ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

එකදු මලක් නැති වුවද..

එකදු මලක් නැති වුවද..

ප්‍රීති පෙරේරා - තලවතුගොඩ
2024-February

කුරුළු ගී මිහිර විඳින උදෑසන
රාස්සිය වී වනන සැඳෑ අව්වක
මාවවුලන් සරන තිත්ත ගනඳුර-
කුමන මොහොතක සිදු වුවද
අතීත අනාගත ප්‍රතිබිම්බන
පුරුදු හිස් බවම දනවයිද

ලියන වැකියක කම්පනය බිඳෙන සඳ
දුක් වේදනාවන් කිසිත් නොදැනම
වැටෙයිද අතක් කරදහිය මත
හිරු දිලෙන කිසියම් මොහොතක
ඇඟිලි සලකුණු- බිම වැටුන කෙස් රොද
කැඩපත අසල දකීද ඔවුන් ආ විටෙක

ඉනික්බිති දිනෙන් දින
හිරු කිරණ සුළඟ වර්ෂාව
කිරිගරුඬ සමරු පුවරුවක
මතක සටහන් මකාලන පරිද්දෙන්
පුනරාගමනය- නාමය- කීර්තිය වන්
මිථ්‍යාවන්ගෙන්ද මා නිදහස් වෙයිද

අවසන මිහිකත මා අමතන කල
එකදු මලක් දක්නට නැති වුවද
සඳ රැස් ගලන නිසල රැයක
නන්නාඳුනන අය මෙහි පැමිණ
මසිතට අනවරතව ගලා එන
මෙම වදන් මුමුණයිද

“Later on” by Forough Farrokhzad ඇසුරින්

18.01.2024