ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ආදරෙන් ඔබට…

ආදරෙන් ඔබට…

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල
2022-December

සිහිනයෙන් දිවගෑව
මිහිරි සුවඳක් වගේ
දෙව්ලොවින් විහිදූව
සහන් එළියක් වගේ
සිතක් කම්පනය කල
විදුලි සැරයක් වගේ
කොහෙන් ඔබ ආවාද
පුංචි ලෝකෙට මගේ??

රිදී කැන් විනිවිදින
දෙබෑ කර කලු වලා
වැසු අඳුරු කුටීරය
සෙනෙහසින් එළි කලා
දියෙන් කිරි වෙන්කරන
රණ තිසරු මෙන් වෙලා
මිදුණු සීතල හදක්
දයාවෙන් තෙත් කලා..

කමටහන් ලබා ඇති
බොහෝ දිවියට හිමී
අරුත් පිරි වදන් පොකුරක්
සේම සුරකිමී
සලිල මැඩ හිරු සිඹින
සුපුල් ඉඳුවර වෙමී
දිවිය අතැඹුලක් කොට
ඔබේ දෝතට දෙමී.