ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වැලන්ටයින් තිළිණය

වැලන්ටයින් තිළිණය

හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව
2022-February

මා ඔබට දෙන තිළිණය
රතු රෝස මලක් හෝ
විල්ලුද හදවතක් නොව
ළූනු ගෙඩියකි
එය දුඹුරු කඩදාසියක එතූ සඳක් වැනි ය
ප්‍රේමයේ සියුම් නිරුවත්වීම විලසින්
එහි පොරොන්දුව ද ආලෝකයයි

පිළිගනු මැන එය
ප්‍රේමවන්තයෙක් ලෙසින්
එය ඔබව කඳුලින් අන්ධ කරනු ඇත
කැඩපතේ ඔබගේ පිලිබිඹුව
ශෝකයෙන් වෙව්ලන සේයාරුවක් කරනු ඇත

මා සත්‍යයක් ම කියන්නට උත්සාහ කරමි
මගේ තිළිණය සුන්දර කාඩ් පතක් හෝ
තැපෑලෙන් දෙන හාදුවක් නොව
ළූනු ගෙඩියකි
එහි දරුණු හාදුව
අප බැඳී සිටින තාක්
අප දෙදෙනා තරම්
අයිතිවාසිකමින්, විශ්වාසී බවින්
ඔබේ දෙතොල් මත නවතිනු ඇත

පිළිගනු මැන එය
ඔබ කැමති නම්
එහි ප්ලැටිනම් වළලු
මඟුල් මුද්දක් සේ හකුලුවනු හැක
මේ තිළිණය මාරාන්තික ය
එහි සුවඳ ඔබේ අතැඟිලි මතත්
ඔබේ පිහි තලයේත්
තැවරී පවතිනු ඇත

‘Valentine by’ Carol Ann Duffy
පර්වර්තනය- හෙල්මලී ගුණතිලක
Link to the original poem – https://www.scottishpoetrylibrary.org.uk/poem/valentine/

Carol Ann Duffy 1955 දී ස්කොට්ලන්තයේ උපන් කිවිඳියකි. කාව්‍ය සංග්‍රහ කීපයක් ම පළ කර ඇති ඈ ඊට අමතරව නාට්‍ය තිර පිටපත් රචනා කිරීමේත්, සංස්කරණය කිරීමේත් දස්කම් දක්වන්නී ය. Carol Ann Duffy 2009 දී ස්කොට්ලන්තයේ Poet Laureate තනතුර ලැබූ අතර වසර හාරසියයකින් එම තනතුරට පත්වූ පළමු කාන්තාව ඇය විය.

Description and photo of the poet-https://www.scottishpoetrylibrary.org.uk/poet/carol-ann-duffy/
Copyright free photo from Pixabay