ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තුන්වැනි පන්තිය

තුන්වැනි පන්තිය

වෛද්‍ය සමන්ත කේ. සෙනවිරත්න
2022-October

සෙනඟ බොහොමයි
මැදිරියේ තෙරපෙන
තැලුම් කන පීලි මත
සෙමෙන් ඉදිරියට ඇදෙන

ඉඳ ගත්තවුන් සිහිනයක සැතපෙන
මළානිකව කට්ටියක් හිටගෙන
කොහෙට හරි වාරු වුණ
එළියෙත් සටනක
එල්ලීගෙන තනි අතකින්
තවත් දවසක් ගෙවන්න

අතින් කටින් එල්ලන් කන්තෝරු මල්ල
මට්ටම් ලීය ආසන යටට තල්ලු කරගෙන
සහල් එළවළු ලෙසින් ගෙදරට අමෘතය රැගෙන
යන්නෝය බාගෙට ලිහුණු වස්ත්‍රෙන්

හෙට උදෙත් මේ ලෙසම
ඔක්කොම ඒවි
රට ගොඩ නඟන
රාජකාරියට
පිය මනින්න
ජීවිතය රැඳුනොත්