ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගුරුතුමියගේ රචනාව

ගුරුතුමියගේ රචනාව

නයෝමි අමරසිංහ
2023-December

රචනා පාඩමට මා දුන් උපදෙසට
අලුතෙන් කොපි පොතක් අරගෙන ආවාද
වටයක් දෙකක් උන් අතරින් යන කලට
දුටුවෙමි බිම බලන් උන් බව වැඩි පිරිස

වේවැල අරන් විමසන්නට හැදු විගස
දරුවෙක් “පොත් ගණන්” යැයි කීවෙන් සැරට
උඩගොස් බිම වැටුණි වේවල හිටිවනම
බැස යමි උන් ළඟට දැන් කාගෙද වරද

“ගල් කූරෙන් එක වරයි අපි නම් ලිව්වේ
අද පොත් ගණන් මොනවද උඹ පුරවන්නේ?”
අත්තම්මා වරක් මතකයි මට කිව්වේ
එය විමසන්නට අදයි හිත ආපහු දිව්වේ

ලිය ලිය කෙළවරක් නැතිවම පොත් පුරවා
වෙහෙසම මිසක නැත ඔළු ගෙඩියක් පුරවා
රචනය තමයි “මා අත්තටු ලද ගිරවා”
මිදුලට යමු ළමයි අහසට නෙත් හරවා