ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්……

තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්……

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
2024-February

ගුත්තිල නොවී කව් සිළුමිණ වූ
තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්
අපේ තිලක් අයියා
මාලපල්ලේ කුමුදු අමරසිංහගේ කවි ඇසින් දුටු වගයි.
2024.01.01

1. සපරගමුවෙ සුන්දර ගම් අතර මැද
සතර වටින් මුරගල් සේ පිහිටි වැද
සමරය ගෙනෙන බෙරපත් දිය කිඳුරි සැද
සසර පුරුද්දට ඉපදුනි මෙ පුත් රද

2. දිවා – ගුහාවට පහළින් පරකඩු ව
බටහිර අරක් ගත්තැයි මුදුණත් කොටු ව
බෝධිමලුව – මොරගම්මන ගම් වට ව
බටදොඹලෙන එරත්න ද මුරගල් සැදු ව

3. සුන්දර ගමක ඉපදී මොහු රුවන් බිමේ
පුන්සර කලක් ගෙවමින ඒ සොඳුරු ඉමේ
පින්සර යුවළකගෙ දරු සෙනෙහසට පෙමේ
පින්බර පුතෙකු වැඩුණයි ඒ සෙනෙහෙ දමේ

4. විරුවන් ගැන සොයන සඳ මතකෙට එන්නේ
කුරුවිට – රාළ ගැන කවුරු ද නොම දන්නේ
එහෙව් ගමක ඉඳ මෙතුමන් පිට වෙන්නේ
දෙමව්පියො නිසයි ඒ දේ සිදු වන්නේ

5. කුරුවිට බණ්ඩාර – විලියම් මොහුගෙ පියා
සෝමලතා වැලිවත්තයි මවුනි දයා
කොළොම්පුර දෙසට ආවත් ගමට කියා
“තිලක උයන” ගම වූ රස “පතට” ගියා

6. පැන – පැන මඩ කඩිති හා ගඳපාන අකුල්
එන-යන විට සිතට නැගුණත් බොහෝ අවුල්
වටකර කෙසෙල් වතු මැද ඉදි කෙළේ පවුල්
දෙක-තුනකට ම සරිලන ලෙස ගෙදොර මිදුල්

7. පියා ගියැයි මවුගේ ගමට – ඇරැව්වල
ගොහින් ගෙනාවැයි මිනිසුන් අගය කළ
වටා ගෙවතු මැදි කර කළ කුඹුරු යල
මහ යන දෙකන්නය පල ගන්වමින් වළ

8. ලිව්වත් පරිසරය මඟ වැණුමට සෙව්ව
සුන්දරතාව ජන බස් වහරට නැගුව
පදවැල් අමුණ – අමුණා රසය ම මැව්ව
ගැළපෙන බව හඟිමි කවිමල් වණ කැව්ව

9. ගෙදොර වට කරන් කෙත් යාය ම පිබිදෙයි
ගෙතුළ සිට බැලූ ස| නෙත් – සිත් සිරියයි
ගෙමිදුල තවත් මිදුලක – දොරකට යාවෙයි
ගෙවිලියො – ගොවිරදුන් ඒ උයනට යාදෙයි

10. සිරිකත තිලක උයනේ අසිරිය කැන්දූ
අද අඩු වෙලා වග තේරෙයි මන බැන්දූ
කෙත්වතු ගෙනා සුන්දරතාව ද සින්දූ
කවුරුන් කියත් වග ඒ රස සිඳ – බින්දූ

11. “ක්‍රීඩාපිටිය තිබුණා ගේ ළඟට ඇසේ
කරනා කතා දෙස්පාලන අයගෙ තොසේ
නිවහන තුළ රැඳී ඇසුවේ “කු”-මන රසේ
“වල්-පල්” කතා පෙළහර දෙන රටට විසේ

12. තිබුණා මේසයක් කිරිගරු`ඩින් ම හැදූ
එන විට ගෙදර මපියා සිත බියෙන් වැදූ
නොසිටියෙ නම් සියලු දෙන ඒ වටේ හිදූ
වැලකින් – කෝටුවක පහරින් කෑම සැදූ

13. පාඩම් කරනු දකිනුව දැමු නීතියට
මල්ලිත් මමත් අවනත නොවු වෙලාවට
පියතුම කැමැති නොවුයෙන් ආ තරහවට
විඳිනට වුණේ දුන් දඬුවම් මනාපෙට

14. දවසක් මමත් මල්ලිත් නැහැ එහි සිටියේ
“දින දෙකකින් ම නුදුටුවෙ නුඹ කොහි සිටියේ”
රහසෙ ම නාටකය බැලුමට ගිය සැටියේ
කීමට සිදු වුණා මට රැය ගෙව් හැටියේ

15. නාටක උළෙල බැලුමට අප ගිය හන්දා
ඇසුවා කප්පරක් – බැන්නේ නැති හන්දා
හිටියා නම් ගෙදර එන විට සිත් බන්දා
එහෙනම් ‘ඉරෙන්නෑ පත් නාටකෙ’ සන්දා

16. මතකය දිවෙයි මපියා පිළිබඳ දුරක
කියවා ඇති වගයි දන්නේ ඔහු පොතක
ඒ ගැන සඳහනක් කෙරුමට ලෙස නමක
“හාල්මැස්සන් සහෝදරයෝ” යැයි මතක”

17. උපන් දිනය මෙතුමන්ගේ අට විසි ය
මාසය ඇසල – දින තිදෙනෙකුට ම සම ය
‘මල්ලිගෙ හා පුතුගෙ ද වස් සම නැති ය’
මොහු එකදස් නමසිය හතලිස් එකෙ ය

18. මෙතුමන් වැඩිමහලු සෙසු දරුවන් අතරේ
සහඋදරයන් තිදෙනෙකුගෙ ම සවි සපිරේ
සෙනෙහෙලතාවට මුසු කර දිවි ගැඹරේ
සහෝදරියො දෙදෙනාගෙන් තුටු ඉතිරේ

19. “පළමු වසරෙ සිට පාසල් ගියේ මෙමා
අවුරුද්දක් පුරා සමුදුරු දේවි තමා
දෙවැනි වසරෙ සිට පාසල පිරිමි කමා
අරගෙන ගියා මං ඉහළට වඩා පෙමා”

20. ඉහළට උගෙන යන අතරෙ දි දිනුව නම
පාසල් ශිෂ්‍ය නායකකම ලැබුණි සම
සාහිත – කලාවට ඔහු තුළ තිබුණු ඉම
ඉස්මතු කළේ ස`ගරාවෙන් තියුණුකම

21. සිදු වුණු අකටයුත්තක් ගැන මල්ලීට
ගියෙ මුල්ගුරුතුමා ළ`ගට ම ඔහු ඊට
සාධාරණය ගනුව ම පවසා ඔහුට
ලැබ දුන්නැයි සතුට යළි ඔහු මල්ලීට

22. හේමලතා නඟා ළඟට සුනිල් මල්ලී තුන්වැන්නේ
ඔහුගෙන් පසු නඟා සෙනෙහෙලතා ලු පස්වැන්නේ
සය වැනියා නීතියට ම ගරු – සරුකම දුන්නේ
දයාරත්න මල්ලී ඔහු – “බඩපිස්සා” වෙන්නේ

23. “එකදස් නමසියේ හැට දෙක අවුරුද්දේ
මට දහ අටයි අවුරුදු – පොතකට සද්දේ
කෙටිකතාව කල – එළි දැක්මට සුද්දේ
‘විචාරකයො’ පිපුණා මගෙ ඉහ මැද්දේ

24. ලිව්වා කතා පවුලේ අප සැම එක් වී
හැකි ලෙස උපරිමෙන් දත් දේ එකමුතු වී
නිම කළෙ පොතත් ‘අපි ඔක්කොම’එහි නම වී
“තිලක උයනෙ” දරු – කැළ පාඨකයන් වී

25. ‘සුසිලෝදය’ නමින් තිබු සංගමයෙ නිතී
ගෙන ආ අංග අතරට නාටක ද වෙතී
ඒ නාටකවලත් අප රඟපාපු විතී
මතකයෙ තියෙයි තවමත් අපෙ මනසෙ එතී

26. මල්ලිත් – මමත් රඟ පෑ නාටක එහි දී
ඇති කළෙ සිතට සතුටකි යළි-යළි සිත දී
ඒ හා බැ`දුණු හැකියාව ද තියුණු ව දී
හැකිකම ලැබුණි ලබනට ඇසුර ද පින දී

27. පිටුපත් කියෙව්වා – කියවා පාලන ය
ඇන්දා වට-රවුම් – අලෝකයෙ තල ය
කළ පරිපාලනය – ආභාෂයෙ ඵල ය
වින්දා ‘භුක්තියේ ජය’ තරගය නැති ය

28. උගෙන ගත්ත මේ දේවල් අපට සිතී
ඇද්දේ දර – දියයි නිශ්ඵල නොවූ නිතී
මට මෙන් සුනිල්ටත් එක සේ දිරියෙ එතී
ලැබ ගත් අනගි ගුරු – හරුකම්වලට තුතී

29. අවුරුදු එක් විසි ය පාසල් කාලෙ ඉම
ඉන්පසු කලාවේ පුවතට බැඳුණි මම
දිනමිණ පුවත්-පත මගෙ හිත ගත්තෙ අම
අසම තියෙනු අකැමැති මා කෙළෙමි සම

30. හැම විට සමබර ව හැම කරුණක් ම එ දා
දුන්නෙමි පැහැදිලි ව ඇති මගෙ නැණැස වි දා
කැමැති ද අකැමැති ද යනු පැනයකට මු දා
පෙළහර පෑවෙ ‘පන්හිඳ’ මගෙ සුරතෙ නි දා”

31. අවුරුදු විසි දෙකේ සිට අට අවුරුද්දක්
කවි පොත් කීපයකි කළ එළි දැක්වීමක්
නිල්ල දකින්නට තිබුණේ ආශාවක්
කවියට ඇති රුචිය කොපමණදැයි කීමක්

32. අසිරිමත් දෙයකි මෙලොවේ ප්‍රේමය නමිනා
එකදස් නමසියේ හැටනම වසරට පැමිණා
දෙවියෝ තැතිගෙන මහ පොළොවට එතුණා
කවි පොත් කෙළේ වෙසෙසින් ඒ සඳ රිසිනා

33. ලියු පත-පොත ද ඇති අනුපිළිවෙළින් ම
මෙහිලා වටී නම් කරනට සතුටින් ම
‘සිරිත් මල්දමයි’ ගෙල පළඳනුව එ ම
චරිතාපදානයකට ලගු කළැකි ස ම

34. මේ කෘතියේ කටයුතු – කරණයෙ දි පුවත්
මගෙ කෘතියක් ලෙසින් නතුකර කෙළෙමි පොතත්
අවසර දුන් ‘තිලක් අයියට’ මගෙ තුතියත්
පිළි ගන්වන්න ‘තෝ – තැන’ කර ගනිමි මමත්

35. ඒ කෘතියයි මමත් අවසන් වරට කෙළේ
එකදස් නමසියේ වස් අසු හතර කලේ
නම ගිය ප්‍රමුඛ පෙළ සිටි පොත් හැදූ හලේ
ඉපදුණු “සිරිත් මල්දම” මල් දමකි හෙළේ

36. ‘රස දෝතයි’ කෙළේ මෙතුමන් අසූ හතේ
‘ඉකුත් වත’ ගෙනාවැයි ඉන් පසු ව පුතේ
අනූ දශකයෙන් “චරිතපදාන” පතේ
‘මනමේ ගුරු’ ගැනයි ලිව්වේ සුහද සිතේ

37. ‘එක් සමයකි’ ය දෙදහස් පහ වසර තුළ
‘කීර්තිශේෂ අපදානය’ විස්ස කළ
‘අකුරු – මිතුරු’ ඇති කරනුව ඇල්මෙ රල
අකුරට කවිය සවියක්කොට කෙරුණු බල

38. යමි මම කියන්නට මෙතුමන් සමබර ව
කළ වැඩ කිහිපයක් පා ලැදිකමට තව
ඩී. බී. විජේතුඟු මොහු දස්කම දුටු ව
‘සිළුමිණ පුවත් කතුකම’ දුනි පදවි නව

39. ලැබ පත්වීම උස්කොට සුරතට දුන්නූ
දිනමිණ පුවත්පතටත් වැඩියෙන් තැන්නූ
සමබරතාව පුවතට ගෙන හැර පෙන්නූ
කළ නවතාවයන් පාඨක වෙත දැන්නූ

40. ‘දැළි පිහියකින් කිරි කන සේ මා’ ය
‘කියලත් බැරි ය -නොකියත් බැරි සේ මා’ ය
කතුවර පදවි ‘පිහිතල තුඩු සේ මා’ ය
‘කැපුණොත් මුදුණ’ ඉවතට යන සේ මා ය

41. දෙස පාලනය පාලක – විරුදය පක්ස
දෙ පිරිස බලන්නේ ‘රැක ගැනුමට පස්ස’
තරගෙට ‘වග-විභාගය’ නැති ව ම කොස්ස
ගන්නට බැලුවෙ වග හැම පුවතින් තොස්ස

42. අදටත් එසේ මැයි ඒ ගැන දෙකක් නැතී
කොතරම් සිතට එකඟ ව ‘කළ හො`දක් නැතී’
‘කෙරුණොත් තමන් කාරිය’ කොයි ලෙසින් ඇතී
‘වැරැදුණු තැන් නැතත් ‘බලයට’ පණක් ඇතී

43. සිළුමිණ පුවත්පත කතුවර පදව ගෙන
නොගියේ දිගු කලක් පුටුවට ‘වැදුණි හෙන’
දෙසපාලුවන්ගේ ‘බල ඇස’ රුදුරු වුණ
පන්නා දැමුවෙ පුටුවෙන් ‘හිසරදය’ දැන

44. “ඔර්ඩර්ස් ප්‍රොම් ද ටොප්” යනුවෙන් කියූ සම
“දෙස්පාලනයෙ උගුලක් බව” කියූ හැම
‘ඇයි මේ දෝලනය – ආනට’ කැවෙනු නම
උත්තර නැති ව සිටියේ ඒ නිසයි සැම

45. ඉන්පසු නැවත සරසවියට පා පැන්නූ
සිතුව ද හදත් සොමි ගුණයත් ගැන දන්නූ
මේ සා ඉවසීම බුදුවර ගති පෙන්නූ
වැජඹේවා “රත්න-තිලකය” රස දුන්නූ

46. ‘කඩේ ගියා නම්’ දෙස්පාලුවන් හට
‘වැඩේ කළා නම්’ උහුගේ නියම යට
‘දඩේ නොවැටෙනා බව’ නම් අනේ මට
‘නඩේ හොඳින් එහෙනම් අද මගේ වට’

47. “තර්ජන – ගර්ජන ද ලැබ බිය වී ඉන්න
මට බැහැ එහෙව් පරිසරයක රස දෙන්න
වහ-වහ ක්‍රියාත්මක පත්වීම් ලැබ දුන්න
හිටියේ මමයි ඒ බව අද දැන ගන්න”

48. ලිව්වේ ගීත ආදරයත් හද රන්දා
වැටකොටු බැඳන් වටකර සුවඳත් හන්දා
හැකි දැයි ඇසුවෙ ආදර සුවඳක් කැන්දා
අනන්තයට දැනෙනා බැව් සිත් බන්දා

49. මධුර කල්පනා ප්‍රේම – දේවි වේදනා විරහව
දූ-පුතුනේ රට අපේ ය – දැයකාමය දී සරලව
“මල්ලි හැදූ සරුංගලය – ඉසුරු දෙවිඳු උමයංගව
ගීත ලියූ සිත් සනසන – පන්හි`ද සරසා නිහඬව

50. භාෂාවේ ලෞලත්වය – ඔහු තුළ වූ කෞශල්‍යය
කව්-ගීවල පූර්ණත්වය – පුවතේ සමබරතාවය
ඒ පිළිබඳ සුවිශේෂය – දෙවෙනි නොවන කළ සේවය
මිනිසත් බවෙ කුළුණු ගතිය – සුව`ද කරන ඔබෙ ජීවය

51. ඔහු පසුපස සෙවනැල්ලකි නිතර ම ආදරෙන් සිටින
බිරි`ද සුජාතා වික්‍රම-සිංහ සරෝජිනී නමින
දුක-සැප-ප්‍රීතිය-සොම්නසඑක සේ සරල ව ම විඳින
ඇය අමතක කරමි කෙළෙස එතුමන් ළඟ නිබඳ වෙසෙන

52. ඇති කළ “මිතුරුදම” දැන ගත් මුල් ම දිනේ
වැඩි කෙළෙ “සිරිත් මල්දම” එළි දකින දිනේ
මතකයි කළ කතාවත් “මගෙ මඟුල්” දිනේ
වෙසෙසින් සුහද පබකර සිත් බැඳී දිනේ

53. අදට අසූ දෙවැනි වියේ ජීවන මඟ සුවය විඳින
මේ වසරේ ඇසළ මහට අසූ තුනක් වස් සපිරෙන
තිලක උයනෙ පිපුණු සුවඳ මලෙකි ඔබත් තිලකරත්න
කුරුවිටබණ්ඩාර මැතිඳු වැජඹ යෙහෙන් ලැබ තිසරණ!!!
***