ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සමනල සදෙස-8

සමනල සදෙස-8

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
2024-January

මාලපල්ලේ කුමුදු අමරසිංහ
2024.01.01
සමනලයාගේ සිරිපා කරුණාව
දතයුතු කරුණු ගොමුව – 6

128. පිය සමනලය නුඹ දත යුතු කරුණු පෙළ
පිය සටහනක විලසින් දළ කෙරුණු කල
සිය සංයමය තුළ පිහිටා බලනු මුල
කියවනු සොද ය පෙරතුව යන තැනට නිල

දිය කොමලියන්
129. සුදු පෙණ කැටිති සදමින් ගිරි තලය යටින්
හුදු දිය දහර ගති එන්නට ඉහළ ගිරින්
මුදුණත සිට පැමිණ තැන-තැන මතු ව බිමින්
රුදු ඝන වන වැදී සතරත දුවයි මතින්

130. මහවැලි – කැළණි – කලු – වළවේ සිව් ගංගා
සමනොල අඩවි මුදුණත සිට පැන නැංගා
යන විට දෙ කදු පෙත් මං අතරින් රිංගා
මිහිලිය රකියි මිණි – මුතුකැට හද සංගා

131. මේ දිය කොමලියන් තැන – තැන සැග ව බෙදී
දිය ඇලි, කඩිති, ඇල-දොල මතු කරයි සැදී
යන – යන තැනට ගෙන නෙක නම් වදා බැදී
හැම කල සෙත සදයි සාගත බියෙන් මිදී

132. සිහිතල ගල් පවුරු වටකොට සැදුණු හිමේ
මිහිතල වල් වැදී ගහ – කොළ පිරුණු ඉමේ
සිහිලල මල් කැකුලු එති – එති තුරුණුකමේ
මිහිපල සල් කරයි සිප දිය රැදුණු බිමේ

133. බැරි – බැරි විලස බිදුවෙන් – බිදුවට ම එතී
සැරි – සැරි පලස නෙක – නෙක පැතිකඩට ඇතී
පෙරි – පෙරි මෙලෙස එන සුදු දිය කුමරි රුතී
මැරි – මැරි කෙළෙස යන සොබදම ඇයට ගැතී

134. දැන් ව ද දනිති දැයි යන සැක දුරු ව ගිහින්
පැන් ල ද මසිත් ළපැටිය පණ ගැසුණු සෙයින්
තුන් හ ද වතින් කියතොත් නුඹ හනික ගොසින්
මන් ම ද හාසෙ විද ගනු මැන නල්ල – තැනින්

සමනලයා දුටු නල්ලතන්නියේ අපූරුව – කහටපත

135. හොද – හොද තැන්වලින් ඉපදී හොදට හැදී
කොද – කොද මල්ලියන් අතුරා දියට මැදී
විද – විද සිහිල් වන් පවනැල් ගතට වැදී
කද – බද සුසුදු වන් දුහුලින් නෙතට බැදී

136. පීරා සිව් අතින් පැන විහිදමින් රැළී
මීරා බිව් ලියන් ලෙස දගදමින් ගිළී
රූරා පව් මතින් පහළට වැටෙන් මලී
හාරා මව් මිහින් මුතු නොම ගිලින් යලී

137. තන්හි – තන්හී කැරකි – කැරකී දුවන ඉතා
වන්නි – වන්නී සැරසි – සැරසී පවන සතා
ගන්නි – ගන්නී උසුල – ගන්නී කියන කතා
තන්නි – තන්නී නල්ල – තන්නී හිදින ලතා

138. එ දවස සුදු රජය ලක සොලවන කාලේ
මුදලට ගන්න බැරි කෝපිය ගස් බාලේ
සැදුවෙන් ගලව – ගලවා වෙනුවට රාලේ
තේ ගස හැදුව වාගෙයි මේ ගම් මාලේ

139. කවුරු කෙලෙස කීවත් කවදත් පතල
මුදලට තමයි තිබුණේ ගරු – සරු ඉහළ
ගෙන්වා දකුණු පෙදෙසින් යාබද දමිළ
කම්කරු පිරිස් සැදුවේ සුදුවුන් වසල

140. මේ විලසින් තමයි මෙතැනට නම හැදුණේ
“පිරිසුදු වතුර” යන අදහස ම ය ගැණුණේ
ඉන්දු – දකුණු ළදුනගෙ රත් සුරතින්නේ
උන් සිටි නිසාවෙනි තේ පැල ලක වැවුණේ

141. සාදා කදු අතර ජනපද තැනින් තැන
වී-දා සදු පැතිර දළමුව පතින් පැන
බාදා ළදු නොතිර තිබුණත් උදෙන් දැන
පාදා වදු උගුර කියමින් බුදුන් බණ

දතයුතු කරුණු ගොමුව – 7
පුද බිමේ මග වැණුම
142. පුද බිම සරසමින් දළුලන තේ පැලමෙන්
හද විමනක් ලෙසින් අතුලන ගුණ සුවදින්
තෙද බල මහිමයෙන් සිසිලන බුදු සිරියෙන්
රද නුඹ ගිර සමන් බල මැන හද බැතියෙන්

143. විමසුම කළ සොදින් යා යුතු මග දුර ද
පිවිසුම පිහිටියේ තොරණින් වග පෙර ද
සැනසුම ගෙනේ දැන යා යුතු මග සුර ද
තෙරපුම සිතේ පහ වී යන වග හැර ද

144. මකර තොරණ දැක එ මගේ යනු මිතුර
සතර දිසානති බලමින් විද මිහිර
නතර නොවනු මිස නුඹෙ අත්තටු පහර
රුහිර නොයන තුරු ඇති සිරුරේ නහර

145. හිටි පිළිමයකි වෙත් පසෙකින් වැදුම් පිරේ
සිටි භික්ෂුවකි අත රදවා ජපන් බෙරේ
දිටි බුදු බලය කරුණා ලක් දනන් කෙරේ
වටි – නාකමෙකි බුදු මැදුරත් සමන් කෙරේ

146. කලක් පුරා ඇසුණත් ඒ ජපන් බෙරේ
කවක් විරා-ගයකින් ඇසුණමුත් ගිරේ
කුමක් අරා නැසුණ ද බෙර හඩත් මුරේ
තැනක් සරා බල හිමි හිදිනා එ පුරේ

147. සමන් අඩවියට සපැමිණ සමන් ගිරේ
සමන් ගිර නගින්නට පෙර තමන් කෙරේ
සමන් දෙවි පුදා ලැබ ගෙන සුරන් සුරේ
සමන් ගිර නගිනු කරුණා දියෙන් කිරේ

148. සිහි-තල පිණි කදුළු වගුරත තුරු එ ලතා
මුසු-කළ වැනි සිතලු හැගුමක් එ මගෙ ඔතා
සුප-තල ලොව සියලු දෙන හුදු හැගුම් යුතා
සමනල ගිර බබලු සිරිපත් වදිති සිතා

149. සමනල සබද නුඹ උන් පසුකොට නිබද
පියඔන සදෙහි හිස් මුදුණින් හැඩට සොද
ඉදහිට හරවමින් හිස පසුපසට බැද
බලපන් කෝඩුවෙන් යන දන ගිරට වැද

150. විවේකය ගන්න හිතවත අම්බලමේ
දොරණ ගස මුවා වෙයි පියසට මෙ ගමේ
බොහෝ දුර ගෙවන්නට ඇති නිසා හිමේ
නවාතැන මෙයයි සිදුමට මගෙහි ගිමේ

151. දොරණ ගසේ තෙල් ගෙන පන්හිද කැන්දූ
තොරණ රටා මල් වැල් සිත්තම් බැන්දූ
පරණ වෙලා කොහෙදෝ ඇති දැයි රැන්දූ
‍උරණ නොවී සොයපන් සමනල් බන්දූ

152. දුටුවෙ ද සෙවූවත් දුටු – දුටුවන් කිව්ව
සැගවෙ ද ඇසූවත් වුව සැණෙකින් සෙව්ව
බැදුණෙ ද නුවන් යුගවෙත මෙපුවත් මැව්ව
රැදුණෙ ද සොවක් නුඹෙ හද හඩවා පෙව්ව

153. කෙකටිය ගල ද පසුකොට නුඹ යන්න මහා
හමු වන හෙල තමයි “ළිහිණිය මළේ” බහා
යනෙන හැම දනා “ළිහිණිය අක්කෙ” අහා
“ගිහින් නැවත එන බව” පවසතේ වහා

154. හෙල දුටුවත් දැකුමෙන් සිත සනහන්නේ
හෙල දැක කිසි විට දි පහළට නොම යන්නේ
පෙළ හිදිනා පදුරු – කටු – තටු සිදලන්නේ
මළ දා වැළලු තැන කවුරුත් නෑ ඉන්නේ

155. මහ වන පෙත වසා තුරු හිස් මුදුන් ගොඩයි
ඒ තුරු අතරෙ රිංගා හිරු කිරණ නටයි
තැන – තැන හිස් නමන සුළගට වැනෙන ගසයි
උස් හිස් දළ කෙසින් වැසි පෙත එළිය නසයි

156. මේ මහ වනය පණ පොවමින් හ‌රිත ගැසී
වේ දිය දහර මේ ගිර මැද පහළ බසී
සේ මුතු පිනි කැටෙන් – කැට බැදි වතුර වැසී
පේ වී ගලයි උල්පත් දිය දහර නිසී

157. කළු ගං උපත නුඹටත් දැක ගනු පිණිස
රළු මං ගෙවූ පසු ඇති වන දිය පිපස
තලු මං මරා බොන්නට උල්පත විලස
කළු ගං උපත ලද තැන නමමින් සිරස

(මතු සම්බන්ධයි.)