ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගොන් පොර…!

ගොන් පොර…!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල
2023-May

ජනප්‍රිය ක්‍රීඩාවකි ‘ගොන් පොර’
සමහර රටවල් වල…
මන පිනවා ගන්න සිතා ඒ
සතුනට වද දෙන කල…
පණ යනවා දැක දැක සතුටින්
ඉපිලෙන මිනිසුන් තුල…
මොන විදිහක සිත් ඇතිදෝ
හිතමින් ලියනෙමි පැදි පෙල…

අහර නොදී සිර කර තබනා
හැඩි දැඩි ගොනුන් මෙලෙස…
පහර දීම් මැද හුරුකරවයි
සටනට නොකර අලස…
නහර පුරා දිවයන්නේ කුරිරු
තරහවයිනෙ එලෙස…
දහර-අමා, නොදත් නිසා නිරයෙන්
ගැලවෙයිද කෙලෙස…

රතු රෙද්දක් වනමින් ගොනු
හා සටනට එලැඹෙනවා…
සතුරා සේ සලකා පිටියේ
එහෙ මෙහෙ දිවයනවා…
සිතු සේ එසතා දුව දුව හරි
වෙහෙසට පත්වෙනවා…
උතුරා යන තරහින් සමහර
විට ඌ මියයනවා…

විටකදි සටනට එළැඹෙන
මිනිසා හට වරදිනවා…
හට ගන්නා බිය හින්දා
බිම වැටිලා පරදිනවා…
“තට දෙන්නම් දඬුවම” සිතමින්
අං දෙක හසුරනවා…
පිට පිට අණිමින් මිනිසව මරණය
වෙත ගෙනයනවා…

මෙ⁣හි පෙනෙනා සේයාරුව
කියයි පුදුම දෙයක් අපට…
සිහිනෙන් වත් නොදුටු යමක්
සිදුවී ඇත දිනෙක යසට…
මිහි මත ඇද වැටෙනා මිනිසා
වෙත යන ගොනුද, දුකට ..,
පිහිට වන්න සිතා කෙමෙන්,
ලංවනවා පෙනෙයි සැමට…

“ඇයි මේ තරමට ගොන් වැඩ
කරන්නෙ මන උස් නුඹලා…
වෛවාරණ ඇඳුමින් සැරසී
අප හට දුක් දෙවලා…
කොයි වල යන්නද මරණින්
පසු සිතුවද, මා මරලා?…”
මෙයින් පෙනෙන්නේ එලෙසට
ඇසුවද ගොනු හිස සලලා..!