ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අන්තර්ජාලයේ සිත්ගත් කවි – අම්මා නෑ

අන්තර්ජාලයේ සිත්ගත් කවි – අම්මා නෑ

අසලියා කරුණාරත්න
2023-May

මළගෙදර කටයුතු
සියල්ලම නිමවෙලා
හිත හදපු යාලුවො
නැවත යන්නට ගියා

හට් ටිකත් ගලවලා
සමිතියෙන් ගෙන ගියා
මායි තාත්තයි ගෙදර
ඉන්නේ දැන් තනිවෙලා

තාත්තට වැඩ නිසා
ගිහින් එන්නට ගියා
හතර අත පාලුයි
අම්මා ගෙයි නැති නිසා

බත් බෙදුවා කන්න පුතේ
කියන්නට අම්මා නෑ
ෆෝන් එක ඔබන්නෙපා
බනින්නට අම්මා නෑ

පාඩම් කරන්නට
කියන්නට අම්මා නෑ
කොහෙද ඔය යන්නේ
අහන්නට අම්මා නෑ

හිතේ තියෙන දේවල්
කියන්නට අම්මා නෑ
තාත්තේ කෝ අම්මා
ඇහුවාට වැඩක් නෑ

තාත්තා සමග මම
එතරම් ළගින් නෑ
අම්මා වගේ පසුපසම
මා එක්ක හිටියේ නෑ

ඉද්දි මට අම්මා
ඇගේ අගේ දැනුන් නෑ
කෑගහලා ඇඩුවට
අම්මා යළි එන්නේ නෑ