ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුදු ඇන්ද පින්වත් මහතුනේ

සුදු ඇන්ද පින්වත් මහතුනේ

ආරියරත්න ජයසිංහ - මහරගම
2022-March

නිසසලය මේ අරණ
විලක් බඳු පිපි තඹර
ඔබට හැක පිවිසෙන්න.
ඇවිලි ඇවිලී දැවෙන
කුරිරු ලාවා ගලන
එට්නා ගිනි කන්ද
ඇල් දියෙන් නිවාගෙන
මළ කහට ඉවත හැර
ඔබට හැකි යළි යන්න.

දොර ජනෙල් කවුළු නැති
සොර සතුරු බියක් නැති
බැඳීමෙන් තොර අරණ
ජීවිතේ එවරස්ට් කන්ද නැග
හති වැටී මෙහි එන්න
අළුත් මිනිසෙකු විලස
ඔබට යා හැකි නික්ම

සුදු ඇන්ද පින්වත් මහතුනේ
මළ බැඳුනු සිත වසා
සුදු නොඇන්දත් කම් නැතී
“මිනිසෙකු” ලෙස ඇතුළුවන්න.

එහෙත් මෙය සිතනු මැන
උපතේදි ණයට ගෙන
ඔබ පැළැඳගෙන සිටින
ජාති, ආගම්, වර්ණ, කුලමල
පාවහන්, හිස් වැසුම්, වෙස්මුහුණු
දොරටුවෙදි ගලවන්න
පුදබිමකි මේ අරණ

ආපසු යනවිට නික්ම
ඒවා අවැසි නොවනු ඇත
යළිත් ගෙනයනු පිණිස.

-ආරියරත්න ජයසිංහ-
(2022 ජනවාරි)