ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ෆීනික්ස් පක්ෂියා මවිත වෙයි

ෆීනික්ස් පක්ෂියා මවිත වෙයි

කපිල ෆොන්සේකා - කොළඹ
2024-February

ෆීනික්ස් පක්ෂියා පියාපත් විදාලයි
උඩඟු හොට මදක් ඇර
අළස ඈනුමක් ඇර
සෙමෙන් ඇසිපිය හරී

ඇඳෙන් බැස හිරි කඩා
අළු මතින් පියනගයි
ගෝල්ඩ්ලීෆ් කොට කෑලි
තැලෙයි යටහත් බවින්

තවම උගුරක් තියෙන
ත්‍රී කොයින් ටින් එකක්
පය වැදී බිය වැදී
හඬනගා පසුබසී

නාන බේසම ළඟැ’ති
කණ්ණාඩි පොඩ්ඩකින්
ෆීනික්ස් පක්ෂියා
හොට උලා හැඩ බලයි

අළු ගැහුණු කෙස්සකින්
ඇද බලා කට අයන
මැදි වයස් පසුකරන
රැවුළු කොට සිසි වුවන
සිසීපස් ගමරාල
කැඩපතෙන් එබෙන විට
ෆීනික්ස් පක්ෂියා මවිත වෙයි!