ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කවුරුන් වින කළත් මේ අපගේම රට ලෝකෙන් උතුම් රට.. මේකයි අපේ රට

කවුරුන් වින කළත් මේ අපගේම රට ලෝකෙන් උතුම් රට.. මේකයි අපේ රට

ප්‍රීති සෙනරත් - ලන්ඩනය
2021-June

පෙරදිග ලෝකයේ මුතු ඇටෙ කියපු රට
මහ රජවරුන් ලෝකෙට බිහි කරපු රට
බත බුලතින් සරුව ණය නොවි තිබුන රට
ලෝකය මවිත කළ විස්මිත අපේ රට

ගෙරිහම් කඩක ගැටයට අහු උනා රට
ඇවිත් පරංගින් යට කළ අපේ රට
ලන්දේසියන් හූරං කෑ මහඟු රට
උඩරට ගිවිසුමෙන් සුද්දට දුන්න රට

හතලිස් අටේ නිදහස ලැබූ අපේ රට
කළු සුද්දන්ට සුද්දා දී ගියපු රට
හැත්තෑ තුනක් අවුරුදු ගත වෙලත් රට
ඇත්තට නිදහස් ද කිවමැන අපේ රට?

ඉන්පසු අපේ උන් රජ කළ අපේ රට
උගුළක හිර කළා ණය බර අපේ රට
ගත් ණය ගෙවන්නට කියමින් අපේ රට
සින්නක්කරට, උකසට විකුනයි ද රට?

චීනා ඇවිත් තළුමරනා අපේ රට
ඉන්දියා ඇමෙරිකා ඉල්ලන කෑලි රට
පාවෙන ඩොලරයට අඬනා අපේ රට
කොහොමද අනේ ගොඩ එන්නේ අපේ රට

බුදුහිමි තෙවරක්ම පා තැබූ අපේ රට
මහින්ද හිමි බුද්ධාගම ගෙනා රට
ධර්මද්වීපයක් වී තිබු අපේ රට
“මාකට්” කරති බණ සමහරු අපේ රට

චන්දෙට “ධාතු” වඩමන් නයි ආපු රට
ඒ ආ නයා බෝතලයක දාපු රට
පොහොට්ටු මල් පුදා නයාට වැන්ඳ රට
“හොඳ කල උදාවෙනකම්” අඬනවා රට

ආ විට කොරෝනා බය උනේ නැහැනෙ රට
“ශක්තිය විශ්ව” එක්කර ගොඩ ගන්න රට
ඇමතියො මුට්ටි ගංගාවල දමපු රට
කළ විස්කම් ගොඩයි..එහෙමයි අපේ රට

ලෝකෙම බෙහෙත් හොයනා විට අපේ රට
කාලිගෙ “පැණිය” දුන්නා මුළු ලෝකයට
පැණි බිව් අයත් ලෙඩ උනි කළ කරුමයට
“කාලිගෙ අම්මා” සිහි කෙරුවා අපේ රට

වැක්සින් දෙන්න සිස්ටම් එක හදපු රට
මැති ඇමතියන් “ප්‍රයෝරිටි” කළ අපේ රට
වැක්සින් පෝලිමේ පොඩි උන් ඉන්න රට
වී අය් පී එවුන් සිස්ටම් කඩපු රට

පෝලිමේ ඉන්න බැහැ පෝලිම පනින රට
හිතවත් කමට වැඩ කරවා ගන්න රට
දඩ කොළ නොගෙව පැන යන්නට හදන රට
සිස්ටම් හදන්නේ කොහොමද අපේ රට?

පොරොන්දුවට චන්දය දෙන අපේ රට
චන්දය ගත්ත අය පොරොන්දු කඩන රට
ආයෙත් දෙන්නෙ නැහැ උන් හට කියන රට
නැවතත් උන්ට චන්දය දෙන අපේ රට

තිස් වසරක්ම යුද්දෙන් බැට කාපු රට
විරුවන් දිවි පුදා රැකගත් අපේ රට
කවුරුන් වින කළත් මේ අපගේම රට
ලෝකෙන් උතුම් රට..මේකයි අපේ රට

2021/05/30