ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ප්‍රණාමය තාත්තාට

ප්‍රණාමය තාත්තාට

ලලිත් ද සිල්වා - නුගේගොඩ
2021-November

විසල් සුදු ඩිමයි කඩදාසි
රෝල් ළඟ
මජං ගෑවුණු කළු යකඩ
තඩි මැෂින් යට
මේසයක් ළඟ
හරි හතරැස් කඩදාසි
කොළ වල කපා කොටා
කුරුටු ගා
දුක් විඳිනා පිළ වෙනුවෙන්
මැතිණියගේ පත්තරයට
ලිපි සැපයූ තාත්තාට

‘දිනකර’ ‘සිරිලක’ ‘දිනරැස’ ගුරු හඬ
පණ දෙමින් ගොවි කම්කරු පිළේ
මොළ වලට කන්න දුන් තාත්තාට

මෙහෙයවමින් ගුරු සංගම්
අව්වේ වේලෙමින් – වැස්සට තෙමෙමින්
ඉල්ලීම් ඉල්ලමින් – සටන් කරමින්
නොවේ රජවන්නට – අප වැන්නවුන්
ජීවත් කරවන්නට
හාල් ටික, පොල් ගෙඩිය ගන්නට
පොතට බඩුගත් පෙට්ටි කඩයට
මාස් පඩිය වෙන්කළ
තාත්තාට

කුරිරු පාලකයන් පැසිස්ට්
දොට්ට දැමූ පසු රැකියාවෙන්
අසූවේ ජූලියෙන් වැටුනෙන්
එලියට ද … කුලී ගෙදරින්
ආත්මය වසාගෙන වියළි කඳුලින්
ඉල්ලා ‘දහය’ පහළොව’ රුපියල්
හමුවන යහළුවන්ගෙන් මගතොටේ
ජීවත් කරන්නට මා වැන්න වුන්
ජීවිතය කැප කළ තාත්තාට ….