ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුබ ආරංචියක්

සුබ ආරංචියක්

ලූෂන් බුලත්සිංහල
2021-September

යන්තම් ඇහැ පියවුණා විතරයි
හඬ තලන්නට විය දුරකතනය
කණ තබා ගත් කල බැරි තැන නතරවුණි හැඬිල්ල
“සුබ ආරංචියක් කියන්නයි
කතා කළේ තකහනියේ ”
මිතුරාගේ නොඉවසිල්ල
ගලා එයි දුරකතනය දිගේ

“ළමයට ඉස්කෝලයක් හම්බවුණා
එක හිස රදයක් ඉවරයි ”

මගේ සුබ පැතුම් – කියැවුණා මට ඉබේටම
අපි සමරමු ජයග්‍රහණය අද හෙටම

“මන් නම් හිටියේ දෙගිඩියාවෙන්
ළමයා මුලින් හිටියේ – ලිස්ට් එකේ නමවැනියාට
ඒ ඉඳල අන්තිමේ ඉන්ටවීව් යනකොට
ලිස්ට් එකේ විසිහතරවැනියා ”

එහෙම තමයි මේක ලංකාවනේ
හරි පුදුමයි – ඉතින් කොහොමද හදා ගත්තෙ

“විදුහල්පති ඉස්සරහපිටදිම
පළාත් සභා ඇමතිතුමාට ටෙලිෆෝන් කරල
කිව්ව මන් විස්තරේ
ඒක අහල එයා කිව්ව
දෙන්න කියල ටෙලිෆෝන් එක
විදුහල්පතිට
මන් දුන්න ටෙලිෆෝන් එක විදුහල්පතිට
එච්චරයි.”

මාරයිනෙ.
මගේ විස්මය ගලායයි දුරකතනය දිගේ
උතුරා යන ප්‍රීතියෙන් මිතුරා
මගේ විස්මය සංසිඳෙව්වා උද්දාමයෙන් :
“මේ විදුහල්පති මේ ඉස්කෝලෙට ආවෙ
දඬුවම් මාරුවකට
පගාව අරන් අහුවෙලා”

28/08/2021