ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කුණාටු

කුණාටු

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
2022-October

අනාත වූ ගස් වැල් වැලපෙනු අසමි
දෙනෝදහක දුක කඳුළෙන් පිරි මසමි
සිනා බිඳක් නැති සඳටත් අඬ ගසමි
කුණාටුවෙන් ගැලවෙන්නට දොර වසමි

නිදා ඉඳිති රුක් දෙවියෝ බිම වැතිර
සිඳී බිඳී ගොස් අත පය අතු පතර
උදාසනක් නැත එළඹුණු රැය විතර
සදා හරිත භූමිය අද මරු කතර

වසා දැමූවත් දොර අගුළු ඇතුළත
සිනා හඬකි වියරුව නැගෙන දසඅත
විනාස වී ගොස් කෝමල ම වෙණතත
කුණාටුවකි කැළඹුණු ඇතුළු හදවත

2022.08.02