ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි සිව්වන වෙළුම

2022 ඔක්තොම්බර් කලාපය

හොරුන්ටයි හොර ඇඹනියන්ටයි ගුණයි එලවළු චිකන් තම්බා බේබිහාමුට තෙලෙන් බැදලා සොසේජස් සහ කීරිසම්බා අන්ත අසරණයන් ගෙ කුසගිනි මතින් වාසිය හොයන එම්බා දීන දොස්තර නුඹේ පැටවුන් කයි ද තුන්වේලම කුරුම්බා
- වෛද්‍ය ජනක මාරපන

සංස්කාරක: අනුර හෑගොඩ Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා Web Admin: Tharindu Rajakarauna



කවි 10ට ගී දහයක් - අනුර හෑගොඩ

2022 ඔක්තෝබර් කලාපය

කුරුම්බා මද සහ කළටි දොස්තර

හොරුන්ටයි හොර ඇඹනියන්ටයි
ගුණයි එලවළු චිකන් තම්බා
බේබිහාමුට තෙලෙන් බැදලා
සොසේජස් සහ කීරිසම්බා
අන්ත අසරණයන් ගෙ කුසගිනි
මතින් වාසිය හොයන එම්බා
දීන දොස්තර නුඹේ පැටවුන්
කයි ද තුන්වේලම කුරුම්බා

කලන්තේ යනු හිසට ලේ යන
ඉතා වටිනා ඇද වැටීමක්
කුරුම්බා යනු තව්තිසාවට
ටිකක් පහලින් හැදෙන කෑමක්
වේල දෙක කුසගිනි දැරීමත්
බුදුරජුන් ගේ ඉගැන්වීමක්
පට්ට ගොනෙකුට වෙද නලාවක්
පැලඳවීමත් සුපිරි නෑමක්
View Poem

අශෝක හඳගම

2022 ඔක්තෝබර් කලාපය

නෙලුම් කුලුණ පාමුල සිට

බේරේ වැව අද්දරින්
ඉහල අහසට නැගුනු
සංවර්ධනයේ පුරුෂ ලිංගය
බදාගන අඬනවා ඉකිබිඳ
කාලෙකට ඉස්සර
කන්‍යා භාවය සිඳගත්
කොළඹ අහස.

සිංහාසනෙන් බැස යන
මහරජු ගේ දුක්බර
විලාසය දැක.

සුරතාන්තයට පෙර මැලවුනු
ආසියාවේ ආඩම්බරය !

බලා සිටියා දුකින්
ඇදෙන විට දකුණු දිග්බාගෙට
කිරුල, කඩු කස්තාන ගිලිහුණ
රජු රැගත් දඬුමොනරය.

හාත් පස පැතිරුණු
නොහොඹිනා නිසංසල කම
ජයග්‍රහණයකැයි කියන්නේ කෙලෙස
පරාජිතයින් ගේ ලෙයින්
බේරේ වැව රතු වුනේ නැති කොට

රජු පැරදුනා තමයි
කලගුණ නොදත්,
බහුතරේ සුළුතරය ට
සුළුතරේ බහුතරය
අධෝභාගය පෑ නිසා
නොමිලේ ම

වලා කන්‍යා පටල
ඉරාගන අහස විනිවිද
ඉහල නැගි ලිඟු හකුලන
නෂ්ටකාමයේ කතිරෙන්
රජු න් පලවා හැර තෙපි
අහිමි කරගත්තේ කැමැත්තෙන්
සංවර්ධනයේ සුරතාන්තයයි
සුරතාන්තයේ ප්‍රමෝදයයි

" කිමද විප්ලවයකින් ඇති සරණය
නැතොත් පොදුවේ බෙදා රමණය "
'සාද්' ඇහුවා මතකද
(ප්‍රංශ වැසියන් ගෙන් නෙවෙයි.)
සංවර්ධනයට සින්න වුනු
ජෝන් ද සිල්වා රඟහලේ දී
තොපෙන් යටගිය දවසක.

හිතට එන දේ බිනින්න ට
ලියන්නට, සිතුවමට නගනට
නිදහසක් කුමකට ද තෙපි හට
සොරා ගෙන ඇති බැවින්
දැනටම
විප්ලවේ රතු පාට සිහිනය.

නිදි වදින විට පවා ඉඳ හිට
රජු බලා සිටී නම් නේද හොඳ?

ගිගුම් දෙන්නට බලාගන
පුපුරා පුපුරා සිටිය අහසට
කෝචෝක් සිනා පාමින්
ෆෙලිකන් කුරුල්ලෙකු වැසුවා
පිපෙන්නට පමාවන
නෙලුම් කුලුනේ
පොහොට්ටුව මත

ජනවාරි 2015
View Poem

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

2022 ඔක්තෝබර් කලාපය

එතනා ......

මංකඩ ලග වලිකුකුලන් පේලි සැදීලා
නුබේ නිතඹ පැද්දෙන හැටි බලාන උන්නා
කළු කුමාරයත් ඉතින් නාහෙට නාහන හින්දා
පරිස්සමෙන් ගෙදර යමන් මගේම එතනා

ඔබේ දෙතොල් පාටට උන් පරදින හන්දා
ඉදිච්ච මාදන් ගෙඩි ඔක්කොම හැංගිලා උන්නා
හිතේ තියෙන දේ ඔක්කොම කියන්න හිතලා
පුර පෝය හදක් පායනකම් බලාන උන්නා

කැකිරි හිනා හඩ අස්සේ මුණ ගස්සලා
තොවිල් පලේ විරාමයේ ඔබෙ බහ ලැබුණා
කරේ තියාගෙන බෙරයක් මං එන හන්දා
මාමණ්ඩි මට මනාප වේවිද මන්දා
View Poem

අමර ගුණසේකර Marne la Valée ප්‍රංශය

2022 ඔක්තෝබර් කලාපය

සෙත් කවි වුණේ මාපිය හෙළ බැල්මෙන්

රැකුණේ කැණිමඩල මවිපිය සෙනෙහස හන්දා
සැනසුම ගෙන ආවෙ නිවසේ බුදුවරු දෙන්නා
සෙනෙහස පිරුණු හදවත දරුවන් රන්දා
සමනළ කන්ද වූවා දරණ සිවු මහ ගංගා

වඩින්නත් කළින් හිරු දෙවි අප ලොවට
නිමවී සිනාසෙයි කළ දවසේ මෙහෙය
කුස පුරවන පිළිසිඳ ගත් දා සිටය
දෙනෙතට ගලාඑන්නේ හද පිරි සෙනෙහස කැටය

ඇත්නම් බඳුන් පුරවා හැද රසැති බොජුන්
ගලා බසියි උතුරා ගෙණ සතුට හදින්
ග්‍රහ දොස් අපල උවදුරු දොම්නස් ආවොත්
සෙත්කවි වුණේ මාපිය හෙළනා බැමන්


අමර ගුණසේකර ප්‍රංශයේMurne la Valee ප්‍රදේශයේ
View Poem

අශෝක හඳගම

2022 ඔක්තෝබර් කලාපය

ඔබ ගිහිං

ඔබ දුර ගිහින්
මට කවරදාවත්
ලං වෙන්න බැරි
ඈත දුරකට ඔබ ගිහිං

රෑ පුරා මගෙ මුවේ දැවටුණු
සුවඳ තැවරුණු හුස්ම පොද ඔබෙ
අරං ඈතක ඔබ ගිහිං
එකම සයනක ලඟින් සිටියත්
ඈත දුරකට ඔබ ගිහිං
මට කවරදාවත්
ලං වෙන්න බැරි
ඈත දුරකට ඔබ ගිහිං

එකම හීනය බෙදාගන සිටි
ඒ දවස් මතකයට මුහු කොට
යලිත් නොඑනට ඔබ ගිහිං
මතක පමණක් මට උරුම කර
ඈත දුරකට ඔබ ගිහින්
මට කවරදාවත්
ලං වෙන්න බැරි
ඈත දුරකට ඔබ ගිහිං

Asoka Handagama
View Poem

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

2022 ඔක්තෝබර් කලාපය

ටක්කෙටම සඳ නුඹයි

කප්පරක් අඳුරු තැන් වසන්නට රෑ කාලෙ

ඉස්තරම් ආභරණ පලඳ හැඩ කර මාලෙ

එක්කරන් ආව දින සිට වෙනස් උන තාලෙ

සත්තමයි සඳ වගෙයි ටක්කෙටම නුඹ ආලෙ

හඳ පලුව බිම බලන් වැඩිම කාලය දවසෙ

අඳ පාළු අමාවක ඇය නිවස නැති සවසෙ

විඳ සෙනෙහෙ ලං වෙමින් සුපුන් සඳමය රහසෙ

බැඳ ගත්තෙ සඳ තමයි ටක්කෙටම මම අහසෙ
View Poem

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

2022 ඔක්තෝබර් කලාපය

මෙත් බෝසතුන් සසුනට බැඳි වප් මහ පෝය

සම්බුදු සමිඳු ගෞතම අපෙ තිලොවග මුනිඳු
දෙව්රජු මව්ට දෙසු දම් තව්තිස් පුරසුරිඳු
නිමකර යළිඳු සංකස්සය පුර පසිඳු
වැඩි පොහෝ දිනයි දිදුලන වප් පුර තරිඳු

ඇසළමහේ පසලොස්වක පොහොය දිනේ
පෙරවස් විසූ අප බොදු මහ සඟරුවනේ
වස්තුන්මාසේ නිමවා සිල්රැක නිතිනේ
පෙහෙවස් පවාරයි වප්පුර පොහොය දිනේ

දිගුකල් රකිනුවස් පිවිතුරු බුදු දහම
නිසිකල් බලාගෙන පෑතිස් නිරිඳු තුම
කරමින් සංඝායනා විනයද මෙබිම
රැව්දුන් දිනත් වූයේ වප් පොහො දිනම

මෙත් බෝසතුන් මතු බුදුවන ලොව්තුරා
පන්සියයක් සිය සගයින් පිරිවරා
සිත්සතොසින් පැවිදිව කහ සිවුරුදරා
වප් පුර පොහෝ දිනකයි බැඳුනේ සසුන කරා

Not Published
View Poem

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

2022 ඔක්තෝබර් කලාපය

විනිසුරන්ට...

හිතුවෙි නෑ කවදාම පොතක් කවි කරන්න
මෙිවාද? කවි කියා කියවලම බලන්න
නිර්දේශ වුනොත් මට පණිවිඩය කියන්න
සම්මාන මට එපා මිතුරෙක්ට පුදන්න
View Poem

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

2022 ඔක්තෝබර් කලාපය

සුචිත්තයෙන්

කඳුළු බිංදු සළා සිතේ දැවෙන ගින්න නිසා

බඳුන පුරවලා කුමටද වතේ ඇඳේ වළා

බිඳුන පිරුන සතුටු ගඟුල ගලයි සිරුර පුරා

රැඳුන පැතුම් මුදා හරිමු සුචිත්තයෙන් පිනා

දෝත පුරා පිරී ගියත් රනින් තැනුන පියුම්

වීත රාග පිනා ගියත් කැලති කැලති දසුන්

ඈත ඈත ඉඳන් ඇවිත් ඈත නැවත බලන්

ස්වේත වලා පාවී යති නුඹේ හිසට උඩින්

වියළි පුළුන් කැටිය ලෙසට දිවි කතරම ගෙවන්

ගසක සැළෙන පත් අතරේ සිසිලෙ ගිමන් හරින්

සුළඟෙ වැටෙන සුබොජුන් මත කුසේ ගින්න නිවන්

පිරුණු සිතක සැහැල්ලුවෙන් ඈතට ඉගිලියන්

හීන පේන රෑ නින්දේ කටු ඇනේවි ඇසේ

රෑන ගිරා ගීත අසා සනසාපන් විසේ

මාන පිරුන රන් තලියම පුරවා සිත් දොසේ

හීන නොපෙනෙනා මනු සිත ගඟුලකි නිදහසේ
View Poem

Dr Anne Perera New Zealand

2022 ඔක්තෝබර් කලාපය

Our Queen so Serene

I have always admired your majestic look
And bought and read every Royal book
Hoping that some day I will reach every nook
And stay connected whatever it took.
Nineteen twenty-six was when I was born
And felt so special though I was in Ceylon
Became a Royal Watcher and followed every song
Of the Royal Family, whether they were short or very long.
Your dear Queen Mother was a mentor for me
I followed her every step and admired what she did
As a mother and a Queen with your father who was King
And after your Coronation, as the mother of the Queen.
May you live long as our Queen so Serene
With your family and friends, may joy they will bring
As time goes by may we continue to sing
Praises and honour to you as our Queen
… May you live long, as our Queen so Serene…
Composed by Dr Anne Perera as written by
Mrs. Gertrude Weerakoon,

who celebrated her 80 th Birthday on 7th January 2006 and who

requested Anne to write a poem to send to
Her Majesty Queen Elizabeth II.

2006
View Poem

ආරියරත්න ජයසිංහ මහරගම

2022 ඔක්තෝබර් කලාපය

මමයි මන්ද්‍රි දේවී

මගේ බිළිඳුන් දන් දුනිමි මම
අතීතේ එක් අඳුරු දවසක
දිළිඳු වෙසතුරු රජුගෙ කීමට
ජූජක බමුණාට නම් නොව
බැමිණියට දුරු රටක සිට ආ

මෙහෙකාරකමට නොව
හදා ගන්නට දරුකමට.
පාරමී දම් පුරන්නට නොව
අනෙක් පැටවුන්ගෙ දිවි රැකුමට.

විසි වසරකට පසු
නව යොවුන් ඔබ පැමිණ
වැදූ මව සොයාගෙන
හැදූ මව සමගින
තෑගි කහවණු රැගෙන
නුහුරු නුපුරුදු දේශයකට
නාඳුනන මවක් දැකුමට

ඇත්තෙන්ම කවුරුන්ද ඔබ මගේ
ඇත්තෙන්ම කවුරුන්ද මා ඔබේ
මව් සෙනේ බෙදී ගිය තැන
පුපුරු ගසමින් යළිත් මතුවේ
එදා හද තුල ඇවිලි ගිනි දැල්.
View Poem

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

2022 ඔක්තෝබර් කලාපය

The Day Before the Reality

After a day full of music
dancing wining and dinning
lots of wishing
and uttered nonesense
Curtain came down.
The couple whisked away
To the expected privacy
locked behind the door.
No intruders are welcome.

Now
They are to themselves
looking into each other's eyes
trying to discern the craving
for carnal indulgence.
hidden deep , bottled up

Animal is waking inside the body
breaking the shckles
uncontrolably.
This is the waited moment
all this time yearning for ,
Freedom uninhibitted

There have been
mometary pleasure
stolen
when the world was looking
the other way
added more fuel to the fire.
Never had an opportunity
to release the unchained carnal desire
like this

Oh beautiful
Life is worth living for
Inner self is flying away
With the buttrflies.
eternal bliss is like a light
at the distant horizon.
Two bodies on fire
are drifting
towards it
embraced.

Contrasting minds
are sucking
the moonlit night
through the split
of the window curtain.
Everything outside
is glistening
bathed in gold
cascading from the heavens

This dream lasts
until the daybreak only

Tired bodies wake up lazily
after a hectic night
tickled by the silvery shaft
Creeping through the curtain slit

The life is waiting out side
the locked door
Stark naked
To receive them to the
Reality.

15-12-2021

Wedding is like a blissful dream
realised after meticulous planning.
Expectation is for this bliss to last ever after. Wake up call is scheduled to come
from the following day itself.
Life thereafter is known to those who
have gone through it but rarely anybody
comes out with the real facts.
View Poem

චන්ද්‍රලාල් ද සිල්වා - තොටගමුව

2022 ඔක්තෝබර් කලාපය

ඇය ද නදියකි

කිඹුලන්ට හිතු මතේ
ඔබ මොබ පීනන්න
ගං ඉවුරෙ සැතපිලා
හිරු රැසින් නෑවෙන්න
පතුලටම කිමිදිලා
ජීවිතේ විඳගන්න
නිල්වලා ගඟ වගේ
අඩු නැතුව ඉඩ දූන්න

ඉහල පොද වැස්සටත්
පහල දෝරේ ගලල
කෙසෙල් කොට පාරු උඩ
පැද යන්න පුරුදුකල
නොගැඹුරු ගංවතුරෙ
කිමිදෙන්න ඉඩ දුන්න
බොළඳ කුතුහලය හළ
දඟකාර ගිං නදිය

කැරකි කැරකී කඳු වලල්ලේ
එති එතී ගල් කුළු වටා
පළුදු රළු ගති ගෙවා දමමින්
හැඩ කලා කඩතොළු මකා

නොබා හඹා ගිරි හෙල් කඳු වැටි නිම්න
වෙහෙස නිමා විය හමු වූ පසු තැන්න
උනා දුහුලැඳුම් කැත කුණු කිලි වැකුණ
පහන් සිතින් ඇඟ ලා සළු පිළි ධවල

නසා මෝහය නිවා දාහය
ශ්‍රෝතයෙන් වීරිය වඩා
දානයේ පාරමී පිරුවා
බෙදා කරුණා ගුණ දයා

ගලා යන්නී නිසසලව ඈ
සසර සයුරේ ඉම සොයා
සපථ කරමින් පුළුල් නදියක
නිහඬ පරිනත ගති සොබා
View Poem

2022 ඔක්තෝබර් කලාපය

කොළඹ යුගයේ සිත් ගත් කවි - අකුරට යනවයි කියලා

අකුරට යනවයි කියලා
ටිකිරි අයිය බැදිවලමයි
ඉන්නකො මම ගුරු ගෙදරට
ගිහින් කියන්නම්

ගිහින් කියල - මේ බැද්දෙදි අල්ලල දෙන්නම්

පඳුරු අස්සෙ කුරුල්ලන්ට
ඔමරි කරනවා විතරයි
සිළිඳු ඉතින් දර කැඩුවද
මමත් කියන්නම්

ගිහින් කියල - පොඩි නැන්දට අල්ලල දෙන්නම්

ඉඳුණු කරඹ ගොඩාරියක්
මගේ ඔඩොක්කුවෙ තියෙනව
ටිකිරි අයියටත් දෝතක්
පුරවල දෙන්නම්

පුරවල දී - තව මදි නම් හිඹුටුත් දෙන්නම්

සිළිඳුට ගීපද කියන්න
කුරුල්ලන්ට මළ තියන්න
ලොකු වුණාම මේ බැද්දෙම
හේන් කොටන්නම්

හේන් කොටල - අපි දෙන්නට පැලක් හදන්නම්

මාළු ඇඹුල් තියල් කරල
පොල් සම්බල් රසට හදල
ඇල් හාලේ බතුත් එක්ක
අනල කවන්නම්

කවන ගමන් - මමත් කවන තරමක් කන්නම්

හැන්දෑවට කහ සුදු රතු
හෙන්දිරික්ක මල් පිපුණම
ඒ ළඟ ගල් පොත්තක් උඩ
වාඩි කරන්නම්

වාඩි කරල - ලඟින් ඉඳන් නළා පිඹින්නම්

ගමේ ළමිස්සියන් එක්ක
විලට ගිහින් පන් උගුලල
රටා පුරල මෝවිටි ලා
පැදුරු වියන්නම්

පැදුරු වියල - ඒකෙ ඉඳන් පංචි දමන්නම්

කළුවර ඇති වැහි දවසක
මහ රෑ ඇඳ ළඟින් ඉඳන්
පල් හොරු ගැන හොල්මන් ගැන
කතා කියන්නම්

කතා කියල - බය ඇරෙන්න විහිළු කරන්නම්
View Poem

ඩිල්හාන් ෆොන්සේකා ඔස්ට්‍රේලියාව

2022 ඔක්තෝබර් කලාපය

තාත්තා නිදි ඇතී

හීන පොදි බඩ බැඳන් රෝස උයනට වැදී
රෝස කුසුමක් නෙළන් මවක ආයෙම වඩී
මායිමේ ඈ පෙනෙන නොපෙනෙනා ලෙස හිදී
පියෙකු විඳි විලිරුදා අකුරු මත නැත රැඳී

අරුණැල්ලේ ආ හිරුත් සවස මුහුදට පනී
වෙහෙස අග සියොතුන්ද කැදැල්ලක සුව විඳී
මහ රැයෙත් දහදියට සඳත් සුසුමන් පිඹී
වැඩ පලේ නිඳි නැතිව තාත්තා වැඩ ඇතී

මගුල්දා පෝරුවට යන දුවක අත රැඳී
කටුව වී නටුව මත මල රැකපු අත ඇතී
හදවතම කඩා තව අතක දවටන හැටී
කියා දුන් ඒ ඇසට කඳුළෙ හිමිකම නැතී

නිමක් නැති අහස් කුස හුදකලා තරු ඇති
දැවී ගිය මුත් පොරණ අදද එළි විහිදතී
වැඩ නිසා අතපසුව ගියත් මතකෙන් මිදී
කොහේ හෝ බිම් කඩක තාත්තා නිදි ඇතී
View Poem

ධම්මික ජයවර්ධන

2022 ඔක්තෝබර් කලාපය

COVID (ලොක්ඩවුන්) නිවාඩුව

" නාලිනී එන්න
මල් පිපීදැයි බලන්න ..."

විහිලු එපා බන්දු
මේ COVID නිවාඩුව

මිටක් දැම්මද ඔයා
උදැල්ලට
රේක්කෙ නම් හොඳටම දිරල

අල්ලපු ගෙද‍ර අන්කල් දුන්න
බණ්ඩක්ක ඇට ටිකක්
මටනම් බයත් හිතෙනවා බන්දු
වය්රස් තියෙයිද දන්නෙ නෑ
කෝකටත් තියන්න ඕනෙ
කොරෝන්ටින් වෙන්න

ඇහැරවන්න එපා, පුතාව
ඇති යාන්තම්
කොල්ලට ලැබුන නිවාඩුවක්
වැකේෂන්එකටත් පංති
හොඳ වැඩෙ, ටියුෂන් කාරයන්ට

ඔයා දන්නවද
අද උදේ, වෑන් අංකල් ගත්තනේ
කෝල්එකක් මට
එයාට ලීසිං ගෙවන්න බැරිලු
වෑන් ෆීස්එකෙන්
බාගයක්වත් දාන්නලු
බැංකුවට
පිස්සු අනේ, මිනිහට
කොහෙතියෙන සල්ලියක්ද
පඩියෙනුත් භාගයක්ම කපල

මං දන්නෙ නෑ බන්දු
බණ්ඩක්ක වැවෙයිද කියල
මේ හුන්ඩුව ඇතුලෙ
ගොලුබෙලි සේනාවකුත් එක්ක
ගමේ හිටියනම්
හදන්න තිබුණ
හොඳ පාත්තියක්

ඔයා දන්නවද බන්දු
තාත්ත අන්න ලියල
ඕවිට කෑල්ලම, අය්යාගේ නමට
තාත්තට චාටු වෙලාද කොහෙද
මායාකාර ගෑණි
මම දැනගත්ත බැදෙනකොටම
පවුලට

බන්දු
ඔයා තාමත්
TV එක ළගද

බලන්න
ඔය ඈතින් ඇහෙන්නේ
ග්‍රෝසරි බඩු
වෑන්එකද කොහෙද

ඉක්මනට එන්න
මාස් එකකුත්
දාගෙනම

2020 ජූලි 13 දින
View Poem

දිල්රුක්ෂි ගුණතිලක

2022 ඔක්තෝබර් කලාපය

පසු තැවීම

සඳ මඩල ඔබ උදුල
මඩ පොලව මම පහල
කඩ ඉරට ඉඩ හැදුව
මම සසල - ඔබ නිසල

සදා කල් වෙන පරළ
විදාගෙන නිල් මුහුල
සයුර මම ඔබ වෙරල
මම සසල ඔබ නිසල

වලා පෙල මැද තුමුල
නුඹ දෑල නමුනු කුල
මිදී ඇද හැලෙන කල
පිස ගනිමි මම කඳුල!
View Poem

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

2022 ඔක්තෝබර් කලාපය

පවසන දේ පරිස්සමින් ...!

⁣යමකුට ඔබ පවසන්නට යන
දෙය ගැන සිතනු මඳක්...
කමකට නැති ඕපදූප වාගෙම
යම් වෙච්චි හොඳක්...
නමකට සම්බන්ධ වුවොත් වෙසෙසින් සැම දන්න ලඳක්...
තම කට වැරදෙන්න යන්නෙ මොහොතයි, එය වෙලා ඇදක්...

අසනා අයගෙන් සමහරු , අතින් දමා එය රසකර..,
වසනා ගම පුරාම පතුරන්නේ නම් තලුමර මර...
ගසනා තටු අනුවම පැතිරෙනවා වැඩිවී එහි බර...
මසනා එක මුව, හොඳබව සිහිවෙයි
ගියපසු පෙරහර...

දෙතිස් කතා ගැන දෙසලා ඇත්තෙ දහමෙ නිකම් නොවේ...
එ තිස් පැයේ සීලෙ රැකුම අගය නිසාමනේ ලොවේ...
විපස්සනා බවුන්වැඩුම පුරුදු වුනොත් ලැබෙයි සුවේ...
තපස් නොවීමුත් සිත නිවනට
යොමුවී ගතම නිවේ...

දක්ෂිණි සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා .
දෙහිවල
View Poem

දීපා ද සිල්වා - ලන්ඩනය

2022 ඔක්තෝබර් කලාපය

නුඹේ වූ ප්‍රේමය....

කොහේ සිට පැමිණි දැයි
නොදන්නා හදවතක්
ගැහෙනවා ඇහෙනවා
සිහින් කෙදිරිලි හඩින්
බිඳී ගිය පෙම්වතක
මතකයන් අහුලමින්
ගැයෙන දුක් ගී රාව
නෙතු පියන් ඇහැරමින්
අතරමග අත හැරුණු
ගිලන් පරඬල් පතක්
පිනි ඉසා පුබුදන්න
අහම්බෙන් හමු වුවත්
ඉරිතැලුණු ප්‍රේමයක
විරහවක් උසුලමින්
නෙත් කෙවනි තෙත් කරයි
කදුළු කැට පුරවමින්
නොතේරෙන නොදන්නා
රිදුමකට වග කියන්
විඳවිල්ල බාරගමි
උරුමයක් වූ නුඹෙන් ...
View Poem

දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය

2022 ඔක්තෝබර් කලාපය

නාකි ගස්

සරුවට වැඩී අහසට නෙත් යොමාගෙන

ලොකුවට අතු විහිද රුප්පා වසාගෙන

ගැඹුරට මුල් යවා සාරය උරාගෙන

පොළොවට ඇද වැටෙති පොඩි පැල මරාගෙන

දෙනවැයි සෙවණ හිරු කිරණද සඟවගෙන

වළකයි සඳඑළිය කොල මත අතුරගෙන

රඳවයි පරපුරක් අඳුරෙහි නවතගෙන

නොමදෙයි ඉඩක් නැගිටිනු හිස ඔසවගෙන

වැසිඑන විටදි කුඩයක් මෙනි දිග හැරෙන

ඇතිවන තුරා බී බිඳු පහතට දමන

වතුරෙන තෙමෙන ඇඟපත සෝදා එවන

නැහැවෙන තණපත්ද නැත අරුමය කිපෙන

රැවටෙන කෘමිහු පැණි බිඳකට ලොබ බඳින

දැනගෙන නුවද මෙහෙකරු වෙයි ඵල සදන

වැජඹෙන ඉහළ දැක විත් කුරුලන් ලගින

තැනතැන දමයි බිජු මුන් පරපුර වඩන

පොහොරද ජලය වාතය හැමටම තිබෙන

නැතිවද ලැජ්ජ තොග තොග හොරකම් කරන

සිටියද යොවුන් පරපුර පහළින් හැදෙන

සැදුවෙද පමණි සැම මාවත් උන් මඩින

පැවතුම නාකි ගස් අවපස වෙත හැරුන

නැවතුම හෙටක පැතුමන් සිත්වල පිරුණ

මපැතුම ඉවතලනු උන් බාගෙට මැරුණ

ඇමතුම එයයි වෙත නැග එන නව අරුණ

දෙවිවරු ලෙසින් සැළකුම් නෙක පුද ලබන

සමහරු වෘක්ෂ මෙනි මහළුව දැය බුදින

විසකුරු මොවුන් නැතිකල දින ගෙන හැඳින

සූමියුරු කල උදාවෙයි වෙත ලක් දෙරණ
View Poem

2022 ඔක්තෝබර් කලාපය

Basketball

<img class="alignnone size-full wp-image-9967" src="https://londonkavi.com/wp-content/uploads/2022/09/Eli-BasketBall-Poems-formatted.jpg" alt="" width="951" height="699" />
View Poem

ගාමිණී හේරත්

2022 ඔක්තෝබර් කලාපය

මල්වරය

පිපුණ මල් ගොමුවේ
බඹර ගුමු ගුමු ඇසුනේ
විහඟ ගී ගැයුනේ
අතුරිකිලි නැටුවේ..

මලක රොන් පිරු‍ණේ
මුව මඩල පිපුණේ
කොමළ සිත් නැඟුණේ
නෙත් බිමට හැරුණේ..

බඹරුන්ට නොපෙනෙන්න
සඳමඩල සඟවන්න
කිලිටු සිත් නොමඑන්න
ගේ පහන දල්වන්න..

නැවුම් කළයෙන් නාවා
පිරුවට සුදෙන් අන්දා
ගුරු දෙගුරු නැමදීලා
වඩිනු මල් කුමරියේ..
View Poem

මහාචාර්ය ටී. එල්. ගුණරුවන්

2022 ඔක්තෝබර් කලාපය

අඬමු ද රට තොටේ - නැති ද සළු හැඳ ඉණ වටේ ... ??

මරණයෙදි කෙනෙකුගේ
නැහැ කිසි සතුට සිතෙ මගේ
එතෙකුදු දැක රඟේ
මවිල් ඉපිළෙයි සියොළඟේ

අපෙ රට යට කරපු
සුවහසක් දූ පුත් මරපු
හෙළ දැයට වින කරපු
අදිරද නොවෙ ද මහ රුපු ?

පෑගු දැයෙ තිබු ජවේ
ඉදිරු නිදහස සිහි මැවේ
කුමට තැවෙමු ද ලොවේ
උන් ගිය කල දි පරලොවේ ?

නැති ඉසුඹු එම රටේ
දී ඇත මෙහෙට ගැසු ගැටේ
අඬමු ද රට තොටේ ?
නැති ද සළු හැඳ ඉණ වටේ ....??

මැරුණු අපෙ විරුවනට
නුදුන් ගරුවක් කිසිවිට
දිය යුතු ද සතුරනට ?
නැති ද සිහි අපෙ මොළයට ....??

අපේ පර ගැත්තෝ
රට ගැන වගක් නැත්තෝ
කළුසුදු ඇබිත්තෝ
අවමඟුලෙ යන ඉත්තෝ

දෑ හැඟුම නැති එවුන්
රජ පුටුවලට යැවු පවින්
වැටී රට යළි දණින්
සුුදු වැඳුම නෙතු හැර බලන්....

දැයෙ අපෙ නිදහසට
ලේ වැගිරු හෙළ විරු හට
නිගරු දෙන රටකට
හිරු පායයි ද කෙලෙසට ?

දහ අටේ - හතළිස් අටේ
පොළොවෙ හෙළු ලේ මුතු කැටේ
විරු ඉපිද යළි රටේ
දීන සිවලුනට දෙනු මැන බැටේ .... !!!

2022 සැප්තැම්බර් 17
View Poem

හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව

2022 ඔක්තෝබර් කලාපය

සරත් සඳ යට

සරත් කල පිරුණු සඳ යට
මුදු රිදී පැහැ එළියෙන්
උද්‍යාන තෙමෙද්දී
මරණය නම් වියපත් සරදම් කරන්නා
සියල්ල මතක ඇති
සොඳුරු මිතුරෙක් ලෙසින් පැමිණ
රහස් කියාවි නුඹ හට

වසත් රෝස කුසුම් යටින්
වනයේ රත් පැහැ පත්වල
අඳුරු ලෝහිත පැහැය
සැඟවී එබෙද්දී
දහසක් මතකයන් ගෙන
ආදරය ඇවිදින්
සොඳුරු, පිළිතුරු නැති පැණ අසමින්
සියුම් දෑතින් නුඹව පිරිමදිනු ඇත

Translation of the poem ‘Under the Harvest Moon’ by Carl Sandburg
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

ඇමෙරිකාවේ ඉලිනොයි ප්‍රදේශයේ උපන් කාල් සෑන්ඩ්බර්ග් (1878-1967) ප්‍රකට කවියෙක්, ගත්කතුවරයෙක් මෙන්ම ඉතිහාසඥයෙක් ද විය. ඔහුගේ නිර්මාණ වෙනුවෙන් ඔහු තුන් වරක්ම පුලිට්සර් සම්මානය දිනාගෙන ඇත.

Original poem:https://poets.org/poem/under-harvest-moon
Poet’s Biography translated from: https://www.best-oems.net/carl_sandburg/index.html
Photo- Unsplash
View Poem

මාලපල්ලේ හේමාංගි අමරසිංහ

2022 ඔක්තෝබර් කලාපය

අරුම සෙවනැලි

ළමාවිය ළංවී ළයට තුරුළු ව
ළපටි අරුමෝසම් දමද්දී
නොතේරුණු දෑ බොහොම
බැරෑරැම් වී එද්දි
සිත සළිත ව ගියේ
ළාමක ව රිදවමින්
සිතාගත නොහැකි වී...

අනෙක්වුන් පොරකද්දි
ජීවිතය දකිනු ව ජයට
මා ගියේ ගනු පිණිස
වැහැරෙන මගෙ දිවිය
මිහි දනට නොදෙනු පිණිස...

අක්කා නොසිටින්නට
ඒ කර්තව්‍යයත් හමාර ය
වසර දෙක-තුනකටත් එහා
එහෙනම් මේ කව නොලිය වී...

දෙනෝදහසකගෙ දිවි
තොර කැරෙන සන්ධිස්ථානයට
මම ද ගියෙමි අපේකෂාවකින්
වික්ෂිප්ත වූ මගේ හද පෙලා
නැගුණේ නෙතග කදුළක්
උපහාසාතමක හඩින් හඩන්නට
ඉකි ගස-ගසා වෙව්ලන දෙකොපුලෙන්...

වට-පිට බැලීමි...
නෑ අයියා පෙනෙන්නට
පුරුදු අක්කාගේ මුහුණ
විඩාබර පියවෙන නෙත් පියන්
විටින්-විට...
කෝ කුමාරී - චූටී කොහේ ද
අයියාට කීවේ නැද්ද... එනවැයි කිවේ නැද්ද...
කරදරයි අයියට
කොච්චර දුරක් එන්න ද
දකින්නත් ආසයි
අක්කෙ අපි එන්න කියමු ද
තවත් එක සැරයක්... ආසයි බලන්නට
මං ඉතින් මේ පුටුවෙ ජීවිතේ ගෙවනවා
එහාටත් - මෙහාටත් -කැරකෙමින් ඉන්නවා
සකය මත ජීවිතය නැවතිලා... නැවතිලා...!

01.10.2022
View Poem

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා විශාකා විද්‍යාලය

2022 ඔක්තෝබර් කලාපය

කටු මල්ද මහනෙල්ය

රෝස පෙති ඉරෙන විට තෙමෙන මුදු කම්මුල්
නෙළුම් පෙති තෙමෙන විට සිනාදෙන මුතුවැල්
නිදිකුම්බා මල් සිනා දැක රිදෙන දෙපතුල්
පොපි මල්ය රිදි රිදිත් සිනා දෙන නිකැළැල්

පතොක් මල් නොම නෙලන රන් දමක් වන් අත්
රතු රෝස අතු වලට දිගු කරති බවලත්
ඉඳහිටක කටු මතට හීන් වැහි වැස්සත්
කටු ගහේ මල් වැරදි නෑ කටුද ඇතිමුත්

දේදුන්න දිය කරන් පාට ගා ගත්ත මල්
කටු ගහේ මල් වලට කරන මුත් සමච්චල්
කටු ඉතිද තුරු වැල්ද හුරුව ඇති සෑම කල්
රුදුරු වුව කටු මල්ද මෙනිය මට මහනෙල්
View Poem

හර්ෂ ප්‍රසාද් විද්‍යාතිලක රත්නපුර

2022 ඔක්තෝබර් කලාපය

සිංහගිරි වරුණාව

සිරිසර මවන දසතම බල රස මැව්ව
විසිතුර නයන තුල නෙක නෙක කව ලිව්ව
සිහිකර නිවන සරතැස දුර නැත ගවුව
මිහි බර දරන හෙලබිම සිහගිරි පව්ව

හිමිකර ලවන තුල සිරියට මන බන්දා
විසිකර සිහින ලද නිලුපුල් රුව වින්දා
සිහිකර වරුණ ලඳකගෙ රුව ගුණ රන්දා
වැහිබර පවන සමවන සිතුවම ඇන්දා

දිස්වන දුරුතු හද සීගිරි කුලට පැන
වස්සන සුසුදු මද සිසිලැති කිරණ දෙන
ගස්සන පහුරු මත කැටපත අකුරු ගෙන
ලස්සන කුරුටු ගී කාගෙද කියනු මැන

හිරු දෙවි නැගෙන විට වටකොට ගිරිදේවී
විරු සවි රැගෙන එන වද උණුසුම යාවී
මරු දිවි පතන විට සැඟවුව සිරියාවී
ගරු කවි සවන තුල රැව් පිලිරැව් දේවී

මින්දද විදින හී එක පිට එක වැදිලා
වින්දද සහන ගල් කුළු සයනය අතුලා
පින්කඳ නුවණ නැතුවද ඇගෙ ගැන හිතලා
රන්කඳ කියන දෙවුරුවෙ නිරුවත ඇඳලා

මිතුරන් වදුලු ගිරිමත එකමුතු කරලා
සතුරන් සියලු මඩිනට සැලසුම හදලා
වගුරන් කදුළු කුමටද පිය රජු මරලා
මසුරන් බිඳුලු කස්සප හෙළයට උඹලා
View Poem

ජානකී එදිරිසිංහ

2022 ඔක්තෝබර් කලාපය

ඇගැයිම

කවියෙක් නොවෙමි නමගිය
කවියක් කියමි අවසර
මිහිරක් කවි ~ ලන්ඩනය
තෙවරක් පුදමි ආදරය
View Poem

ජයතිලක කම්මැල්ලවීර

2022 ඔක්තෝබර් කලාපය

ඔහු සහ මම

ඔහු කියයි අපට
"මා කියන දේ පිළිගන්නම අවශ්‍ය නැහැ
ඒත් ඉවසිල්ලෙන් සවන් දෙන්න
අනෙකාට සවන්දීම ප්‍රගුනකිරීම
අවශ්‍යයි යහපත් සමාජයක් ගොඩනගන්න"

මම හොඳින් සවන් දී හිඳිමි
වචනයක් වරදින තැනක් අල්ලා ගන්න
හොඳට රිදෙන්න දෙන්න ඔහුට
16-09-2022
View Poem

ජීවන් දේශප්‍රිය

2022 ඔක්තෝබර් කලාපය

මල්_කඩුපුල්

දිනිසුරුගෙ කැලුම් විඳ, නිසයුරුව දකින තුරු, නිරන්තර සුවඳ දී, නටු මතින් සුපිපෙද්දි
තනි නොවී පිරිස් මැද, මල් පොකුරු පුරාවට, හිනැහෙමින් රිසි ලෙසින්, වර්ණ වල මුහුවෙද්දි
පිනි පහසෙ නැහැවෙමින්, සිහිලසක වෙලි වෙලී, මිහිමඬල සිප අරන්, රටාවන් අතුරද්දි
මිණි කිරුළු අහිමි ඇයි, අනේ මේ "කඩුපුල"ට, මැදියමක ඇහැරිලා, මොහොතකින් මියැදෙද්දි...

නෙත් පැහැර මන බඳින, ශ්වේත පෙති මත මුසුව, සුළං සර විතරමයි, බොහෝ විට දඟවුණේ
මත් බිඟුන් වත් නොමැත, ගිණි ලමැද නිවන්නට, සෙව් සුවය අරන් තුඩ, කෙලෙසවත් ළංවුණේ
රත් අනඟ දුනු හීය, බැරිවෙලා මිස කිමද, ප්‍රේමයක් මුසුවෙලා, පපුවකට නොවැදුණේ
සිත් රිදුම් පමණමයි, තුරු හිසත් දොස් නගයි, රැකවරණ නුදුන්නත්, තරහනම් නෑ වුණේ...

තරු දිලෙන හීන සැම, දැන දැනම මිලින බව, මියෙන්නෙමි හෙමි හෙමින්, වියාගෙන කාන්තී
හුරු ගැහැණු හැඟුම් මුත්, සිරුරකට සමවෙන්න, සැත් තුඩින් සැරසුනෙමි, නමුදු නැත යාන්ත්‍රී
පිරු පැතුම් අභියසක, දිනූවත් රුව වරුණ, ඔසු මතම ගෙවන්නෙමි, සොය සොයා ශාන්තී
දුරු කරන් අපුල රළු, ගුණයෙන්ම බලනු මැන, ළඳකි මා පෙර පිරිමි, වුණා සංක්‍රාන්තී...

25/08/2022
View Poem

කුමාරි පතිරණ එක්සත් අරාබි එමීර් රාජ්‍යය

2022 ඔක්තෝබර් කලාපය

කොඩියෙන් හඬක් .....

අතට කුමට දුන්නද දිලිසෙන
කඩුවක්
වටට තියා පින්බර බෝපත්
හතරක්
හිතට එඩිය වැඩි මුත් වෙයි අව
නඩුවක්
පිටට යන්න බෑ මැද ඇත රතු
කොටුවක්

සයුර මෙපිට බැබළුණු පොඩි මුතු ඇටයක්
පැතිර ගියපු අභිමන වී ඇත
අඩුවක්
විසිර කෙසර ඳඟ දෙයි එන විට
සුළඟක්
වැතිර කියමි දෙනු මැන කඩුවට
කොපුවක්

කොතන කොහොම එසවූවත් ඇද නූලක්
එතන ඇසෙයි සුන්දර සිරි බර
ගීයක්
මෙතන මෙහෙම හිටියට මට ඇත ගායක්
වැටුණ නමුදු නැගිටිව් මෙය රන්
යායක්

2022/09/18
View Poem

කමනිකා මොහොට්ටිගේ

2022 ඔක්තෝබර් කලාපය

සිගිරිය විසින් කාශ්‍යප රජු වෙත.

තලන, පාගන, නගින, තරඟය
තබයි හිසමත මහ බරක් ..
අප්සරාවට කුරුටු ගී කව
බින්දේ ගල නොව හිත මිසක්..
බැඳුම් රැකුමට හෙලු කඳුලින්
දෙගොඩ තැලුවා හද විලත්..

තනිකඩ දවස් වල කසුප් සගයනි,
අනේ මං නිදහස් ගලක්! ....
View Poem

කපිල කුමාර කාලිංග

2022 ඔක්තෝබර් කලාපය

සැප්තැම්බර්

කඩා දැමුවෙමි
අගෝස්තු කොළය
දින දසුනෙහි
ඔන්න ඇවිත්
සැප්තැම්බර්
යළිත් ඇවිත්
සැප්තැම්බර්

කෙතරම් වැදගත් ද
සැප්තැම්බර්
සැප්තැම්බරයේ
උපන් කෙනෙකුට

මොනතරම් මතක
පිරිලා ද
සැප්තැම්බරය තුළ
හැම දවසක්ම
මාසයක් වගේ දිගයි

තව කොතෙක් සැප්තැම්බර්
ඉතිරි ද නොදනිමි මට
කුමට තැවෙමිද ඒ ගැන
උදාවුණා පමණයි තවම
අලුත් සැප්තැම්බරය මේ

සැප්තැම්බරය ඔබ
මවක් වාගෙයි මට
ජීවිතය පිරිනැමූ
ඇදුරියක හා සමයි
ප්‍රේමයේ මුලකුරු කියාදුන්

සැප්තැම්බරයමයි
වසන්ත කාලය
දිගාසිරි කුසුම්
මා වටා සුපිපෙන
ගෙවී යන නමුදු
මසින් මස මා දිවිය
ඇද වැළඳ සිපගනිමි
ළබැඳි සැප්තැම්බරය .



03 සැප්තැම්බර් 2022
View Poem

නීතීඥ කල්‍යාණප්‍රිය ජයසුරිය කොළඹ

2022 ඔක්තෝබර් කලාපය

සුමුදුය සුකුමල​

සුමුදුය සුකොමළ පහස අදද මට
හමුවූ මුල් දිනයෙම වාගේ
හිනහව පිරි මුව කමළෙහි සෙනෙහස ඉතිරෙනවා ගලමින් දෝරේ

කාලය ගතවුණි විඩාබරයි අප දෙදෙනාගෙම සුපහන් ජීවේ
එනමුදු ලෙන්ගතු කමේ මහිම ඔබ
මා නිතරම රහසින් කීවේ

කාගේ කවුරුද කොහිසිට ආවෙද ඔබ මා හඳුනා ගන්න ඇතී
ඉඟියෙන් මෙන් ඒ හැඟුමන් පැතුමන්
මතු අත් භවයෙත් පතමු අපී
<div style="position:relative;padding-bottom:56%;">
<iframe width="300" height="659" src="https://www.youtube.com/embed/tPwd8VigArA" title="Sumuduya Sukumala - Pradeepa Dharmadasa (Lyrics: Kalyanapriya Jayasuriya)" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen style="position:absolute;top:0; left:0; width:100%;height:100%"></iframe></div>
View Poem

කුමාරි විජයරත්න ලන්ඩනය

2022 ඔක්තෝබර් කලාපය

රැජින

ලොව හුග දෙනෙක් ලොකු අගයක් දුන් කෙනෙකී
ඔබෙ ජීවිතය මිහිරට ලියවුන කවකී
සිනහව පිරුන කරුණාවෙන් බර වතකී
රැජිනක් මෙන්ම ඔබ හරි සුන්දර කතකී

සියවසකට කිට්ටුව ගෙවුනා දිවිය
අවසානයෙත් තිබුනා සිත ගත සවිය
ළං විය නොහැකි යහගුණ ඔබෙ හරි දුරය
ඔබ සම කෙනෙක් ළගදී රජ වනු බොරුය

හිරු නොබසින රජයන් ඔබටම හිමිය
සුරු විරු කම් උපතින් ඔබහට සතුය
කරුණා දයා ගුණයෙන් පිරි සුරවමිය
හොරු අරගෙන ගියෙ ඇයිදෝ රාජිනිය
View Poem

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

2022 ඔක්තෝබර් කලාපය

තී වෙති ද මාරයා හද ගිනි පුපුරු ලන

කදුරු වාගේ තිත්ත කරුවල
කලු තෙරක එක් දනව්වක හිඳ
විය සිදුර බිඳ පහන් එළි ඇති
දුරු දනව්වක දිවි හරඹෙ හිටි...
තුරඟයකු පිට නැඟී ගත් නුඹෙ
දෙපා යුග බිම නොගැටුණෙ ද රළු
වේගයෙන් හඹ-හඹා ගියෙදැයි
පමණටත් වැඩියෙන් සිතෙයි මට...
කැලෑ කටු පඳුරින් පොහොදු වුණු
පිපුණු කැකුලේ අගය නොදැන ද
ගැමිකමේ සෙනෙහස නසා-නුඹෙ
හුරුබුහුටියත් සුනු-විසුණුකොට!

නොබසිනා හිරුගේ ඉමෙහි සිට
අරුමෝසමට දෙනෙත් නතු කර
බලා සිටියෙ ද තව ඉරක්-පායනු
දකින්නට දිවි අඹරෙ තෙර!!
කාලයේ වැලි තලාවේ යට
උස්-පහත් වූ සියුම් සිතිවිලි
එබෙයි තවමත් වරින්-වර-මායිමේ
හිඳ වැට කඩුලු බිඳගෙන...
හමු වුණේ හැටියට ද ඉරණමෙ
ආ-ගියේ ලොව් “අටේ දහමට”
දෙළොස් කොටුවෙ ම ලියැවි තිබුණෙ ද
බොඳ ව ගිය අපැහැදිලි ව අකුරින්...
කරමි නිවැරැදි මේ සැහැල්ලෙන්
සිදු ‌වෙලා ඇති ඒ විපැත්තිය
ඉතා පැහැදිලි රවුම් අකුරින්
සනස ගනු පිණිස ම මගේ සිත...
තී වෙති ද ඒ මාර වෙසඟන
අපේ හදවත් තුළට රිංගූ
මේ ඇය ද නොව නුඹේ හද ගිනි
දුන්න යුවතිය මහද ගත්තූ!!!
View Poem

ලයනල් ගමගේ ඌරුමුත්ත

2022 ඔක්තෝබර් කලාපය

එදා පෙම්පත

ලියුමක් ලියා මුතු අකුරින් මනාව ට
කවියක් ගොතා මුමුනන විට ලතාව ට
මනසින් හිත හිතා කාලය ගෙවන වි ට
ඒ ලද පෙම් සතුට අදටත් තියේ ම ට
View Poem

ලක්විජය සාගර පලන්සූරිය

2022 ඔක්තෝබර් කලාපය

ජගත් පොත් සල්පිලේ

<img class="alignnone size-full wp-image-10056" src="https://londonkavi.com/wp-content/uploads/2022/09/Notes_220926_093909-3-1.jpg" alt="" width="766" height="1160" /><img class="alignnone size-full wp-image-10055" src="https://londonkavi.com/wp-content/uploads/2022/09/Notes_220926_093909-3-2-scaled.jpg" alt="" width="723" height="1600" /><img class="alignnone size-full wp-image-10054" src="https://londonkavi.com/wp-content/uploads/2022/09/Notes_220926_093909-3-3.jpg" alt="" width="848" height="1150" />
View Poem

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

2022 ඔක්තෝබර් කලාපය

බොදු දම ගෙනෙයි සොරුනට කැප නැති සතුට!

තුටියෙන් සිටිය යෙහෙළියො යහලුවො සමග,
රස බස, රස බොජුන් සිනහද අඩු නැතුව,
ලෙඩ දුක මහලු විය ඩැහැගෙන ඒ සතුට,
බොදු දම ගෙනෙයි සොරුනට කැප නැති සතුට!

මස ඇහැ දකිමි, නොයෙකුත් මනහර දසුනන්.
මන ඇහැ සුව විදිමි දකිමින් ඒ දසුනන්
අල්ලා නොගෙන සිරකර ගන්නේ නැතිනම්,
දසුනන් ප්‍රිය ද නොපිරිය වග නැත අගයන්!

නහයට වැදුන ගඳ සුවදද වගක් නැත.
දිව උඩ තබන රස නොමරස ගැටෙනු නැත,
සවනට වැටෙන හඬ මිහිරිද කමෙක් නැත,
මෙ කයට සැපක් නොසැපක් යනු ශුන්‍ය ඇත.

මෙලෙසට මනස ඇතිනම් දිවි තිබෙන තුරා,
එතෙරට යැවෙන ශක්තිය අඩු කෙලෙස් දරා
මම ලෙස පැවති අදහස නිරතුරුව සදා,
ධම, ඔබ පිහිට සමගින් අඩු කරමු මෙදා!
View Poem

මන්දාර ලියනගේ පර්ත් , ඔස්ට්‍රේලියාව

2022 ඔක්තෝබර් කලාපය

බෙලහීන මිනීමැරුම

ගංදබ්බයකු සේ සැරි සැරූ තුන් භවනයෙහි
අවසන සම්මුඛ විය මට මානස ගර්භයක්
සිතා එය පෙර සේ තවත් එක් මංගල ගර්භයක්
ගියා නොසිතා දෙවරක් ඉල්ලාගෙන වල්ලි අම්මාගෙන් මම වරයක්
හිරු කිරණ මව් කිරන මුසුවූ ආදරය පතා හැඬුවෙමි කෑ ගසා
නැත ඇසුනේ මා සප්ප හඬ මේ ගෝනි පඩංගුව හරහා
වේදනාව නැවතින අවසන මා මනෝකාය ගැලවින
නැත ඕනෑ නැත මට වරයක් යන්නට නැවත ඉපදෙන්නට මනු ගර්භයක
View Poem

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

2022 ඔක්තෝබර් කලාපය

17 වැනි මහලේ සිට

යහපත් දිනක මතු දොර ගුළු අරින්නට
නිති දුක් විඳිමි දරු පරපුර රකින්නට
දවසක් නොහැර මහ ගිරිදඹ නගින්නට
සමයක් ලැබිමි දුෂ්කර වත පුරන්නට

දකුණත සිඳුය නිරතුරු රැළිවැල් නැගෙන
වනයක ඉඳිමි මන්දිර අහසත් සිඹින
නෙක නෙක මුහුණු ඇති මුත් සිනහව පිරුන
කිසිවෙකු නොමැත මට නම් හදවත දැනුන

සුරතල් සතුන් සදනට බැරි නීති ඇතේ
දරුවන් වැඩේ නොමැතිව කිසි තෙතක් හිතේ
මිතුරන් ඥාතී පරපුර හා හවස් අතේ
හමුවන් විඳින නිදහස නම් ඉතින් නැතේ

මැස්සෙක් මදුරුවෙක් ආවත් යම් විටක
කොලයක් ලියා අවසර ගතයුතු හනික
තිබුනත් නේක “හැපනින්” ගෙවි හැම පැයක
පුදුමයි නොදේ සිත සතුටක් කිසි ලෙසක

ඉතුරු කලත් කාලය ගිරි දඹට වෙලා
මිතුරු වුනේ පාලුව මුළු දිවිය පෙලා
සොඳුරු නොවෙද මෙහෙ කියමින් සිතම මුලා
නපුරු සිහින විඳගමි හෙට දිනය බලා

2022 බිනර මහේ දවසක ලියමි
View Poem

මාවැලි කුමාරී කුලතුංග - මහනුවර

2022 ඔක්තෝබර් කලාපය

සිහිනෙන් වත් අනේ හැකිනම් පැමිණෙන්න

හැරදා ගියත් රුව, කය අම සුවය ලබා
හැමදා මිහිරි මතකය අප ලඟම තබා
යලි නොඑනා බවක් නොසිතෙයි සිටිමි බලා
වෙනදා වගේ හිනැහෙනු දොර හරිනු බලා

දුක සැප සමව විඳගත්තේ අපි එකට
නෙක කම්කටොළු ආවත් වින්දෙමු සතුට
රැක ගෙන දුවා දරුවන් තුරුළුව සිතට
දුක දී අප දමා ගියමුත් නෑ
කහට

සතුටින් සියළු දෙන එක්වූ මොහොතකදී
සැණෙකින් ඔබත් නොදැනම නික්මුනි සමුදී
නිදුකින් හොඳම භවයෙක ආයෙත් ඉපැදී
ඉවසන් , ඔබ සොයා මා එමි ලෙස පෙරදී

ඇදහිය නොහැක තවමත් ඔබ නොමැත කියා
ඇසිපිය හෙලන මොහොතට දිවි අතැර ගියා
සමුදිය යුතුවුවත් තවමත් හිඳිමි බලා
ඔබ දී ගිය මතක සුවඳට තුරුළු වෙලා

සියලුම යස ඉසුරු ලැබ යලි ඉපැදේවා
සැනසුම සතුට පිරි දිවියක් ලැබදේවා
කවදත් මුවග රැඳි සිනහව නොමැකේවා
නිවනට යන තුරා යලි අප හමුවේවා !


දහසක් සිතේ ඇත ඔබ හා පවසන්න
අතොරක් නැතිව සිතුසේ දොඩමළු වෙන්න
මොහොතක් ඔබේ සිනහව යලි දැකගන්න
සිහිනෙන් වත් අනේ හැකිනම් පැමිණෙන්න
View Poem

මයුරි කොඩිකාර ගම්පහ

2022 ඔක්තෝබර් කලාපය

මහපාලිගෙ යාදින්න

කුදිරමලේ තොට වූවනෙ ගොඩබැස්සම
තම්බපණ්ණි
ඉඳිගොල්ලේ කිරි අම්මා අතහැරියනෙ
යක්කසණ්ණි
කුකුලපොලේ නම තිබ්බා මගහරිනට
හද්දවන්නි
දළුලන්නේ හද පෙම්මා තුන් පියයුර
සින්දගන්නි

පාව දුන්නට රැහේ උන්වත් වූව සෙතකුත්
නැති තරම්
වීය සිහසුනෙ රිදී ඉරකුත් රැඳී උන්නත්
හැකි තරම්
නේක අවමන් විඳී තවමත් පාර වන්නන්
ඇති තරම්
සාපෙ වැදුනම මිදී යන්නත් දොලපි දුන්නත්
බැරි තරම්

කිරිකොරහ නැටුවාට නිරිඳුනි හැකිද
සිතකින් ගැලවෙන්න
රියසකක් විලසේම එනවනෙ කරුමෙ
විගසින් ඇලවෙන්න
සයුරුදිය කැළඹූවෙ දෙඅතිනි සත්ම
කඩෙකින් විසිවෙන්න
අතුරුඵල විඳවූයෙ දරුවොය දිවියෙ
මියෙමින් විඳවන්න

අදත් ඉන්නව ගැහැණු බොහොමත්
කුවේණියකට පණ දුන්න
අතත් අල්ලල අමුතු විදිහට
කුසගින්නෙ ලැබු බත් වැන්න
දිනක් කෙදිනද වැපිරු බිජුටික
තමන් සන්තකෙ කර ගන්න
දමක් වෙළුවද රනින් කිමපල
හැකිද දොරගුළු හැර යන්න
View Poem

නිශ්ශංක දිද්දෙණිය

2022 ඔක්තෝබර් කලාපය

යසෝදරා අවදියෙන් (ජන සාහිත්‍යයේ ‘යසෝදරා’ කාව්‍ය ඇසුරෙන්)

"තෙමා වැටේ මගෙ සළු පිළි නෙත් පුරවා
අමා රසක් වැනි හිමි සඳ සිහිවෙනවා
දමා කුමරු වැඩියා මට සිහිවෙනවා
මෙමා හැර ලියෝ ලෙව් තුළ ඇද්ද තවා"

දෙනෙත පියාගෙන උන්නු නමුදු
නොම උන්නෙමි සුව නින්දේ
අවුදින් ඔබ අප දැක යළි පෙරළා
ගිය’යුරු සිහියෙ රැඳේ

ස්වර්ණ නිධානය ලෙස රැක ගන්නට
ලෝබ හැඟුම් නොතිබුණාා නොවේ
සසර පුරුදු ලද සංවර සිත මිස
බිම්බාවන් ඉඩ දුන්න නොවේ

කන්තක ගේ කුරහඬ වියැකී ගොස්
අවට ම නිසල ව තිබුණු රැයේ
නිදි නැති යහනේ දුක’ඳුර ගැලුවේ
ඉකිලන සුසුමින් දැවෙන ළයේ

භවෙන් භවේ අපි ආ සැටි සිහි වී
හැඬූ කඳුළු යුග නෙතු පුරවා
සිතින් දරාගෙන ඉවසා උන්නේ
ඉවෙන් දැනුණු හින්දයි බුදු වෙනවා

"සුවඳ බොජුන් වැළඳූ මගෙ හිමි සඳට
නිබඳ බොජුන් රසකර දුන් වළඳන්ට
සුවඳ පලාපල මැවියන් හිමියන්ට
සුවඳ මල් නිතර පිපියන් රන් කඳට"

2022.09.19
View Poem

නාලිනී කොඩිකාර - මෙල්බන් නුවර

2022 ඔක්තෝබර් කලාපය

සෙබළ දියණිගෙ මව් උදානය

හිසට උඩින් නිල් අහසයි
දෙපා යටට මහ පොළවයි
මිහිකත වට මහ සයුරයි
දියණිය ඔබ ලද උරුමයි

මව් කුසින් විළිරුදා බිහිවූ
මගේ රන්කැටි දියණි බිළිදූ
පෙවූ රන්කිරි මගේ රුහිරූ
රන් මලක් ලෙස වැඩුනි සොදුරූ

ගමේ සිනා රැලි කොමලියේ
ගඟේ දිය කෙලින කිඳුරියේ
නිවසෙ සුරතල් දියණියේ
කමතෙ වැඩ කළ මිහිරියේ

රනින් වළලු නැතත් අතේ
බරට රැගෙන අවිය අතේ
රුපුන් දිනන දිරිය සිතේ
කඳුළු නොමැත ඇයගෙ නෙතේ

පපුව තුළ රැඳි යමක්
දිටිමි ඔබ තුළ සමත්
රණ බිමට ඇති පෙමක්
අවසරයි ... අකමැති වුවත්

එඩිය පපා රුපුන් සමඟ පෙරළී
අහිමි වුවත් දෙපා ඔබේ ගැලවී
මගෙ දියණිය ලොවට උතුම් සෙබළී
මා ඉන්නම් කරුවක් ලෙස කිහිලී
View Poem

නුවන් තොටවත්ත

2022 ඔක්තෝබර් කලාපය

බතලයා .

"අල්ලනව අත. තමුසෙ මොකද අර ටිකක් මහත දරුවට "බතලයා" කිවුවෙ. ඕවද අපි මෙච්චරකල් ඉගැන්නුවෙ ?"
- විනය බාර සර්
.
.
තඩි බඩක් හෙම නැතුව හැඩට හිටි දාක
මහෝදරටත් නමක් තිබුන් නැතිවාද
දන් දුන්න නිසා පට බැඳුනමුත් ඒක
අණේ පිඬු කියන්නෙත් කාඩ් එක නේද ?

කාලගෝලලා ගැන කට පුරා කීවට
කරාඹුව කැත නිසා මට්ටකුණ්ඩලී වූවට
රජ්ජුමාලා කියල කියද්ද්දී ඒකිට
සර් වත් කිසිතැනක වැරැද්දක් කීවද ?

රෙදි නැතිව ඇවිදින්න උනත් මහ මග දී
පටාචාරට නමක් තියෙන්නැති මුල දී
දුශ්ඨ - ගාමිණී ගැන උගන්නපු තැන දී
"බතලයා" කියපු එක විතරම ද වැරදී ?
View Poem

වෛද්‍ය නිලූෂි වීරප්පෙරුම

2022 ඔක්තෝබර් කලාපය

ඇස් පියල්ලක සගවා සුරකින ආදරය...

පිනි බිංදුවක සිසිල තැවරුණු
ගිම්හාන හිරු කිරණක උණුසුම
වසන්ත සද මඩලක එලිය
වලකුලු අතරින් විහිදුවන ආදරය…

වදනකට වරදක් සොයන
නිතර හදවත බිදින
ඉවසීමක් නැතිව රිදවන
මනස ඔත්පල කරවන ආදරය…

වෙරලක රල මෙන් සරණ
ලංව යලි යලි ඈත්වන
ඈත්වුනු සැනින් යලි සොයා එන
හදවත සුවපත් කරවන ආදරය…

කාලාන්තරයක් සිතුවම් කල
අහිමි ආදරයක සිත්තම
වර්ණවත් සායමින් පිරියම් කර
අවසාන සිහිවටනය තනවන ආදරය…
View Poem

නිමල් අබේසිංහ - කඳාන

2022 ඔක්තෝබර් කලාපය

සුනිලුනි !

දළදා මැදුර අභියස උඩවත්ත කැලේ
තුරු වැල් සර සරින් සුළඟක් නැතිව සැලේ
මුකුළිතවෙලා නෙක තඹුරුද නුවර ජලේ
කොළ මල් වලින් නිරතුරුවම කඳුළු සැලේ

නිසලව බලා හිඳිනා බහිරව කන්ද
හොර රහසින්ම ඔබ අරගත්තේ මන්ද
මෙතුවක් කලක් අප හා සෙනෙහස බැන්ද
අහිමි කරන්නට වූ කාරණ මන්ද

මන්දහාස නැඟුණේ හද ගැඹුරින්මයි
නින්දා අපහාස දෙස බැලුවේ නැත්මයි
බැන්ද සෙනෙහසට සකි සඳ මිතුරෙක්මයි
කැන්ද ගත්ත අය අපගේ හතුරෙක්මයි

මන්දාරම් අහස බැලුවේ හඬන්නයි
මාවැලි ගඟට ඒ වැහි බිඳු පිරෙන්නයි
දෙගොඩ තළාගෙන ජල කඳ ගලන්නයි
එගොඩ වෙන්නෙ කෙළෙසද සිත දුකින්මයි

පැහැසර සිනා මල් සිහිවෙනවා නිබඳ
ඒ සර ගැන ලියන්නට නොහැකිය පබැඳ
මේ භව මෙන්ම මතු භව වලදිත් ළබැඳ
දුන් සෙනෙහසම පුදකරනෙද නුඹ සබඳ
View Poem

නිරෝෂා ගුණසේකර - බුත්පිටිය

2022 ඔක්තෝබර් කලාපය

යමුද අපිත්....

අහංකාර ඒ හිත ලඟ
වහං වෙන්න මනාප මට
⁣ලැබුණි සෙනෙහසක් අපමණ
නොබිඳෙනා සිතින්........

තහංචි මැද බැඳුනු පෙමට
හතර මායිමක් කුමකට
ලොවට හොරා දොඩමළු වෙමු
සෙනෙහෙ පිරි නෙතින්...

දහක් දෙන බලා සිටියද
වගක් නොගෙන හෙමි හෙමිහිට
ගෑවි නොගෑවී යන ලෙස
අල්ලමින අතින්....

මන්දාරම් අඳුර ගලන
සෙංකඩගලපුර නුවරට
යමුද අපිත් එක දවසක
වඳින්නට බැතින්.....
View Poem

ප්‍රීති පෙරේරා - තලවතුගොඩ

2022 ඔක්තෝබර් කලාපය

බිම වැටුන වදන් වැල

බිම වැටුන වදන් වැල

අහම්බෙන් බිම වැටෙන
බොඳ වූ වදන් වැලක
නිමිත්තෙන් තිගැස්සී
අතීතය දෙස බැලිණ

කාලයත් වේගයෙන්
ගෙවී ඇත මට හොරා
මතකයේ පුරාවට
ඇදී යයි මකුළු දැල

යළිත් අරඹන නියා
හනික පන්හිඳ අරන්
නිමා කෙරුවද ලියා
දෙගිඩියාවක් දැනේ

එකින් එක සසඳමින්
හිත විඩාබර වෙලේ
මෙතෙක් සැඟවුන කවිය
කොතැනදැයි මට පෙනේ
View Poem

ප්‍රීති රන්දෙණිය

2022 ඔක්තෝබර් කලාපය

අපිත් පොදි බදිනවා

මේ ලෝකේ දකින පලමු දවසෙ
හිනාවෙච්ච කෙනෙක් වේද
එනකොට අපි හැමදෙනාම
ආවෙ හඩාගෙන නොවේද

එක නූල් පොටක් ඇගේ ඔතන්
ආපු කෙනෙක් ඉන්නවා ද
නෙක මෝස්තරෙන් දිලිසුනාම
ආ හැටි මතකේ තිබුණ ද

අත ගුලිකරාන ආපු අපේ
අතේ සොච්චමක් තිබුණ ද
ගහ මරාන ගොඩ වැඩි කරාට
යන්නේ ත් හිස් අතින් නේද

ආවොත් නවතින්නම බැහැ
යන්න ම වෙන වා දන්නවා
ඒ වුනා ට ආපු දවසෙ
ඉදන් අපිත් පොදි බදිනවා
View Poem

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය

2022 ඔක්තෝබර් කලාපය

හිදැස්

ජීවිතය, මිය ඇදුණු තාරකාවකි රැයේ
පාළු අහසක නිදන බිළිඳෙකිය මේ පැයේ
දේවතා එළි අතර ගීතිකා පද ගැයේ
වස්දඬුව හා මුසුව වළා වීණා වැයේ

ධූමකේතුවක් හද ගැඹුරටම සම වැදී
යන්න යයි හිස් තැනක් ඉතිරි කරමින් මිදී
පාලුවෙන් ලෝකයම ගිලෙන්නට ඉඩ දිදී
වාලුකාවක් වගේ අහස් තලයම නිදී

මිතුරු තාරුකා එළි සදාකල් දිලේවා
අන්ධකාරය මතින් සිතුවමක් ඇඳේවා
පෑරෙනා මතකයේ කැළැල් සුව නොවේවා
හදවතේ හිදැස් තැන් හිදැසක් ව තිබේවා
View Poem

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

2022 ඔක්තෝබර් කලාපය

නොමවන් මලක් කඩුපුල්.....

දල්වා නුවන් නිලුපුල්
පුබුදා හදක් කුළුදුල්
පැතුමක් මවා සුවඳක් වෙලා
නොමවන් මලක් කඩුපුල්.

දැවටී නිසල දෙනෙතේ
සුවදී සොඳුරු සිහිනේ
මේ කුළු සේ වී ඈතට පාවී
සැඟවීද හිස් අහසේ.

තරුවක් ලෙසින් හිනැහිලා
ගඟුලක් ලෙසින් බැස ගියා
සිඳු රළ අතරේ පෙණ පිඬු විලසේ
සැඟවීද ඔබ රහසේ .

පද්මලාල් පතිරගේ

නුගේගොඩ
View Poem

ආචාර්ය රම්‍යා අත්තනායක මහනුවර

2022 ඔක්තෝබර් කලාපය

අම්මා

අනේක ජාති සංසාරේ
නන් වෙස් ගනිමින් කරක් ගැසූ මට
මිනිස් සිරුරකින් ලොවක් දකින්නට
නවාතැනක් සේ ඔබෙ ගැබ දුන්නා
මට අම්මේ..........!

සීතලට හොරෙන් මගෙ
ගත උණුසුම් කල
ගත දැවටූ ඒ දියවුනු රෙදි කඩ
රන් සළුවක් සේ දැනුනා අම්මේ
බත් ගුලි කරලා මුව පුරවන්නට
හැකිවන සේ ලේ කිරි කර පෙව්වා
පන්සල පාසල වෙත මා යවලා
ගුණ නැණ දෙක එකසේ ලැබ දුන්නා.

ඔබ දුන් ඒ ධන මට හොඳටම ඇති
ඒ හින්දා මම
ගල් වැලි ගඩොලින් සැදු මහ මන්දිර
ගොඩ මඩ යායට ඇති මහ කෙත්වතු
ඔබෙන් පතන්නෑ මම අම්මේ.....!

දැන්වැඩ කෙරුවා ඇති මගෙ අම්මේ
භවයේ අවසන නිවනින් සැනසෙන
මගකට එන්නට හයිය ලැබෙන්නයි
මගේ පැතුම අම්මේ......!

රම්‍යා අත්තනායක,මහනුවර
2022.09.11
View Poem

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල

2022 ඔක්තෝබර් කලාපය

අවසනට පෙර...

දඟකාරකම් උතුරා හැලෙන
සුළං රොදකට අවනතව
වෙරළ තීරයක අභිමුව
පියාඹන ලිහිණියකි තනිවම.

හුදෙකලාවූ හිතකට
ගෙනාවෙන් මල් මදහාස
මංමුලාව හසරක් නොදැන
ඈත ක්ෂිතිජය දෙස බලාගෙන
රිදුණු බිඳුණු පියපත් පිරිමදින.

විඩාවෙන් කම්පිතව නැගූ
ශෝකාලාපයෙන් හැඟුම්බරව
දයාවෙන් පෑ උරහිස මත
රැඳුන ලුණු රසැති සලකුණු
කිසිවෙකුත් නොදකිනු ඇත.

බොහෝ ඍතූන් පසුකර
තවත් එක් ගිම්හානයේ දවසක
සාද සාමීචි කතා නොමැති මොහොතක
සුසුම් රැල් මදක් තත්පරව
ගිලිහී ඇදේ ගව් ගණන් දුර.

නැවතී සිටිය නොහැකිය
කාලයේ යාත්‍රිකයන්ය සැම දෙන
කුමන හෝ අරමුණක් වෙත ඇදෙන.
දුකින්, සතුටින්, පසුතැවිල්ලෙන් හිස්බවකින් හෝ සැනසිල්ලකින් යුතුව.

එහෙත් අවසනට ප්‍රථම
එක මොහොතකට හෝ
ඉසිඹුවක් දිය යුතු නොවෙද
සදා මග බැලූ
නොනිදන තරු දෙනෙතට?
View Poem

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

2022 ඔක්තෝබර් කලාපය

කුණාටු

අනාත වූ ගස් වැල් වැලපෙනු අසමි
දෙනෝදහක දුක කඳුළෙන් පිරි මසමි
සිනා බිඳක් නැති සඳටත් අඬ ගසමි
කුණාටුවෙන් ගැලවෙන්නට දොර වසමි

නිදා ඉඳිති රුක් දෙවියෝ බිම වැතිර
සිඳී බිඳී ගොස් අත පය අතු පතර
උදාසනක් නැත එළඹුණු රැය විතර
සදා හරිත භූමිය අද මරු කතර

වසා දැමූවත් දොර අගුළු ඇතුළත
සිනා හඬකි වියරුව නැගෙන දසඅත
විනාස වී ගොස් කෝමල ම වෙණතත
කුණාටුවකි කැළඹුණු ඇතුළු හදවත

2022.08.02
View Poem

රංජිත් ද සිල්වා - නවසීලන්තය

2022 ඔක්තෝබර් කලාපය

ගාලු මුවදොරින් නැගෙන හිරු

ගාලු මුවදොර - ඇවිද යන විට
දවසේ විසිහතර පැයේ
සුදු ඇඳ ගත් කළු මිනිස්සු
බියෙන් සැලෙන හැටි බලන්න
පුළුවන් වුනු හැටි මතකද

ගාලු මුවදොර - ඇවිද යන විට
දවසේ විසිහතර පැයේ
බඩගින්නට අසනීපෙට
කෑම ඉල්ලු- බෙහෙත් ඉල්ලු
ජනයාගේ වේදනාවේ
කඳුළු තවම සිහි වෙනවා

ගාලු මුවදොර - ඇවිද යන විට
දවසේ විසිහතර පැයේ
පොහොර නැතිව ගොවින් නගන
දුක් දොම්නස් වේදනාවේ
කඳුළු තවම සිහි වෙනවා

ගාලු මුවදොර - ඇවිද යන විට
දවසේ විසිහතර පැයේ
ගෑස් ජලය මුසු කරලා - විදි බැස්ස ජනයාගේ
කඳුළු තවත් වැඩි කළ හැටි
සිහි වෙනවා නිරතුරුවම

ගාලු මුවදොර - ඇවිද යන විට
දවසේ විසිහතර පැයේ
සිංහල - දෙමල - මුස්ලිම් - බර්ගර්
මේ හැමෝම
අත්වැල් අල්ලන් හිනැහෙන හැටි බලන්න
දැන් පුළුවන් වුනා නේද...

ගාලු මුවදොර - ඇවිද යන විට
දවසේ විසිහතර පැයේ
හිරු සේවය බලා ගන්න
කාලය ලං කර ගන්නට
ජනතාවම අවදිවන්න

27 සැප්තැම්බර් 2022
View Poem

රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය

2022 ඔක්තෝබර් කලාපය

ශුද්ධ වූ ප්‍රේමය

සෙනෙහසින් ඇරඹිලාදොම්නසින් නිමාවූශුද්ධවූ ප්‍රේමය

සිනාවෙන් පීරි ගොස්

කඳුලින්ම නෙත්ව ගිය

ශුද්ධ වූ ප්‍රේමය

ඉටි පහන් දල්වලා

බයිබලයේ අත තබා

දෙවිදුන්ට දුන් දිවුරුමට

පිටුපෑව ශුද්ධ වූ ප්‍රේමය

යහළුවන් නෑසියන්

එක්ව ඉසු මියුරු වත

රතිඤ්ඤා වැල් පිටින්

මහ පාරේ දල්වලා

කුලගෙයට සපැමිණි

ශුද්ධ වූ ප්‍රේමය

අද වියැලිලා

දැවී ගොස්

අවන්හල තුළ

සැඟව සිටි

නළඟනකගේ විජිතයේ

දෙපා ළඟ

මුරට ගොස්

ශුද්ධ වූ ප්‍රේමය
View Poem

රන්ජන ආරියරත්න

2022 ඔක්තෝබර් කලාපය

පැරදුම

මේ පාර පවත්වන නිවාසාන්තර උත්සවේ
තරගෙ අන්තිම දවසෙ දුවන මීටර් සීයේ
ටීච උඹවත් දැම්මා නම් ලියපු පිටුවේ
පොඩි කිරිය තමයි මට පණිවිඩේ කිව්වේ

උදැහැනැක්කෙ නැගිටලා පාර දිගෙ දිව්වා
අපේ වයිරා අවුස්සලා උගෙ පස්සෙ දිව්වා
තාත්තගේ හයිය ගෙන තියා හිත ගාවා
දන්නවද වට කීපයක්ම මං තරගෙ දිනුවා

සැරසෙන්න එලවන්න කියා කන වැකුණා
ඩෝo හඬ මාව ඉර ඉස්සරහට දැම්මා
වෙඩිල්ලත් පරදන්න ඉතින් මං දිව්වා
ටිකෙන් ටික ඔක්කොමල පස්සටම කෙරුවා

ඉදිරියෙම මං ආවෙ බලන් එක එල්ලේ
හිතුවෙ නෑ එක පාර ආව වෙව්ලිල්ලේ
කකුල් දෙක පණ නැතිව වැටුනි පෙරලිල්ලේ
අම්මෙ ඇයි අන්තිමට පොස්ටිනෝ ගිල්ලේ
View Poem

සරත් සී. මුදන්නායක

2022 ඔක්තෝබර් කලාපය

කරමු අරගලය නවතා

දකී හැමතැන රටේ අරගල බැලූ බැලූ තැන මොනතරම්
වයනවා අපි සැරට වීනා බිහිරි අලි ඇත ඉදිරියෙන්
විසදුමක් නැත බෙදී සීකඩ වෙන වෙනම යයි උන් ගමන්
අපට ඇත්තේ අපේ පිහිටයි නිතර සිහිපත් කර බලන්

පාලකයො රට කෑව කිව්වට යටිගිරිය පුප්පා කිපී
උදව් කෙරුවා අපිත් උන්ටම කරන්නට උන් දේ රිසී
අද්දවනු බෑ ඇතුන් ලව්වා කරපු අනුවන කම් අපි
හැත්තැ හතරක් ගිහිල්ලත් බන් තේරුමක් ගනු බැරි සැටී

දුදන පාලකයින් පනී රට අපිට උන් කිසි නොම වටී
මැරෙන තුරු රට යන්න නොසිතමු උන් ගියා හොදටම ඇති
නෑර බිම් අඟලක්ම වැව්වොත් අහර රටටම හිග නැති
වගා සංග‍්‍රාමයේ විරුවෝ ඔබයි ආදර රට වැසී

ණයට කාලා ණයට සැප විදි ලොව කදිම ජාතිය අපි
දෙන්න වෙනවා ගත්ත ණය පොලි ණය කරුවො පස්සෙන් එති
ලාංකිකයෙකු වීම උඩගුයි ලියා තිබුණත් මොන වැකි
වඳ වෙලා යන ජාති අතරින් දහය ඇතුළත අපි ඇති

පිටස්තර දීපන්කරෙන් ගෙන බොහෝ දේවල් ණය වෙවී
අවැසි දේ පමණක්ම ගෙන එමු එයද මතු මතුවට වටී
දේශයේ දේ සිරිම සැප දේ අරුත බල ගන්වනු නිතී
සුපිරි නිමැවුම් කරමු රටතුළ ලොවම ජය ගන්නට හැකී

රජයෙ විතරක් සේවකයො ඇත ලක්ෂ දහඅටකට වැඩි
දිනක් වැඩ නොකොළොතින් පාඩුව කියන්නටවත් නොම හැකි
අපේ වල අපි කපා ගන්නව නොඅඩුව ම ඒ අපෙ හැටි
දැන් ඉදන් වැඩ කළොත් ඹක්කොම මැරෙන්නට හැක ණය නොවී

පෙරත් උවදුරු ඇවිත් තිබුණා කළින් කලට මේ වැනි
ගහේ පොතු ගත්තාලු අහරට ආදියේ විසු රට වැසී
නොසිතූ විලසින් නැගී සිටියා දුරලමින් දුක් සාගිනි
දැන ගනින් ඒ අපේ හැටි බොල ඇත්තවුන් හෙල ජානැති

රජයෙ කොමිසමෙ බොහෝ තියෙනව වැවීමට හැකි මුඩුඉඩම්
වවමු අපි අල බතල එලවළු පුරන් වී ගිය කුඹුරු බිම්
රටට කහවනු ගේන තේ පොල් රබර් වවපන් ඇති තරම්
කෝපි කුරුඳු ද ගම්මිරිස් සහ කරාඹු ද මිල වැඩි තරම්

යෝධ කොල්ලෝ කෙල්ලෝ එමටයි වාසිටිය පුරවා ඇතිි
පෙරලපන් පස් වන්නටනම් යකඩ වැටි පෙරලපු තොපි
දියකරත් හන්තාන ගලනා බොරදියේ මඩ පාටැති
නවත්තාපන් සරු කරන්නට මහවැලියෙ යන පස් වැටී

කාල විසිකරනා ඇටේ පැල වෙනා පොළවක් හිමි ඇති
නිධානෙක උඩ ඉදන් තාමත් දුක්විදිනවා නොවැ අපි
අපට බැරිමුත් කරන්නට වැඩ දුන්නහැක ඔවදන් නිති
ඔබට හැකිවෙයි ගන්න රට ගොඩ දකින්නටවත් මට බැරි
View Poem

සුජිත් ප්‍රියංකර

2022 ඔක්තෝබර් කලාපය

ලගින් ඉද තොදොල් වන්නට

නිවුණු ඉර ලඟදි හමුවෙමුද දවසක්
කෝවිලේ එළියෙන් පුජාවෙ හඬ ඇහෙන
වැව් කණ්ඩියේ මාර ගහ යට පරිස්සමට
වාඩි වෙලා අහස පොලොව ගැට ගහන්න

අපිව ඈත් කළ මනුස්ස කම් ගැන
එක බසක් උගන්වා වෙන් කල උන් ගැන
ආගම් කියා ගෙන මරා ගන්නා උන් ගැන
සුදු ඇඳන් විත් දුම්මැස්ස අතගාන උන් ගැන

කඳුළු වලට කරන්න දෙයක් නෑ
එකම දේ ඇස් රතු කරන එක විතරයි
අඬන්න නොවේ හිනාවෙන්න ලෝකයක් හදමු
අඬන ඇස් වලට හිනාවක් දෙමු හැමදාම

මස් කඩේ අයියට මාළු කඩේ මල්ලිට
කැන්ටිමේ කොලුවගෙ මූනට හිනාවක්
අරන් අපි ආපහු යමු අපේ උන් ලඟට
අත් වැල් බැදගෙන හෙටක් හොයාන

කථා කරන ඇස් දිහා නොබලන උන්
නුඹේ ඇඟ දිහා බලා ඉදී කට ඇරන්
පිටට ඇලුණු කුස දිහා බලයි කෙළ හලහලා
පෙරේත කමින් නුඹ ස්ලිම් කිය කියා

ආයෙත් දවසක හිරු නිවුණු සද නිදි රෑක
පිච්ච මල් ඇතිරුණු පලසක් මත හිද
නුඹ ලඟින් ඉදගෙන තොදොල් වන්නට
හීන නම් මියැදෙන්න එපා ආයෙත්

19/09/2022
View Poem

සමන් කුලරත්න - ඔස්ට්‍රේලියාව

2022 ඔක්තෝබර් කලාපය

දුවන්නෙ අපි ...

දුවන්නෙ අපි සිහින පස්සේ
උන්මාදෙන් උදම් වෙලා
සිතන්නේ අපි පැතුම් ඔස්සේ
සිඳ අක්මුල් පුස්සෝ වෙලා

දුවලා දුවලා නැවතුනාම
නැවතුම්පොළ පාලු වෙලා
අත දෙන්නට කිසිම කෙනෙක්
නැහැ එදාට ඉතිරි වෙලා

නොපමාවී යන ගමනක්
යමු ඔක්කොම එකතු වෙලා
ලස්සන දවසක් හදන්න
නැත තවමත් පමාවෙලා
View Poem

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

2022 ඔක්තෝබර් කලාපය

මග බලමි නුඹ නමින්

මා තිසර විල් ජලේ විකසිත පෙම් කැකුළ සොයන්

ඉගිල එන්න පිපි මල්ගොමු තුරු වියන් මැදින්

නුඹ ඉගිළ එන තුරා මගේ හද මදුරු දොර ඇරන්

මේ කඳුළු තොටුපළේ මම මග බලමි ඔබ නමින්



පිල් විදා රඟන රණ මොණරුන් මල් උයන් පුරා

ලං වේද සුපිපි කුසුමක උන් බොන්න රොන් උරා

මල් දුන්න බිඳී අසරණ වී ඇතත් මල්සරා

පරවෙන්න දෙන්නෙ ඇයි පිපි කුසුමකට රොන් පුරා



මියැදෙන්න වුණත් මලසුන් මත පාර මලක් වෙලා

පුද දෙන්න බැහැනෙ බිඟු කැළකට බොන්න පෙති තලා

මල් සුවඳ සොයන බමරුණි රොන් වෙතම සිත් නොළා

සිප ගන්න පමා ඇයි මම මෙහි ඉන්නෙ මග බලා
View Poem

සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ

2022 ඔක්තෝබර් කලාපය

සඳ පහන් රැයේ ගඟ..

මේ ගඟ
පසුකොට යන හැමවිටම
සිහිවෙයි මට නුඹ ද

දිනෙක බොරය එහි දිය
දිනෙක පැහැදුල් ය අපමණ
නමුදු කිසිදින මේ ගඟ
සඳ පහන් රැයක
මා දැක නැත.

පියා නෙත් මොහොතකට
බරකොට හිස රිය අසුනට
ඉදින් බැලුවෙමි මම
සඳ පහන් රැයේ ගඟ දෙස
වේගයෙන් ඇදෙයි රිය
මධ්‍යහ්න අඳුරු අහසක් යට
සොයා ගමනාන්තය

සැබැවින්ම සඳ පහන් රෑ ගඟ
අහා ! කෙතරම් මනරම් ද

තරු අහුරු ගං දියේ ඇවිළේය
උණපදුරු නැවී හාදුත් දේය
රිදී දිය තළා මින් පිහිනාය
වලා බිජු ප්‍රීතියෙන් සසැලේය
නුඹ සුසුම් සවන් අග
රැව් දේ ය

යළිත් ඇස් අයාගෙන
කවුළු තිර මෑත් කොට
බැලූ සඳ ගඟ දෙස
අහෝ ! නොදුටිමි ගඟ
එ ගඟ පසුවී ගොස් ය.
View Poem

Sanjaya Priyadarshana Sri Lanka

2022 ඔක්තෝබර් කලාපය

The Wind

The Wind

Now my life is a sail

Abandoned by delighted wind

Lost my way like in a maze

No light house, no way, time is wasting

Wind roars lazily on perilous sea

It slants on before my eyesight

Hurly burly sea climbs up

Shattered ships hop

May a pregnant dawn burst open again

And barricaded darkness be driven away

Mysterious whirl-wind, be gentle!

Peace be on blue sapphire sea
View Poem

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය

2022 ඔක්තෝබර් කලාපය

අරගලය රජු සහ රැජින

කවුරුත් එකයි හොඳ වෙනසක් කරමු කියා
නටලා කස්තිරම් සුපුරුදු තාල වයා
රට හා උරණ කංඩායම් එකට තියා
හුළු අතු අරන් තැන තැන ගිනි තියා ගියා

අරගලයෙන් නව රජු ආ දිනේ සිට
කෙඳිරිලි හඬක් වත් නෑ ඒ කැක්කුමට
බළලුන් වගේ කීකරු වී ඉන්න විට
කලබල කළේ මුදලට දැයි සිතේ මට

ලන්ඩන් රැජින මළ ආරංචිය මැද්දේ
ලංකා මුහුණු පොත උණු කඳුළැලි විද්දේ
තම රට අවුළු වන්නට දර දිය ඇද්දේ
උන්ටයි වැඩි ම දුක රැජිනක යන සද්දේ

අටසිය පහලොවයි නවසිය හැත්තැ එක
අතරේ සටන් විය රැජිනව හෙළා දැක
එතුවක් පටන් වුන කලබල සියල්ලක
රැජිනයි රටයි කොයි පැත්තෙ ද බලව් දැක
View Poem

සෝමබන්ධු කොඩිකාර මෙල්බන් නුවර

2022 ඔක්තෝබර් කලාපය

සත්‍යාවබෝධ කළ කොකබුරා

නැවත නැවතත් සිනාසෙයි ඌ,
මහා සද්දෙන් නැවත නැවතත්.
කාටදෝ ඌ සිනාසෙන්නේ,
ප්‍රීතියෙන්වද මේ උදෑසන?

කටුසු භෝජන රිසි ලෙසින් ලද,
ප්‍රීතියෙන්වද සිනා සෙන්නේ?
විය නොහැක එය. වැස්ස සීතල,
තදින් දැනෙනා මේ උදෑසන,

දුක් ගැහැට නොතකා සිටින්නට,
වන්න ඇති මේ, වියරු සිනහව.
කොතෙක් ඇති දුක් ගැහට ඌ හට,
කුඩා දුක් වුව සසදනා කළ.
මිනිස් වග පෙළනා ගැහැට මෙන්,
අවුල් වියවුල් නොමැත ඒ දුක්.

නොමැත තන්හා, නොමැත වෛරය,
නොමැත කිසිකළ පෙළීමක් අන්.
කවරදාවත් නොවේ සොරකම්.
නොවේ රැවටුම් ඉරිසියා නැත.

එයින් ලද තෘප්තියෙන් දෝ ඌ,
සිනහසෙන්නේ මහා සතුටින්?
එසේ නැත්නම් නිරායාසෙන්,
හඩනවාවද? ජන්ම සිරිතට

මිනිස් අප දකිනේ සිනහ ලෙස
අපේ මනසේ පිළිබිබුවමද?

(නිහඩ පාසල පොතෙන්)
View Poem

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

2022 ඔක්තෝබර් කලාපය

පටාචාරා රිමාන්ඩ් භාරයට

පටාචාරා රිමාන්ඩ් භාරයට

නිර්මානය:
"මාළිගාවෙ පිලි, වැලේ එකම හැඩ.
- වනා තිබු යට අමුඩ.
හොරා ගෙන ගිහිල්ලා -
ඒවනම් කසඩ වැඩ

ඉන්න බෑ සාමිනේ -
තව තවත් වී නිහඬ
සේද මාවතෙන් -
ණයට ගත් රට අමුඩ "

කටුපුල්ලේ වෙර දරා
හතර අත බුර බුරා

අරුන්දෑ කබ කඩා
දෑස් අරිනා තුරා
උසාවිය දෙවනත් කරා

"සෝපාක නම් ඉතිං
හොරකමට නම් දරා "
ඇස් බැදපු බවලතා
තීන්දුව ලිව්වෙනම්,
නීති පොත් ඉර ඉරා.

" ගද ගසන වසුරු කද..
පුර මැදින් ගෙන ගියා...
නුවරුන්ගේ අභිමනට
ලොකුම විපතක් මෙයා "

සෙබලු අවි අමෝරා
පාර දෙවනත් කලා
සුනිතව සොයා දෙව
එක දිගට කිය කියා
බාරානසී පුර තක්ෂලා දෙවනත් කලා

දරුවන්ද සැමියාද හැර ගියේ එක පෙලට
මව පියා දැවෙනවා මහ ගෙදර වහල යට

ඉතිං තව හැදිවතක් කුමට දෝ ඈ ඉනට
පටාචරා ඉනෙන් ගිලිහුනා සළු බිමට.

නිරුවතින් මග දිගේ අයාලේ ගිය බවට
සිතාසියටත් කලින් මාංචුව ඇගෙ අතට.

අඩු බරින් කල් ඇතිව මෙලෝ ආ පාපයට
පුතු මිය ගියේ තෙල්,පෝලිමේ තෙරපුමට.

මිය ඇදුන පුතු සිරුර මලක් සේ ගෙන අතට
ගෝතමි දිව ගියා හඬ හඬා මග දිගට.

කැලලක් කලේ, යැයි රජුන්ගේ කිතු ගොසට
පැටෙව්වා ගෝතමිය සුදු පාට අස් රියට

සිනාසී යලි හැඬුව
බොහෝ දුර දැක එදා
නොනැවති හඬනවා
අසිත තවුසා මෙදා
View Poem

වෛද්‍ය සමන්ත කේ. සෙනවිරත්න

2022 ඔක්තෝබර් කලාපය

තුන්වැනි පන්තිය

සෙනඟ බොහොමයි
මැදිරියේ තෙරපෙන
තැලුම් කන පීලි මත
සෙමෙන් ඉදිරියට ඇදෙන

ඉඳ ගත්තවුන් සිහිනයක සැතපෙන
මළානිකව කට්ටියක් හිටගෙන
කොහෙට හරි වාරු වුණ
එළියෙත් සටනක
එල්ලීගෙන තනි අතකින්
තවත් දවසක් ගෙවන්න

අතින් කටින් එල්ලන් කන්තෝරු මල්ල
මට්ටම් ලීය ආසන යටට තල්ලු කරගෙන
සහල් එළවළු ලෙසින් ගෙදරට අමෘතය රැගෙන
යන්නෝය බාගෙට ලිහුණු වස්ත්‍රෙන්

හෙට උදෙත් මේ ලෙසම
ඔක්කොම ඒවි
රට ගොඩ නඟන
රාජකාරියට
පිය මනින්න
ජීවිතය රැඳුනොත්
View Poem

සචී ජයවර්ධන

2022 ඔක්තෝබර් කලාපය

ප්‍රේමයේ ගල් තැලුම්

මම අහන්නද ඔබෙන්
ගිනියම් වන කල්වාරියේ විලාපය අතරින්
කුරුසයේ බර දැනෙන විලාපය අතරින්
මේ දැවෙන ඉර යට සෙවණ හොයන
මග්දයේ මා ප්‍රේමිය
මරියනි....

ප්‍රේමයේ බර ඒ තරම් නම්
ජීවිතේ බර නොතරම්
දරා මරණයෙන් පිබිදෙනවා නම් යළිත්
(අ)පිරිසිදු අතින් නොවන ගල් තැළුම්
ප්‍රේමයක් වෙමු පුනුරුත්පත්තියෙන්

අනේ ප්‍රේමිය...
නොවී ඉක්මන් වී පරිස්සම්
මම රැඳී ඉන්නම් ගන්ධබ්භයේ රූපෙන්......
View Poem

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

2022 ඔක්තෝබර් කලාපය

යතාර්ථය

බැබළුනත් සඳ දන්නෙ නෑ නොවැ බැබලෙනා බව නිලඹරේ
බැසගියත් ගඟ දන්නෙ නෑ නොවැ
ගලා යන බව මිහිමතේ
පිබිදුනත් මල් දන්නෙ නෑ නොවැ
පිබිදෙනා බව නටු මතේ
ලංවුනත් නුඹ දන්නෙ නෑ නොවැ
නොරැදි බව නුබ මගෙ සිතේ
----
සඳ දිලේ තරු පිරිවරාගෙන
නුදුටුවත් තරු නුබ කුසේ
ගඟ ගැලූවත් දෙගොඩ තලමින්
ඒ වගක් දිය නොදනිතේ
පාට බොදවී පිබුදුනත් මල්
වර්ණ කිසිවිට නොසිදිතේ
ඔබ ඔබේ ළඟ නොසිටියත් මා
ඔබේ ළඟ යයි නොහැගෙතේ
----
සඳට කිසිදා නොහැක දිවිතුරු
වදන් තෙපලන්නට මුවෙන්
ගඟට කිසිදා ගැලූවත් බැහැ
ගලන්නට උඩුගම් දොරෙන්
මලට කිසිදා නොහැක මුකුලිත
නොවී ඉන්නට නටු අගෙන්
ඔබට කිසිදා නොහැක සසරෙහි
මටම ලංවෙන්නට හදෙන්
View Poem

සපුමල් බන්ඩාර - ලන්ඩනය

2022 ඔක්තෝබර් කලාපය

දෝතක් ඇති

ඔබේ හදවතේ ඇතුලට යන්නෙමි නම්
ගොසින් සොයමි ගිලිහීයන ආදර අන්දම්
මනස ඔබේ විකසිතකර අවසර දෙයිනම්
ගොසින් මකමි ඔබසිත මා රිදවූ දිනයන්

සද පායන රැයක වූවද වැසිවෑහේවී
හිරු පායන දහවල වුව නෑවීයාවී
සිත පොදිකර ආදරයෙන් වෙලිලායාවී
හිරුද සදුද හඩවා වැහිදිය වැටුනාවී

සයුරුපුරා ඇති ජලකද බොනුනොමවේවී
කෙතරම් දැරුවත් සැමදා ලුනුරසවේවී
මාහද පොකුනේ ආලය දෝරේගලාවී
දෝතක් ඇති ඔබෙ හදවත සිහිලකරාවී
View Poem

සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය

2022 ඔක්තෝබර් කලාපය

මගේ මන්දිරය

දෙනෝදහක්
පා නගනා
මන්දිරයකි
මගේ නිවස

අහස වහළ
පාර පොළොව
දොරවල් නැති
මේ නිවහන

බිත්ති ඈත
රත්වු ගෙබිම
යහන පදික
වේදිකාව

නෙත් පිනවන
විලාසිතා
ජනෙල් කවුලු
මට හිමි නැති

අය නොකරමි
කිසිම මිළක්
ගෙබිම මැදින්
යනෙනා විට

කරුණාබර
හදක අතක්
පසුම්බියෙන්
දෙයි තඹයක්
View Poem

Sinelya Fernando New Ash Green Primary School. Year 4

2022 ඔක්තෝබර් කලාපය

Autumn Woods

Life is like seasons
The sun is shy
It's going to hide
Green changing
To red and orange
The sky is sad
Because the sun is gone
Darkness is quick
Deep ..deep.. Very deep

Sinelya Fernando
New ash green primary school.
Year 4
View Poem

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය

2022 ඔක්තෝබර් කලාපය

අම්මා

ගණඳුර කපාගෙන එන සඳ සිහිලැල්ලේ
කරදර මැදින් සිටිනට හැක සැනසිල්ලේ
දිවි බර දරා වෙහෙසෙන මව එක එල්ලේ
වැඩ කරනවා මිස නොසිටී නැවතිල්ලේ

නන්නාඳුනන දීපංකර වෙතට ගොසින්
තිරිසන් සතුන් වැනි මිනිසුන් අතර බයින්
වද හිංසා කුරිරු ලෙස ලැබ හරිම දුකින්
උපයයි ධනය මව දරුවන් රකින අටින්

ආදර වැසි නිසා දිවියට සැප වස්සයි
සුවදෙන එවැනි මහ වැසි ඇත්තේ විස්සයි
සැම වැස්සටම තෙමුණොත් සැම දුක නස්සයි
අම්මගෙ ආදරය මොරසූරන වැස්සයි

අපගේ උතුම් ගුණ පිරි සම්බුදු සම්මා
සමිඳුට ලොව සැවොම නමදිති හිස නම්මා
අපමණ ලෝ සතුන්ගේ දුක් ගිනි නිම්මා
සැප දුන් උතුමටත් පණ දුන්නේ අම්මා

තෙරුවන වඳිමු අපි දවසට තුන් සැරයක්
ඉන් හිමිවෙයි අපට ජය ගන්නට වරයක්
ලැබ දුන් අපගෙ මුළු ජීවිතයට හරයක්
වැන්දත් මවට මදි දවසට සිය සැරයක්

සෙනෙහස කොතෙක් වෙද දරුවන් වෙත තිබෙන
ඇසුවොත් යමෙක් මවගෙන් වරදකි එපැණ
බසකින් නොහැක පිළිතුරු බඳිනට සොඳින
එබැවින් කිසිදු දිනයක නොඅසනු එපැණ
View Poem

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය

2022 ඔක්තෝබර් කලාපය

ජැක්සන් ඇන්තනී කලාකරුවාහට ඉක්මන් සුවය පතා සෙත් කවි

ශ්‍රීමත් මහා විෂ්ණු දෙවිඳුන් උදෙසා

දස දෙස කිතු ගොස පැතිරුණු අපමණ සැම දන සැමවිට නමදින බැතියෙන
අසදිස තෙද බල මහ වෙණ සුරිඳුනි ගුරුලාසන මත විකුමෙන වැජඹෙන
පින පිස දුක දෙන ගත පිරි ලෙඩ ඇති ජැක්සන් ගැතිහට දිවනෙත හෙලමින
සැම දොස දුරුකර සුවබල ලැබ දෙනු දිගු දිවි ඇති කර අපලද නසමින

ශ්‍රීමත් ස්කන්ධ කුමාර කතරගම දෙවිඳුන් උදෙසා

පුවතර පුබුදන පුරපස පුරසඳ හෙළ පුල පරයන පරසිඳු අපමණ
මනහර රුවිනග රණ අවි දරමින රණ දිනු කඳ දෙවි පුර මැද බබළන
පියතර වදනැති දුක දෙන ලෙඩ ඇති ජැක්සන් ගැතිවෙත දිව ඇස හෙලමින
දුරුකර ලෙඩ දුක සුව බල ලැබදෙනු දිවි දිගු කරමින අපලද නසමින

ශ්‍රීමත් සුමන සමන් දෙවිඳුන් උදෙසා

දසත බල තෙද නිතර පතුරන වසන සිරිපද ශිඛර විකුමෙන
සමත සත සෙත සදන සිරිබර සුමන දෙවිඳුනි සැවොම සුරකින
දොසැත සපැමිණි අපල සමඟින ලෙඩැති ජැක්සන් බලා දිවැසින
සැපත සැනසුම දෙමින සුරකිනු මැනවි ලෙඩ දුක දුරැර විගසින

ශ්‍රීමත් සිද්ධ සූනියම් ගම්භාර දෙවිඳුන් උදෙසා

දිවයුරු පරදන අපමණ තෙද ඇති තම බල යොමුකර සැම දෙන සුරකින
වම අත ගිනිදළු දකුණත අසිපත දරමින සිඳුදෙවි අසුමත වැජඹෙන
පින පල යටකර ඇඳ මත වැතිරෙන ජැක්සන් ගැති දෙස බලමින දිවැසින
සුවබල හිමිකර දිවි රැක දෙනු මැන ගත පිරි ලෙඩ දුක දුරුකර විගසින

ශ්‍රීමත් ඊශ්වර දෙවිඳුන් උදෙසා

සතුරු බල මැඩ කෙසරු සරියෙන නිතර දසඅත බලය පතුරන
මහරු විකුමෙන තෙදින වැජඹෙන ඉසුරු දෙවිඳුනි යසස උතුරන
සොඳුරු සිත ඇති දුකැති ජැක්සන් වෙතට තෙද බල දිවැස හෙලමින
ඉතුරු නොකරම සියලු ලෙඩ දුක් දුරැර සුව දෙනු මිතුරු විලසින

ශ්‍රීධර පත්තිනි දේව මෑණියන් උදෙසා

පා මෙත ලෝ වෙත දී සිත දාමට නේතුරු සේ දන පීටට පේවුන
ලෝ සත ජීවිත සේසත රැක නිති පූජිත පත්තිනි මෑණිය සෝබන
පූරිත නේ ගුණ සිත ඇති බැතිබර ජැක්සන් ගැතිහට දිවනෙත පාමින
නේ සෙත දී නිති සුවබල ලැබ දෙනු රෝ දුක පාකර දිවි සුරැකීමෙන
View Poem

තුෂාරි ජයසිංහ මහනුවර

2022 ඔක්තෝබර් කලාපය

කඳුළු එනකොට කියන්න

ඈත කඳු යායට
නෙත් යොමා
අතීතය සිහිකරන
උදුම්බරා
හෙලන්නී කඳුලැලි
විප්පයෝගයෙන්
උන උනා ගලන කඳුළු
ග්ලිසරීන්ම නොවේ

ok cut

පිලල් මොකට හැදෙනවද
මන්දා සරු ගස්වල
සාරය උරන් රොඩ්ඩක්
කරන්නට
බෙහෙත් තුන්ඩුවට ගානක්
අඩුයි අද
අනේ අපෙ අම්මා..

Rolling Action

ඔලුව ඇලකරල
පොඩ්ඩක් හිනාවෙන්න නංගී

කල්පනාව දුරයි
හැතැප්ම ගානක්
පාරුවෙ මැද්දෙ මද්දහනෙ
කැළණි ගඟේ නැවතුනාම
පෙනුනෙ කේඩෑරී වී යන
ඕලු මලක්
අනේ මන්ද අප්පච්චී පව්

කෝ එන්නෙම නෑනේ හිනාව.
Cut cut

ග්ලිසරින් නැතුවත් ඇඬුවට
කෝ හිනාව.

ආ ඔය මූඩ් එක හොඳයි නංගි
ඔහොමම ඉන්න
නියමයි

දැන් හිත පොත් කඩේක
අතරමන් වෙලා
පොඩ්ඩිට ඉස්කෝලෙට
ගේන්න කිව්වට හෙටම
කෝ ඉතින් ගන්නෙ කෝමද
ඉස්කෝලත් සල්ලි කනව

හීල්ලුනා තදින්.

ආ නියමයි නංගී
කෝ බලන්න.
ඈන්ගල් එක
වෙනස් කරන්න

කඳුළු එනකොට කියන්න

thanks.

තුෂාරි ජයසිංහ
මහනුවර.
View Poem

තීෂ්‍යා දුල්මිණි හෝමාගම

2022 ඔක්තෝබර් කලාපය

සිහගිරි සිත්තරාගේ පුනුරුත්පත්තිය

සිත්තර ඇසින් දුටු මා නුඹෙ රුව රුසිරු
සිත්තම් කළෙමි දුටුවන් මත්කර මියුරු
නැවතත් නොදකින්න නුඹගේ රුව රුසිරු
මගෙ ගෙල සින්ඳෙ කශ්‍යප නරපති කුරිරු

මාගේ ගෙලට රත්වන් මල් වැල් දමලා
ගෙන යන කලට රටටම අඬබෙර ගහලා
සීගිරි පර්වතය මුදුනට නුඹ නැගලා
සිටියුරු දුටිමි දෙනෙතේ කඳුළැලි පිරිලා

සසරේ කවර දා හෝ නුඹ දකිනු රිසින්
දෑසම වසා ගත්තෙමි මියදෙන්න තොසින්
බිතුසිතුවමක් වී සිටිනා නුඹ මෙලෙසින්
දුටුවිට සිහිවුණා පෙර නුඹ සිටි විලසින්
View Poem

උපාලි වීරසිංහ

2022 ඔක්තෝබර් කලාපය

ජැක්සන් මගෙ සිංහ රජෝ දැන්වත් නැගිටින්න

ලියා තබනට අකුරු අවසර
අපගෙ පඬිවර රජානෝ
දුවා දරුවන් සැමට යහගුන
ඔවා දුන් අපෙ පියාණෛා්
දෙසා පඬිවර වදන් හැමවිට
හෙළ බසේ ඇදුරුවාණෝ
කියා කුමටද එවන් තේජස
හෙලයෙ කේසර රජාණෝ

ඟුරු ගෙදරින් සිනමාවට
අත්පොත් තබමින්න
ගිණි අවි සහ ගිණි කෙලියෙන්
වැඩ පෙන්නුව දන්න
භව දුක සහ භවකතර ද
දැහැමින් රඟ දුන්න
සිත් හඩවා රඟපැවා
ධර්ම යුද්දෙ ගින්න

නැටුම් ගැයුම් රංගනයෙන්
එකලෙස හැම දන්න
මෙවන් පුතෙක් සිරිලකෙහිම
ඇත්දැයි පවසන්න
සංස්කෘතිය ධර්මය ගැන
සැමතැන පතුරන්න
ලෝකෙ වටෙි සැරිසැරුවා
දැනුමින් ඔප වෙන්න

මගේ හුස්ම පොදත් අරන්
නුඹ ජිවත් වෙන්න
ලක්මැණිට ඔවැනි පුතෙක්
තව නැහැ ඉපදෙන්න
ඇස් පියාන තවත් ඉන්නෙ
බැහැ මට ඉවසන්න
ජැක්සන් මගෙ සිංහ රජෝ දැන්වත් නැගිටින්න
View Poem

උපාලි අත්තනායක මහනුවර

2022 ඔක්තෝබර් කලාපය

දිය පාර

පෙරලි පෙරලි ඵයි
හැපි හැපී ගල් බොරළු අතරේ
දිය කඩිති උතුරා පිරෙයි
ගලා යයි මේ ජීවිතේ

නැගෙන පෙන පිඩු විසිරිලා යයි
මොහොතකින්
ගලයි පහලට නැගෙන බාධා
තුරුලු කරගෙන
වැටෙන මල් පෙති සුණු විසුණු වී
සැඟවිලා යයි
සුන්දරත්වය පෙනෙන්නේ
මතුපිටට පමණයි.

අහස ගුගුරා බොර දියක් ආවා
වැසී යනවා කටු පඳුරු රලු කොල පිරී
මැකී යනවා ලලිත ගමනේ
සොඳුරු බව
යලිත් නිල් දිය ගලා එනතුරු
බලා සිටිනෙමි දෙනෙත් විවරව
පහස ලබන්නට.
View Poem

විශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න එක්සත් රාජධානිය

2022 ඔක්තෝබර් කලාපය

කී නොකී

මා දුන් නෝට්ටුව
ගෙන කදුලු සලමින්
පින් දුන්නීය ගමේ යන
අත් උදව්කාරිය වියපත්

මා එතෙරින් සතර
ලද්දේ තනිව විදිමින්
බව නොදැන සොරාගත්
දැයේ ඇයටද උරුම සම්පත්
View Poem

විමල් ඇම්. ගමගේ

2022 ඔක්තෝබර් කලාපය

සොඳුරු සිත්තම්

ළය මත සෙමෙන් සිතුවම් ඇඳි මගෙ සුරතේ
උණුසුම දැනෙනවද සිහිනෙන් රෑ සීත
අවදිව නොබලන්න පැදුරේ ළඟපාත
තනිකම දැනේවී උහුලන්නේ කෝම

ඉරයි හඳයි තරු පොකුරයි අතර සිටී
ඔබේ නුවන් මගෙ දෙනුවන් වලට ගැටී
මතකෙට එනවාද මා වෙත ආපු හැටී
පිසදා ගන්න ඔය ඇස් වල කඳුළු කැටී

පොඳි බැඳ සිටිය පැතුමන් එක එක පාට
ලිහලා පෙන්නන්නේ මින් මත්තේ කාට
පහනේ සිළ නිමයි කළුවර එයි පැලට
සමාවෙන්න ඔබ තනිකර යනවාට
View Poem

විල්සන් හෑගොඩ

2022 ඔක්තෝබර් කලාපය

බෝතලේ

දම මින් ලෝ පැසෙක නලියන විදුරු කැටේ
හැම පැත්තෙන්ම හිර වී ගිනි අඟුරු වටේ
තම දෑ පිළිබඳව සටහන ඇතිව පිටේ
මම ඉපදුනෙමි ස්කොට්ලන්ත නම් රටේ

විස් මිත ජීවිතය යළි සතුටට හරවා
හිස් කුසයෙන් විසුව මගෙ සිත තුටු කරවා
විස් කියි කියන රතු මත් වතුරක් පුරවා
රැස් පිට නොයා මුව කිරලැබයක් රඳවා

සොඳුරු වතක් සපුරා හිඳ රැයද දිවේ
නොදුරු වම විඳින සැප හා සතුට ගෙවේ
ඇදුරු පදය ලැබ විදුහල නමැති ලොවේ
පිදුරු මැදිව මෙරටට පැමිණියෙමි නැවේ

ඉන් පසු මගේ අයිතිය ඇති මුදලාලී
තැන් පත් කර සමඟ අන් ඇදුරන් පේලී
දැන් වී නඟන බව මා මතු ජය කේළී
පෙන් වූයෙමි මමත් හොඳ හොඳ පෙළපාලී

දවසක් එකෙකු විදුහල් දොරටුවෙන් වැද
මුදලක් ගෙවා ගෙන මා දවටමින් බැඳ
වරදක් නොකළ මට වට ඇණයකින් විද
කොටසක් හිස් කළා කා හට කියන්නද

මත් වී හිස් කරණ ඔහු මගෙ ගැඹුරු කුසේ
යුත් වී මහා මීටරයක් මොළය දෙසේ
රත් වී දුබල පෑ මතුවිය ඔහුගෙ ඇසේ
සිත් වී මෙයයි මට දිය කෙළි නඟන විසේ

කිය වන්නෙනි අසව් දෙදිනක් අනතුරුව
විය හිස් බවට මගෙ කුස මත් පැන දැරුව
දිය කෙළි නැඟූ මට කළ යුත්තක් බැරුව
ගිය සඳ ළඳක් සිටි මුළුතැන්ගෙට ගුරුව

ඉල්වා ලැබූයෙන් මතු හිමිකමෙහි බල
සිල්වා හාමිනේ නම් ඒ පියරු මල
අල්වා ගෙන අතින් මිරිකා මෙමගෙ ගෙල
ගල්වා තැබී කුස පුරවා කොහොඹ තෙල

ගැහැණුන් අතට පත් වූ හැමවිට ඇත්තයි
මෙලෙසින් විපත් සිදුවේ එය විය යුත්තයි
සැපතින් අනතුරුව දුක් ඇත අනු දත්තයි
මට දැන් ජීවිතය මහතුනි අමු තිත්තයි
View Poem

වජිර ජයවර්ධන

2022 ඔක්තෝබර් කලාපය

-ඔබ නිසා හැරී ආවෙමි-

හදවතක් පැහැර ගත් විට
නොසිතූ මොහොතක
ලියා කියා වියා හමාර
කළ හැකිද පැමිණිල්ල

පැකිනම් වැව් තීරයේද
යාරා තීරයේ ද සෙව්වෙමි
නීති ගරුක මහ මගද
මග හැරී ඇත්දැයි බැලුවෙමි

අහස් වියන් නැති මොහොතක
තරු රටාවක් අතරේ
ඇඳී තිබෙනු දුටුවෙමි
ආදරය අහස සේ
අනන්ත බව
පොළව සේ සෞම්‍ය බව
විශ්වීය ප්‍රේමයක් නම්
ඒ ඔබම පමණක්ම බව.

සිත නොතුබූ අදහසකින්
ඇවිලී සිතමින්
ආපසු හැරෙන්නට
ඔබම හේතුවක් විය.
View Poem