ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගොළු හදවත

ගොළු හදවත

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - එංගලන්තය
2021-November

එතී ගත් හිත් නහර එකිනෙක
බිඳී ගිය එක් අඳුරු මොහොතක
බැඳී උන් අත් පහුරු අග්ගිසි
සිඳී ලේ තැවරුණා දවසක

තැළුම් පිපිරුම් හිමින් මගහැර
වෙළුම් ලා බැඳ ඇඟිලි බිත්තර
රිදුම් සමහන් කළෙමි හදවත
පැතුම් හිස් ආකහේ පා කර

වසර ගණනක් පසුව හවසක
අතරමගකදි අහම්බෙන් දැක
වතුර දුටු සේ සතුටු සිතැ’තිව
නතර වූයෙමි පුරුදු අරණක

ඔබේ දැකුමෙන් නැවත පැමිණී
මගේ නෙතු පින් කළා දැනුණී
අනේ යළි හමු නොවී ඉඳිමු ද
ඇසී දෙසවන අගුළු වැටුණී

යළිත් හිත යට පිරුණි ලෝ දිය
නවැත්විණි කරකැවුණු ලෝකය
පිටත් වුණු දුම්රියක් හිස කඳ
ඉවත් කළ සේ දැනී තනිවිය

( 2021 නොවැම්බර් 14 දින
දොරට වඩින, වෛද්‍ය ශ්‍යාම් මුණසිංහ ගේ
නවතම කවි සිත්තම
ඉරි සංවේදී කවි සරණියෙන් )