ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අප අපේ මයි නොවේ රහසක්

අප අපේ මයි නොවේ රහසක්

ලියෝනි අමරතුංග
2021-September

කතර දිවිමග තනිවි සිටිවිට
හමුවුනේ ඔබ ලෙසට කවියක් …
නොසිතු විලසට වුනේ කිම මට
සදා නොබිඳෙන සෙනෙහෙ සවියක් …
සුහද පෙම්වත නොයන් කිසිවිට
හැර දමා සිදු වුනිද වරදක් …
සසර සරනා තුරා වේවා
හදවතට සුව ගෙනෙන සිසිලක් …

යනෙන මඟ තොට නිතර හමුවී
එයින් ලැබුවේ අමිල සතුටක් …
ඇඟිලි ගනිමින් සිහින මැව්වේ
එක හැලියෙ බත ඉදෙන දවසක් …
පෙමට එරෙහිව කොතෙක් ආවත්
සතුරු උවදුරු සමඟ කඳුලක් …
සපත කරගමු වෙන් නොවන්නට
අප අපේ මයි නොවේ රහසක් …

මුවින නෙක කට කතා පතුරා
දිනූ කිසිවෙකු ඇතිද මෙතුවක් …
කෙලෙස වැටකොටු දමා සිරකර
තබමු හදවත උපන් ඇල්මක් …
ලතැවුලෙන් හද තෙරපනා සඳ
ලොවට සැඟවී හිඳිමු මොහොතක් …
සොඳුරු ලෙන්ගතු වදන් හමුවේ
වුනි මෙමා පෙම් ලොවේ රැජිනක් ..