ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පවුම

පවුම

ලලිත් මල්ලවාරච්චි - ඔස්ට්‍රේලියාව
2023-August

ලන්ඩන් නුවරදී තිස් වසරකට පෙර
පවුමක් සෑහුනා කල කී බොහෝ දේට
රන් පැහැ රවුම් කාසිය ස්ටර්ලිං පවුම
රුපියල් වලින් එකසිය ගණනකි එකල

සරසවියට පිහිටි ලන්ඩන් නුවර මැද
උමං දුම්රියෙන් පවුමකි ගමනකට
ශිෂ්‍ය කැන්ටිමේ අප ඉඳ හිට දුටුව
පවුමකි බත් පතක් මස් හොද්දක් සමග

බ්ලූම්ස්බරියෙ සිනමා දර්ශනයකට
ටිකට් පතක මිල පවුමකි සිසු අපට
ඇදුරන් සිසුන් හවසට ගැවසෙන නිතර
පබ් එකේ දුන්නා පවුමට බඳුනක් බීර

මේ ගැන දොඩන විට පුරසාරම් දිනෙක
යූ ආර් සෝ ඕල්ඩ් කීවා තරුණ කැල
පවුමේ අගය අඩුවී ඇති ලෙස මෙකල
අප ගැන කතා කළ හැක්කේ කෙලෙසටද?