ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බුදුන් නොදැක බුදුන් දකී

බුදුන් නොදැක බුදුන් දකී

සිරිසේන ප්‍රේමලාල්
2021-January

“මහණෙනි,
තව සිව් මසකින්
තථාගතයින් ගේ
පිරිනිවීම
වන්නේය”

පැතුරිණි ලැව්ගින්නක් සේ
මෙපුවත
සැණෙකින්
දඹදිව් තලය පුරාවට

හඬති වැලපෙති
පුහුදුන් භික්ෂූහු
ළය අත් ගසා
අන්ද මන්දව
කුමක් කරමෝදැයි..!

සිටියි එක් භික්ෂුවක්
සන්සුන්ව
යෙදී භාවනාවේ
එක රුක් සෙවනක

“පෙනේද ඉන්න හැටි
කරබාගෙන,
හිතක් පපුවක් නැද්ද
බුදුන්ගෙ
ලෙඩ බලන්න
එන්නෙ නැද්ද? ”

තෙල් මල් සුවඳ දුම්
කැවිලි පෙවිලි අට පිරිකර
ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට
කර පින්නා ගෙන
ආමිස පාර දිගේ
වැල නො කැඩී වැඩම කරති
පුහුදුන් භික්ෂූහු
සැවත දෙව්රම් වෙහෙරට!

“භාග්‍යවතුන් වහන්ස,
අර ධම්මාරාම නම
කොච්චර පෙරැත්ත කළත්
ආවෙ නෑනේ
ගිලන් ඔබ වහන්සේ
බැහැ දකින්න
අපි නං කන වැකුණා විතරයි ”

“එසේද මහණෙනි
පිළිවෙතින් මා පුදන
ඒ භික්ෂුව
බුදුන් නො දුටත්
දුටුවා සේය”

“ආමිසෙන් මා පුදන
තෙපි
බුදුන් දුටුවත්
නො දුටුවා සේය”.

අබුද්දස කෝළම , රාජ කපුරු වැනි අතිශය ජනප්‍රිය නාට්‍ය ලියූ සිරිසේන ප්‍රේමලාල් මහතා අප අමතන විට සිටියේ බුදුන් වඳිමින් ය. එ නිසා ඔහුගේ පුත් ජනක් ප්‍රේමලාල් සමඟ කතා කරද්දී ඔහු පැවසුවේ තම පියා හොඳ ශරීර සුවයෙන් 91 වන විය පසු කරමින් සිටින බවයි. අපි සිරිසේන මහතාට දීර්ඝායු ප්‍රර්ථනා කරමු.