ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පෘතුගීසි කන්‍යාමාතාවගේ ලියුම – අනුවාදය

පෘතුගීසි කන්‍යාමාතාවගේ ලියුම – අනුවාදය

උදයංග අමරසේකර - ප්‍රංශය
2021-September

ඔබව සිහි කරවනු පිණිස
මට ලිපි නොලියන්න
නිසරු දේ
එහි සඳහන් නොකරන්න
මට ඔබව කිසිකලෙක
අමතක කළ නොහේ
මා හා ටික දිනක්
ගත කිරීමට එමි ය කියමින්
මට දුන් ඒ අපේක්ෂා පවා
මට අමතකව නැත
මාව සතුටු කරනු පිණිස
මෙසා වෙහෙසෙනු නොමැනවි
මාව අමතක කර දැමි ය යුතු බව
ඉදින් ඔබ නොදන්නෙහි ද ?

ගබ්රියෙල් ද ලවේර්ඤ්ඤ ද ගියෙර්රාග්

වෘත්තියෙන් මැජිස්ත්‍රාත්වරයෙකු වූ මහාමාන්‍ය ගබ්රියෙල් ද ලවේර්ඤ්ඤ ද ගීයේර්ග (Gabriel de Lavergne de Guilleragues,1628 Bordeaux -1685 Constantinople) එවක බලයේ හුන් කොන්ති (Conti) කුමරුගේ රජවාසල පිළිගත් රාජසේවකයෙක් වූවා පමණක් නොව බොහෝ ඇසූ පිරූ තැන් ඇති ලේඛකයෙකු ද විය. නමගිය බොහෝ සාහිත්‍යධරයෝ ඔහුගේ ඇසුරේ විසූහ. මොලියර් (Molière) රසින් (Racine) හා බුවලෝ (Boileau) ඒ අතර වෙත්. ගීයේර්ගගේ ලේඛන අතර වඩාත් ප්‍රචලිත පෘතුගීසි ලියුම් (Lettres Portugaises) නම් කෘතියයි. ඔහුගේ මේ කවිය පහත සඳහන් කවි එකතුවෙන් උපුටා ගැණිණ. E. Brami et E. Houdart, Poème à vivre et à aimer, Paris Ed. Seuil, 2005, p. 125. මේ හා පිහිටුවා ඇති සිතුවම එසේ ම සුපතළ සිත්තරෙකු වූ ඉඤ්ඤාස් බ්රීස් ගෙනි. ඊට අදාළ මූලාශ්‍රය මෙසේ ය : Ignace Brice, Nun with a book, 1866.