ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සබඳ මම එක නමක් නැත්තෙක්මි!

සබඳ මම එක නමක් නැත්තෙක්මි!

ගංගා කඩවැද්දුව - මේරි ලන්ඩ්, ඇමරිකා එක්සත් ජනපදය
2023-November

ගංගා ප්‍රියංගනී කඩවැද්දුව
මේරිලන්ඩ් ,ඇමරිකා එක්සත් ජනපදය

විඳිමි දිවි සැහැල්ලුව උණුසුම්ව වා රොදක ඉහළ නැග ගගන දුර නිල් ඉම
කිළිපොලන සීතලට කිටි කිටියෙ ගුලි වෙලා වාගැබේ මැවෙන දිය බිංදු මම
තුරුළු වී රොද බැන්ද සුදු පුළුන් වළා කැටි කිම කළුව විසල් වූ ඒ අරුම
මොහොතකට වැහි වළාවක් වුනෙමි නොදන්නෙද දැරුව තෙරපුමෙ තරම!

මුදා හළ කල්හි මේ කුළක් අහසක් අත් හැර
රැවුම් ගෙරවුම්ද ඉසිලිය නොහෙන හිත් බර
ඇදහැලෙමි වැහි වතුර ,කැට අයිස්,හිම ,තුෂර
නිදහස්ය ඒ වැස්ස නමකින් හෝ කවර

නගර කුණු කාණුවක , කසල මං මුව දොරක ඇළි බෝක්කුව කටක
දුවන මග බොර ජවැති ජල කදක ඉසිඹුලමි මඩ වලක පුරන් කෙත් ඕවිටක
ළමැද ගල්බෝර හෙළු මිහිලියගෙ යටි බඩද බැකෝ නියගින් හූරකන රටක
චූදිතයෝ නිදැල්ලෙය සොබා මව් දඬුවමේ හසුන ගුලි කළේ මගේ අතමිටක

ගලමි සැඩ ගං දියව භවභෝග සන්තකය ගම් දනව් යටකොට
නපුර කදමළු බැඳන් නෑගමේ ආතුරවු කන්දකට හුස්ම පස් යට කොට
ඒත් නොතිබුන නොවේ හීන හීනම නොවී සෙනේ දියවරක් වෙන හිතකට
සුනිල දිය තටාකෙට , සරැළි මුමුණන ගඟට, වන පෙතක ඇළ දොළට විලකට

ඉඩෝරයේ පිරි පතින් හෙම්බත්ව දිය නිලන පැතුම් ඇති වැවක හසරැළි වෙමි
ගිරි කුළක් බදාගෙන හෙළ ගැඹුර නොදැන පැන ටර්බයිනයක බලය උපදමී
ඉන්ද්‍රජාලිකයෙක්ව හිරු කිරණ තෙලිතුඩින් ඉදුදුන්න සත් පැහැය තවරමී
තවම ගස් යට නිදන සේපාලි ඇහැරවා තණ පලස උදා පිණිකැට හාදු අමුණමී

දුර නිම්න කඳු ලියට යැව්ව මිහිඳුම් ගවුමෙ ශීත ඍතු හිම පියළි මල් මහන්
තුහින කුඩුපොද වැදී අයිස් කැටයක දියව සොයමි දිවියක අපිස් කමටහන්
වඩදියක ඉපිල සිදු පතුල සිඹ දිය වැළක නාව මුත් කෙනෙක් සැපදුක් අහන්
මුල් දිගේ දන් දුනිමි මහද සාරය ගහේ මල් පලට අතරමග ගෙවුන මුත් පාවහන්

විටෙක යමි ධූමකේතුවක නැග සක්වළෙහි චන්ද්‍ර තරු මඩුලු සිරි විනි විඳින
පෘථිවි කබොලත වගෙම අසල්වැසි අඟහරුගෙ කැටයමක කලක් ගල් වී නිදන
ජීවයක් කොහිද ලොව මා නොමැති තැන සබඳ කොටසක්මි ඔබගෙ දැන හෝ නොදැන
යළිදු මා උණුසුම්ව වළා හිසකට නැගී වැස්සක්ව ඇදහැලෙමි අනවරත මේ ගමන

නමුදු මා ප්‍රිය සබඳ,
ඔබට මෙන් ජාති කුල ගොත් නම් ගම්
ලියු හැඳුනුම්පතක් නොමැති සද
මමය මගෙ ජීවිතාශක්ත නෙක බැඳුම් දුන් රිදුම් දැන් අවසන්ය
ම විසින්ම නිල් වර්ණ ගන්වන,
මා මිදෙන ඇදහැලෙන උණුහුමට යළි යනෙ’න
අහස් කුස ,මහ සයුර මෙන් මහද ගැඹුර නිති නිදහස්ය සන්සුන්ය
මා තිළිණ කළ හරිත සළු පැළඳ ,
හෙටත් සිප වැළඳ ගන්නට පතන
සුපෙම්වත් මහපොළොව මෙන් මසිත චේතනා අසිරිමත් විදසුන්ය
ඉඳින් ලත් නමක් නැති සියල් අත්හළ විසල් තෙත් හදක් ඇති තැන
ඔබ සරන වෙහෙසකර සංසාර චක්‍රයට සම නොවේමය ම ‘දිවි සක
පුළුල් අවකාශයක විශ්වයේ බොහෝ දුර පුන පුනා ගෙන ගිය ද
සොයා නිම් හිම් සොඳුරු රස්තියාදුවක මට
රවුම් ගසනුව රිසි තරම් එය අරුමැසිය සුපසන්ය.