ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කවි සිත

කවි සිත

ඩී. අමරසිරි ගුණවර්දන - නවසීලන්තය
2023-February

සිසිල විනිවිද කිරණ සරනා
කවියෙ නිජබිම විසල් මඩලකි
එබිම සරනා විටදි සුළියක
එතී යනවා අහසෙ මුදුනට

අදත් මා එහි ඇතුළු වන්නට
පිය තබද්දී ගෙයක් අසලින්
ඇසුන කෙඳිරිය කුඩා බිළිඳී
මගෙ දෙපා පණ සිඳිනු ලැබුවා

කුඩා බිළිඳී අඬන වහලය
යටට මා සිත කය ද සමගින්
ගාටද්දි පද වැලක් එහෙමම
උදුරගෙන කෑරලෙක් හැපුවා

නොදත් හය-හතරවත් එදරුන්
මිමිණු වදනින් වදන සවනට
ඇතුල් කර හදවතේ ඉරි ඉරි
ඇඳල කඩුවක් අතට දුන්නා

බිළිඳි ගේ මව මැරී සිටියා
දෙතනෙ කිරි වේලිලා තිබුනා
දුරින් අඬමින් සිටිය දරුවා
අම්ම නිදි නෑ කියල කිව්වා

අපට බත්දී නොකා හිටියා
ඊයෙ රෑ දුර ගිහින් ආවා
මගේ කවි සංකල්පනාවන්
අනේ බිම මත ඇදන් වැටුනා