ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සරත් සමයක කොළ හැළුණු ගහක් යට

සරත් සමයක කොළ හැළුණු ගහක් යට

තුෂාරි ජයසිංහ - මහනුවර
2022-February

හෙවනැල්ල දුව ඇවිත්
මා තුලම සැඟවෙනා
කාල හෝරාවක
දැණුන විට සිසිලක්
පුදුමයට පත් වීමී

කොයිබින්ද මේ සිසිල.

කාෂ්ටක හිරු එලන
උණුසුම්ම පාවඩ
සිප වැළද ඉසියුම්ව
සිසිල සැදුවෙම නිතර
කවුරුන්ද ඇත්ත්ටම

ගහ හලපු කොල ගොන්න.

දළුදාන කල් එළඹ
සරසනා විට සිරස
සිසිල දුන් කොළ දිරා
පොහොණි විය
ගස මුලම

උහුලාපු දුක දරන්.

කලෙක හිස සරසාපු
අවපැහැව බිම වැටුණු
රිදුම් පිරි මැදි ඔටුණු
සිරස මත යළි වැඩපු
සතුට සමරනු පිණිස

ගස සිනාසෙයි තුටින්.