ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මලපෙරේත කවි

මලපෙරේත කවි

සෝමරත්න දිසානායක
2021-February

තුංමං සලේ – ගොන්මං වෙලාවට
හොල්මං කරන – තුන්බිය ගෙනන
මලපෙරේතයෝ අපි

මිනිසුන්ට වින කර – සපල සැම අපල කර
පසෙක සිට සතුටු වන
මලපෙරේතයෝ අපි

විසාලා නුවරට – අපි වින කරන විට
බුදුන් වැඩ හනිකට – දෙසු රතන සුතුරට
බයවෙලා පොදියට – පැන්නෙ අපි ලංකාවට

ලංකාව හරි හොදයි එදවස
තිබුනෙ නෑ බුදු දහම මෙදියස
අපට තිබුනා නිදහස – අපල කෙරුමට සිතුලෙස

බුදු බණ පැමිනි සඳ සිරිලකට
බුදු පිරිත සවනත වදින විට
ගැටලුවක් විය අපට – යලිත් සිදුවුන විපතට

අපේ පෙර පිනකට
හාමුදුරුවරු අපට
පිහිට වෙයි අද කදිමට

පංසල්ම දෙක තුනකි එක ගමට
ලවුස්පීකර් පිරිත් තරගයට
කංකරච්චලයක්ම මිස සැමට
නොතේරේ කිසිවක් හරියට

හිස නමනු මිස දහමට
ගරු සරු නොමැත ගොසකට
දැන් ඉතින් බයවෙමුද අපි කුමට ?
පංසලම පිහිටවී ඇත යසට

තුංමං සලේ ගොන්මං වෙලාවට
හොල්මන් කරන්නට – තුන් බිය ගෙනෙන්නට
දුන්න සහයෝගයට
පිං පුදමු නොමසුරු
සංඝ රත්නෙට ගරු.