කොළඹ යුගයේ සිත්ගත් කවි
වෙන්කත රංගමාල් – පී.බී.අල්විස් පෙරේරා
අන්තිම සිහල රජුගේ අග බිසොව ලෙස
පෙම් මල් උයන් වැවුවද රජ ගෙදර වැස
පසු කාලයෙහි ඔබ ලද කම් කටොලු රැස
මම සිහිකරමි දේවිය උණු කඳුලු පිස
ඔබ ගේ සිනා රැලි පුන්සඳ රෙහෙණු පොදී
මැද මහනුවර පිළිමිණි ගිරිකුළෙහි රැඳී
මතුකළ එළිය ගැන තොරතුරු ඉහල දිදී
ජෝන් ඩොයිලි ලගු සටහන් කියන ලදී
” සිරි වික්මන් රජුගෙ නායක සුරතලිය
අති රූපත් ය එ පමණටම සියුමැලිය
ඇගෙ දිගු නෙතින් පළවෙයි නිල්මිණි එලිය ”
ග්‍රැන්විල් ලියූ මේ තොරතුරු පැහැදිලිය
තුරුළුව හිමිට ඔබ සිටියදී කඳුළු පෙරා
එහි ආ අමන එක්නැළිගොඩ නමැති හොරා
බැඳි මිණි කොඩොල් ගත් සැටි කන් යුවළ ඉරා
අමතක කරන්නද ජාතිය තිබෙන තුරා
වැස්සෙන් තෙමි තෙමී දුම්බර කඳු වැටියේ
දහවල ගෙවා එළියෙන් සදැවෙල කැටියේ
ආරච්චිලගෙ ගෙට ඇතුළුව උඩ පිටියේ
වෙවුලන ළයෙන් ම ය දේවිය වැඩ සිටියේ
කන් පොතු ඉරා ලේ වගුරා දරුණු වද
පමුණා හඬන දේවිගෙ කෙස්වැටිය මැද
සැරසූ මැණික් හර ගලවන විටදි ඇද
ගිනි නොගැනුනේ උඩරට මොන පුදුමය ද?
“මට වදකරනු ඇයි එක්නැළිගොඩ දරුව?”
යනුවෙන් කියූ විට හැඳි සළු පිළි ඉරුව
ඒ ජඩයාගෙ ජඩකම් දක්නට බැරුව
මුහුදේ වැටෙන්නට ඇත ඉරබටු තරුව
වැළපෙනු බලා කණ ලේ ඇස කඳුළු පපා
දේවිය ඔබට වද දුන් තෙත් ගුණය නොපා
ජඩ මිනිසුන්ගෙ නමවත් මගෙ කණට එපා
නළලින් පිසින්නෙමි සියුමැලි ඔබගෙ දෙපා