ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ජැක්සන් ඇන්තනී කලාකරුවාහට ඉක්මන් සුවය පතා සෙත් කවි

ජැක්සන් ඇන්තනී කලාකරුවාහට ඉක්මන් සුවය පතා සෙත් කවි

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය
2022-October

ශ්‍රීමත් මහා විෂ්ණු දෙවිඳුන් උදෙසා

දස දෙස කිතු ගොස පැතිරුණු අපමණ සැම දන සැමවිට නමදින බැතියෙන
අසදිස තෙද බල මහ වෙණ සුරිඳුනි ගුරුලාසන මත විකුමෙන වැජඹෙන
පින පිස දුක දෙන ගත පිරි ලෙඩ ඇති ජැක්සන් ගැතිහට දිවනෙත හෙලමින
සැම දොස දුරුකර සුවබල ලැබ දෙනු දිගු දිවි ඇති කර අපලද නසමින

ශ්‍රීමත් ස්කන්ධ කුමාර කතරගම දෙවිඳුන් උදෙසා

පුවතර පුබුදන පුරපස පුරසඳ හෙළ පුල පරයන පරසිඳු අපමණ
මනහර රුවිනග රණ අවි දරමින රණ දිනු කඳ දෙවි පුර මැද බබළන
පියතර වදනැති දුක දෙන ලෙඩ ඇති ජැක්සන් ගැතිවෙත දිව ඇස හෙලමින
දුරුකර ලෙඩ දුක සුව බල ලැබදෙනු දිවි දිගු කරමින අපලද නසමින

ශ්‍රීමත් සුමන සමන් දෙවිඳුන් උදෙසා

දසත බල තෙද නිතර පතුරන වසන සිරිපද ශිඛර විකුමෙන
සමත සත සෙත සදන සිරිබර සුමන දෙවිඳුනි සැවොම සුරකින
දොසැත සපැමිණි අපල සමඟින ලෙඩැති ජැක්සන් බලා දිවැසින
සැපත සැනසුම දෙමින සුරකිනු මැනවි ලෙඩ දුක දුරැර විගසින

ශ්‍රීමත් සිද්ධ සූනියම් ගම්භාර දෙවිඳුන් උදෙසා

දිවයුරු පරදන අපමණ තෙද ඇති තම බල යොමුකර සැම දෙන සුරකින
වම අත ගිනිදළු දකුණත අසිපත දරමින සිඳුදෙවි අසුමත වැජඹෙන
පින පල යටකර ඇඳ මත වැතිරෙන ජැක්සන් ගැති දෙස බලමින දිවැසින
සුවබල හිමිකර දිවි රැක දෙනු මැන ගත පිරි ලෙඩ දුක දුරුකර විගසින

ශ්‍රීමත් ඊශ්වර දෙවිඳුන් උදෙසා

සතුරු බල මැඩ කෙසරු සරියෙන නිතර දසඅත බලය පතුරන
මහරු විකුමෙන තෙදින වැජඹෙන ඉසුරු දෙවිඳුනි යසස උතුරන
සොඳුරු සිත ඇති දුකැති ජැක්සන් වෙතට තෙද බල දිවැස හෙලමින
ඉතුරු නොකරම සියලු ලෙඩ දුක් දුරැර සුව දෙනු මිතුරු විලසින

ශ්‍රීධර පත්තිනි දේව මෑණියන් උදෙසා

පා මෙත ලෝ වෙත දී සිත දාමට නේතුරු සේ දන පීටට පේවුන
ලෝ සත ජීවිත සේසත රැක නිති පූජිත පත්තිනි මෑණිය සෝබන
පූරිත නේ ගුණ සිත ඇති බැතිබර ජැක්සන් ගැතිහට දිවනෙත පාමින
නේ සෙත දී නිති සුවබල ලැබ දෙනු රෝ දුක පාකර දිවි සුරැකීමෙන