ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පනාපුත්‍ර කුහුඹු පැණියා

පනාපුත්‍ර කුහුඹු පැණියා

වෛද්‍ය චතුර එම්. විමලරත්න - වැල්ලවාය
2022-September

සුමට පවුඩර් නාන නළු මල්
එමට උපදින මේ රටේ…
කුමට උඹ නැති තිරය තිබිලා
ගිනි තියමි කැමරා බටේ…
එමට ප්‍රතිභා රශ්මි විහිදන
කළුද රළු ලක්‌ කොලු කැටේ…
බිමට බැහැපන් ඇඳෙන් ආපහු
හෙනට පාළුයි මුතු ඇටේ…

අපට “ජැක්සන්” කෙනෙක් ඇත
“මයිකල් ” නෙවෙයි ඒ ඇන්තනී…
නමට ගැලපෙන රැඟුම :
නෙයිනගෙ හූදුවේ ඇත හිත ඇනී..
එමට ජය සලකුණුය රණ බිම
කුමක්වුව රාවණ වැනී
කුමට “සීසර් ” ඩිරෙක්ටර් ලා
නැතුව මෙ “මාක් ඇන්ටනී ”

පිනක් වේ නම් අපිත් කළ ඒ
සියල්ලම අරගනු මැනේ
බණක් පිරිතක් ලෙසින් ආසිරි
රටක්‌ උඹ වෙනුවෙනි පණේ
දණක් එරුණත් ඇතෙක් වැවු දිය
සෙමෙන් ඉවුරට එන මෙනේ
පණක් අලුතින් අරං නැටුවොත්
අපිත් කිරිබත් කනවනේ

සුඛී දිඝායුකෝභව!

රසිකයා –
චතුර එම්. විමලරත්න