ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මමයි මන්ද්‍රි දේවී

මමයි මන්ද්‍රි දේවී

ආරියරත්න ජයසිංහ - මහරගම
2022-October

මගේ බිළිඳුන් දන් දුනිමි මම
අතීතේ එක් අඳුරු දවසක
දිළිඳු වෙසතුරු රජුගෙ කීමට
ජූජක බමුණාට නම් නොව
බැමිණියට දුරු රටක සිට ආ

මෙහෙකාරකමට නොව
හදා ගන්නට දරුකමට.
පාරමී දම් පුරන්නට නොව
අනෙක් පැටවුන්ගෙ දිවි රැකුමට.

විසි වසරකට පසු
නව යොවුන් ඔබ පැමිණ
වැදූ මව සොයාගෙන
හැදූ මව සමගින
තෑගි කහවණු රැගෙන
නුහුරු නුපුරුදු දේශයකට
නාඳුනන මවක් දැකුමට

ඇත්තෙන්ම කවුරුන්ද ඔබ මගේ
ඇත්තෙන්ම කවුරුන්ද මා ඔබේ
මව් සෙනේ බෙදී ගිය තැන
පුපුරු ගසමින් යළිත් මතුවේ
එදා හද තුල ඇවිලි ගිනි දැල්.