ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කෘමියෙක්

කෘමියෙක්

කපිල කුමාර කාලිංග
2023-November

කියවමින් සිටි
කවි පොතේ පිටුවකට
කොහෙන්දෝ පැමිණි
කෘමියෙකි
කිසි දිනෙක නොදුටු .

“නුඹ කවුද ”

ඇසීමි ඒ ආගන්තුකයාගෙන්
පිළිවදන් නොමදී
බලා සිටී ඒ කෘමී
මා දෙස
තිත් තිත් පියා සළමින්

“නුඹ කවුද”

කෘමී ද අසන්නාසේ ය
මාගෙන්
“මේ කව් කියවමින්
සොයමි, මම, මා”
පැවසීමි මම.

මුද්‍රිත වදන්
බොඳව මැකී යයි එසැණින්
කෘමියා
පමණකි
හිස් සුදු පිටුවෙහි
“නුඹ කවුද… නුඹ කවුද”…
එවර නොඅසමි ඒ පැනය