ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මුල්ගුරුතුමා වෙත

මුල්ගුරුතුමා වෙත

ආචාර්ය ඥානතිලක හේවාගමගේ - සිඩ්නි , ඕස්ට්‍රේලියාව
2022-March

හෙළ බස රස කරන සුන්දර වදන් ….වැල්
කවිමග දීය හමුවුණෙ කර සිතට ..ලොල්
ඇයි ඒ බස් වහර මගහැර සියලු …….කල්
අද මේ දරු දැරියො යන්නේ වැදී ……..වල්

විදුමග ශිල්ප ඉගෙනුමටම රැගෙන ..සවී
විභාගෙ විභාගේ කියලා තරඟෙ ……..දිවී
විවහාරයේ ගණිතය අප කළත් ……..නිවී
අමතක කළේ නම් නැහැ කේයස්ගෙ කවී

කිවියර පසිඳු මානවසිංහයන් ………….සදා
සිවුරක් හිමි නිසා සත හට බණත් …..වදා
නුදුරුම ගම් පියසෙ වාසය කළේ ……..එදා
එදෙසින් එන සුළඟ තවමත් සිඹිමි ….බදා

හෙළ කවිමග ඔසව එය කළෙ ලොව ….පසිඳූ
විමලරත්න කුමාරගම වු කවි ……..රජිඳූ
අලියා වැටුණු වැව දනගේ හද …….ලහඳූ
ගැන කීමෙන්ම විය ඔහු එදවස ….දෙවිඳූ

හාස්‍ය රසය හෙළ කවියට …….පළඳවලා
දෙස්පාලන අවැඩවලටත් පහර ….හෙළා
සංකර ලෝකෙ විච්චූරණ ගැන ….ලියලා
කව් මග දිලුනෙ ජී.එච්. පෙරේරා ..කියලා

පෙරලා ගියපු රෝදය නැති කර …….දිලිඳූ
දියුණුව කරපු පරිහානිය වෙත …….බිළිඳූ
වේදනාවු සිතින් මත පළ කළ ………කවිඳූ
මීමන ප්‍රේමතිලකයි ඔහු නම ……….පසිඳූ

ළිඳ ළඟ ලියන් ගැන මනරම් කවි………ගොතලා
නර්තන කලාවට උත්ප්‍රේරක………..කරලා
කළගෙඩි නැටුම නව ආරෙට……පුබුදුවලා
පෙරෙරා නැගුනෙ පී. බී. අල්විස්……කියලා

මෙහි කිව් නොකිව් කවියන් දැරු හැඟුම් බර
සිතිවිලිවලින් උකහාගත් නුවණ හර
ඉන් සෙත සැලසු මතකය අපි අළුත් කර
යමු ඉදිරියට නවකයිනට දෙමින් වෙර

ආචාර්ය ඥානතිලක හේවාගමගේ
සිඩ්නි, ඕස්ට්‍රේලියාව