ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඒකපාර්ශ්වික ප්‍රේමය

ඒකපාර්ශ්වික ප්‍රේමය

කෞශල්‍යා ජයලත්
2021-March

කලා සොළසම සපිරි පුරහඳ
මුව අඟින් සිනාසෙනු දුටු සඳ
සඳ මගේ උරුමයට පටබැඳ
ඔප්පු තිරප්පු ලියනු කෙලෙසද

ගෙමිඳුලෙහි පිපි මලට ලොබ බැඳ
කවුළුවෙන් බලා සැනසෙනු මිස
එ’මල නෙලනට දෑත දිගු කොට
මල් සුවඳ අහිමි කරගෙන කොහොමද

නේක පැහැ දේදුන්න දුටු සඳ
නෙතු කොණින් රස විඳිනු මිස හිඳ
නෙතු අයා අත පොවා පැහැනඳ
අහිමි වූ සඳ කඳුළු කුමටද

අර ඈත සිනාසෙන රවි රද
පොළොවේ මල් මවන්නේ කොහොමද
අත නොපොවනා ඉමක රැඳුනද
අහිමි පෙම මොනතරම් මියුරුද

නුඹ මගෙන් වෙන්කරන සොඳුරු දුර
රැදේනම් හැමදාම අප අතර
ඇයි මේ කඳුළු ඇස් වල
හුරුවෙන්න ලද දෙයින් තුටුවෙන්න සිත් මල

ජීවිතය උගැන්වූ කවි ළඟ
තබා යමි මේ මහරු කඳුළු බිඳ
දුරින් හිඳ රහසේම බලන සඳ
මල් කොයිතරම් නම් සොඳුරුද