරාවට අප ලැබූ නිධානය!
ජීවිතය පුරාවට ලද වස්තු සමබරය
අද ඉතිරි ව ඇත්තෙ - සොදුරු මතකය පමණි!!
අයාලේ වැනි වැනී - දෙපා අත් සවි නැති ව
දෑත් එක්කොට හිදිමි - මනඃකල්පිත සිහින
සැබෑ වෙන දිනය අද - හෙට එතැයි සිතමින
හැබැහින් ම දකින්නට - ඒ සොදුරු මතක වැල!!!
එඩ්වින් ආරියදාස විශ්ව මිනිසාණෙනි !
සියයට එකක් අඩුවෙන් නිමුණ ද පාන
සියයට සියක් දැනුමෙන් සපිරුණි පාන
ලක්බිම විදුදනන් අතරේ අසමාන
ඔබය මැතිඳ විදු දැනුමේ රජිදාන
දිවියෙහි පරතෙරට ගිය ලක් දරු අතර
සිටියෙ ද පොත් ගුලක් නැණ පිරි ඔබ විතර
මන්දාකිණිය සිට දියතෙහි දස පතර
විහිදුනි ඔබ විසල් දැනුමෙහි විදු සතර
ඔබ නියමුවෙන් දස දහසක් නෙත් ඇරුණී
දස දහසක් දෙනා නිසි දැනුමෙන් පිරුණී
දශක අටක් නොවසා දොර ඇර තිබුණී
ඇවිදින පුස්තකාලය සදහට වැසුණී
උස් මිටි බේද නොතැකූ සත් යහ ගුණය
අප වැනි බාලයින් වෙතටත් දික් වුනෙය
ඔබ දහමකිය මිහිරිම විය දෙසු බණය
මේ හැමටම වඩා අගනෙය ඔබෙ විනය
විශ්වය පිළිබඳව නෙක තතු අසනු නියා
මාතලි එවනු නියතයි පුරඳරා කියා
එබසට නොරැවටී ඔබ දෙව් ලොවට නොයා
කල පින් ඇතිය සැනසෙන්නට නිවන සොයා
ගොදුර බදනුව බැඳපු දැල, ඉන්
මිදෙන ගොදුරෙන් බිඳෙන’යුරු දැක
හැඟිනි, ගොදුරට වඩා මා බැඳි
දැලෙහි විසිතුර මට අගේ බව.
බැඳුම් විඳි ඇගෙ සරොස් කඳුලට
මගේ ළතැවුල මුසු ව වැගිරුනි
යලිදු නොබඳිමි බිඳෙන දැල්, මේ
හැලුණු කඳුලැල් හොඳටෝම ඇති!
රුහිරු තැවරි ශ්වේත දන්ත
දණ ගහගන පින්හලේ
පරිස්සමින් පාරිලෙයි්‍ය
බුදු හිමි නෑ පන්සලේ
කරඬුව හිස මත වැජඹෙන
සදැතුනි ඇත් පරපුරේ
නුඹෙ දළට ද ලංසු තියන
සුදු රෙදි යති පෙරහැරේ
මළ මිනියට තනි රැකගන
සුදු ඇඳ හිටි පියවරේ
ධවල දන්ත නිදි වරමින
මිනිස්සු බූරුව පොළේ
දළ කැපු පසු බිම පතිතව
හිමි මියගිය ගං තෙරේ
තවමත් සුදු නෙළුමක් ඇත
ඇතිනියකගෙ හොඬ වැලේ
ලියනට ආස කවි කඩදහි පෑන ගෙන
පාසල් කාලෙ සිට මගෙ හිත පුරුදු වුන
නරකම පුරුද්දක් තිබුනා ඉබේ එන
කෙල්ලෙක් දැක්ක විට කවියක් ලියල දෙන
පළවෙනි කොලේ දුන්නේ පුංචිම කාලේ
පහ වත් සමත් නෑ මගෙ හිත බැඳි ආලේ
නම නොකියමි ඈ මවකුයි දැන් කාලේ
කොහොමද ලපටි පෙම පෙන දෑ ඒ කාලේ
ගමේ පාසෙලෙන් නගරෙට මාරු වුනා
ශිෂ්‍යත්වය වෙනුවෙන් පේ වෙන්න වුනා
ගීත ගැයූ හීන් පෙමක් පාත් වුනා
ඇය මඟ දා මම විභාගෙ පාස් වුනා
හයේ වසරෙ මැදි විදුහල වෙත යනවා
කෙල්ලො කොල්ලො පන්තියකට සෙට් වෙනවා
හිතේ තිබුන හං කිචි ගති නැති වෙනවා
යහළු යෙහෙළි බන්දන සවිමත් වෙනවා
ප්‍රේම ලෝක නොතිබුනෙ නෑ පපුව කොනේ
ඒත් වරට එකකුයි මට පාත් වුනේ
වැඩියම නෑ තුනයි එකල සීල් වුනේ
ඒ තුන නෙමෙයි මගෙ උර මත පාත් වුනේ
ලියනට ගියොත් පෙම් හබ මගෙ නමට වැදී
කවියක් දෙකක් නොව පිටු ගණනකුත් මදී
දැන් මං හොඳයි වගෙ ලීවට සිලට බැඳී
තාමත් කවි කොලේ වට්ස් ඇප් එකේ නිදී...
19/01/21
ගම්බද සුන්දර පෙදෙසක නිවසක් ඉදිරියෙන් ගමන් ගත් තරුණයෙකුට එම නිවස ඉදිරිපිට සිටි සුන්දර තරුණියක් දැක මෙසේ කියැවුනාලු.
ලඳුනි තොප රටේ දන් පින් නොකරත් ද
අතරින් පතර යතුරින් දොර නාරිද්ද
මානෙල් මල් විලේ මැඩියෝ නොකෙළිත් ද
විරහ දුකින් මා මලහොත් පව් නැද්ද
තරුණයා දැකීමෙන් ද කවිය ඇසීමෙන් ද සසල වූ තරුණිය ඔහුට මෙසේ උපදෙසක් දුන්නාය..
යන්නෝ මෙ මඟ රෑ දාවල් තොර වෙද්ද
බොන්නෝ ගඟෙහි දිය බොර කරලා බොද්ද
දෙන්නෝ පහස ගෙට අඬ ගහලා දෙද්ද
දන්නෝ උපා මිණි බැඳි දොර නාරිද්ද
තරුණයා උපදෙස ගන්නත් ඇති.
නැන්දෙ කොහෙද ටිකිරි ලියා
කලෙත් දාල පැනල ගියා
ඉන්නවාද ඇතුලෙ එයා
මං ලිඳ ළඟ කබර ගොයා
දරාගෙන දුක
හදාගෙන හිත
නොයා පසුපස
කදුලු සැඟවුව
මහා මෙර බර
හිතේ හිරවුන
නොදී කඳුලට
හදේ වැලලුව
පතා බුදු බව
සදා හැරගිය
හදේ හිමිකම
පුදා සැනසුන
ඇගේ පිවිතුරු
පෙමේ අරුමය
කෙසේ කියමිද
ලියා කවි පද?
02/01/21
අව්වට එළිය දුන්නට ඉර තරහ නැහෑ
පානට දැල්ල දුන්නට තිර තරහ නැහෑ
අමාවකට හඳපානට එළිය නැහෑ
හිටියත් නැතත් නැඟනිය මට අයිති නැහෑ
කලුවර ගියේ නැහැ ඉරපායාගෙන ආවා
ගින්දර නිවුනෙ නැහැ සීතල පිනිබෑවා
උඹ මට අයිති නැහැ උඹ මට පිටුපෑවා
හිරුසඳු මොකද බටහිර මැද තනිවූවා
කලුවර තියෙන ලෝකෙක තනිවුනු හන්දා
දෙතැනට වෙලා අපි හිරුසඳු නැති හන්දා
හිරු එන්නට එපා සඳ තනිවුනු හන්දා
සඳ එන්නට එපා හිරු තනිවුනු හන්දා
තනිවුනු හිතට එන සිතුවිලි ඔයවාගේ
සිතුවිලි නැති හිතට තනිකම කොයිවාගේ
තනිකම බිඳුනු දවසක අපි කමු දීගේ
හිතකට හිතක් නැතිකම කරුමෙද කාගේ.
දෙනෝදහක් දන සුවපත් කල ගුණය
සවියක් විය දැණුම සම සේ අත් ගුණය
පදමට මුසු කලා ඔබ සිත මෙත් ගුණය
දුන් ඔසු විය සැමට දිව ඔසුවක ගුණය
වා පිත් සෙම් කෝප රුහිරුද විස වන්නේ
සිතුවිලි නිසාමය ඔබ නිති පව සන්නේ
එනිසයි රස කතා කියමින් පින වන්නේ
පද පෙරළියට රුසියෙකු වෙන නැහැ දන්නේ
මහ වෙද පරපුරක අභිමානයක් දරා
දිලෙමින් බැබළුනේ ඔබ නම් ගොත නොමරා
ජීවක වෙද කුලේ කිතු ගොස ලොව පතුරා
වෙදකම ගෙන ගියා ඔබ මැති සබය කරා
සුරතින් ඔබේ රං කිරි කට ගා ගන්ට
සුභ නැකතකින් අකුරක් කියවා ගන්ට
ලද ආරාධනා ඔබෙ ආසිරි ගන්ට
කවුරුද පැකිළුණේ ඔබ තෝරා ගන්ට
කෙළෙහිගුණේ ඇති මුළු වටිනා කමට
කරුණා ගුණය මුහුවෙයි උතුරා යන්ට
මෙ හැම උතුම් ගුණ සපිරුණු ඔබෙ තෙදට
ඔතරම් උවම් රූපක වරුණා කුමට
මහ සඟ දෙසට ඔබ මුදුනත් බැඳ ගන්නේ
හැකි හැම විටම ගුරු සැළකිළි දක් වන්නේ
මව් පිය ආදි සෙසු නෑයින් පුද දෙන්නේ
කවුරුන් කියා දීලද අප නැහැ දන්නේ
ඔබ පිය දසුන කොයි කාගෙත් සිත් රැන්දේ
ඇඳි වත කිරි සුදුය කිසිදා නැත බින්දේ
ගෙල වට කොළරයේ රන් බොත්තම බැන්දේ
ඔටුන්නක් වුනා ඔබ හට බැඳි කොණ්ඩේ
කළු පර්ජෝ රථය ඔබෙ ප්‍රිය වාහනය
අංකය ඉ එල් විසිතුන හැත්තෑ නවය
රියැදුරු අසුන ඔබෙ ප්‍රියතම ආසනය
සුක්කානම දනී එය කැරකුණු විනය
ඔබගේ රථයෙ මනහර වූ නළා හඩ
හඳුනන්නෝ යෙදී සිටියද කුමන වැඩ
නොතකා හරී බුදිමින් සිටින බත් පිඩ
බලනට වටී කරනා ආචාරෙ හැඩ
කෙසෙල් ගෙඩි දොදොල් මස්කට් වැනි සෑම
ඇපල් දොඩම් චොකලට් මෙන් රස කෑම
පිටිපස ආසනයෙ පුරවා ගෙන ඒම
ඔබෙ චරියාවෙ ලකුණක් වුනි හැම දාම
ඔබෙ ගුණයන් මෙපමණකැයි ඉමක් නැත
අම්මා නිතර අප වෙත මෙය කියා ඇත
එම කාරණා ඇසුරින් හැඩ ගැසුණු සිත
අපි නව දෙනා සම සේ සිහි කරමු දත
දන් පින් කලේ අම්මා සමගින් ය ඔබ
ඒ නම් සසරෙ පැතුමක්මයි නැතිව ලොබ
අපි සැනසෙමුය ඔබ දෙපළම නොමැති මොබ
වසනුය එක්ව තව්තිස් දෙව් දහම් සබ
16.12.2020
ගිනි ගෙන දැවෙන රෝමයේ සිට
වෙවුලන හඬින් මට කතා කර
ආ යූ සේෆ් මයි ඩියර්....?
අසන
සාජහන් .......
සුළගේ පාව යන විලවුන් සුවඳද
සරන්නන්ගේ සිනහවද ඉතිරුණු
සංගීතයෙන් කැළතුණු
අරුමැසි රෝමයේ, සුන්දර පියස්සාවක
මට හමු වුණ,
ලස්සන ඉතාලි ගැහැණුන්ට
සී සී සී සිංඥෝරා
බේල්ලො, බෙල්ලිසිමා කියා කියා
පබළු මාල විකිණූ
තුරුණු බෙංගාලි වෙළෙන්දා
සාජහන් .....
අනෝරා සෙනග වැස්සක වුව
ඉඩ නොදී යන්න මගහැර
සොය සොයා දෑසින් හඹා විත්
'බැරි වෙයිද අපිට අදවත්
මල් පියස්සක් යට
පුංචි අවන්හලකට
කෝපි බොන්නට යන්න'
ආයෙත් ඇහුව
සාජහන් ......
එව්රි වෙයා ඉට් ඉස් ඩේන්ජරස්.....
යූ බී වෙරි කෙයාෆුල්.....
මයි ඩියර්
යූ බී වෙරි කෙයාෆුල්.....
නික්ම එන දා රෝමයෙන්
කුඩා ලිලී මල් පොකුරක් දික්කර
පරිස්සමින් හරි බයෙන් බයෙන්
උණුසුමට අල්ලා
මගේ දෑත්
බිම බලාගෙන
ති ආමෝ.... යැයි කියූ ..
සාජහන්.....
බකස් ගා
මහ හඬින් නැඟූ
අසංවේදී සිනාවක
දමා ගසා හැම දේම
දිව ඇවිත්
යළි හැරෙද්දී
දැක්කා මම
තෙත් දෑස් දිදුලන
කිරි ගරුඬ පිළිමය
සාජහන්.....
Everywhere it is very dangerous
In your country, are you safe my dear........?
නොපැහැදිලි
හැඬුම් සර වෙවුලුම සමග
බිඳී නෑසී ඈතට ගිහින්
විසන්ධි වෙන කටහඬ
සාජහන්.......
Yes... I am ...
යූ ටූ බී වෙරි කෙයාෆුල්....
මයි ඩියර්..........සාජහන්.......!
Bello; beautiful
Bellissma; Beautiful
Ti amo: I love you
සීගිරි ගී අසා
ගුත්තිල අරුත් විමසා
ගම්පෙරලිය යසා
පුදම් මා ලද සොඳුරු සුබසා
මනහර දිය ඇලී
වනපෙත් රුවින් ඇලලී
සා මුව රැළ කෙලී
උපන් පින් බිම සිසි සෙ බැබලී
මැද මගෙහි ගැවසී
අට ලෝ දහම් පැවසී
මෙත් මගට පිවිසී
සමය මා ලද දමින් සැනසී
මේ බිම් කුස දිනූ
බැව් හිස නගා ගයනූ
අතින් ඉරි තැළුණු
වැටුනු සිහ ධජ රැගෙන ඇදෙනූ
දෑස් අඩවන්ව අසරණ ව
බියෙන් සගවනා කෙඳිරිලි හඬය
ගිලන් ව..
පුත නුඹේ සුසුම් වැද
පිපිරිලා විසිරිලා බොත්තම් කැඩී
ගැලවිලා හැඳි කබායද ඉරී..
හදවතේ..
එලි බැසී කූඩු කළ සෙනේහය..
නීති රෙගුලාසි කිරුළ ද බිඳී
වේදිකාවෙන් වැටුණු...
භූමිකාවේ වදන් ගොත ගැසුණු..
මා රුව,
අරුම සත්ත්වයකු වී පෙනුණාද..
උණ විකාරෙන් පෙනුණු
රුවක් යැයි සිතුනාද..?
ඔය දෑස් විදුලි සැර වැදී
අන්ධකාරය පුත ම' නෙත .
සිඹ නළල පිරිමැද සිත හිස ද
පියවි ලොව පය තබමි
නුඹ දකිමි......
මම,
මම ම වෙමි..
පසුව දෙන්නට කල් තබාගත්
"සෙනේහය"
කර විවර
වීසි කර පීතෘ අභිමත...
හඳුන්වා දෙමි ඉතින්
"ම හද..."
නුඹ නිසා ගිලන් වුන..
එහි හඬ හා
උණුසුම ද..
පාතකඩ කුලතිලක කවියා රත්නපුර නගර සභාවේ සේවය කරන අවදියේ දුරකථන සුලබව තිබුණේ නැත. ඔහු දුරකථන පණිවිඩයක් ගැනීමට අවශ්‍ය වුවහොත් ගියේ ලඟම තිබෙන උප තැපැල් කාර්යාලයටයි. එහි සේවය කළේ වයසක නෝනා කෙනෙක් සහ තරුණ කාන්තාවකි. එහි යන බොහෝ විට ඔහුට ඇසෙන්නේ දුරකථනය ක්‍රියාවිරහිත වී ඇති බවයි. එසේ වූ දිනක දී ඔහු කොලයක් ඉල්ලා මෙම කවිය ලියා උප තැපැල් ස්ථානාධිපතිවරියට දී ගියාලු.
හමගිය ඩිරැක්ටරියක් ගෙන පෙරලනවා
හිලකට ඇඟිල්ලක් දාගෙන කරකනවා
රෝහල ඉල්ලුවොත් සීවලියට යනවා
මිස්ටයි මිසිස්ටයි ඒකට පඩි දෙනවා
ඇඟිල්ලක් දමා දුරකථන කරකැවූ හැටි අළුත් පරම්පරාව දනී ද?
නොදැන පෙම් කළද ඔහු සල්ලාල නිරින්දා
ප්‍රේමයෙන් ගෝත්‍රයක් රැවටූ නුඹයි ලාටරැටියා
නුඹේ සොඳුරු බස්තෙපුල් හදෙහි රැව්නැගෙන්නා
රැහෙන් පිටමං කෙරූ මං නුඹේ කුවණ්ණා
වරිගෙ හැරදා පෙම වැළඳගත් මං නොවේ ද්‍රෝහියා
සිහසුනේ හිඳුවා හදවතම පිදු මං නුඹේ බිරින්දා
චාටු බස් ළග දැවටී දැවටී නුඹටම පෙම පුදන්නා
රජහිසට දරුකිරුළ පැළැන්ඳූ මමයි ඒ කුවණ්ණා
පෙම නොකර මට සිහසුනට ලොබකළ රජින්දා
අභිෂේක අභියස ඔහුට රිසි නැති යකින්නා
ඒ වහසි බස්ලඟදි මැරි මැරී මං උපන්නා
නුඹට සාපදෙනු බැරි දෙවියනේ මං කුවණ්ණා
My Love , you are just like this bubbly wine,
Not being drugged as soon as it's sipped ,
Yet a bit by bit and little by little becomes blurred the entire world ,
Through out the dark night it makes my sweetened emotions drugged ,
It spins around my heart like a hum or a murmur
stealing away my sleep no sooner,
This ambrosical flavour ,
I drown in it forever ,
No for me any other wine ever
Translation by Sunethra Aluthdunna
සොඳුර ඔබ
මේ මී විත වගේමැයි
බී සැණින්
මත නොදෙයි
මඳින් මඳ
බිඳෙන් බිඳ
බොඳව යයි
මුළු ලොවම
රැය පුරා රස දෙවා
මත් කෙරෙයි
සිතිවිලි ද
මිමිණුමක්
ගුම් නදක්
සේ බමයි
සිත වටා
නිදි නොදී
මෙය අමා රසයකි
මේ විත ම මට ඇති
මෙහි ගිළී සැනහෙමි
වෙන විතක් පල නැති.
උයන් තෙර තනිවෙලා
සිනා හඬ නැවතිලා
අපි එකට ඇවිද ගිය
මාවතම ගොළුවෙලා
තුරු හිසින් නික්මිලා
අතු පතර දැවටිලා
සෙමින් මා ළඟ වැටුන
මලෙක ඔබ සැඟවිලා
සුවඳ ගෙන තවරලා
හදවතම පුරවලා
හිස් නොකර මතු දිනක
හිඳිමි දිවි ඇති තුරා
පෙරුම් පුරා ආවෙමි සිරි ලකට මගේ
නිරෝධානෙ කරමින් හෝටලෙක අගේ
තරු පහ ගහපු ආඩම්බර පෙනුම ඇගේ
රන් කූඩුවක ගිරවෙක් හිර කලා වගේ
තරඟෙට වගේ එකිනෙක බිඳෙනා රැල්ල
පෙණ කැටි සිඹිනවා රහසින් සුදු වැල්ල
සඳලු තලේ සිට දුටුවෙමි දැඟලිල්ල
තහනම් පහස ඇගෙ මට නැත සැනසිල්ල
සිව් දශකයක් විසුවත් පෙරදිග පෙදෙසේ
ලැබුවත් සුව පහස ගත කරමින් රිසිසේ
හිරකර මෙමා තැබුවත් කුටියක සුවසේ
ලක්මවු සෙනෙහෙ දැනුනේ සුලඟින් පෙරසේ.
[26/01/21, 07:43]
අයෙක් :
වැහිළිහිණියනි සක්මන් කල අහස පුරා
රැව් දුන්නේද මා දොම්නස ගුවන සරා
දරනු බැරුව අහසට පැවරුවේ එදා
ඔහුගේ මතකයයි දුටුවොත් කියනු හොදා
වැහිළිහිණියෙක් :
සක්මන් කරන කළ සිත් සේ අහස පුරා
ගැටුණා ගතේ බොහෝ සුසුම් පවන සරා
වෙන් කල නොහැක හිමිකරු වෙකු එයට සදා
බොහෝ සුසුම් හිනැහෙයි අර මේඝ බදා
අයෙක් :
මේඝ වලා මට හෙන හත ඉල්ලයිද
අහස් ගැබෙත් තුන් ශාපය ඉල්ලයිද
නුබ නැති කල වැසි නැත මා මියයයිද
මා සුසුමන් බර වී නුබ දෙදරයිද
වැහිළිහිණියෙක් :
සතුටින් දරා නුඹේ දොම්නස් මේඝ වලා
අහස් ගැබට බරවී හිනැහේය සදා
වැසි නැති කල නුඹේ දොම්නස් සින්න වෙලා
අහස හඩයි මහ මුහුදට ලන්සු තියා
'මා දැන්
දිරාපත්
ගැලක් මෙනි'
මහළු බුදුන්
තමා ගැන ම කීවා
ඒත්
කවියාට
සොයාගත නොහැක
තමා ගැන උපමාවක්
අවසරයි බුදුනි
ණයට ගන්නට
ඔබේ උපමාව
කාච දැමූ
නෙත්
කෘත්‍රිම
දත්
බ්ලැක් හෙනා
කළු කළ
කෙස්
රැවටෙන්නෙ
ලොව නොවෙයි
තෙමේමයි
මීදුම තුළ
තරු එළියේ
ඇදී යයි
දිරූ ගැල
හමුවන තුරු
තුරු සෙවනක්
සතපවන්නට
සියවසක් පැරණි
පංචස්කන්ධය
අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ
අනත වෙහෙස ලදුවත් නොම වෙති දුහද
දිගත පතල සුවඳති සොඳ සඳුන් කඳ
සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ
අප්‍රමාණ ගුණයෙන් හා නුවණින් යුතු උත්තමයෝ කෙළවරක් නැති ගැහැට ලැබූවත් දුෂ්ට සිතක් ඇති කර නොගනිති.
එය කෙසේද යත් සෑම දිසාවෙහිම පැතිරුණු සුවඳින් යුත් සඳුන් කඳ කපන කළත් තලන කළත් එකම ලෙස සුවඳ විහිදී යන්න සේය.
අසුභය කියා හිතුනට ගිය වසර ගෙවී
මුසුවිය කලු වලා වල සුදු ඉරි ද මැවී
ගොඩගිය එකම ඇති මර උණ ගැනී දැවී
කොවිඩය හැදී පොලොවට සමතලා නොවී
පස්දෙන එකට ගිය දවසක ගමන අග
පස්සෙන් ඇනපි කාරෙක කුඩු උනා මග
ගැස්සෙන සැලෙන බව විතරයි දැණුනෙ ඇඟ
විස්සත් නරක නෑ චුට්ටක් වගෙයි දඟ
පරතෙර ඈත වතුරෙත් කෙළවරේ එහා
යටකර දැමුණු සෙනෙහස් බීජයකි ලිහා
විස්තර මොටද ඇහුනොත් කරදරයි මහා
එච්චර නරක නෑ විස්සත් ගිය ද වහා
මවක් වගේ දිනක් එන්න
බබෙක් වෙලා තුරුල් වෙන්න
හිත් පතුලට නුඹ වඩින්න
හැම මොහොතක්
මගේ වෙන්න .....
අහස නුඹයි - හුස්ම වෙන්න
පොළව නුඹයි - සිත හදන්න
සිහිනේ වෙන්න - මට නිදන්න
අපි අපේ ද ? - මට කියන්න
ආත්මයම දිය කරන්න -
වියතක් මගෙ ලගින් ඉන්න
කතා කරන නුඹෙ ඇස් දෙක
මගෙ ද කියල මට කියන්න ?
තටු නැති මට - පියාබන්න
ඉගැන්නුවේ නුඹයි මැණික
නරකාදියෙන් මා ගලවා
සුරලෝ සැප දුන් පතිනිය
පහන ඉදියි මට නිවන්න
දෑස් පියා හිස සිඹින්න
කුරුලු පැටවු නිදිකරලා .........
මැණිකෙගෙ ළඟ ඉඩ තියන්න
නීලකොබෝ රටා ගෙතුව
ඉඟ නෙරියේ රැලි හදන්න
තව හිතකට ආසා හිතිලා
මැණිකගෙ රස හොරා ගන්න
මට අමතක නෑ - මතකය
අහිමි පෙමට - හිමි චිතකය
කාලිදාස ගේ සිරිතය
නුඹ වෙනුවෙන් දෙමි ජීවය
ගිලන් සිතට - ඔසු මැවෙන්න
නුඹෙ රූ සපු - තිරිහි වෙන්න
තහනම් පල නොපලගන්න
යමු මැණිකේ ගස සිදින්න
මගෙන් ගත්තු - මගේ තනිකම
ආයෙත් මට - දීලා යන්න
ඔබේ හදවත - ඉඩ මදි වෙයි
මගේ තනිකම - තියාගන්න
සක්වා ලිහිණි වියෝ දුකට
ගං දෑලේ විලාපයට
හිත් හොරකම් කල වරදට
ශාප කරයි තුන් ලෝකෙට
ඔයා මැණිකේ එයත් එක්ක .......
පරිස්සමින් දිනක් ඉන්න.......
එදාට ඔබගේ හදවත ......
ගලවා මට දීලා යන්න......
ගැඹුරැති ගල් දෙකඳු පලා
උමතු සරින් කඩා වැටෙන
දිය ඇල්ලක ඈ සිටියා
පෙන පිඩුවක හිනැහීගෙන
අඟුරු කකා වතුර බිබී
යකඩ යකා කොළඹ දුවන
රේල් පාරෙ දැලි ගාගෙන
ඈ හිටියා ගල් අඟුරක
මස් මඩුවේ අදුරු කොනක
පිලී ගදැති කානු තුඩක
ලේ ගාගෙන තොල් ව්කාන
ඈ හිටියා
වේදනාව මහමෙරසේ විඳදරාන
නාගස් පෙල සුසුම් හෙලන
සොහොන් පොලේ කුරුස වැටක
ඈ හිටියා මල් වඩමක
පරවීගිය මලක් ලෙසට
දහසක් නෙත් දැක ඇති මුත්
ඔබේ නෙතට සිත ඇදුනා.......
වරම් නැතත් ඔබෙ වෙන්නට
ආසාවෙන් සිත බැදුනා.......
සංසාරේ පුරුදු බවක්
ඉවෙන් වගේ මට දැණුනා.......
මගෙ නොවුනත් ඔබ මගෙමයි
මටත් හොරෙන් සිත කීවා........
අහසෙ මාලිගා නැත මට
ඔබේ නමින් සදවන්නට
සිහින ලොවේ තනි වෙන්නම්
ඔබෙ රුව සිත තබාගෙන......
ඔබෙ කූඩුවෙ කුරැලු පැටව්
පියඹා යනතෙක් දිනකදි ......
මං ඉන්නම් මහත්තයෝ
ඔබෙ සෙවනැලි නොපෙනෙ තැන .....
ගමේ පන්සල
දහම් පාසැල
නිම් පුලුල් කල
සිත පහන් කල
හඳුනගන්නට
බැරි තරම් අද
වෙනස් වී ඇත
අලුත් වී ඇත
ඊ ගහක් බිම ඇන්න වාගේ
උසම උස මොබිටෙල් කනුව ලඟ
චෛත්‍යය පෙනුනා කුඩාවට
බුදු මැදුර ඊටත් කුඩාවට
ලැබෙන්නෙත් සොච්චමලු කනුවෙන්
ඒක දෙන්නෙත් දෙතුන් පාරට
හාමුදුරුවන් රවටගෙන මුං
දෝසෙ අපෙ දායක සබාවට
දේවතා එලි පේනවලු දැන් චූඩමානික්කෙට උඩින්
කුරුල්ලොත් පියඹන්නෙ නැහැ දැන් තියන කලබලයට බයෙන්
බුදුමැදුර වැඳ ගන්ට තවමත් පෝලිමේ එති බැතිමතුන්
හාස්කම් තවමත් තියෙනවලු දෙවි බඹුන්ගේ අනුහසින්
මහා බෝදිය වටේ තිබු රන් වැට හොරු අරගෙන ගිහිල්ලා
අපල දුරුවෙන පැතුම් ඉටුවෙන පාට කොඩි ගහ වටේ එල්ලා
වතුර කළගෙඩි මුට්ටි අරගෙන පෝලිමේ බෝ මුලට හලලා
බෝ රජුන් නැත බලන පාටක් අප දිහා නම් ඇහැක් ඇරලා
බණ මඩුවෙ ටියුෂන් පන්තියේ අකුරු කරවනවා ලමයි
ආවාස ගේ කොනක කාමර බෝඩිමේ පහලොස් දෙනයි
කතරගම සූනියම් පත්තිනි දේව බල ඇති පින් බිමයි
පන්සලේ අපෙ හැමදේම ඇත නැත්තෙ බුදුබන විතරමයි
නිවසෙම සිටියත් කිවිඳිය
කවිකම් විස්කම් දක්වන
හතර පදය ගලපන්නට
නොහැකිව ලතවෙන දත කන
ම හට නැතේ ගුරුහරුකම්
කවි ලියන්න නිසි ඔවදන්
අදත් වැඩට යන්නෙ නැද්ද
නිදියන්නද කල්පනාව
සැරෙන් වැරෙන් අසනු විනා
එළිසම යනු පාන්දර ද?
යවහන් දොස් රෝගයක්ද ?
මාත්රාව පැණි බොන්නද ?
විරිත සිරිතෙ අනිත් එකද?
නළුකම මිස මේ කිසිවක
හය හතරක් නොදන්න මට
කවි ලියන්න අණ දෙන්නේ
හෝදන්නද මගෙ සායම?
කවිකම් විස්කම් පාමින්
ඔබ හැම යයි එගොඩ මෙගොඩ
පද හතරක් ගලපනු බැරි
මම තාමත් මඩ ගොඩ උඩ!
24 ජනවාරි 21
කවියෙකු නොවුණි මෙමා
එනමුදු පිය ළඳුනේ
කවිකම ආය ගලා
මා ඔබ දුටු මතිනේ…….
සතුරෙකු නොවුණි මෙමා
එනමුදු සොඳුරියනේ
මිතුරු සුවඳ පිරුණේ
ඔබෙනි මහද විමනේ…...
ඔබ හිනැහෙන ගානේ
මල් විකසිත වන්නේ
අහස කඩා ඉහිරී
දෙගොඩ තලා යන්නේ…..
සිහින කැඩී බිඳෙනා
අපට කියා දුන්නේ
හදවත ලද සැම දේ
දෑස නසා ගන්නේ…...
තුන් තිස් පැයේ මට වද දෙයි මගෙ මිතුරා
කවියක් ලියනු වෙත ලන්ඩන් කවි සඟරා
මම වෙහෙසෙමිය එය ලියුමට නිදිත් වරා
මුළු ලොව හිර ගෙයකි අද මේ කොවිඩ් මරා
අලුත් දෙයක් නොව ලොව මේ වයිරසය
හැම මොහොතකම එය ජය ගන්නට හැකිය
දහසක් නීති ඇත අකුරට පිළිපැදිය
මුළු ලොව එකතු වී සමගිව කල යුතුය
තරාතිරම නොබලා අප සැම දෙනට
සොබා දහම පෙන්වා දුනි ඇති ගැහැට
තුති පුද කරමු ලොව වෙදැදුරු පුතුන් හට
මුළු ලෝකයම සුවපත් වේ එන්නතට
අහළ පහළ රන්ඩු සරුවල් අසාගෙන
ගුටි බැට කෙලිය කංකෙඳිරිය ඉවසලම
ජජජර නදිය සැඩවිය උණු දහවලක
කලතා කෙඳිරි ගංදිය සයුරට ගිය
සද්ද බද්ද නඩු හබ දැන් නැතිය වටේ
මිනිස් පුළුටු වලි නෑ දැන් කොටහ වෙතේ
දැදුරු නදිය ගලනව දැන් සුහද සිතේ
හෙටනිද්දාම අරහත් බව ලැබෙයි සිතේ
('අහස් ඉම සිපගතිමි' කාව්‍ය සංග්‍රහයෙන් )
දැනගත් නමුදු ලෝකය සහ හය හතර
රැකගත් දෙයක් තිබුණ දසැබැවින් මිතුර
කොහොමත් පින් කරල නැහැ අප උන් විතර
අපටත් හෙටක් එන තුරු නිදමුද වැතිර
පව පින අනුව ලෙඩ රෝගත් එයි වැලට
තවමත් සිහින මාලිග යනවා ගමට
දුව මිය ගියා රෝහල හොඳ වැඩි කමට
සුව සේවයේ කිතු ගොස වදයකි කනට
නෑකම් හොයා ගෙන අලි දොරකඩට එති
ඒ දුක් දකින්නට මහතෙක් ළගක නැති
කාටත් සමයි කියනා නීතියක් ඇති
රෑටත් නිදි නැතිව ගස් උඩ සැප විඳිති
වෙලාවක් නැතුව හුස්මක් ගන්ට හරී
කළා හැම දේම තව දුර යන්ට බැරි
කලාවැව උනත් දෙමු ගෙනි යන්ට හරි
වරායක් මොටද විකුණං කන්ට බැරි
මානව හිමිකමේ ඇලපිල්ලක් බිමට
වැටිලා හොයනවලු කට්ටිය එක දිගට
ඒරොප්පයේ අර තේජස් කට හඬට
දීපන් කොටි දතක් හිනැහෙන්නට කටට
ජාතියේ මුර දේවතාවෝ නිදති කොන්වල
මාරයෝ වල දමනවලු උරුමයත් සිංහල
කටවහක් නෑ පිං කඳන් විඳින පින්පල
උන්ට ජය මංගලය අපට නේ අවමංගල
කිවිපති අප්පුහාමි
සිතාරය මම යි නුඹෙ ඇඟිලි තුඩු පහස ලද
ගයන්නට මිහිරි ගී මා වැයූ මිහිරි නද
පිනවුයෙමි සිත් සතන් නොපැකිලව ඉඩක් ලද
අනන්තයි පෙම්වතුන් වෙනුවෙන්ම වැයුනු නද
ලෝකයක් නතරවී වගුරද්දි කඳුළු ගඟ
නෙත් අයා සිටි දනන් වැලපෙද්දි නුඹේ ලඟ
රාගයත් මියැදුනා නුඹේ හඬ අතරමඟ
හසිනි යේ ගොළු වෙද්දි අසරණව නුඹේ රඟ
නිමක් නැති සිත් සතන් ප්‍රේමයෙන් උමතු කල
වැයුනු අවසන් ගීය දනන් සිත් සසල කල
තත් කුමට වයන්නද සොඳුරු ඇය නොමැති කල
වාදකය සිඳලන්න එහැම ඇය මියෙන කල
පසුව ලියමි: අහම්බෙන් නෙත ගැටුනු, පිළිකාවකට ගොදුරුවී
මරණ මංචකයේ සිටි හසිනි, කිර්ති පැස්කුවල් සමග
වේදිකාවක ගායනා කල, "කවිකාරියේ" ගීතයේ වීඩියෝවක්;
මගේ කිසිදා තෙත් නොවෙනා නෙතට ගෙනා කඳුලක් අතරින්
සිතට ආ පද පේලි කිහිපයක් මෙසේ සටහන් කරතැබූවෙමි..
නිමක් කොනක් නැති අහස වගේ - අගක් මුලක් නැති කවිය වගේ
ගනින්න බැරි තරු අහස් ගැබේ - හිතාගන්න බෑ ආදරය ඔබේ
මල් නොපිපුණු විල් තෙරක් වගේ - අහසේ පාවෙන වළා වගේ
රැඳෙන්නෙ නැති පිනි පොදක් වගේ - ගලා ගියා ආදරය මගේ
රැල්ලේ පාවෙන තනි ඔරුව වගේ - අහසේ පාවෙන වලා වගේ
වැල්ලේ මතුවෙන පෙන බුබුළු වගේ- පාවි යයි ජීවිතය මගේ
I saw the first buds of daffodils today
On this crispy cold winter’s day
Cold winter soon will pass away
Waving good bye to the winter’s day
I saw the first buds of daffodils today
With the promise of spring on its way
With morning skies on a rusty grey
Waving good bye to the winter’s day
I saw the first buds of daffodils today
Promising snow drops in the next long day
With blue bells to follow I just in a day
Waving good bye to the winter’s day
I saw the first buds of daffodils today
Soon the birds will chirp away
With the glory of spring on its way
Waving good bye to the winter’s day
24th Jan 2021
දහවලට පිළිකුල් කරන
නොදැක්කා සේ ඉවත බලන
අවමන් කරන මිනිසුන්ම...
රාත්‍රියට පස්සෙන් එන
වැඳ වැටී තුරුළු වෙන...
වීදියක ගත පිනවා
හැමදාම හිතෙන් හඬන
ගණිකාව නුඹ...
ඇඟ විකුණා ආහාර සොයන
උන්ටම ජාතක වූ දරුවන්ට....
01-01-2021
හීල් දානෙට බෙදපු කිරිබත් ඊයෙ විදියට ඔහේ තිබුනා
බඩේ ගින්දර හින්ද පොඩි බලු පැටවු ටික දන් ගෙයට එබුනා
වෙචිචි කලබල බලා දුකටම ගොළු හුලඟ බෝ අත්තෙ හැපුනා
මං නිසා හිමි හවස පුද දුන් මලුත් බුදු පාමුලම ඉදුනා
විත්තියක් කර බොල්ම නඩුවක සිල් ඇත්තො හොඳටෝම කිපුනට
සුන්දරීවත් සිහිවුනේ නැතිවාද ඇත්තට අනේ නුඹලට
මුසා ලඟ හිත රිදී හොදටම සාධු පොඩි නම ගමෙන් වැඩියට
කෙස් රොදක් මං සිවුරෙ පැටලී ගියපු බුදුගෙයි ඉදන් කුටියට
මෙම සසරේ ඔබ මා හමුවූ
සෑම මොහොතේදීම මා ජීවත් වූයෙමි
ඔබ මා අසල නොමැති සෑම විටකම
මා මානසිකව පරාජිතයෙකි
ලෝකය හමුවේ ජයග්‍රාහකයෙකි
සියලුම දේ අතහැර මුහුදු වෙරලට
තනිව යන්නට මා හට අස්වැසිල්ලක් නොමැත.
වැඩ කර සියල්ල අමතක කිරීම
ප්‍රගුණ කරමි.......
අවලංගු කාසියක් වුණි මව් බස
පසුපස හඹාගොස් ඇහිඳගෙන
ඉගෙන ගත යුතුය දැන් ඉතින් මේ බස
වචන අමුණා කතා කරන රිද්මය
අතපය හසුරුවා ගොළු බස
කිව හැකි දේ ඇත සීමාවක
ජීවිතේ ඉදිරියටම යනවා නම් මේ රට
ප්‍රගුණකළ යුතුමය ඔවුන්ගේ බස
ආපසු හැරී බලද්දී ගෙවී ගොස් ඇත කාලය
හසුරුවා ඇත්තේ දෙකටම අතපය
ලේ දහඩිය වගුරුවා හොයා ගත්තට යුරෝ කාසිය
සන්නිවේදනය දුබලයි තවමත් වෙන්නේ අ වාසිය
ජීවිතේ ලං වෙලා සරත් සමයට හැලෙනවා කොළ එක දෙක
අනුගත වෙන්න බැරිවුණා, සංස්කෘතිය තවමත් දුරයි අපිට
මට හිතෙන්නේ වැරදුනේ අපිටමයි හිතපු නිසා නොපිටට
මේ තවත් මව්බිමකී හිතුවේ නෑ රික්තකයක් තියාගත්තා හැම විට
වසන්තයට කිට්ටුයි දැන් මල් පිපෙනවා දරුවන්ගේ හිස මත
ඔවුන්ට නුහුරු මගේ මව් රට ආපසු හැරීමක් නෑ මා උපන් රට වෙත
ජීවිතේ හොයන් ඇවිත් ජීවිතයේ අතරමන් වුනත් අපි දෙරටක
දැන් ඉතින් ඉඩ දිය යුතුයි ජීවත් වෙන්න දරුවන්ට මේ ඔවුන්ගේ මවු රට
ලොවැ විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැදී
දෙන නොමඳා සිරි සග මොක් සැප නිසැදී
ලද මුනිඳා දම් කඳ පහස මන බැඳී
වඳු දළදා හිමි තෙමහල් පහය රැඳී
රාත්‍රියේ චන්ද්‍රයා පායා එම සඳ රැසින් මුළු ලෝකයම සුදු පැහැයෙන් බබළ වන්නා සේ, ලෝකවාසීන්ට ස්වර්ග මෝක්‍ෂ සම්පත්තිය නිරන්තරයෙන් අත්කර දෙන්නට සමත්වන්නාවූත්, එමෙන්ම බුදුන්වහන්සේ දේශනා කළ සියලු ධර්මස්කන්ධයේම පහස ලැබුවා වුත් දන්ත ධාතූන් වහන්සේ තුන් මහල් ප්‍රාසාදය වෙත ගොස් මිතුර වැඳ පුදා ගනු මැනව.
ගෙනෙයි නම් ඔහු
ඔබට සෙත
මගේ සුබපැතුම්
මන්ද හැම දෙයටම වඩා
ඔබේ සතුටයි උතුම්
කෙදිනක හෝ ඔහු
බිඳියි නම් ඔබේ හද
ඉනික්බිති ඉණුවොත්
එකදු කඳුලක් නෙත් අග
මම ඉඳිමි ඔබ ළඟ
ඊළඟ කඳුළු බිඳුවට පෙර
Freddy Fender විසින් ගායනා කරන ලද "before the next teardrop falls " ගීතයේ අනුවාදය
ඊයෙ පංතිය ඇරිල යනකොට
ගෙදර අය සාලෙට වෙලා
වෙනද වාගෙම හිනා වෙනවා
චිත්‍රපටියක් බල බලා
මොකුත් තෙරුණ් නැති උනත් ඒ
රූප හරි ලස්සන නිසා
මාත් ඔහෙ පැත්තකිං ඉඳගෙන
ඔහේ හිටියා බල බලා
හොඳම ටික උනෙ ඊට පස්සේ
අම්ම දිවුවා නැගිටලා
ශෝ එකේ හිටි අයිය අක්කව
බදාගෙන ඉඹගෙන ගියා
ටික වෙලාවක් ඔහේ හිටියා
තාත්තා මගෙ ඇස් වහං
අමුතු ජාතියෙ සද්ද ඇහුණා
කලිං ඇහිලා නැති තරං
ඊට පස්සෙ උනේ මොනවද
දැක්කෙ නෑ සද්ද නම් ඇහුනා
තාත්තා ඇස් අත අරිනකොට
ඇන්ටි හති අරිනවා පෙණුනා
ශුවර් එකටම වෙන්න ඇත්තේ
කරන්නට හොඳ නැති වැඩක්
තාත්තා ඇස් වැහුවෙ නැත්තං
ඒක අපිටත් හොඳ දෙයක්
ටික වෙලාවක් බලං ඉද්දී
ඇවිත් තව අංකල් කෙනෙක්
දිගට හරහට තියනකොට වෙඩි
මැරුණ එතනම හුඟ දෙනෙක්
තාත්තා ඔහෙ බලං හිටියා
වැටෙන හැටි ඔලු කුඩුවෙලා
මගේ ඇස් දෙක වැහුවෙ නැතුවැති
ඒකෙ අවුලක් නැති නිසා
කිසි දෙයක ආසාවක්
නැති කලෙක
පෙම් ගීයක්
ලියන්නැයි කියන විට
බොහෝ කලකට පෙර
අහිමිව ගිය
ඇගේ සෙනෙහස
සිහිකර බැලුවෙමි
ආයාසයෙන්........
ඇගේ වත මට දැන්
හරිහැටි
පැහැදිලි නැත
කාලයේ
දුමාරයෙන් වැසී
අප හමුවූ
අවසන් දින
කළු ගං තීරයේ
සවසක
හැඬු බව පමණක්
මතකයට එයි
එහෙත් දැන් මට
හැඟීමක් නොදැනෙයි
මෙම කවිය 1987 ඉන්දු ලංකා ගිවිසුමට විරැද්ධව මත
සමාජ ගත කරාවිය යන උපකල්පනය මත, ආරක්ෂක
අමාත්‍යංශය මගින් අත් අඩංගුවට ගෙන කොළඹ
මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියදී පබඳින ලද්දකි.
1971 දී භීෂණ සමයේදී යුධ හමුදාවේ යැයි කියන
කිහිප දෙනෙකු විසින් කතරගම මනම්පේරී නම්
යුවතියක නිරැවත් කර මහමග ඇවිදුවා ඉක්බිතිව ඇයව
කෙලෙසා වෙඩි තබා මරාදැමූ පුවත මුල්කරගෙන
කතරගම අඩවියට අධිපතියැයි කියන මහානුභාව සම්පන්න
බලඇති ස්කන්ධකුමාර නම් දෙවියන්ව ප්‍රශ්ණ කිරීමක්
මෙ මගින් සිදුකෙරේ.
"කතරගම දෙවියනි..."
"අධිපතිව රැහුණට
යුතුව සයකින් මුහුණුද
දරමින් දොලොස් අත්
අරා වාහනයක මයුර "
ගණනක් පුරා ශත වසර
උගත් අසරණ නූගත්
අමනයන් ගේ
සූරාකමින් ඉහමොළ
දෙවොල තුල පිරි
පිළුණු වූ මොහඳුර මැද
මුවා වී තිර සතට මුලාවේ
කුමංජල් කපුරැදුම් ගඳ නිසා
නොදැනේද ? නුඹේ නැහැයට
"තෙද බලැති අඩවියේ.."
මිහිතෙල් ටයර් ගිණිමැල වල
මව් බිමට පෙම්කළ වුන්
පිළිස්සෙන පුළුටු ගඳ..
දෙනෝ දහසක් දන මැද
නව යොවුන් යුවතියක්
ඇවිදුවා නිරැවතින් මහ මග
බිඳ දා හිරි ඔතප්..
සිඳ දා කුමරි බඹසර
සිදුරැ කර ලය ඇගේ
කුරිරැ වෙඩි උන්ඩයෙන්
නිරැදු වන්නට පෙර ඇගේ පණ නල
මිහිදන් කරන විට අමුවෙන්
නිදිවැදී සිටියාද උඹ
වල්ලී සමග දෙවොලේ...?
ඊලග මොහොත ගැන කියන්න මම දන්නේ නැහැ .....
මට හැම දෙයක්ම හරිම නුපුරැදුයි.....
ඒත්..... ඔය දිලිසෙන ඇස්වල මොකක්දෝ මහා ලෙන්ගතු බවක් තියෙනවා......
ඒත් මට එය ගලපගන්න බැහැ හරිම අසීරැයි.....
ඔබ මාව ස්පර්ශ කරන හැම විටකම
එහි මහා මොකක්දෝ සමීප බවක් තියෙනවා.......
එතකොට මට දැනෙනවා ඔබ මගේ වෙන්නැති කියලා......
ඒත්........මට සමාවෙන්න
මට ඔබව සම්පුර්ණයෙන්ම මතක නැහැ.
නමුත් ඔබ මා ලග සිටින හැම විටකම මට මහා විශාල වටිනාකමක් දැනෙනවා....
අනේ.......වචන මගේ මතකයට ආවොත්....
මම කියාවී මම ඔබට ආදරෙයි කියලා.
(ඩිමෙන්ෂියා රෝගයෙන් පෙලෙන බිරිදගෙන් ආදරණීය ස්වාමියාට)
02/01/2021
කිසිවෙකුත් අසන්නේ නැති
ඇසූවත් ලැබෙන ඵල නැති
සිත් පුරා පිපී පොපිදෙන
එකත් පස් පෙමක්...
මලුත් පිපුණු වැට දිගටම
දැනුත් නටන සමනල් කැළ
රොනුත් නොගෙන දුරින් දුරට
ගියත් ඉගිලිලා..
රැයත් නිදිවරා වැළපී
දුකත් තුරුළු කර හිනැහී
මලුත් සමනලුන් දකින්න
හෙටත් පිපෙනවා...
අදත් නුඹ එතැයි ඉපිලුනු
ඇසුත් පාරවා මග හැර
නොදත් නුහුරු බව පාමින්
ගියත් දුර බලා..
කැලත් පෙම් පැතුම් ගුලිකර
හිතත් තනිව ඉකිබින්දන
හෙටත් තව අදක් නොමවෙන්
මතුත් භව පුරා.....
ලන්ඩන් නුවර
ඔක්ස්ෆර්ඩ් වීදියේ
හිරු පළා ගිය - අඳුරු දවසක
ඉබාගාතේ ඇවිද යන විට
නැති වුණා මගේ
‘‘හැඳුනුම් පත"
දෙදහස් පන්සිය වසරක්
අත්තා - මුත්තා - කිරිකිත්තා
පරම්පරාවෙන් පරම්පරාවට
සුරැකිව රැකගෙන ආ
‘‘හැඳුනුම් පත "
මගෙ අතින් ගිලිහී
සැඟවුනා
තේම්ස් නදියේ ගං පතුල යට
(යහළුවන් මට බැන්නේ
මං හිතාමතලම
එය විසි කළා කියලයි)
දැන් ඉතින්
කෝ මට හැඳුනුමක්
සභ්‍යත්වයක් - සංස්කෘතියක් ?
යුහුසුළුව
එහෙත් ඉබාගාතේ ඇවිද යන
සහසක් මිනිසුන‘තර
එහෙත් නැති - මෙහෙත් නැති
සරණාගතයෙක් විලස
මම ද ඔහේ ඇවිද යමි
වැටුණු තැනක නිදාගමි
මව්බිමේ
සිඳුණු වැව් පතුලක
ඇද වැටුණු ගල් කණුවක
මල් ලියකම් පෙළ
සිහිනෙන් දකිමි.
'නිහඬ තණ පතකි මම' කාව්‍ය සංග්‍රහය - 2008
ආදරයක් ලබන්නට නොමැත පිං
තනිවෙලා මා
දැනෙන මට තනිකමත්
දැනෙන මට හිස් බවත්
මගෙ මුළු ජීවිතයම
ආසයි පෙරදී මෙන්
එක්වන්න
හිතෙන දුක නිවෙන තුරු
ලැබේවිද නැවත මට
මියැදෙන්නට පලමු මගෙ මෙම ආත්මයට
ඉකිගසන සන්ද්‍යාවෙ
මල හිරු බසින අපූරුව
අදයි අවසන් දවස
ඉතිං මා ළඟ සිටින
මැවු හීන කන්දම
කඩා වැටී පොළවටම
බර වැඩියි පපු කුහරෙ
හිරවෙලා දුක් ගුළිය...
ආවෙ නුඹ දැකගන්න
වෙනදා වගේම
ආදරේ උතුරන
හදවතත් අරගෙනම
සංසාර චක්කරෙ
කොහේ හෝ ලක්ෂයක
අපි එකතු වෙමු ඉතිං
කවදා හරි යළි දිනක
ඔබට මා මටද ඔබ
අයිතිවන බවයකට
හීන කන්දම නැඟන්
මමත් පිය මනින්නම්
වස්සානෙ අගිස්සෙ
කෙළවරට වී ඉන්න
අපි දුන්නු පිං අරන්
මව් කුසක සැතපෙන්න....
මේ ගමන නිමක් නැත..
'අයිඩෙන්ටිය නැතැයි උපසක්කම්මා අසපුවෙන් හරවා යවයි'
පිිවිසුම් දොරක් අසබඩ අසපුව සොයමි
කිවිසුම් ගියේ කා සිහිවී දැයි සිතමි
හැඳුනුම්පතක් නැති අම්මා නො හඳුනමි
ඇඳුනුම්කමක් නැති නිවනත් මඟ හරිමි
සයිරන් නළා විහිදෙයි අහස විනිවිද
සාදුකාර ඉහිරෙයි සිනහ විඳ විඳ
ශ්‍රද්ධා හදවතිනි හැඳුනුම්පත නැමද
ශ්‍රද්ධා වඩනු මැන, රහතුන් වඩින සඳ
ඉරාජමය සංසාරෙක වෙළෙනකොට
සරාගික නො වෙද කටහඬ බුදු බණට
විලාපමය රැප සැපයකි අසපුවට
‘පරාජයත් මාරයි ‘ මෙහෙම යනකොට
භද්‍ර වසන්තය කැටි කොට බුදු සිරිත
භද්‍ර සමන්තය ගෙන එන නව අරුත
රුද්‍ර දසන්තය සන්සුන් කර හරිත
ක්ෂුද්‍ර පැණින් ලෙද සංසාරය සරත
ඔබ මහ දෙරණ ලෙස ඉවසා සිටින විට
ඔබ දැන නොසිටියත් ඔබ ලඟ හුනිමි මම
අප හමු වුනේ නැති මුත් හැම නිතරකම
ආදරයක් තිබේ ඔබ ගැන මහද ගැබ
ඔබ මහ ගඟක් වී සැමදා ගලන කල
ඔබගේ සිහිලසින් සරතැස නිවනු මැන
සත් අරිදමින් පොහොසත් ඔබ සිටින විට
බිය සැක කිසිත් නොමවේ අප කිසිවකුට
මරණය නියත බව නිරතුරු දුන සිටිනා
මහ සඟරුවන ඇසුරෙහි නිබඳව සිටිනා
කලයුතු සියළු යුතුකම් කරමින් සිටිනා
ඔබ දෙවඟනකි යෙහෙළිය මිහිපිට සිටිනා
දිදුලන තාරකා මැද පුන්සඳ ඔබය
නොපිපුණු කුසුම් අතරෙහි සුපිපුණු මලය
බිතු සිතුවමක් සේ නොබිඳුණු මිතු දමය
මතු අත් බවෙත් ඔබ මට ලංවිය යුතුය
මතු භවයේ මනුසත් බව ලබනතුරු
එය අබිබවා දෙවිසත් කම ලබන තුරු
පරසතු මදාරා දෙව්ලොව පිපෙනතුරු
නන්දන උයනෙ සිටිනෙමි ඔබ වඩිනතුරු
නන්දන උයනෙ සිට මම මල් දම් ගොතමී
ඔබ ආ පසුව එය ඔබ ගෙල වට දමමී
එහි සිටියත් අරිඅට මග මම වඩමී
එකම ධර්ම මණ්ඩපයක නිවන් යමී
දිය මත කුමුදු පෙති පාවඩ නෙළුමකට
විය නෙක විරිත් එක දිය මත දෙවිදියට
රැය මුදු සිහින දුටුවෙමි සුභ නැකතකට
අවපස වීය රැය තරු හිරු එලියකට
ගොන්නක් පිපුණු මල් තුහීන යායකට
හිරුගේ බැල්මකින් විසි විය අහසකට
යනදා මනාලිය වී සකි පෝරුවට
දුරකින් රැඳී සිටියෙමි ගෙන වේල් පට
සෙනෙහස් දියෙන් අස්වැද්දුව කුඹුරකට
සත්තයි බොල් වී ද මෝරනවා බරට
වැරදී එක් කලත් දෙඅතක් මහ බඹුට
නුඹ හට පතමි ජය එය වෙයි මගෙ සතුට
ලිඩෝ සිනමාහල ට නුදුරින්
බෝ සෙවණ ළඟ අඳුරු නැවතුමෙ
කබල් කුඩයක් අත දරාගෙන
මග බැලූ ඒ පටාචාරා
බොරැල්ලෙන් බස් රියක නැගලා
තේම්ස් නදියෙන් මතු වෙලා...
මහා බිග්බෙන් කුළුණු යට හිඳ
ඉරුනු ඩෙනිමක් ඇඟේ ලාගෙන
වසර ගණනක් තැලුණු පියයුරු
විවේකී සුවබරින් අතහැර
නිදහසේ පා කරනවා
චිත්‍රෙකට පණ පොවනවා...
මිලක් නැති සුන්දරම සිතුවම්
ලංසුවට විකුණලා අහවර
පුස්තකාලෙට හැල්මෙ ගොස් ඇය
චිත්‍ර ශිල්පයෙ නොයෙක් පසුබිම්
සිතින් අල්ලා ගන්නවා
හීනෙනුත් එය දකිනවා.....
පවුමෙ කාසිය දෙස බලා ඈ
කුඩා හුස්මක් ගන්නවා..
එදා විකිණුනු මිලට වැඩියෙන්
වැඩි නිසා මෙහි සිතුවමක මිල
සිතට සුවයක් දැනෙනවා
ඒත් හිත යට රිදෙනවා..
වයස අවුරුදු තුනක කිරිකැටි
පුතුගෙ බඩ කට පිරෙනවා..
එදා නොවාවා නම්
අලුත් සිසුවියක ලෙස
අලුත් විදු පියසකට
කිසිදා මට ඔබව
මුණ නොගැසෙනු ඇත
එහෙම වුනානම්
අද නැහැනෙ මෙතරම්
දුකක් මගෙ හිතට
මිතුරන් විලසට
ඔබ සමඟ ගත කල කාලය
කොතරම් සොඳුරුද
ඇති වුනත් සෙනෙහසක්
ඔබ ගැන මගෙ සිත තුල
අහිමි වෙයි යැයි සිතු නිසා මිතුදම
හිත තුල සගවාගෙන ඒ ආදරය
යහළුවෝ ලෙසටම සමුගත්තා
සොඳුරු පාසල් දිවියෙන්
බොහෝ කාලයක් ගතවෙලා
දිනක් හමුවුනා මට ඔබව
දැන ගත්තා මං වගේම
ඔබත් මට ආදරය කල බව
එහෙත් ළංවෙන්නට බැහැ
කිසිම දවසක අපට
දෛවය ඈත් කරලා අපව
ආයේ ළංවිය නොහැකි ලෙසටම
2021/01/09
කවිකාරියගෙ පද ගෙත්තමෙ තිබෙන දඟ
රැකගෙන සඳැස යන විට ඈ උරුම මඟ
හයියෙන් හෙමින් මතුවන සිත් මඬලෙ රඟ
සියුමැලි ඔබයි බාධක මැද ඇදෙන ගඟ
ඔබ නැති වුනොත් අබියස විසි හතර පැයේ
සංකා දැනෙයි යෞවන සහ බොළඳ වියේ
සද තරු නොමැති මූසල ඝන අදුර රැයේ
ඇයි කිවිඳියනි ඔබ ඇවිදින් නොකියා ගියේ
කවි ගංඟාවෙි කිමිදීලා පිහිනීම
ආදර නදියෙ සුවසේ පෙම් දිය නෑම
ඉඟියක් නොකට නෙතඟින් ඉඟිබිඟි පෑම
ගින්දර සුන්දරිය මට මතකයි තාම
ගමේ විහාරෙට මේ
දිනවල අඩුවක්
පුන්පෝ දවසෙත්
සිල් ගත්තෝ
ලෝක වසන්ගතයෙන්
බේරෙන්නටදෝ
නොදන්නෙමිය
බුදුහාමුදුරුවනේ
පේළි පේළි සැදි
උවැසි උවැසියෝ
අද නම් රජමහ වෙහෙර වලත්
මහ මෙව්නාවෙත්
මහ දන මොරදෙති
පුරුදු ලෙසින්
සතර පෝය ටද
සතර දෙසේ
එදා සුගත හිමි
දෙසා වදාහළ
රතන සුතුර මහා
පුන්‍ය බෙලෙන්
විශාලාව සුවපත් වූවා සේ
මේ මුළු විස්වයේ
සත්වග එකසේ
ගතින් සිතින්
සුවපත් වේවා !
'නොමිහිරි ද මේ වෙණ
ඇසුහු ද මෙයින් වැඩි වෙණ
නැතහොත් නැත නුවණ
කියව නොසතුටු වන්ට කාරණ'
මාගේ මේ විණා වාදනයෙහි රසයක් නැද්ද, මෙයටත් වඩා මිහිරි විණා වාදන ඔබ අසා තිබේ ද, එහෙමත් නැත්නම් ඔබට වාදනය, සංගීතය පිළිබඳව අවබෝධයක් නැතිව ද, මාගේ විණා වාදනය අසා ඔබ සතුටක් නොපෙන්වන කාරණය කුමක් ද? .
ඇදුර තුටු නොවෙතියි
නොසිත අප සිප් නොදතියි
උනිමු වෙන සදතියි
නොදත්තෙමු ගායනා කරතියි
ඔබ අසතුටු වන්නට එපා. අප ශිල්ප ශාස්ත්‍ර නොදන්නවා කියා සිතන්නට ද එපා. අපි හිතුවෙ ඔබ විණාව සුසර (tune) කරනවා කියාය. ඔබ වාදනය කරනවා යැයි අප සිතුවේ නැත.