සෙබළ දියණිගෙ මව් උදානය
හිසට උඩින් නිල් අහසයි
දෙපා යටට මහ පොළවයි
මිහිකත වට මහ සයුරයි
දියණිය ඔබ ලද උරුමයි
මව් කුසින් විළිරුදා බිහිවූ
මගේ රන්කැටි දියණි බිළිදූ
පෙවූ රන්කිරි මගේ රුහිරූ
රන් මලක් ලෙස වැඩුනි සොදුරූ
ගමේ සිනා රැලි කොමලියේ
ගඟේ දිය කෙලින කිඳුරියේ
නිවසෙ සුරතල් දියණියේ
කමතෙ වැඩ කළ මිහිරියේ
රනින් වළලු නැතත් අතේ
බරට රැගෙන අවිය අතේ
රුපුන් දිනන දිරිය සිතේ
කඳුළු නොමැත ඇයගෙ නෙතේ
පපුව තුළ රැඳි යමක්
දිටිමි ඔබ තුළ සමත්
රණ බිමට ඇති පෙමක්
අවසරයි … අකමැති වුවත්
එඩිය පපා රුපුන් සමඟ පෙරළී
අහිමි වුවත් දෙපා ඔබේ ගැලවී
මගෙ දියණිය ලොවට උතුම් සෙබළී
මා ඉන්නම් කරුවක් ලෙස කිහිලී