ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඉර…..සඳ…..

ඉර…..සඳ…..

ශර්මිලා බන්දුනි දන්වත්ත
2023-December

පාන්දර වැඩ ඇරී එනකොට සඳ
හැඩිවෙලා මිදුල උල්කාපාත වැස්සට
ගෙනා බඩු මලු තියා පැත්තක
බහිනවා ඉදල ගෙන මිදුලට

කඩන්නට මකුළු දැල් අහසක
බඳිනවා කොසු මිටි දිගට
නාවලා පිහදලා තරු කැළ
කවනවා බත් ගුලි අන අන

හෝදලා වේලලා රෙදි වැල
මදිනවා සාරිය හවසට යන්ට
පාඩම් හොර අඟහරුට
අනිනවා ටොකු කනින් ඇද ඇද

අමාවක දාට සඳ ගෙදර
ඒත් ඉර නිති පතා වැඩ
ගමනක් බිමනක් යන්ට
ඉරට කෝ වෙලාව

එක අහසෙ හිටියට
රස්සාව තට්ටු මාරුවට
ඒත් මොනවා කරන්නද
දෙන්නම රස්සාව නොකර කොහොමද