ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වෙසක් සඳ සැගව්ලා

වෙසක් සඳ සැගව්ලා

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි
2024-May

දෙනෝ දාහක් දනෝ කුසේ ගින්දර නිසා
තුන්වේල කෙසේමුත් දෙවේලක් හෝ සොයා
ගනු බැරිව, ලත වෙවී දස අතේ ණය වෙලා
සිටිනු දැක නිලඹරෙහි
වෙසක් සඳ සැගව්ලා

පුරන් කෙත් වතු දිහා දිවා රෑ.නෙත් අයා
සිතින් සෝ සුසුම් ලන ගොවි පවුල් රට වටා
උකස් කළ සොච්චමද.සින්න වේදැයි සිතා
මිලක් නැති වගා දෑ, දී ගන්න මඟ බලා
වී ගන්න තැන් පවා වසුණු දොරගුළු දමා
රටට වුණු දේ කිමැයි
සිතා ගනු බැරි නිසා
අත් හිසේ රුවාගෙන
අහස දෙස බැලූමුත්
නොපායපු තරු අතරෙ
වෙසක් සඳ සැගව්ලා

වසර ගණනක සිටම
වැඩි නොවූ පඩි පතෙහි
ඉලක්කම් දකින්නෝ
සෙයිලමේ ගම් දොරේ
වෙළඳ සැල් සිවු කොනේ
අවැසි තුන පහ සහල්
එදා මෙන් මිල දෙතුන් –
ගුණයකින් වැඩි නිසා
රිසි පරිදි ගනු බැරිව
මිල මුදල් නැති නිසා
යනෙන සහසක් දනෝ
දකින්නට අකැමැතිවැ
ඈත ආකාසයේ
වෙසක් සඳ සැගව්ලා

Photo credit;Greg Rosenke
=-================
රාජ්‍ය කලාභූෂන කිවිපති
ඩබ්ලිව් කේ සරත් විමලසිරි
(අතකස හිටපු සම ලේකම්)